ඒ කාලෙ මගේ වයස විසි දෙකයි. කෙල්ලෙකුත් හිටිය කියහංකො ඉතිං. කෙල්ලට ඉතිං විස්ස ලැබුව විතරයි. පොඩි වුනාට හැබැයි ඉතිං කෙල්ල හෙනම සීරියස්. හිතන්නෙ පතන්නෙ කෙල්ලෙක් විදියට නෙමේ කසාද බැඳපු ගැහැණියක් විදියට. ඉතිං ඔය හේතුව හින්ද දවසක් කෝච්චිය ඇතුලෙ රණ්ඩු වෙලා එක ඉස්ටේසමක කෝච්චිය නැවැත්තුවම කෙල්ල එළියට දාල මම පාඩුවෙ සැනසිල්ලෙ වාඩි වෙලා යද්දි මෙන්න යකෝ මේකි ඊළඟ ඉස්ටේසමෙන් ආපහු කෝච්චියට නැග්ග. ඔන්න ඔය වගේ සීන් කෝන් අතරේ දවසක් මේකිගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් බඳින මගුල මේකිට කියල. දැන් ඉතින් හෙන වදේ මාත් එක්ක වෙඩිමට සහභාගි වෙන්න. කෙල්ලට ඕන ඉතින් අපි දෙන්න බැඳපු කපල් එක වගේ වෙඩිමෙ පෙනී හිටින්න. අනේ ඉතින් ලපටි නාඹර වයසෙ මම ඒකිම අරන් දුන්න ඇඳුම් ඇඳගෙන වෙඩිමට සහභාගි වුනා.
වෙඩිම තිබුණෙ දකුණු රටේ බෙන්තර ගඟ ආසන්නෙම ගමක. ලොකු ඉඩමක ලොකු ගේක තමයි ඉතින් වෙඩිම තිබුනෙ. දැං වගේ හොටෙල් වල නෙමෙයි. ඉතින් ඉස්ටේජ් එකක් ගහල ඒකෙ සිංදු කියනවා, බාර් එකක් හදාගෙන ඒකෙ කණ පැලෙන්න බොනවා, නටනවා, පොටෝ ගහනවා එක කෙලියයි. මොනව වුනත් සබ්බ සකලෙම පුල් ආතල් ඉතිං. අවුලකට තිබුණෙ කෙල්ලෙක් දිහා බලල ලයින් එකක් දාන්න බැරි එක විතරයි. ඒ අස්සෙ මගේ කෙල්ල එන එන හැමෝටම මාව අඳුන්වා දෙනවා මෙයා තමයි එයා කියල. හෙන ආඩම්බරෙන් ඉතින් ඈ.
ඒ අස්සෙ වැඩිහිටි අක්කල තමන්ගෙ අක්ක භාවය ප්රයෝජනයට අරගෙන මගේ අතින් අදිනවා ඩාන්ස් කරන්න. ඔය විදියට ඉතින් අපූරු දවසක් ගෙවෙන් ගමන් දවල් කෑම වෙලාවෙත් ඉතින් බඩ පැලෙන්න කාල කෙල්ලයි මායි පොඩ්ඩක් කතාවට සෙට් වුනා.
“දැන් ෂරීන් ඔය මනමාලි එලියට බහිනකොට අඬනවනෙ. ඒ මොකො ඒ අඬන්නෙ. හරි නං සතුටින්ම ඉන්න එපැයි.”
මම ෂරීන් ගෙන් ඇහුවෙ ඇත්තටම ඒ ගැන දන්නෙ නැති නිසා. ඊටත් වැඩිය මම ඒ කාලෙ ඉඳන්ම හෙන පණ්ඩිතයා.
“එහෙම තමයි සිහින, මනමාළි අඬනව කියන්නෙ ඒක මාර එකක්. ඕන කෙනෙක් අඬනව ඉතින්.”
ඇත්තෙන්ම ෂරීන්ට ඒක පැහැදිලි කරගන්න දැනුමක් තිබුණෙ නෑ.
“දැන් ඔය මනමාළි වුනත් අඬාවි එලියට බහිද්දි. මට නං විකාරයි ඕව. බොරු රඟපෑම්. මේකප් තල්ලි පිටිං උලාගෙන අන්තිමට ඒව දියවෙනකං අඬනවා. බදාගන්න මිනිස්සුන්ගෙ ඇඟෙත් මේකප්. සාරියෙ තියෙන කෑලි බෑලි වලට බදාගන්න මිනිස්සුන්ගෙ ඇඟත් කැපෙනවා.”
මම උපහාසයෙන් මනමාළියන්ගේ ඒ හැසිරීම හෙලා දකින්න වුනා ෂරීන් ඉස්සරහ.
“අනේ සිහින, ඔයාට කට තියන් ඉන්න බෑනෙ. විකාර කියවනව මෙතන. අන්න අරෙහෙට වෙලා ඉන්න.”
ෂරීන්ට ඉතින් මල මම කිව්ව කතාවට. එහෙම වුනත් මම ඇත්තටම කල්පනා කලා ඇයි මේ මිනිස්සු මෙහෙම අඬන්නෙ කියල. ගෙවල් දෙක තුනකට එහා ගෙදරකට කසාද බඳින්නෙ. ඒ වුනත් අඬන්නෙ රට හැර දාල යනව වගේ.
කොහොම හරි දැන් වෙඩිමෙ අවසාන ටික. ලස්සනට තණකොළ වවල තිබුණ විශාල මිදුලෙ ඉතින් මනමාලියයි මනමාලියි වාඩි කරවල නෑයො සෙට් එක වටේට වාඩි වෙල දැන් කතා එහෙම පවත්වනවා. යහපත් පවුල් ජීවිතයක් ගෙවන හැටි, ළමයි හදන හැටි, ඒ අස්සෙ කවි කාරයො කවිත් කියනව. දැන් ඉතින් අන්තිම හරියෙ මනමාලි වඳිනවා දෙමවුපියන්ට. දැන් ටිකක් විතර මගේ හිත ගැස්සුනා හරිද. කොහොම වුනත් මනමාලි අඬන එක ගොන් පාට් එකක්. මම මටම එහෙම කියා ගත්තත් මටම තේරුණා මම ටිකක් අවුට් වගේ කියල. මනමාලිගෙ සහෝදරයො දෙමවුපියෝ ඔක්කොම අඬනවා දැන් මනමාළි බදාගෙන. මම හෙමින් බැලුව ෂරීන් දිහා. මෙන්න යකෝ මේකිත් අඬනවා.
“ඔයා මොකටද අඬන්නෙ? ඔයාගෙ කවුරුවත්ද? පිස්සුද ඔයාට?”
පොර වෙන්න හිතාගෙන එහෙම කතාවක් කිව්වට මමත් පොඩ්ඩක් ගැස්සිලා හිටියෙ ඉතින්. මට ඇත්තටම දුක හිතුනෙ මනමාළි පහත් වෙලා තමන්ගේ පුංචි සහෝදරයන් බදාගෙන අඬපු විදියට.කොණ්ඩෙ, මේකප්, මාල පොටවල් ඔක්කොම දැන් අවුල් වෙලා. සෙට් එකම ෆුල් මූඩ් ගහල. යකෝ මම විතරද හිත හයිය එකා එතකොට.
මෙන්න ඒ මොහොතේ අර ඉස්ටේජ් එකේ සිංදු ගහපු එකාල ගහනව සින්දුවක්.
පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා….
වැන්ද දෙපා යළි අදත් වඳින්නම්
…..
මට ඇහුනෙ එච්චරයි. ඇස් බොඳ වෙලා උගුර හිර වෙලා මම ජීවිතේට නොදන මනමාළියක් වෙනුවෙන් මම අඬන්න සූදානමින්. විලි ලැජ්ජාවට මම හෙමීට නැගිටල මාරු වෙන්න හැදුව විතරයි, ෂරීන් මගේ අත කොනිත්තල ආපහු වාඩි කරව ගත්තා. අයියෝ ඒකි දැක්කද මගේ ඇස් වල කඳුළු?
දැන් අර සින්දුව ආපහු ඇහෙනවා.
මල් බෝනික්කන්
පූසි පැටවු ටික
පාට ගවුම් පොඩි
අද තනිවෙනවා…..
අනේ දෙයියනේ ඕනම කෙල්ලෙක්ගෙ අහිංසක වස්තුව නේද ඔය ටික. කොහොමද එච්චර ආදරෙන් රැක ගත්තු දේවල් කෙනෙක් වෙනුවෙන් අත හරින්නෙ. මේක යකෝ සින්දුවක්ද යකඩ උලක්ද? වම් ඇසේ කඳුළු වම් උරහිසේත් දකුණු ඇසේ කඳුළු දකුණු උරහිසේත් පිහිද ගන්නව ඇර මට වෙන විකල්පයක් තිබුණෙ නෑ.
“ඒයි යං යං… අපිත් වඳිමු. එන්න එන්න.”
ෂරීන් මාත් ඇදගෙන මිළඟ මොහොතේ මනාළ යුවල ළඟ. ගමේ වෙඩින් නිසා අතට අත දෙන සිරිත් නෑ වඳිනව මිසක්. ඉතින් අපි දෙන්නම් මනමාල යුවල ඉස්සරහ දණ ගැහුවා විතරයි. ආයෙ අරූ අර සින්දුව ගහන්න ගත්තනෙ. ඒ පාර සින්දුව නෑ මියුසික් විතරයි. මට දැන් පේන්නෙ මනමාළිගෙ රන්වන් පටි සහිත සෙරෙප්පු පයලූ කකුල් දෙක. නියපොතු පාට කරල. තලෙලු සම සුදු වෙන්න මොනව හරි ගාල. ඒ අතරේ එක නියපොත්තක් කැඩිලා. මේ නියපොතු මේ කකුල් අයිති කෙල්ලට ඒකිගෙ අම්මල තාත්තල කොච්චර ආදරේ කරන්න ඇද්ද? මේ කෙල්ල එක්ක අර පුංචි සහෝදරයො මොනතරම් විහිළු තහළු කරගන්න ඇද්ද. මොන තරම් දුකක් ඇද්ද උන්ට තමන්ගෙ අක්ක වෙන එකෙක්ට අයිති වෙනව දකිද්දි. ඒ අස්සෙ මට ආපහු මතක් වෙනවා මල් බෝනික්කොයි පූසි පැටවුයි. මේ ඔක්කොම හිතෙන්න මට තත්පරයක් වත් ඕන වුනේ නෑ. ඒ ඇසිල්ලෙන්ම මනමාළිට වඩා කඳුළු මගේ ඇස් වලින් පැන්නා. ඒ පාර නම් මම ඒ කඳුළු නවත්තන්න උත්සාහ කලේ නෑ. ජීවිතේට දැකපු නැති මනමාළියක් නිසා මම අඬද්දි ෂරීන් වචනයක් වත් කිව්වෙ නෑ. ඈ දෑතින්ම මගේ දකුණු අතේ එල්ලී බිම බලන් මාත් එක්ක වාඩි වෙලා හිටි පුටුවට ආවා. ෂරීන් කවදාවත් මගෙන් ඇහුවෙ නෑ ඇයි ඔයා ඇඬුවෙ කියල. මම අඬපු එක උපහාසයට ලක් කරල මට හිනා වුනෙත් නෑ. ඈ ඒ ගැන ඊට පස්සෙ කතා කලෙත් නෑ. ඒ මනමාලි අද ලස්සන ජීවිතයක් ගෙවනවා ඇති කියල මම විශ්වාස කරනවා. ජය මංගලම්.
-සිහින ලියවිල්ලක්-
උපුටා ගැනීම: Sihina Udayanga