ලෝකයේ පැරණිම වෘක්ෂවලින් එකක් වෙන්නේ ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ. ලාංකීය බෞද්ධ ජනතාව දුකක් කරදරයක්, ලෙඩක්, ග්‍රහ අපල දෝෂ ඇතිවුණු විගසම පිහිට පතන්නේ බෝ සමිඳුන්ගෙන්. දුක් මහන්සියෙන් වගා කටයුතු කරලා ලබාගන්නා අස්වැන්නෙන් අග්‍ර කොටසින් කිරිපිඩු දානයක් පිස පුජා කරන්නේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට. දුමින්දාගමනයත් එක්ක ලැබුණු බෞද්ධ සංස්කෘතියේ විශේෂම සංස්කෘතියක් මේ බෝධීන් වහන්සේ සමඟ නිර්මාණය වෙල තියෙනවා. සෑම පුද බිමකම බෝධීන් වහන්සේ කෙනෙක් වැඩ සිටින්නේ ඒ නිසා. ඉතින් අනුරාධපුර මහමෙව්නාවේ උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වැලි මළුවේ හිඳ වන්දනා කරන්නට අද කාන්තා පාර්ශවයට අවකාශ නොමැති වීම ගැන බොහෝ අවස්ථාවල කතා බහට ලක්වෙනවා .
ඇතැමුන් එය බැහැර කරන්නේ කාන්තාවන්ට එවැනි තහනමක් නොමැති බැව් කියමින්. නමුත් භික්ෂුණීන් වහන්සේලා පවා ප්‍රකාශ කරන්නේ උඩ මළුවට ගොස් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්නට එතුමියන්ට පවා අවස්ථාව අහිමි කර ඇති බවයි. නමුත් විවාදයට තුඩු දෙන කාරණය වෙන්නේ එය තීරණය කරන්නේ පුද්ගලයාගේ සමජ මට්ටම හා තරාතිරම අනුව වීම නිසාවෙන්.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්කම ලක්දිව බුදු දහමින් පෝෂණය වුණා. ඉන්පසු ලක්දිව කාන්තාවන්ගේ පැවදිවීමේ අපේක්ෂාව සඵල කරවන්නට මිහිඳු හිමිගේ දැනුම් දීමෙන් තම නැගණිය වුණු සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවූවා. ඉතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමඟ කාන්තා පාර්ශවය තියෙන්නේ සමිප බැඳීමක්. මොකද අද ලෝකයම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියත් අතීතයේ ඉඳලම පුරුෂාධිපත්‍ය සමඟ බැදුණු ඉතිහාසයක් තමයි උරුමවෙලා තිබුණේ. ඒ නිසා දුමින්දාගමනයත් එක්ක කාන්තාවට ලැබුණු සමාන තත්ත්වය අද වෙද්දි නැවත වෙනස් පැතිකඩක් කරා යොමු වෙච්ච් බව මේ කතා බහවලින් වැටහෙනවා.
කිලි සංකල්පයත් එක්ක කාන්තාවන්ට බොහෝ සීමා පැනවිලා තියෙනවා. දළදා වහන්සේ වැඩ සිටින දළදා මන්දිරයට යන්නටත් කාන්තාවන්ට තහංචි පනවා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද කතා කරන මේ ප්‍රස්තුතයට අනුව සිරිමා බෝ සමිඳුන් වැඩ සිටින උඩ මළුව කාන්තාවන්ට තහනම් ස්ථානයක්.ඒත් බොහෝ අයට අමතක වෙලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවූයේ කාන්තාවක් වුණු සංඝමිත්තා තෙරණින් වහන්සේ බව. ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩම වූයේ හේමමාලා කුමරියගේ කෙස් කළබේ සඟවා බව බොහෝ අය අමතක කරලා. ඉතින් ඔය අද බොහෝ අය කියන විදියට කිලි කියන දේ සෑම කාන්තාවකටම පොදුයි.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරවීමෙන් පසුව සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවනු ලැබූ එක් අරමුණක් වුණේ කාන්තා පැවිද්ද ලබාදීම. ඒ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙදෙනෙක් සඳහා. ඒ නිසාවෙන් සඟමිත් තෙරණියත් ශ්‍රී මහා බෝධි ශාඛාවත් ,කලා විශාරදයන් ,18 කුලයක ශිල්පීන්,උගතුන් විශාල පිරිසක් දඹදිවින් ලක්දිවට ගොඩ බැසීමෙන් ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ පදනම වැටුණා.ඒ නිසා ලංකාවේ බුද්ධ ශාසනයත්,සංස්කෘතියත් පිළිබඳව විශේෂ ගෞරවයක් ස්ත්‍රී පාර්ශවයට හිමිවිය යුතු වෙනවා.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා මාන කරන්නට කාන්තාවන්ට උඩ මළුවට පිවිසෙන්නට වරම් අහිමි කළත් ජය ශ්‍රී මහා බෝධීන් වහ්න්සේගේ අරක්ෂාව වෙනුවෙන් කාන්තාව බොහෝ කැපකිරීම් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ජය ශ්‍රී මහා බෝධී අංකුරය මෙරටට වැඩවීමේදී සයුර මැදදී නාග ලෝකයේ නාගයින් බෝධි ශාඛාව පැහැර ගන්නට උත්සාහ කළා. ඒ නාගයන් බෝධින් වහන්සේ නාග ලෝකයට ගෙන ගොස් සතියක් පුද පූජා පැවැත් වූ බව සඳහන් වෙනවා. ඒ වගේම නාගයින්ගෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලබා ගන්නට සංඝමිත්තා තෙරණින් වහන්සේ ගුරුළු වේශයක් මවාගත් බවත් කියවෙනවා.

ලංකාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමේදී අශෝක රජතුමා සිය මෙහෙසිය වුණු වේදිසා දේවියගේ සහෝදරවරුන් බෝධීන් වහන්සේගේ ආරක්ෂක කුමාරවරුන් ලෙස ලංකාවට පිටත් කර හැරියා. ඒ කුමාරවරු අතරින් ප්‍රධානියා බෝධිගුප්ත වුණා. දේවානම් පියතිස්ස රජතුමා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව මහාර්ඝ වගකීම භාර කළේත් මොහුට.
ඒ වගේම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට හා වත් පිළිවෙත් ඉටු කරන්නට උතුම් පූජනීය මෙහෙවරක් උදෙසා සුදුසු පරපුරක් අනාගතයට දායාද කරන්නට දඹදිව සිට පැමිණි සාමණේරින් වහන්සේ නමක් කැපවුණා. ඒ සංඝමිත්තා තෙරණින් හා සමඟ මෙරටට වැඩම කළ බෝධිමිත්තා තෙරණියගේ නැගණිය වූ සුනන්දා සාමණේරීන් වහන්සේ. ඉතින් සාමණේරියකව සිටි ඇය සිවුරු හරවා බෝධිගුප්ත තෙරුණ්ට සරණ පාවා දුන්නේ ජය සිරිමා බෝධීන් වහන්සේ සඳහා ඉටු කළ යුතු වූ මෙහෙවර උදෙසා.
එදා ඒ ස්ත්‍රීයක් කරපු කැපකිරීම් නිසා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නට බෝධි ආරක්ෂක පරපුරක් නිර්මාණය වුණා. විවිධ ආක්‍රමණ බලවේග හමුවේ රාජ්‍ය අනුග්‍රහ දක්වන්නට රාජ්‍ය පාලකයන්ට අවකාශ ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් ඒ රට අරාජික වුණු දුර්භික්ෂ ඇති වුණු කාලයන්වල දී බෝධීන් වහන්සේ වන සතුන්ගෙන් වගේම ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කළේ මේ බෝධිගුප්ත පරපුරේ ඇත්තන්.
බෝධි වන්දනාවට ඔවුන් ආවේ මල් තෙල් විතරක් අරගෙන නොවෙයි. විවිධ වන සතුන්ගෙන් මදුරුවන්ගෙන් වෙන පීඩා දුරු කරගෙන බෝධීන් වහන්සේ අරක්ෂා කරන්නට දර මිටිත් බැඳගෙනයි.ඒ කාලයේ දී ඒ දර මිටිත් පූජා භාණ්ඩයක් විදියටයි සලකනු ලැබුවේ.රාජ රාජ මහාමාත්‍යවරු නොසිටි නොපැමිණි කාලයේ දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දිවි දෙවැනි කොටා ආරක්ෂා කරපු ආවතේව පරපුරටවත් අද උඩමළුවට යන්නට අවසර නැති බව පැවසෙනවා. ඒ බව ඔබ අසා පුරුදු මේ ගීතයෙනුත් ප්‍රකාශ වෙනවා.
- දර මිටි බැන්දා – රෑ නිදි වැරුවා
- ගිනිමැල ගහගෙන රැක සිටියා
- එහෙව් අපිට අද- එන්න තහංචි ද
- ජය සිරිමා බෝ හාමුදුරුවනේ
ඉතින් එදා ඒ පරපුරේ පුරුෂයන් පමණක් නොවෙයි ස්ත්‍රී පරපුරත් උතුම් ජය සිරිමා බෝ හාමුදුරුවන් රකින්නට දර මිටි බැඳගෙන එන්නට ඇති. දිවා රෑ නොබලා වෙහෙසෙන්නට ඇති. ඉතින් අද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවපු, එය දිවි හිමියෙන් අරක්ෂා කරපු කාන්තා පාර්ශවයට උඩ මළුවට යන්නට අවසර අහිමි වෙලා තියෙනවා. ඒ විදියට තහංචි පනවලා තියෙන්නේ කිලි සංකල්පය නිසා නම් එය සාධාරණ තීරණයක් වෙන්නේ නැහැ. නමුත් දකින්නට තියෙන්නේ ඉහළ සමාජ මට්ටමක් තියෙන ධනවත් අයට පමණක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින උඩ මළුවට යන්නට අවසර හිමි වීමයි. එහිදී ඒ කාන්තාවක් ද පුරුෂයෙක් ද යන්න විමසන්නේ නැහැ.
මෑත ඉතිහාසය ගත්තහම ඒ වගේ බලයට නිලයට උඩමළුවට ගොඩවුණු අය ගැන දැන ගන්නට ලැබෙනවා. ඒත් සිහියේ තබා ගත යුතු කාරණය වෙන්නේ ලංකාවට බුදු දහම ගෙන ආවේ බුදුන් ජීවමාන කාලයේ නොවන වගත් බෝධීන් වහන්සේ වැඩම කරවන ලද්දේ බුදුන් සේ සලකා වන්දන මාන කරන්නට බවත්ය. ඒ නිසා බලසම්පන්න වෙච්ච් පලියටවත්,ධනවත් වුණු පලියටවත් එක් පැලැන්තියකටවත් විශේෂයක් කිරීම නිවැරදි දෙයක් නම් නෙවෙයි.

බෞද්ධයෝ විධියට ජීවිතයේ එක පාරක් හරි උඩමලුවට ගොඩවෙලා දුක කියාගන්න, හිත නිවාගන්න පෙරුම් පුරන බොහෝ අය අතරේ කාන්තා පාර්ශවය අමතක කරන්නට හොඳ නැහැ. වෙනත් නිල බලයෙන් පරිපූර්ණ වෙච්ච කාන්තාවන්ට ඒ අවස්ථාව ලබා දෙන්නත් සාමාන්‍ය පොදු ජනතාව විදියට අනික් කාන්තාවන්ට ඒ අවස්ථාව නොලැබෙන්නටත් කටයුතු සිද්ධ කිරීම සාධාරණ වෙන්නේ නැහැ. කොහොමවුණත් අද ජය සිරිමා බෝ හාමුදුරුවෝ වැඩ සිටින උඩ මළුවට යන්නට අවසර තියෙන්නේ අවසර ලත් සීමිත පිරිසකට විතරයි. ඒ පුද පූජා කටයුතු කරන අය ඇතුළුව. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්නට යන සෑම පිරිමි පාර්ශවයේ අයවලුන්ට උඩ මළුවට යන්නට අද අවසර නැහැ. ඒ නිසා කාන්තාවන්ටත් ඒ අවස්ථාව හිමිවෙන්නේ නැහැ.
ස්ත්‍රීන් පහත් කොට සැලකීමක් විදියට වැරදි මතවාද සමාජගත විය යුතු වෙන්නේ නැහැ. ජය සිරිමා බෝ රජාණන් වහන්සේ පෙනෙන මානයේ සිට අපිට වන්දනා කරන්නට පුළුවන්.ඒ සඳහා ඕන කරන්නේ සිතේ ශ්‍රද්ධාව භක්තිය විතරයි. බුද්ධ ගෞරවයෙන් බෝ සමිඳු දිහා බලාගෙන හිත නිවාගන්නට කාටවත් තහනමක් නැහැ. අනික උඩ මළුවට සෑම දෙනාටම යන්නට අවසර දුන්නොත් බොහෝ අය ඒ ස්ථානය වගකීමකින් විනීතව වන්දනා කරයි ද . ලෝක උරුමයක් විදියට සලකන ජය ශ්‍රී මහා බෝධිය භාරව ඉන්න අංශ බොහෝ ජනකායකට බෝධීන් වහන්සේ නිරාවරණය කරන්නට කැමති නැහැ.ඒ මේ බෝධීන් වහන්සේට හානි සිදුවිය හැකි නිසා.
ඒ නිසා කාන්තා පිරිමි සැමදෙනාටම උඩ මළුවට යෑමේදී යම් යම් සීමා තියෙනවා. ඒ සීමාවන්ට යටත්ව සුව කරන්නට බැරි අසනීප ඇති අයෙකුට, වගේ අවසරයක් ඇතිව කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශවයටත් උඩ මළුවට යන්නට අවසර තියෙනවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින උඩ මළුව කාන්තාවන්ට පමණක් තහනම් වන පිරිමින්ට අවසර හිමිවෙන ස්ථානයක් නොවන වග මතකයේ තබා ගත යුතු වෙනවා.
උපුටා ගැනීම: The Lanka Post