“හෝව් හෝව්. කොහෙද කොහෙද යන්නෙ ඔය.?”
“නෑ නෑ. එහෙම ඔතනින් යන්න බෑ. මෙහෙන් යන්න. පාස් තියනවනම් විතරයි ඒත් යන්න දෙන්නෙ.”
“මේ වතුර බෝතලේ දීල එන්නම්.”
“නෑ නෑ. යන්න දෙන්න බෑ. කරුණාකරල වෙලාව ආවම යන්න. ඒත් පාස් තියනවනම් විතරයි”
මුගෙ ආච්චිට යකෝ. මූ මහ ඒජන්ත කියල හිතන් ඉන්නෙ. සික්කා. යකෝ ලොකු දොස්තරවත් මෙච්චර රෙස්පෙක්ට් නෑ.
ඊගාවට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාව
“වෙලාව ඉවරයි…. දැන් හැමෝම යන්න…”
“කරුණාකරල ඔක්කොමල යන්න ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි.”
“සැරයක් කිව්වනෙ යන්න කියල. ඔය මහත්තයා තවම මොකද කරන්නෙ යන්න යන්න.”
“ඉක්මන් කරල යන්න. ඔයාලට පැයක් දීල තිබ්බනෙ. මේ ඔය මිස්. කිව්වම තේරෙනවනෙ. යන්ඩ දැන් කරුණාකරල.”
“කෝ ඔය කට්ටියට සිංහල තේරෙනවද. යන්න කිව්වම යන්න”
හුහ්. මුන්ගෙ ගණන්. මුන් යකෝ නිකන්ම නිකන් සික්කො. ඩිරෙක්ටර් කියල හිතන් ඇත්තෙ. වරෙන්කො අපේ තැනට වැඩක් කරගන්න. එතකොට නම් එනව කටයි අනිත් එව්වයි බිම ඇනගෙන. මෙතන තමයි මුන්ගෙ ගෑස්. ලැජ්ජාවෙ බෑ යකෝ අනෙක් උන් ඉස්සරහ නම්බුවත් ඉවරයි මගේ.
එහෙම නේද ඔයාටත් හිතුනෙ. සික්ක කියන්නෙ නැති බලයක් ඔලුවට අරන් ඉන්න කෙනෙක්. එහෙම තමයි හැමෝම දකින්නෙ. ඒත් ඕකෙ ඇතුලාන්තෙ කවුද දැකල තියෙන්නෙ.
පලවෙනි සිද්දිය. අවේලාවේ වාට්ටුවට කෙනෙක් යන්න ආවම දාන රැස්පට් එක. ඒ නොදා වාට්ටුවට කෙනෙක් ගියාම වෙන දේ මෙන්න.
“මිස් කවුද අර ලෙඩා ගාව ඇවිල්ල ඉන්න කෙනා. සර් දැන් ඒ ලෙඩා බලන්නෙ. අර මිනිහ ඇවිත් ඒ මැද්දෙ කතාකරන්න හදනව. ගන්න සිකියුරිටි එකට කෝල් එකක්.”
“කවුද මේ මනුස්සයෙක් මේ වෙලාවෙ එව්ව සිකියුරිටි. එන්න කියනව එයාට.”
ඊටපස්සෙ සිකියුරිටිට තමන්ගෙ රස්සාව ගැන දේශනයක් අහගන්න වෙන්නෙ හොඳ පදෙන්. සමහරවිට හොස්පිටල් ලොකුතැනගෙන් වෙන්න පුලුවන්
ඊගාවට ටයිම් පාස් උනාම වාට්ටුවෙ අය එලවන සිද්දිය. වෝර්ඩ් රවුන්ඩ් එන ලොකු දොස්තර මහත්තයෙක් හරි මොනව හරි විශේශ පරීක්ශන පටන්ගන්න ලෙඩ්ඩු යවන්න තියනකොට හරි මොනම හේතුවකට වාට්ටුව වැඩ පටන්ගන්නකොට අනවශ්ය පිරිස් හිටියොත් ඒකෙ දෝස්මුරේ යන්නෙත් සිකියුරිටි එකට. ඒ බැනුම් අහගන්නෙ හොඳම පදෙන්.
“රස්සාව හරියට කරන්න බැරිනම් අස්වෙලා යනවලා. මෙතන තව රස්සාවට ගන්න අය ඕන තරම් ඉන්නව.”
කොරෝනා නිසා මේ දවස්වල වාට්ටුවලට පිටින් එන අය ගන්නෙ ඉතාම අඩුවෙන්. පාස් වලට විතරයි. ඒ නැතිව අති බහුතරයක් වාට්ටුවෙ පිරිල වාට්ටුව අවදානමට වැටුනම ඒ බැනුමත් එන්නෙ සිකියුරිටිට
කවුද හිතවතුනි කැමති අනුන්ගෙන් තමන්ට ඒ වගේ බැනුම් අහගන්න රස්සාවෙදි.? ඒ අයත් මනුස්සයෝ.
“අනේ යන්න එපා ඔයා මේ අවේලාවනෙ” කියල කිව්වට කෙනෙක් නවත්තන්න බෑ. මොකද ගේම ඉල්ලගෙන එන අති බහුතරයක් මන් දැකල තියනව. ඉතින් වචනෙ පොඩ්ඩක් සැර කරන්නම වෙනව.
ඒ සැර වචනයක් අහගන්නවට වඩා හොඳයි හොස්පිටල් එකක තියන නීති පද්දතියට අපි අනුගත වෙලා ඒ විදියට හැසිරෙන එක. ඒක ඒ මිනිසුන්ටත් රස්සාව කරගෙන ඉන්න පහසුවක් ඊටත් වඩා හැමදෙනාගෙම යහපතට ඒක ලොකු උදවුවක්.
පිරිස් පාලනය කියන එක ලංකාවෙ අති අමාරු වැඩක්. තමන් ලොක්කෙක් ය. කාගෙවත් බහට නැවෙන්න ඕන නැතිය කියල හිතන් ඉන්න රටක් මේක.