ඒ කඩවසම් නලුව මාව වේදිකාවට කැදවාගෙන ආවා. මම ඇදල හිටියෙ රෝස පාට දිලිසෙන ගවුමක්, ගවුමත් බිම දිගේ ඇදීගෙන මම සින්ඩරෙල්ලා වගේ වේදිකාවට ආව. එහා ගෙදර පැටී, කලූ පල්ලෙහා ගෙදර කිරී, රනා, දොලෙන් එගොඩ රතූ මගේ නම ගහපු ටී ශර්ට් ඇදගෙන වේදිකාව පිටිපස්සෙ ඉදන්
” බුද්දිමා , බුද්දිමා, බුද්දිමා” කියල කෑගහන්න ගත්තා.
අපේ අම්මයි තාත්තායිත් ඉස්සරහ පේලියෙ වාඩි වෙලා හිටියා කදුලු පුරෝගෙන. නංගි පේන්න හිටියෙ නෑ. එයා ඉතින් අමුතු ජාතියෙනෙ. පුංචිල, මල්ලිලා, බැනර් උස්සන් පිටිපස්සට වෙලා හිටියා. එකෙක් නමේ අකුරක් උඩයට මාරු කරල අල්ලන් හිටපු නිසා නම එක පාරටම කියවගන්නත් බැරි උනා. චික් මුන්ට මේකවත් කරන්න බැරි හැටි.
” ඉතින් බුද්දිමා , ජනතා පරමාදිපත්ය ඔයාව අවසන් වටය දක්වා ඉදිරියට ගෙන යන්න තෝරල තියෙනවා. මේ වෙලාවෙ මොනවද ඔයාට කියන්න තියෙන්නෙ.”
මම අවිහිංසකව නලුව දිහා බැලුවා.
” මම ඉස්සර රොටරියෙ දංගල්ල සර්ගෙ ක්ලාස් යනකොට ඔයත් ඒකෙ හිටියා. ඒ කාලෙනම් ඔයා ඔය තරම් ලස්සන නෑ. කෙට්ටුයි.”
” නෑ නෑ මම ගැන නෙමෙයි ප්රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නෙ, හරි අපි මේ විස්තරයෙන් පස්සෙ ඒකට කන් දෙමුකො.”
වේදිකාවෙ ලොකු තිරයෙ අපේ ගෙදර දිස්උනා. අපේ ආච්ච්.
” මේ ඉන්නෙ මගෙ ලොකු මිණිපිරී, සිංදු කියන්න අපේ පරම්පරාවම හරිම හපන්නු. ඉස්සර අපි කට්ටිය ලොරියක අනුරාධපුරේ ගියා. එනකං යනකං ඔය එක පිරිමියෙකුටවත් බැරි උනා මාත් එක්ක කවි කියන්න. ඒ කාලෙ මං හරි කවිකාරි. ඉතින් ඒ ආච්චිගෙ නම ලෝකෙටම ගෙනියන්න අපේ කෙල්ල ඇවිල්ලා, පුතේ උඹ ඔය කිරුල අපට කොහොම හරි අරං වරෙන්”
ඊලගට අපේ පුංචිගෙ කෙල්ල, ඒකි තාම පොඩි එකී.
” මම තමයි ටීවි එකේ මේ ඇඩ් එක යනව දැකල අක්කට ඉල්ලුම් පත්තරයක් දැම්මෙ. මාත් කවදහරි ලොකු උනාම මේකටම එන්නයි හිතන් ඉන්නෙ” ටිකිරි හඩින් ඈ කිව්වා.
අපේ ත්රී වීල් පාක් එකේ මල්ලිලත් ත්රී වීල් කරකවල පොඩි සංදර්ශනයක් දැම්මා.
” මේ පාරෙ කොයි වෙලාවෙ මෙතනින් ගියත් මේ අක්කියගෙ සිංදු තමයි ඇහෙන්නෙ, අක්කියො ඔයා ඔය කිරුල සමයන්ගලට ගේන්නම ඕන” මල්ලිය කිව්වා.
අල්ලපු ගෙදර රොසලින් නැන්දත් මයික් එක ලගට පැනල කෑගැහුව
” දුවේ ඔයා අපි වෙනුවෙන් ඕක ගෙදර ගේන්න ඕන, මේ නැන්ද මග බලං ඉන්නව”
කාලෙ බෝතලයක් අරන් දුන්න හිච්චි මාමත් වැනි වැනී ” ජය අපටයි අපේ පලාතටයි ” කියල කෑ ගැහුවා.
ඔයින් ගියා මදැයි. ඒ සංදර්ශනෙත් ඉවර උනා.
” ඉතින් බුද්දිමා ඔබ එදා ගායනා කරපු ගීතයට විනිසුරු මඩුල්ලෙ විශිශ්ටයන්ගෙන් වගේම ප්රේක්ෂකයන්ගෙනුත් විශාල මනාප සංඛ්යාවක් ලැබුනා. කියමුද බලන්න අදත් ඒ ගීත කොටසක්”
” අයියෝ ඕ ඕ ඕ….
මේ ගංගා ජලාශේ ගිලිලා නැසීල”
මම තාලයට අඩිය තියන ගමන් ගීතය කිව්වා.
විනිසුරු මඩුල්ලෙ හිටපු ගායිකාව මලකුත් අරං ඇවිල්ල මාව බදාගත්තා.
” යූ ආර් මාවලස්, ඕ මයි ගෝඩ්, මටනම් හිතාගන්නත් බෑ. ඕල් ද බෙස්ට්” කියපු ඇය මට වේදිකාවෙදිම සුභ පැතුවා. හතර අතින් මට සුභ පැතුම් ගලා ආව.
මට සුභ පතන්නම මගේ ඔස්ට්රේලියාවේ හිටපු මිතුරියක් ඇව්ත් තිබුනා ලංකාවට, ලංකාවෙ ඉන්න දෙන්නත් ඒ එක්කම ඇවිත් හිටියා.
” මේ බලන්න, මේ බලන්න අපිට ගලන සතුටු කදුලු , මේ තමයි ලංකාවෙ අනාගතය, අපි ඒක රැක ගන්න ඕන, යූ ආ අමේසින් ඩාලින්”
රට ඉදන් ආපු යාලුව කිව්වා. එක්කෙනෙක් කණ්නාඩි කුට්ටම ගලවල ටිශූ කොලයකින් කදුලු තෙත මාත්තු කරා. අනෙක් එක්කෙනා මල් මාලයක් දැම්මා. ඒකි තාම ඉස්සර වගේ ඈත ඉදන් මල් මාලෙ මගෙ කරට වීසි කරල මල් මාලෙන් මාව ඒකිගෙ ලගට ඇදල අරගෙන සුභ පැතුවා. ඉස්සරත් ඔය වගේ වැඩක් කරොත් ඉවරයි.
සූම් තාක්ෂණය මගින් අනිත් තුන් දෙනා සම්බන්ධ කරල තිබ්බා, එංගලන්තෙන්, ජපානෙන් හා ඔස්ට්රේලියාවෙන්.
” මේ ඉන්නෙ මගෙ ගුරු එයා තමයි මට ස,රි,ග,ම .. හෝඩියෙ මුලකුරු කියල දුන්නෙ. ගෝ අ හෙඩ් බඩී” එංගලන්තෙන් කිව්වා.
ජපානෙ ඉන්න යාලුව කතා කරන්න හදනකොට එයාගෙ මහත්තයත් එතනට ඔලුව දැම්මා. යාලුව මහත්තයව එහාට තල්ලු කරන ගමන් ” පොඩ්ඩක් එහාට වෙලා ඉන්නකො අමිල” කියල කිව්ව එකත් හැමෝටම ඇහුනනෙ. එයත් මට සුභ පැතුවා.
ඔස්ට්රේලියාවේ එකී නම් ච්ත්රකාරිනෙ, තේරෙන්නෙ නැති චිත්රයක් ඇදල තිබ්බා මම සිංදු කියන වගේ එකක්. එයා සුභ පතපු විදිය හරි ක්රියේටිව් කියල කට්ටියම කිව්වා.
මගේ වාරෙ අවසන් උනා. නලුව ඊලග තරගකරුව කැදෙව්වා.
” දැන් මීලගට වේදිකාවට පැමිණෙන්නේ රාජගිරියේ සිට පැමිනි ජගත් කුරේ”
ඈ අපේ මනුස්සයා, මෙයා කොහෙද මෙහේ. කලබලේට මාව වේදිකාවෙන් බිමට වැටුනා.
ජගත් මට නැගිටගන්න අත දුන්නා පහත් වෙලා.
” මෙච්චර ඇදේ ඉඩ තියෙනවා, ඒත් තාම බිමට වැටෙනවනෙ, නිදාගන්නත් නෑ ” එයැයි කිව්වා.
( ප.ලි. හුදෙක් රස විදීමට පමනක්ම ලියන ලදී. වෙනස් ලියවිල්ලක් ලියන්න හිතුන නිසා ලියන ලදී)
උපුටා ගැනීම: Buddhika Abeysundara