සිහිවටන (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හොල්මන් ගැන එකිනෙකාගේ විශ්වාස ඇදහිලි ගොඩක් වෙනස් ඇති. ඒත් බහුතරයක් හොල්මන් ගැන අසීමාන්තිකව බය වෙද්දී මගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වුණා. මං පොඩිකාලෙ වුණත් අනිත් අයව බය කරන්න හිතල කතාවක් ගොතල කිව්වත් මම නම් ජීවිතේට ඔය දේවල්  කොහෙත්ම ගණන් නොගත්ත මනුස්සයෙක්. අදටත් එහෙමයි. ඒත් මගෙ ජීවිතේ වුණු සමහර සිදුවීම් මගේ හිතේ කැළඹීම් ඇති කරේ නෑ කිව්වොත් මං බොරු කාරයෙක්. මේ කියන සිද්ධිය වෙද්දි අපි ගැටවර වයසෙ. අපේ ඉස්කෝලෙ ඒ කාලෙ වෙද්දිත් ගොඩක් පැරැණියි.ඔය පැරණි බව නිසාම ඉස්කෝලෙට  එකේක කයිකතන්දර පටබැදිල තිබ්බා. ඒත් අපි කොල්ලො කවුරුවත් එළිපිට කට අරින්න අකමැති වෙන්න ඇත්තෙ ඔය කාලෙට තියෙන “අපි යක්කු බොලව්” කියන ගට නිසා වෙන්නැති. කොහොම නමුත් මං ඉස්කෝලෙත් අවුට් වෙනකන්ම ඔය කතාවලට හූමිටි තියන විදිහෙ කිසිම හැලහොල්මනක් මට හම්බෙලා තිබුන්නැහැ. ඒලෙවල් එක්සෑම් එහෙමත් ඉවර වෙලා ළමයින්ට එන අවුරුද්දෙ ඉස්කෝලෙ පොඩි ගැදර්රින්ග් එකක් තියෙනවා. ඕක නිකන් ඉස්කෝලෙ චාරිත්‍රයක්. තියෙන්නෙත් ඉස්කෝලෙමයි. හැබැයි රෑට. ඒනිසා ඕකෙ සංවිධාන කටයුතු සේරම වගේ වෙන්නෙ අපිට පස්සේ බැජ් එකේ මලණ්ඩියෝ ටිකෙන්. අපිටත් තියෙන්නේ එදාට ජැන්ඩි පහට ඇදගෙන වනවන ගිහිල්ල හොද සොමියකුත් දාල එන එක. කිසී කරදරයක් නෑ. මොකෝ උන් මේ අයියණ්ඩිලාට නොසළකා කොහොමද. ඔය පොඩි එවුනුත් එදාට එකෙක්වත් යුන්ෆෝම් ඉන්නෙ නෑ. එදාට එවුනුත් කලර් කිට් ඉන්න ඕනෙ. ඒක තමයි නීතිය.

ඔය වගේ අපේ ෆන්ක්ශන් එක තිබ්බ දවසෙ අපිත් ඇද පැලදගෙන එහෙම හය හමාරට විතර ගිහින් ඉස්කෝලෙ. කොහොමටත් පාර්ටි එකක් කිව්වොත් කීයටවත් වරද්ද ගන්න ජාතියේ මනුස්සයෙක් නෙවේ මම. හැබැයි ඉතින් ඉස්කෝලෙ නිසා කවුරුත් ඕන්නැති ආතල් නම් ගත්තෙ නෑ. මොකෝ ඉතින් පැලෙන්ඩ ආදරෙයිනෙ ඉස්කෝලෙට. අන්තිමේ ඔක්කොම සීන් ටික ඉවර වෙද්දි කොහොමත් රෑ දොළහට කිට්ටුයි. මාත් ඉතින් අපේ කොල්ලො ඔක්කොමටම කතා කරල “යන්නම් මචං” හරියට එද්දි අනිත් සේරම වගේ ගිහින් තිබුණා. මායි මගෙ බොක්කයි ඉස්කෝලෙ පාළු පාරෙන් එනවා දැන්.

පාර්ටියෙදි අපෙ ළමයින්ට දෙනවා පොඩි ස්වනියර් එකක්. ඉස්කෝලෙ මතක් වෙන්න. කොහොමත් තුන්හාරසීයටම වෙලා ගිහින් තිබ්බ නිසාත් ගෙදර ගියාම අම්මගෙ වස් කවිය අහගන්ට බැරි නිසාත් අපි දෙන්නා ඕක ගන්නෙ නැතුව තමයි ආවෙ. ඔය එන පාරෙ කොහොමටත් එහෙමකට එළියක් එහෙම තිබ්බය කියන්ට බෑ. කෑලි කපන පට්ට කළුවර. ඔය අතරතුරේ අපි වගේම ගේට් එක ගාවට යන අපෙ ඩයල් එකක් සෙට් වෙල  මගෙ යාළුවා ඌත් එක්ක කතාවට පැටලුණා. ඌ මගෙ බොක්කෙ ෆිට් එකක් නොවුණ නිසා මං එච්චර කතාවක් නැතුව ටිකක් ඉස්සරහට ගිහින් අරූ එනකන් ඉන්නවා දැන්. මේ ගොබ්බයාටත් මෙතනම කියවන්ට ඕනෙ වුණානෙ. දැන් නම් මට උපරිම මල.

ඒ අස්සෙ කොහෙන්දෝ කඩා පාත් වුන යුනිෆෝම් ගහපු පොඩි එකෙක් මගෙ ඉස්සරහ. මූ නම් අවුරුදු තුනක්වත් බාල ඇති. මේ රෑ ජාමෙ මේ මල යකා කොහෙන් ගොඩබැස්සද? පොඩි උන්ට එන්ට දෙන්නෑනෙ බං. මටත් දැන් ෆුල් කන්ෆුයුස්. “මේ අයියාහ්?”  “ඔව් ඇයි බං කියපන්” මූ දැන් අමුතු ඩයල් එකක්.සිංහල කතා කරන ඇක්සන්ට් එකත් වෙනස් කියාන්කො.අපෙ ඉස්කෝලෙ ඉන්නවා ඔය වෙන්ඩ පොෂ් ඩයල්. ඕකෙක් වෙන්ටැති කියල මාත් දැන් බලාන හිටියා.”අයියාහ් ඔයාල සුවනියර්ස් ගත්තෙ නැද්ද? එහෙම දාල යන්න එපා. අපිට ඒවා අය දාන්න තැනක් නෑ ඒකයි.” අපෙ අතේ කොහොමත් සුවනියර්ස් තිබුන්නෑනෙ. මූ ඒක දකින්ටැති.මේ පොඩි යකාට පුදුම අමාරුවක්නෙ.”නෑ මලය අපිට හොදටම වෙලා ගිහින් තියෙන්නෙ. ගන්ට වුන්නෑ බං” කියපු ගමන් අර අරුත් එක්ක කතා කරකර හිටපු මෑන් “අපි ගියා මචං” කියල මටත් තට්ටුවක් දාලා යන්ට ගියා.අප්පා ඇති යන්තන් කියල හිතල මං සිං ගාලා ඒ පැත්ත හැරිලා ආයෙ මේ පැත්ත හැරෙන ඩිංගට අර පොඩි එකා නෑ. යකෝ මූ කොහෙට චුත වුණාද ?මොන මගුලක්ද මේ ? දැන් මට හීන් දාඩියකුත් දානවා.දැන් මගෙ බොක්ක ආයෙ ඇවිල්ල “යමු බං” කියල යන්ට හදනකොට මේන් අර පොඩි කොල්ල ආයෙත් අපෙ ඉස්සරහපිට. ” අයියලා ස්වනියර්ස් අරන් යන්න ප්ලීස්. අපිට ඉතිරි එව්වා දාන්න තැනක් නෑ. දන්නවනෙ ඉතින්.” අඩේ මූ ආයෙ ඒකම කියනවා. මූ මොන දේශප්‍රේමීයෙක්ද? මල වාතයයි දැන්. මගෙ යාළුවත් දැන් “මේ මොකද බං මේ” සීන් එකේ. මුගෙන් ගැලවෙන්ටත් එපෑය දැන්. “හරි මචං අපෙ එකෙක්ට ගන්ට කියන්නම්” ඕන් මං ශේප් කරා. ඒත් මූ මූණ දිහා බලානම ඉන්නවා. අපිත් ඉතින් එතන ඉදගෙන අල තම්බන්ටයෑ. අපි ආවා එන්ට. අඩියක් දෙකක් ඇවිදින් මං තියෙන අමාරුවට ආයෙම හැරිල බැලුවා. යකෝ ආයෙම මූ නෑ කියහන්කො. එහෙමත් මිනිහෙක්ට නැති වෙන්ට පුළුවන්ද? අනේ මන්ද. දැන් නම් මාව සීතල වෙනවා. මොන එහෙකට මූ  කළුවරේ ආවද ස්වනියර්ස් ගැන අහන්ට. ඒ හද්ද රෑ ඊට වැඩිය වැදගත් වැඩ තිබ්බා ඔය කොල්ලොන්ට. අස් කෙරිල්ලම කොච්චර හෙන සීන් එකක්ද. කාටවත් වෙලාවක් තියෙනවායැ අනිත් උන්ගෙ අටමගල් හොයන්ඩ. අනිත් එක මේ පාළු පාරෙ තනියම කට්ට කළුවරේ ඉදගෙන. ටෝච් එකක්වත් තිබ්බද යකෝ මූ ගාව. නෑනෙ ඕයි. ඒ මදිවට එදා රෑ කවුරුත් යුන්ෆෝම් ඉන්නෑ. කොහොමත් මහ එවුන් යුනිෆෝම් ඉන්ට දෙන්නෙත් නෑ . තව ඌව මට එච්චර ඇල්ලුවෙත් නෑ. අඩෝ අහවල් වෙඩිමක්ද බං ඒ වුණේ?
අපි ගිහින් කාර් එකට නැග්ගත් මගෙ හිත එතැනමයි. දවස් දෙකකට පස්සෙ දැනගත්තු ආරංචියේ හැටියට වෙන උන්ගෙන් ස්වනියර් මගුලක් ගැන අහපු එකෙක් ඉදල නෑ. කවුරුවත් යුන්ෆෝම් ඉදලත් නෑ. අච්චර පොඩි එවුන් ඉස්කෝලෙට මහ රෑ වද්දගෙනත් නෑ. නියමයි. අරූට නම් මං කොච්චර කිව්වත් විශ්වාසයක් නෑ. ඌ කියන හැටියට මට මනස්ගාතලු. හ්ම්.. වෙන්ටත් බැරි නෑ. ඒත් ඒ සිද්ධි එකිනෙකට නොගැලපුන විදිහ මට තාමත් වද දෙනවා. කියවපු ඔයාලත් කැමති අර්ථකථනයක් දෙන්න. ඒත් ඒ නිගමන තම තමන්ගේ අත්දැකීම් මත රදන බව අමතක කරන්න එපා.

ප්‍රබන්ධයක් පමණි.

ප.ලි.-  සෑම විහිලුවක් සේම සෑම ප්‍රබන්ධයක්ද සත්‍යක් මගින් පණ ලැබූ කිරි දරුවෙකි.

චතුරිකා අබේසේකර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!