“එයා උඹට කැමතියි බං”
ඈතින් වගේ ඇහුන දිශාගේ කටහඬත් එක්කම මං උඹ දිහා බැලුවා. මේ මොන හාල්පාරූවෙක් ද මන්දා උඹ ඇස් වලට වැටෙනකොට පුරුදු විදිහට හිතේ කොනක ඉන්න එකෙක් එහෙම කියලා කෑගැහුවා.
“උඹ කැමති ද ?”
ආපහු දිශාගේ හඬ…
” වැටට හිටවන්න අරන් යන්නද ?”
මං දිශාගෙන් ඇහුවේ හිතට ආව වේගේටමයි.
“එච්චර කෙට්ටු නෑ බං”
පිස්සු මේකීට. කොහොමත් මීට වඩා කෙට්ටු උනා නම් සැකිල්ල විතරක් වෙයි. එහෙම හිතුවට මං කිව්වේ නෑ.
” මගේ හැටියට කෙට්ටුයි තමයි “
දෙවියනේ කියලා කාලා බීලා බෝලේට ඉන්න මං ටිකක් වේගෙන් උඹ ලඟින් ගියා නම් උඹ විසික් වෙනවා.
” අවුරුද්දක් නේ බං දැන් ? එක්කෝ උඹ කෙලින්ම කියපන් කැමති නෑ කියලා”
අවුරුද්දක් උඹ මං දිහා බලන් ඉන්නවා. යන එන හැම තැනම එනවා. ඒත් මේ හිතේ ඇඳුන රූපේ උඹ නෙවෙයි. ඒ නිසාමයි මං මේ තරමට උඹට ගනන් ඉස්සුවේ.
” හරි මං කියන්නම්. අද ලෙක්චර්ස් ඉවර වෙලා එයාට ටිකක් ඉන්න කියන්න “
එහෙම කියලා මං ලෙක්චර් හෝල් එක පැත්තට ගියේ තවත් එතන රැදිලා විකාර අහන්න අවැසි නැති නිසා.
වෙනදා වේගෙන්ම දවස ගෙවුණා. උඹට නම් දවස හරි දිග ඇති. මට එහෙම හිතුනේ උඹේ ඇස් පුරුද්දට මගේ වටේ දුවනවා දැකපු නිසයි.
එදා දවසට අදාළව ලෙක්චර්ස් ඉවර වෙද්දි මං හෙමීට එලියට ඇවිදගෙන ආවා. පුරුද්දට කොහොමත් උඹ ඉන්න කෝං ගහ යට අදත් උඹ නැවතිලා ඉන්නවා. වෙනදට ඒ දිහා නොබලම මගෑරලා යන මම උඹේ පැත්තට අඩිය ඉක්මන් කරා.
මට ඕනේ උනේ මේ වදකාර සිතිවිල්ලෙන් මිදෙන්න.
“මොකද්ද මේකේ තේරුම ? “
” මොකේද ? “
ඇත්තටම උඹට තිබ්බේ සන්සුන් කටහඬක්. අහන් ඉන්න ආස හිතෙන විදිහේ හිත නිවෙන කටහඬක්. මතක් උනා දිශා දවසක් කිව්වා උඹව නිවන කටහඬක් හොයා ගනින් කියලා.
හිත ගැස්සුනා. උඹේ කටහඬට පුලුවන් ද මාව නිවන්න ? මං මගෙන්ම ප්රශ්න කරා.
නෑ ඕක ඉවර කරලා මෙතනින් පලයන්. හිත කොහේද ඉඳපු කෙනෙක් කෑගැහුවා.
” මං ඔයාට කැමති නෑ. පුදුම වදයක් නේ හලෝ තියෙන්නේ “
රිදෙන ස්වරයෙන්ම වචන කරා.
” තමුන් හිතන් ඉන්නේ ඔහොම වද දිදී පස්සෙන් ආවම මං කැමති වෙයි කියලද ? “
මං එහෙම කිව්වට උඹ කවදාවත්ම උඹ වදයක් උනා කියලා මට හිතිලා නෑ. ඒත් මගේ හිත උඹව තදින් ප්රතික්ෂේප කරා. ඒකට එකම හේතුව උඹ මගේ හිතේ මැවුන රූපේ නොවුණ එක.
“සොරි”
උඹ නිහඬවම ඉඳලා අවසානෙට කිව්වා.
” සොරි කිව්වම හැමදේම හරිද ? කරුණාකරලා ආයේ ඔය විකාර හිතේ තියාගෙන මගේ ඉස්සරහට නාවට කමක් නෑ “
” ආදරේ කරන එක වැරැද්දක් ද ? “
උඹ එහෙම අහද්දී හිත රිදුනා. ඒත් එහෙම නෑ කියලා හිතන්න මං උත්සාහ කරා.
” තමුන්ට ගැලපෙන කෙනෙක්ට ආදරේ කරා නම් වැරැද්දක් වෙන්නෑ “
ආවේගී සිතුවිලි එක්ක මං එහෙම කිව්වා.
” ගළපගන්න බැරි තරම් ඔයා ඈතයි ද ? “
උඹේ අවිහිංසක දෑස් මට ආයේම මතක් කරා උඹව මට ගැලපෙන්නෑ කියල. මට ඕනේ උස මහත නපුරු කොල්ලෙක්.
” ඔව්… මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ. කවදාවත්ම කැමති වෙන්නෙත් නෑ “
මම කොහොම ඒ තරමට නපුරු උනා ද මන්ද.
” මට පුලුවන් තනියම ආදරේ කරන්න “
උඹේ ඇස් වල හීනී කඳුලු පටලයක්. මගේ හිතේ කොණකින් අමුතු වේදනාවක් දැනුනත් ඒ ගැන තැකීමක් කරන්න මට හිතුනේ නෑ.
අහේතුකවම මට උඹව එපා කියන තැනයි මම ඉන්නේ. සමහර විට මං බය ආදරේ කරන්න වෙන්නැති. මට ඕනේ ආදරෙන් පලායන්න වෙන්නැති. ඒ නිසා උඹව ප්රතික්ෂේප කරනවා වෙන්න ඇති.
ඒත් මට ඒ දේවල් උඹට තෝරලා දෙන්න ඕනේ උනේ නෑ. මට ඕනේ උනේ මගේ ඇස් ඉස්සරහට උඹ එන එකත් නවත්තන.
මොකද උඹව දකින හැම තප්පරේම මට රිදුනා. ඇයි කියන්න නොතේරුනත් මං රිද්දගත්තා.
” ඇත්තටම පිස්සු ද ? ඩිග්රි එකක් කරන මනුස්සයෙක් නේද ? ඇයි විහිලුවක් වෙන්නේ ? “
උපරිමේටම දරුණු වචන වලින් මං උඹට පහර දුන්නා.
” මං ආදරෙයි “
එකම වචන දෙක ආයේම ඇහුනා.
” ඇයි ආදරේ කරන්නේ ? හේතුවක් තියෙනවද ? “
මං අහද්දී උඹ බිම බලාගත්තා. මේ තරම් අහිංසක වෙන්න පුලුවන් ද කොල්ලෙක්ට මං එහෙම හිතනකොට ‘ උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ ‘ කියලා හිතේ තව කොනක හිටපු කව්රු හරි කෑගහලා කිව්වා.
” හේතුවක් තියෙනවද මිලාන් ? “
මං ආයේම සන්සුන්ව අහද්දී උඹ ඔලුව ඉස්සුවා එක එල්ලෙම ඇස් මං එක්ක ගැටුනා.
අපහසුවක් දැනුනත් මං ඇස් එහා නොකලේ මගේ දැඩිබව උඹට පෙන්නන්න හිතාගෙන.
ඒත් උඹේ හිනී දිග ඇස් අතරේ මං අතරමං උනා වගේ දැනෙන්න ගත්තේ ඒ ඇස් වලින් මට මාවම පෙනුන නිසා.
‘ උඹව උඹ විදිහට දකින්න පුලුවන් තැනක නතර වෙයන් ‘
කොහෙද කියවපු එකක් ආයේම හිතට ආවා.
නිකමට හිතුනා උඹ දිහා එක පාරක් බලන්න. ලා දම් පාට ශර්ට් එක , කලු කලිසමට උඹ හැඩයි. ඒත් හිත පිළිගන්න කැමති නෑ.
ශර්ට් එකේ උඩින්ම නොදාපූ බොත්තම් දෙකක් අතරින් පේන පපුවේ තරහා ගියාම ඇදලා රිද්දන්න පුලුවන් විදිහට රෝම පිරිලා.
ගානට කපපු රැවුලෙත් කියන්න අඩුවක් ඇත්තෙම නෑ. කෝං ගහේ අතු අතරෙන් එන හුළඟට එහේ මෙහේ වෙන කොණ්ඩේ අතරින් ඇඟිලි තුඩු යවලා හිනාවෙන්න හිතුනා.
‘ උඹට පිස්සු ද ? ‘
හිතේ කොණකින් ආයේම කෑගහනකොට මං හිත මගේ ලඟට ඇදලා ගත්තා.
” හේතුවක් තියෙනවා “
තව දිග වෙන්න තිබුණ තප්පරයක් තප්පරේකින් නවත්තලා උඹ හඬ අවදි කරා.
” මොකද්ද ? “
තාමත් ඇස් දිහා බලාගෙනම මං අහද්දී හේතුවක් මොකක් උනත් ඇයි මට බැරි උඹට ආදරේ කරන්න කියලා මං මගෙන්ම ඇහුවා.
” අනිද්දා කියන්න ද ? “
උඹ එහෙම අහද්දී නම් හිතට දැනුනේ තරහක්.
” හේතුවක් හොයන්නද දවස් දෙකක් ? “
නෝන්ඩියට වගේ හිනා වෙලා මම අහද්දී උඹ ඇස් වලින් හිනා උනා.
” නෑ… මට පරක්කු වෙනවා. හතරට තාත්තා එක්ක බෙහෙත් ගේන්න යන්න ඕනේ… හෙට ලෙක්චර්ස් නෑනේ ඒ නිසා අනිද්දා කිව්වේ…”
ඔරලෝසුව දිහා බලන ගමන් උඹ එහෙම කියද්දි හිතට ආයේම අමුතු බරක් දැනුනා.
හේතුව උනේ එතකොටත් හතර පහුවෙලා කියලා මං දැනන් උන්නා.
” හා එහෙනම් අනිද්දා කියන්නකො “
මම එහෙම කිව්වේ මාව නිරුත්තර කරන හේතුවක් උඹ හෙට හොයාගෙන එන්න කියලා යටි හිතින් ප්රාර්ථනා කරන ගමන්.
එහෙම ප්රාර්ථනා කරන්න හේතුවක් මට තිබ්බේ නෑ ඒත් මේ කතා කරපු විනාඩි දහය පහලවට මට මහ අමුත්තක් දැනුනා.
” මං යන්න ද එහෙනම් ? “
උඹ ආයේමත් අහනකොට හා කියන්න මං ඔලුව වැනුවා.
” පරිස්සමින් ගෙදර යන්න සංසූ… බුදුසරණයි… “
යන්න හැරුනටත් පස්සේ ආයේම නතර වෙලා උඹ එහෙම කියද්දි මගේ ඇස් විසල් උනේ ඒ ආමන්ත්රණයට.
සංසූ! නිසංසලා උන මට කිසිම කෙනෙක් කිසිම දවසක එහෙම කතා කරලා තිබ්බේ නෑ.
එතනින් එහාට කියන්න වචන මටත් නොතිබුණ නිසා හිනාවෙලා උඹයි මමයි දෙපැත්තට ඇවිදන් යද්දී මට නිකමට හිතුනා උඹව ප්රතික්ෂේප කරපු එක හරි ද කියලා ආයේම හිතලා බලන්න.
” ඉවරයි ද ? “
දීශා එහෙම අහද්දී පටන් ගත්ත විතරයි කියලා කියන්න හිතුනත් ඒක දෙන්න සුදුසු උත්තරයක් නොවෙන නිසා මං නිහඬවම ඇය එක්ක බෝඩිමට ඇදුනා.
දවස වෙනද වගේම උනත් හිතේ අමුතු පෙරලියක් වෙමින් තිබ්බා.
පාඩම් කරන්න හිතක් නැති නිසා කියවන්න පොතක් අරන් ඇඳට වැටුනත් ඒ අස්සෙන් පවා උඹේ මතක එක එක දිගෑරුනා.
මහා වැස්ස දවසක වචනයක්වත් කතා නොකර උඹේ කුඩේ යටින් මාව එක්ක ආපූ විදිහ මතක් උනා.
එදා තමයි අපි මුලින්ම මුණ ගැහුනේ. එදා ඉඳන් අවුරුදු එකහාමරකට වැඩියෙන් උඹ මං වෙනුවෙන් බලන් හිටියා.
යන යන තැන උඹ පස්සෙන් ඉද්දී උඹව වදයක් උනත් උඹ නැති දවසට මගේ ඇස් උඹව හෙව්වේ නෑ කිව්වොත් ඒක රහසක් නෙවෙයි.
ඒත් මගේ හිතේ ඇදුන රූපේ උඹ නෙවෙයි. ඉතින් එහෙම උනකොට මං කොහොමද උඹට කැමති වෙන්නේ. පොත කියවන අස්සෙන්ම මං හිත එක්ක වාද කරා.
මට මාවම සාධාරණීකරණය කරන්න හේතූ දාහක් තිබුණත් උඹ මට පෙන්නපු ලෙංගතුකම ඉස්සර ඒ හැමදේම හරි චූටී කියලා හිත කිව්වා.
‘මං උඹට ආදරෙයි ද ? ‘
උත්තර නැති ප්රශ්නයක් මං මගෙන්ම ඇහුවා. ඒත් හිත ඔව් කිව්වේ නැතත් නෑ කියලා කිව්වෙත් නෑ.
“නිසූ උඹේ ෆෝන් එක රින්ග් වෙනවා දැන් ගොඩක් වෙලා ඉඳලා…”
කල්පනාවෙන් මිදුනේ ඇඟ සෝදගෙන එලියට ආවේ ආපූ දීශාගේ වචන වලින්.
විසන්ධි උන ඇමතුම නාදුනන අංකෙකින් වෙද්දි වෙලාවත් රෑ දහයට ආසන්න නිසාම පෙරලා ඇමතුමක් නොගෙන දුරකතනය තුරුල් කරගෙනම නින්දට වැටුනේ උඹ ගැනම උන සිතුවිලි හිතේ පුරවගෙන.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
” දැන් උඹ ඇස් කරකව කරකව කාවද හොයන්නේ ? “
දවස් දෙකකට පස්සේ පුරුදු කෝං ගහ යට උඹ නැති වෙද්දි එහේ මෙහේ දුවන ඇස් ගැන දීශා අහද්දී මං කිසිවක් නොකියාම තවත් උඹව හෙව්වා.
අසාමාන්ය විදිහේ නරක සිතුවිල්ලක් හිතට දැනුනත් විසිරෙන හිත ආයේම එකතු කරගෙන කෝං ගහ පහු කරන් ආවා.
උඹ නැති එක දවසක් වෙනදට වඩා අසීරුවෙන් ගෙවිලා යද්දී ඇයි උඹ නාවේ කියලා කව්රුත්ම දැනන් හිටියේ නෑ.
යාලුවොත් මහ ලොකුවට නොහිටි උඹ ගැන විස්තරයක් දැන ගන්නේ කොහොමද කියලා මගේ හිත කෑගැහුවා.
අනිවාර්යයෙන්ම ආදරේ කරන්න හේතුව කියන්න පුරුදු උන උඹ අද නෑවිත් ඉන්නෑ කියලා හිත කියද්දි මහ මූසල හැඟීමක් හිත වෙලාගත්තා.
” දිශා අපි මිහිල්ගේ ගෙදර යමුද ? “
මං අහපු විදිහට ඒකී බය වෙලා වගේ මං දිහා බැලුවේ කිසිම දවසක ඒකී එහෙම වචන ටිකක් මගෙන් බලාපොරොත්තු නොවෙන හින්දා.
” මිහිල් ඊයේ රෑ ඇක්සිඩන්ට් වෙලා බං…. ජෙනරල් හොස්පිට්ල් ලූ “
මගේ හිතට ආපූ සිතුවිල්ල ගැන දිශාට කියලා ඉවර වෙන්නත් කලින් අපි ලඟට ආපූ නිසල් එහෙම කියද්දි මට දැනුනේ ලෝකේම එක පාර නතර උනා කියලයි.
ඒ ඇහුන විනාඩියක්වත් පමා නොවී දීශාවත් ඇදගෙන එතනින් ආවේ මට උඹව මේ මොහොතේ දකින්නම ඕනේ කියලා හිත කියද්දි.
එතන ඉඳලා රෝහල ලඟට එනකල්ම මං දෙවියන්ගෙන් ඉල්ලුවේ එකම දෙයයි ඒ උඹව රැකලා දෙන්න කියලා.
අවුරුද්දක් උඹට නතු නොවුණ මගේ හිත ඊයේ ඇස් දිහා බලපු එක තප්පර ගානකට උඹේම වෙලා කියන්න මට ඊටත් වඩා සාධක ඕනේ උනේ නෑ.
උඹේ ඇස් දිහා බලාගෙන උඹ මට ආදරේ කරන හේතුව මොකක් උනත් මං උඹට ආදරෙයි කියන්න ඕනේ කියන හැඟීමෙන් මං උඹව හොයාගෙන ආවා.
ඒත් උඹ ලඟටම ආවම අහන්න ලැබුණ වචන ජීවිතේ පුරාවටම අමතක කරන්න මට බැරි වෙයි ඒ වගේම දරාගන්නත් බැරි වෙයි.
” මිහිල් අපිව දාලා ගියා… “
කව්ද කියලා නොදන්නම කෙනෙක් උඹව හොයාගෙන රෝහලේ කොරිඩෝවක් දිගේ දුවපු මාව නතර කරන් කියද්දි මට හිතුනෙම ඒ විහිලුවක් කියලා.
දුන්න පොරොන්දුව මගින් කඩලා උඹ යන්නේ කොහොමද කියලා මං තාමත් කල්පනා කරනවා.
හිතට දැනුන කම්පනය වැඩි කමටම මට අඬන්න කඳුලු තිබුණේ නෑ.
සුදු පාටින් අපිව සරසලා උඹත් සුදු ඇඳගෙන දිගම දිග ඇස් වහගෙන නිහඬ වෙලා ඉද්දී උඹේ ඉහද්දර ඉඳගෙන මං උඹ එක්ක මිමිණුවා.
මට හිතුනම එදා අහපු හිත නිවෙන කටහඬින් උඹ එක වචනයක් හරි කියයි කියලා. ඒත් උඹ කතා කරේ නෑ.
අවුරුද්දක් මං උඹට දුන්න වේදනාවන් වලට උඹ හරි ලස්සනට පලිය ගත්තා.
මං ආදරෙයි!
කියලා මම මුමුණද්දී උඹ නෑහූන ගානට ඇස් පියාගෙන හිටියා.
මට එකම එක පාරකට උඹ එක්ක කතා කරන්න තිබුණා නම් අහන්න තිබුණා ඇයි උඹ රකින්න බැරි පොරොන්දු මට දුන්නේ කියලා. ඒත් එහෙම බැරි නිසා කඳුලු පිරුන ඇස් වලින් මං උඹට සුභ ගමන් කිව්වා.
හදවත කඩා වැටෙන වේදනාවක් දැනුනත් මට කරන්න දෙයක් ඉතුරු කරලා තිබුණේ නෑ උඹ.
ජීවිතේ මිනිස්සුන්ට දෙවෙනි අවස්තාවක් දුන්නට මට දෙවෙනි අවස්තාවක් නොදෙන්න උඹ නපුරු වෙලා තිබුණා.
ඉතින් උඹ නිහඬවම ඈත් වෙලා යනකම් මං බලන් හිටියා.
මලානික හවසක උඹේ දුම් රොඩු අහසට පාවෙලා යනවා ඈතින් ඉඳන් මං බලාගෙන උන්නා. ඒ පාවෙන දුමට සමානුපාතිකව කඳුලු බිංදු එක එක කඩන් වැටෙද්දි මට මතක කව්රු හරි මාව වත්තන් කරගන්නවා විතරයි.
ඊට පස්සේ සිහිය එද්දි උඹ ආයේම නෑ කියලා හිතෙද්දි උඹ මගෑරලා ගෙවුණ අවුරුද්ද ගැන මං මටම සාප කරා.
” ඇක්සිඩන්ට් වෙලා අරන් ආවම මිලාන් නැති වෙන්න කලින් ඔයාට කතා කරන්නම ඕනේ කිව්වා. මං කෝල් ගත්තා ඒත් ඔයා ආන්සර් කරේ නෑ… “
උඹ මාත් එක්ක කතා කල දිනයේ රැයේ ආ නාදුනන ඇමතුම එසේනම් උඹයි. නිකමට හෝ ඒ උඹේ අවසාන ඇමතුම කියලා මං දැන උන්නා නම් කිසි ලෙසක එය අමතක කොට මග නොඅරිනු ඇති.
” ඊට පස්සේ ඌ මට මේක ඔයාට දෙන්න කිව්වා… නැත්නම් ඔයා හැමදාම ඌ එක්ක තරහින් ඉඳී කිව්වා… “
ලා දුඹුරු පාට සටහන් පොතක් මා අත තබන ගමන් උඹේ මල්ලි කියද්දි මට පෙරලා දෙන්න පිලිතුරු තිබුණේ නෑ.
අවසාන හුස්මේ පවා මාවම රඳවාගත් සෙනෙහසක් අහිමි කරගැනිමේ වේදනාව මට ඕනේවටත් වඩා දැනෙන්න ගත්තා.
” අම්මා නැති උනාට පස්සේ ඉඳලා අයියා ඩයරි ලිව්වා කියලා මං දන්නවා ඒත් කවදාවත්ම මට බලන්න දීලා නෑ තියෙන තැන කිව්වෙත් නෑ … එදා තමයි කිව්වේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ඕනේ ඒ නිසා මේසේ ලාච්චුවේ ඇති ඩයරි එකක් ඒක සංසුට දෙන්න කියලා… “
උඹේ මල්ලිගේ වචන වලින් උඹ මේක මට දුන්නේ මට ආදරේ කරපු හේතුව කියලා දෙන්න කියලා තේරුනත් උඹේ ඩයරිය කියවන්න මට හිතක් තිබුණේ නෑ.
ඒත් අද අවුරුදු හතළිහකට පස්සේ අහම්බෙන් පොත් අස් කරනකොට උඹේ ඩයරිය දැක්කාම මට ඒක දිගාරින්න හිතුනා.
උඹ මට ආදරේ කරපු හේතුවවත් නොදැන උඹ මං වෙනුවෙන් දීපූ අවුරුද්දක කාලේ වෙනුවෙන් අවුරුදු හතළිහක් උඹ වෙනුවෙන් ජීවත් උන මම අද මේක බලන එක හරි ද කියන්න මම දන්නෑ.
ඒත් අද ද හෙට ද කියලා නොදන්න අවසාන හුස්මට කලින් උඹ මට ආදරේ කරපු හේතුව දැනගන්න ආසාවක් හිතට ආයේන එද්දි මං උඹේ ඩයරිය දිගෑරියා.
දූවීලි සුවඳ වැකුන පිටු අතරේ උඹේ අකුරු දකිද්දී කඳුලු ආවත් කඳුලු නතර කරගෙන කණ්ණාඩී දෙක ඇස් දෙකට ළං කරගත්තේ පපුව වේගෙන් ගැහෙද්දී.
පිටු එක එක පෙරලද්දී මගේම අතීතේ මං ඉස්සරහ ඇඳෙන්න ගත්තා.
අවුරුද්දකට වැඩි මතක ගොඩක් ලස්සනට ආයේම මගේ ඇස් ඉස්සරහ මැවුණා.
උඹ අන්තිමට ලියපු පිටුව හරවන්න විතරයි දැන් ඉතුරු. හදවතේ ගැස්ම ඕනේවටත් වඩා වැඩි වෙලා. මම හෙමිහිට පිටුව පෙරලුවා.
මුතු කැට කියන්න බැරි උනත් උඹේ ලස්සනම අකුරෙන් ඒ පිටුවත් ලියැවිලා.
2008 – 03 – 20
උඹ අද මගෙන් ආදරේ කරන්න හේතුවක් ඇහුවා මැණික. අවුරුද්දක් තිස්සේ උඹව ඇස් මායිමේ තියාගෙන ආදරේ කරන හේතුව උඹ මගේ අම්මා වගේ උන එක කියලා මං හෙට උඹට කියන්නම්.
චූටී කාලේ අම්මගේ ළඟ දැනුන සුවඳම එදා උඹ එක්ක කුඩේ යටින් යද්දී දැනුන දවසේ ඉඳලා මම හුස්ම ගත්තේ උඹ මගේ කරගන්න.
අවුරුද්දයි දවස් විසි නවයක්ම මාව රිජෙක්ට් කරත් අද මං උඹේ ඇස් වලින් වෙනසක් දැක්කා.
සමහර විට මම වැරදි වෙන්න පුලුවන්. උඹ අනිද්දට හේතුව අහලත් මාව රිජෙක්ට් කරන්නත් ඉඩ තියෙනවා. එහෙම උනොත් මං උඹෙන් ඈතට යනවා ආයේ වදයක් නොවෙන්නම.
‘ මැණික උඹේ ඇස් වල
එක පාරක් මම දැක්කා මාවම
උනත් නොවුනත් උඹ මගේම
මට විස්වාසයි,
මගේ අවසාන හුස්මෙත්
ඉන්නේ උඹම විතරයි….!’
සංසූගේ මිහී….
අවසාන වචන එක්කම මට ඉකිගැහෙන්න ගත්තේ උඹ කිව්වා වගේම ආයේ නොයෙන්නම ගියා නේද කියලා හිතුනාමයි.
උඹට තිබ්බා අපිට ඒ තරම් නපුරු නොවෙන්න. ආදරයක් නැති උනත් ලෙංගතුකමකින් හිනාවෙන්න තිබුණා අපිට උඹ හිටියා නම්.
ඒත් උඹ ගිහින්…
උඹ නොදන්න එක දෙයක් තියෙනවා. උඹ නොකියාම ගියාට මං අවුරුදු හතලිහක් තිස්සේ උඹ එනකල් බලන් ඉන්නවා.
උඹ ආයේම නොයෙන බව හොඳටෝම දැනගෙන මං උඹ එනකල් බලන් ඉන්නවා. එකම එක වතාවකට මට සමාවෙන්න කියන්න.
ඒ උඹට ආදරේ නොකරට නෙවෙයි උඹට නපුරු උනාට. හිතේ ආදරයක් බලෙන් ඇති කරන්න බැරි උනාට මට තිබුණා උඹට අහංකාර නොවී ඉන්න. එහෙම උනා නම් මට අද හිනාවෙන්න තිබුණා උඹ කලින්ම ගියත් සතුටින් ගියා කියලා.
ජීවිතේ සමහර දේවල් තේරුම් ගද්දී උඹ වගේම මාත් හුඟාක් පරක්කුයි.
ඉතින් මං බලන් ඉන්නම් සංසාරේ කවදාමහරි මට සමාවෙන්න කියලා උඹට කියන්න.
” උඹේ සමුගැන්ම හදවත පුරාවට
අතිශයින්ම වේදනාව ගෙන දෙන්නේ
යළි ඔබ මා හමුනොවන වග
ඉඳුරාම මා දන්නා නිසාය,
ඉඳින් මේ බවයේ නොහැකි නිසාම
මගහැරී ගිය සෙනෙහස රැගෙන
යලි හමුවෙමු දිනෙක පුරුදු ලෙංගතුකමින්…!”
උඹේ දිනපොතේ උඹටත් හොරාට එසේ ලියා තබා උඹෙත් මගෙත් පොරොන්දුවක කතාව එලෙස නිම කරමි.
නමුදු හුස්ම මා වටා තිබෙනා තුරු උඹට අකාරුණික වූ මගේ හදවතට මම සමාව නොදෙනු ඇති…!
මේක ඉල්ලීමක්,
සෑම සමුගැනීමක්ම ආදරණීය කරන්න…
කිසිම නැවතුමක් ළඟ වෛරය ඉතිරි නොකරන්න…
රකින්නට බැරි පොරොන්දු හදවතින් නොදෙන්න…
සෑම කෙනෙකුටම කාරුණිකවන්න….
නුඹට මේ මොහොතේ හමුවෙන සියල්ලටම සිනාවක් ඉතිරි කරන්න…
සිනාවක් විය නොහැකි නම් වේදනාවක් නොවී ඉන්න….!
අවසානෙට ආදරේ කරන්නවත්
ආදරේ ප්රතික්ෂේප කරන්නවත්
හේතු නොවිමසන්න….!
කොයි තරම් අසීරූ උනත්
සිනාසී සමුදෙන්න පුරුදු වෙන්න….!
උපුටා ගැනීම: තා රා