සිංහල යක්ෂණී (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මගෙ මතක අස්සෙ තියෙන කවදාවත් අමතක නොවන සිදුවීමක් . ජාතිවාදය කියන්නෙ නිකම්ම නිකම් වචනයක් විතරයි යාලුකම්, හිතවත්කම් සහ බැදීම් ඉස්සරහ කියල කියන්න හොදම උදාහරණයක් තමා මේ කතාව.
මීට අවුරුදු එකොලහකට විතර කලින් , ඒ කියන්නෙ යුධ ගිනි දැල් නිවී ගිය අලුත 2009 අග භාගයේ වගේ, අවුරුදු තුනක ඍජුකරණ හා අංගාදේශක තාක්ෂණය හා සම්බන්ධ පුහුණුව අවසානයේ පත්වීම් ලැබෙනකම් රාගම රණවිරු සෙවණෙ රණවිරුවන් වෙනුවෙන් ස්වේච්ඡා පදනමින් සේවය කරමින් හිටිය මාව සහ මගේ මිතුරෙක්ව කොලඹ ජාතික රෝහලේ විකලාංග කාර්මික අංශයට කැදවනව හදිසියේම ඒ අංශයට පැමිණෙන රෝගීන් සංඛ්යාව ඉහල යාම නිසා. අපි එතැන සේවයට ගිහින් සතියක් විතර යනකොට එක්වර පාද අහිමි වූ රෝගීන් විස්සක් විතර රැගෙන එනව ඒ අංශයට, ඔවුන් කිලිනොච්චිය ප්රදේශයේ රෝහලකින් එවූ බවත් මතකයි .ඔවුන් සියල්ලන්ම පිරිමි රෝගීන්, එක් රෝගියෙක් එක්ක හිටියා පුන්චි දරුවෙක්,විකලාංග චිකිත්සක අංශයේ ඒ වන විට සේවය කල කාර්යමණ්ඩලයේ හිටිය සියල්ලන් පිරිමි අය , මාව විශේෂයෙන් කැදවල තිබුනේ කාන්තා රෝගීන් වෙනුවෙන්ම .ඒ නිසාම වෙන්න ඇති ඒ කිලිනොච්චියෙන් ආව රොගීන් අතර කිසිවෙක් මට භාර දුන්නෙ නෑ .ඒ නිසා අනිත් අය රොගීන් පරීක්ෂා කරන අතර මං අර පුන්චි දරුවට ළං උනා. කොහෙ හරි පොඩි එකෙක් දැක්ක ගමන් ලගට ගිහින් කෝලංකරන පුරුද්දක් ඒ කාලෙ ඉදන් තිබුන. මේ අයව වාට්ටුවෙ ඉදන් රැගෙන ආව රෝහල් සේවකයො කියන කතාත් කනින් කොනින් ඇහුන .ඒ කතා වලට අනුව දරුවගෙ අම්ම සහ පව්ලෙ අනිත් හැමෝම යුද්ධයෙන් මිය ගිහින්, පාදය අහිමි වී ඇති පියාත් එල්.ටී.ටී සාමාජිකයෙක් කියල තමා කතා වුනේ. ආවෙ කිලිනොච්චියෙ ඉදල නම් කොහොමත් ඒ කාලෙ හැමෝටම කොටි ලේබලේ වැදුන. ඉතින් ඒ කතා අහල මේ පොඩි දරුව ගැන ලොකු අනුකම්පාකුත් හිතේ ඇති උනා. බිම බලාගෙන ඉදල ටිකෙන් ටික මගෙ දිහා බලල හිනාවෙන දරුව ගැන ඇතිවුන ආදරේ නිසාම දරු පැටිය ලගට ගිහින් දරුවගෙ අතින් අල්ල ගත්ත . ඒ වෙනකන් අපි දෙන්නගෙ අතර උන සන්නිවේදනය දරුවගෙ පියාගෙ අවදානයට ලක් වෙලා තිබුනෙ නෑ. මං දරුව ලගට ගිය ගමන් ඒක දැක්ක දරුවගෙ පියා මහ සද්දෙට දරුවට සැර කරලා දෙමළ භාෂාවෙන් මොනවදෝ කිව්ව. දරුව බියෙන් තාත්තා ලගට දිව්ව. හුගක් අපහසුවට සහ දුකට පත් උන මං ඒ ස්ථානයෙන් ඉවත් උනා.ඒ කාලේ ඉතින් පුන්චි දේවල් වලටත් ගොඩක් හිත රිද්දවගන්න වයසක තමා මාත් හිටියෙ.සිද්ධිය දැකපු අය මගෙ හිත් හැදුව අර නපුරු මනුස්සයට බැන බැන.ඇත්තටම ඒ මිනිස්සු බහුතරයක් කොළඹ ආව පළවෙනි වතාව. ඔවුන්ව කොටි සංවිධානයට බදව ගැනීමේ අරමුණින් ,, 8සිංහල මිනිස්සු කියන්නෙ මිනී කන යක්ෂයො වගේ ජාතියක් කියල ඔලුවට දාලා නෙවෙයි පොවල තිබුනෙ.ඉතින් පුදුමයක් නෑ යක්ෂණියෙක් තමන්ට ඉතුරු වෙලා ඉන්න එකම දරුව ළගට එනකොට කොයි තාත්තටද තරහ යන්නෙ නැත්තෙ,ඒත් ඉතින් ඒ ආකල්පය නැති කරන්න ඒ වෙලාවෙ මට බැරි උනා මොනවත්ම කරන්න.
කොහොමහරි මටත් ආව අවස්තාවක් මම කොලඹ ඉන්න සිංහල යක්ෂණීයක් නෙවේ කියල ඔප්පු කරන්න.ඒ කතාව තමා දැන් මේ කියන්නෙ.
මං ඇයට තමිලිනී කියල කියන්නම්. අර මුලින් කියපු රෝගීන් ගෙනත් සති දෙක තුනකට පස්සෙ තමා තමිලිනීව අපේ අංශය වෙත කැදවන් එන්නෙ. ඒ අංශයේ හිටිය එකම කාන්තා නිලධාරිනිය වුන මට ඇයව භාර උනා . තමිලිනීත් මගෙ වයසෙම විතර ඇති. රෝද පුටුවක ඉදගෙන හිටිය තමිලිනීගෙ එක් පාදයක් දණහිසට මදක් පහලින් ඉවත් කරල තිබුන. ඇගේ සායන වාර්තා කියවල බලල ඇගෙත් එක්ක කතා කරන්න උත්සහ කලත් තමිලිනී නෙවේ ඔලුව වත් උස්සල බැලුවෙ, බිමට රවාගෙන හිටිය. වාට්ටුවෙ ඉදල ඇයව රැගෙන ආව සහායිකාව ඇය ගැන නිල නොලත් වාරතාවක් මගේ කනේ තිබ්බ. ඇය කියපු විදිහට තමිලිනී කියන්නෙ එල්.ටී.ටී සංවිධානයයේ ප්රබලයෙක්ගෙ නිවසක හිටිය සේවිකාවක්. යුද්ධයෙන් පස්සෙ ඇගේ කවුරුවත් ඉතුරු වෙලා නෑ . වාට්ටුවෙදිත් කිසි කෙනෙක් එක්ක කතා කරන්නෙ නෑ. ඒත් තමිලිනීව දැක්කම මට හිතුනෙම ඒ ඉන්නෙ ගෙදරක වැඩකාරකම් කරපු කෙනෙක් වෙන්න බෑ කියලමයි. ඇය යම් තරමකට හෝ ඉගෙන ගත් කෙනෙක් විය හැකියි කියලත් හිතුන. ඉතින් මුල් දවසෙ තමිලිනී දැක්කෙත් නෑ එයත් එක්ක කැඩිච්ච් දෙමලෙන් කතා කරන්න උත්සාහ කලේ කවුද කියලවත්.ඇයි එයා ඔලුව උස්සල බැලුවෙ නෑනෙ. ඊට පස්සෙ කෘතිම කකුලක් සවි කිරීම සදහා ඇගේ කකුලෙ ඉතුරුවෙලා තියෙන කොටසට කල යුතු දේවල් සම්බන්ධව අපි කියපු දේවල් දෙමල භාෂාව දන්න කෙනෙක්ට කියල ඇයට පරිවර්තනය කරල දුන්නත් ඇය ඊට කිසිම අවධානයක් දෙන බවක් පෙන්නුවෙ නෑ.ඒත් කියන දේවල් අහන් ඉන්නව කියලා නම් තේරුනා.
ඊළග දවසෙ ආවම මෙයා එක්ක වචනයක් හරි කතා කරනව කියල හිතුවත් එදත් වැඩේ හරි ගියෙ නෑ. බිම බලන් හිටිය .හැබැයි මෙයා අපි දුන්න උපදෙස් පිළිපැදල තියෙනව කියල නම් තේරුනා එයාගෙ කකුල පරීක්ෂා කලාම.ඒත් මගෙ ඉස්සරහ ඉන්න මගෙත් එක්ක කතා නොකරන මගේම වයසෙ ඉන්න තරුණිය හිතට මහා බරක් එක් කලා. මං හිතුව සමහරවිට මෙයා මගෙත් එක්ක තනියම හිටියොත් කතා කරයි කියල .ඒත් ඉතින් ඒක කරන්නෙ කොහොමද මට දෙමළ බෑනෙ. ඉතින් මන් එදා ගෙදර ගිහින් මගෙ දෙමළ ජාතික යාලුවෙක්ට කතා කලා. කතා කරල මට තමිලිනීගෙන් අහන්න ඕනෙ ප්රශ්න එකින් එක දෙමළෙන් අහන විදිහ අහල පොතක ලියාගත්ත. තමිලිනී ආවම ඒ පොතත් අරගෙන ලගට ගිහින් අර ප්රශ්න අහන්න ගත්ත. එදා වෙන කාටවත් කතා කලෙත් නෑ. ඒ නිසා එතන හිටියෙ අපි දෙන්න විතරයි .මට වැරදුනත් අව්ලක් නෑ කාටවත් ඇහෙන්නෙ නෑ. මගෙ ඉස්සරහ ඉන්නෙ කතා කරන්න පුලුවන් වෙලත් ගොලු චරිතයක් රගපාන කෙනෙක්. ඉතින් මම බය නැතුව පොත බල බල ප්රශ්න අහනව. ඇය මුලින් ඔලුව උස්සල මගෙ දිහා බැලුව ඒකත් ඉතින් වෙලාවෙ හැටියට ලොකු දෙයක්නෙ.මං හිතන්නෙ එයා මාව හරියට දැක්කෙත් ඒ වෙලාවෙද කොහෙද , මාත් ඉතින් දත් තිස්දෙකම පෙන්නල හිනාවුනා.මට ඕනෙ කරල තිබුනෙ මං යක්ෂණියෙක් නෙවේ මනුස්සදුවක් කියල ඔප්පු කරන්නනෙ, ඉතින් මං හොදට හිනාවුනා . ඒත් අපේ කතානායිකාව නම් නෝ සිනා නෝ කතා. හැබැයි එයා මගෙ මුණ දිහා වැඩිය නොබැලුවට මගෙ ඇදුම දිහා හොදට බලනව දැක්ක.මට අහන්න ඕනෙ උනා එයාගෙන් මගෙ සාරිය ලස්සනද කියලා.මං දන්නව සාරියට දෙමලෙන් කියන්නෙ සාරි කියල මයි කියල , ලස්සනට කියන වචනෙ ඒ කාලෙ දැනන් හිටියෙ නැ.ඉතින් මං ඇහුවා පුලුවන් විදිහට “නාන් සාරියා නල්ලමා??….. බියුටිෆුලා??……. ලස්සනා??……… හිනා යනව නේද ?ඉතින් ඒකම තමා තමිලිනීටත් උනේ හිනාවෙන්න දන්නෙ නෑ වගේ හිටිය තමිලිනීට හොදටම හිනා ගියා මගේ විකාර භාසාව අහල . කාල වර්ණ ඇය ඇත්තටම ලස්සන තරුණියක්, හිනාවෙනකොට හරිම සිරියවන්තයි. ඉතින් ඒක තමා ආරම්භය …. එයා ඉස්සරහ ඉන්නෙ තරමක් මොන්ගල් චරිතයක් කියල දැනුනම එයාගෙ හිතේ තිබ්බ අර ” සිංහල යක්ෂණියෙක් ” කියන ආකල්පය දුරු වෙන්න ඇති , ඊට පස්සෙ තමිලිනී අපි ළගට එන හැම වතාවෙ මං එයත් එක්ක මොනවහරි කතා කලා. මගෙ අර යාලුවගෙන් කියන විදිහ අහගෙන එයාට දෙමළ භාෂාවෙන් කිව්ව මං දෙමල වැරැද්දුවම , හරියට කියන විදිහ මට කියල දෙන්න කියල,එහෙම කරන එක මට කරන ලොකු උදව්වක් බවත් ඇගෙව්ව. ඒක කිව්වම එයා හිනාවෙලා ඔලුව වැනුව .
මේ වෙනකොට අපි තමිලිනීගෙ කෘතිම පාදයේ මුල් අදියර ඉවර කරල තිබුනෙ,කොහොමහරි කකුලෙ මුල්ම ෆිටෝන් එක කරන කොට එයා මං කියන දේවල් වල වැරදි හොයල හිනාවෙන එක ප්රථම රාජකාරිය කරගෙන තිබින. මං වරද්දනකොට හරි දෙමළ වචනෙ කියලත් දෙනවා. ඔය අතරෙ දවසක් වෙනත් රාජකාරියකට ආව ගමන් තමිලිනීගෙ වාට්ටුවෙ හිටිය හෙද සහෝදරියක් මට මුණගැහෙනව. ඇය කිව්ව අපි වාට්ටුවෙ ඔක්කොම ඔයා ගැන දන්නව තමිලිනීගෙ මිස් කිව්වම. ඔන්න අපේ කට්ටිය බැන බැන ඉන්නෙ දැන් වාට්ටුවෙ සේලයින් බෝතල් බට බේරගන්න බෑ කියල. මේක මට හතර බීරි කතාවක් වාට්ටුවෙ සේලයින් බෝතල් එක්ක මගේ තියෙන සම්බන්දෙ මොකද්ද කියල මං ඒ වාට්ටුව පැත්තට වත් ගියෙත් නෑ.ඉතින් මං ඇහුව ඒ ගැන .එයාල කිව්ව ඒක කියන්න බෑ . තමිලිනී මට සර්ප්රයිස් එකක් දෙන්න යන්නෙ කියල. මටත් හිතාගන්න බෑ සේලයින් බට වලින් මට දෙන්න යන සර්ප්රයිස් එක, හිතේ කුතුහලය වහගෙන ඉවසිල්ලෙන් හිටියා.ඔන්න ඔහොම කාලෙ යන කොට තමිලිනී මගෙ හොද යාලුවෙක් වෙලා අපේ යාලුකමට තියෙන එකම බාදාව තමා භාෂාව , එහෙමයි කියල නිකන් හිටියෙ නෑ මම හැමෝගෙම හිනාවට ලක්වෙමින් මගේම ඌරුවට දෙමළ භාෂාවෙනුත් තමිලිනී අංගචලනයෙනුත් අදහස් ප්රකාශ කළා.රටේ ලෝකෙ කොතැන උනත් මොන ආගමේ ජාතියේ උනත් කාන්තාවන් ට කතා කරන්න පොදු මාතෘකා තියෙනව.තමිලිනී ගොඩක් වෙලාවට මං අදින සාරි,පළදින ආබරණ නියපොතුවල ගාන කියුටෙක්ස් වගේ දේවල් ගැන තමා කතා කලේ.ඒව ගැන කතාකරද්දි අපි භාෂාව බාදකයක් කර ගත්තෙත් නෑ. මේ වෙනකොට කොහොම හරි තමිලිනීගෙ කෘතිම පාදය හදල අවසන් වෙලා තිබුනා. ඉස් ඉස්සෙල්ලාම එයාගෙ කෘතිම පාදය කකුලට දාපු වෙලාවෙ එයාගෙ ඇස් වල කදුලු පිරුණා.ඒක නම් තමිලිනීට විතරක් නෙවේ. ඒ තත්වෙට මුහුනපාන හුගක් අයට සිදු වෙන දෙයක්.පාදයක් අහිමි වෙනව කියන්නෙ කාට උනත් දරා ගන්න පුලුවන් දෙයක් නෙවේ. ඉතින් අපේ රාජකාරිය උනේ ඒ අඩුව තවත් ඒ ජීවිතේට නොදෙන එක.ඒ කාලෙ ජාතික රෝහලේ විකලාංග කාර්මිකාරය තිබුනේ ඉතාම දුප්පත් මට්ටමක, ඉහල තාක්ෂණයෙන් යුතු කෘතිම පාද නිෂ්පාදනය සම්බන්ධ පුහුණුවක් ලබා තිබුනත් අපිට තිබුන අඩු පහසුකම් මත ඇයට හොදම මට්ටමේ පදයක් ලබා දීමට හැකියාවන් නොතිබුනත් තිබෙන අවම පහසුකම් ,අමුද්රව්ය සහ උපාංග හාවිත කරමින් ලබා දිය හැකි ඉහලම මට්ටමේ කෘතිම පාදයක් ඇය වෙත ලබා දීමට අපිට හැකි උනා.
තමිලිනී ඉතා ලජ්ජාශීලී තරුණියක්, ඇය කෘතිම පාදය තම පාදයට පලදින අවස්ථාවල පිරිමි කවුරුවත් ළගපාත ඉන්නවට අකමැතියි. ඉතින් තමිලිනීගෙ ෆිටෝන් එකට හැම වෙලාවෙම එයාගෙ ලග හිටියෙ මාත් එම අංශයේ සිට් වයස්ගත සහායිකාවත් විතරයි. මට මතකයි මුලින්ම කකුල දාල එයාව කෘතිම පාදයෙන් නැගිට්ටවපු වෙලාව.මම හරි බයෙන් හිටියෙ හදිසියේ වත් ඇය වැටුනොත් මටත් අර වයස්ගත කාන්තාවටත් අල්ලගන්නත් හරිම අමාරුයි .ඉතින් ඇය හිටගත්තා නැවතත් දෙපයින්….වැටෙයි කියල බයට මගෙ අතින් තදින්ම අල්ල ගත්තා .මං මට පුලුවන් විදිහට ඇයව දිරිමත් කලා. මන් ඇයව ධෛර්යමත් කරන්න දෙමළ වචන කියනකොට තමිලිනීට හිනා යනව එයා,හරිම ධෛර්යයවන්ත ගැහැනු ළමයෙක්. හරි ඉක්මනින් ඇවිදින්න පුරුදු උනා.ඉස්සෙල්ලම තනියම ඇවිදින්න ගත්ත වෙලාවෙ ඇස් වල කදුලු පුරවගෙන මගෙ දිහා බැලුව.ඒ ඇස් ඇතුලෙ කියන්න බැරි ගොඩක් දේවල් හිරවෙලා තිබුනා.
විකලාංග කාරමිකාගාරය භාරව හිටිය කළමනාකාරවරයාටත් ලොකු උවමනාවක් තිබුනා තිබුන අවම පහසුකම් උපරිමයෙන්ම යොදවල තමිලිනීට හොදම පාදයක් ලබා දෙන්න. කාර්මිකාගාරයේ සේවය කල හැමෝම ඒකට මහන්සි ගත්තා. කවුරුත් කිව්වෙ නෑ දෙමළ තරුණියක් නිසා ඇයට හොද පාදයක් දෙන්න ඕනෙ නෑ කියලා.ජාතිය කියන්නෙ නිකම්ම නිකන් වචනයක් මනුස්සකම් ඉදිරියේ.
ඉතින් දැන් තමිලිනී හොදට ඇවිදිනවා. එක දවසක් උදේ මං රොගියෙක්ව පරීක්ෂා කරමින් ඉන්න කොට තමිලිනීව වාට්ටුවෙන් රැගෙන ආව සහායිකාව මගෙ ළගට ඇවිත් කියනව “ඔන්න මිස් අද මෙහෙට එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ,උදේ මාව දැක්ක වෙලාවෙ ඉදන් අතින් පයින් කියනව ඇවිත් මෙහෙට එක්ක යන්න කියල ඔන්න දැන් ආවම මිස් පේන්න නැති නිසා මූණත් හරි නෑ” කියල. ඉතින් මං හිතුව මේ ළමයට දැන් ඇවිදින්න පුලුවන් නිසා එයාගෙ කකුල දාන්න තියෙන ආසාවට වෙන්න ඇති කියල.එහෙම හිතල කිව්ව මං එනකන් එයාට ආධාරක ඇතුලෙ ඇවිදින්න දෙන්න කියලා.ඒත් මං ටික වෙලාවකින් යනකොට එයා රෝද පුටුවෙම ඉන්නව බලාගෙන ,මාව දැකල මූණෙ ලොකු හිනාවක්,අතෙත් මොනවහරි තියෙනව .මං ළගට ගියා විතරයි අතේ තිබුන දේ මගෙ දිහාට දික කළා.මං ඇහුව මොනාද කියල .මුකුත් නොකිය ටිකක් ආඩම්බර පාට හිනාවක් දැම්ම.මටත් ඉතින් ඉවසිල්ලක් නෑ.ඔක්කොම වැඩ පැත්තකින් තියල බැලුව මොනාද තියෙන්නෙ කියල.මට හිතාගන්න බැරි ලස්සන බිත්ති සැරසිල්ලක් ඒකෙ තිබුනෙ,දන්නවද මොනවයින්ද හදල තිබුනෙ කියලා ,සේලයින් බට සහ පුන්චි බෙහෙත් කුප්පි වලින් , මට ඒ වෙලාවෙ තමා තේරුනේ අර වාට්ටුවෙ සේලයින් බට තියාගන්න බැරි උන කතාවෙ තේරුම.ඒක මං ජීවිතේ විදපු හැබෑම සර්ප්රයිස් එකක්.ඒකට ස්තුතියි කියල විතරක් දෙමලෙන් කියන්න මම දැනන් හිටිය.කියන්න තව ගොඩක් දේවල් තිබුනත් කියාගන්න බැරි උනා බාසාව නොදන්න නිසා
ඉතින් ආරංචි උනා තමිලිනී ඊට පස්සෙ ඒ වාට්ටුවෙ හිටිය ගොඩක් අයට ඒ වගෙ සැරසිලි හදල දුන්න කියල.මුවින් වචනයක්වත් කතා නොකරපු කෙනා පස්සෙ හැමෝගෙම ආදරේ දිනා ගත්ත කෙනෙක් වෙලා තිබුන.
ඉතින් රෝද පුටුවෙන් අපි ළගට ආව තමිලිනී ඇවිදගෙන ආපහු ගියා යන්නම යන්න.අපි ළගට එන හුගක් රෝගීන් එහෙම තමා,මෙතන වෙනස කතා නොකර ගොලුවෙක් වගේ ආව තමිලිනී, බාසාව බැරි උනත් හොදට කතා කරල යාලුවෙක් වගේ සමුගෙන ගිය එකයි.ඒක එයාට වගේම අපිටත් වේදනාත්මක සමුගැනීමක් උනා. හුගක් රෝගීන් යනකොට දුරකතන අංකය ඉල්ලුවත් අපි පුද්ගලික අංක දෙන්නෙ නෑ.ඒත් මම තමිලිනීට දුන්න මහෙ පුද්ගලික දුරකතනය අංකය . ඒත් කතාකරයි කියල බලාපොරොත්තුවකින් නෙවේ. ඉතින් තමිලිනී ආපහු ගියා, එයාව මෙහෙට එවපු රෝහලට ආපහු යවන්න ඇති.එතනින් කොහෙට ගියාද දන්නෙ නෑ. ගිහින් මාසෙකට විතර පස්සෙ,ගෙදර හිටිය දවසක මට කෝල් එකක් එනව ,කතා කලාම කෙනෙක් තවකෙනෙක්ට දුරකතනය දුන්න බව තේරුනා,ඊට පස්සෙ පුරුදු කටහටක් ඇහුන .මිස් මම තමිලිනී, සිංහලෙන්ම කිව්ව.අනේ මට හරි සතුටුයි .එප්පඩි සුහම් කියල මම ඇහුව නල්ලුම් කියල ඒ පැත්තෙන් කිව්ව….එච්චරයි තව කොච්චර නම් අහන්න දේවල් හිතට ආවද කොහොම අහන්නද බාසාව නොදැන.ඒ ළමයටත් එහෙමම දැනෙන්න ඇති.කතාකරන්න පුලුවන් අපි දෙන්නම ගොලුවො කලා භාෂාව කියන බාදකය…..
ඉතින් ඊට පස්සෙ කවදාවත් කතා කලේ නෑ.කතා කලා කියල වැඩක් නැති නිසා වෙන්න ඇති……ඔන්න ඔහොමයි එකම රටේ,එකම වයසෙ යාලුවන්ව භාෂාව දුරස් කලේ, ඒත් හදවතේ හැමදාම ඒ අපූරු මිතුරිය රැදිලා ඉදීවි…….
උපුටා ගැනීම: Lahiru Achinthika

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!