සිරිපා කරුණාව සිංහල බෞද්ධයන් වගේම් විදේශීය ජනතාවත් මහත් භක්තියෙන් එකතු වෙන වන්දනා ගමනක්.බෞද්ධ ජනතාව මේ සිරිපා අඩවියේ අධිපති සමන් දෙවියන් කියලා තමයි විශ්වාස කරනු ලබන්නේ.ඒ බව පූජාවලියේත් සඳහන් වෙනවා.ඒත් ජිනකාලමාලිය කියන පාලි පොතේ සඳහන් වන විදියට නම් මේ සිරිපා අඩවියට රාමා, ලක්ෂ්මණ, කතරගම ,සමන් කියන දෙවිවරු හතරදෙනාම අධිපති බව කියනවා.
කොහොමවුණත් සිරිපා අඩවිය ගැන කතා කරද්දි සමන් දෙවියන්ගේ අඩවිය කියල තමයි හැමෝම කතා කරන්නේ.බුදුන් වහන්සේගේ පළමුවන ලංකා ගමනය වුණේ මහියංගනයට නේ.බුදුන්ගේ පළමු ලංකා ගමනයේදී ම සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් බණ අහල සෝවාන් වෙලා තියෙනවා.ඒ වගේම බුදුන්ගේ දෙවන ලංකා ගමනයේ දීත් සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් ධර්මය අහල තියෙනවා. බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කරන්නේ සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනයේ දී. සමනල කන්දට ගිහින් සිරිපතුල වන්දනා කිරීම අපහසු බව බුදුන් වහන්සේට වැටහිලා තියෙනවා.ඒ වෙලාවේ සමන් දෙවියෝ සමනල කන්දට එන බැතිමතුන් රැකදෙන බවට පොරොන්දු වෙලත් තියෙනවා. සමනල අඩවිය වගේම කන්ද උඩරටට සහ බින්තැන්නට යනතුරු මහවැලි ගංතීරය දෙසටත් සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පැතිර තිබෙන බව විශ්වාස කරනවා.
දෙවන පැරකුම්බා රජ්ජුරුවන්ගේ කාලයේ හිටපු දේවපතිරාජ කියන ඇමතිවරයා සමන් දෙවියන්ගේ දේව රූපයක් හදලා පූජා කරලා තියෙනවා. මේ රූපය හදල තියෙන්නෙ සඳුන් ලීයෙන්. ඒත් සිරිපා අවාර කාලයේලු. ඒ නිසා ඒ ප්‍රතිමාව ගල් පොත්තාවල කීර්ති ශ්‍රී රාජසිංහ රජ මහා විහාරයේ තැන්පත් කරලා තිබුණා. සිරිපා වන්දනා කාලයට සිරිපා කන්දේ තියෙන සමන් දෙවියන්ගේ දේවාලයට මේ ප්‍රතිමාව වඩම්මනවා.ඒකට කියන්නෙ දෙවි හාමුදුරුවෝ වැඩමවීම කියලා.
සිරිපා මළුවේ සමන් දෙවියන්ව සිහි කරලා මාස හයක්ම පූජා පවත්වනවා.ඊට අමතරව බුද්ධ පූජාවත් පවත්වනු ලබනවා. පැන් කළ අටකින් බදාදා සෙනසුරාදා වගේ කෙම්මුර දවස්වලට සිරිපාද පද්මය දෝවනය කරනවා.දේවාලයත් පිරිසිදු කරලා , මුළු මළුවම සුවඳ වතුරෙන් සෝදලා, සඳුන් මුසු කිරි පැන් ඉහිනවා. ඊට පස්සෙ තමයි බැතිමතුන්ට සිරිපා වන්දනාවට අවසර ලැබෙන්නේ.
සිරීපාද වන්දනා කාලය උඳුවප් පෝයෙන් ආරම්භ වෙලා වෙසක් පෝයෙන් ඉවර වෙනවා. මේ සිරිපා කාලෙට නල්ලතන්නිය නැත්නම් සීත ගඟුල් කඩමණ්ඩිය රෑ දවල් වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී යනවා. අවාරෙට සිරිපා වන්දනාවේ යන්නේ සත්තු. අලි රංචු විතරක් නෙවෙයි දිවියොත් මේ කාලෙට සමනල අඩවියේ සැරිසරනවා. සිරිපා කාලයේ දී කැලෑ රොදවල්වල ඉන්න කුරු අලි අවාරෙ දී සිරිපා කඳු මුදුනටත් යනවා.
සිරිපා අවාරෙ කාලෙ දැඩි වර්ෂාව ,සැඩ සුළං,දැඩි සීතල,අකුණු ගැසීම්, කුණාටු, පඩිපෙළ දිගේ ගලා එන දැවැන්ත ජල පාරවල් වගේම ගස් කඩා වැටීම් වෙනවා. ඒ නිසා සමනල අඩවිය බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන්නේ සිරිපා කරුණා කාලයේ දී විතරයි.
පරිවාර කඳු බොහෝමයකින් සමන්විත සිරිපා කඳුවැටිය අඩි 7360 ක උසකින් යුක්තයි. කඳු මුදුනේ ඉඳල බලන කොට හරිම ලස්සන දර්ශනයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. සිරිපා කඳු මුදුනින් ගලාගෙන එන සීත ගඟුල් හා කුඩා සීත ගඟුල් සීත ගඟුලෙ දී එකතු වෙනවා. සිරිපා කන්ද බොහෝ පොත් පත්වල ඉතා ඉහළින් වර්ණනා කරලා තියෙනවා. එවැනි ග්‍රන්ථයක් තමයි පාලි සමන්තකූට වර්ණනාව කියන්නේ. එයට අනුව නම් සිරිපා අඩවියේ සියලුම ගස් වැල් සිරිපාද පද්මය දෙසට නැමී ඇති බව කියනවා. ඈත අතීතයේ විදාරණයට ලක් වෙලා අක්‍රීය වුණු යමහලක් විදියටත් මේ සිරිපා කන්ද ගැන කියවෙනවා. මිනිස් වාසයෙන් තොර මේ සිරිපා අඩවිය බොහෝ අනුහස් හා හාස්කම් ඇති ගුප්ත ප්‍රදේශයක් ලෙසයි පැරැන්නෝ හඳුන්වා තිබෙන්නේ .
මේ සමනල අඩවිය හා බැඳුණු කතා අපමණයි. ඒ සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැඳුණු කතා මෙන්ම සිරිපා වන්දනාවේ යන බැතිමතුන් මුහුණ දුන් ඒවා ද වෙයි. සමන් දෙවියන්ගේ අඩවිය ඉතාම ශුද්ධ භූමියක් ලෙස සලකන බැතිමතුන් සිරිපා කරුණාව ආවාට ගියාට නොකරයි. පිළී ජාති , නොකා කිල්ලට හසු නොවී පෙහෙවී මේ ශුද්ධ භූමියට පැමිණීම බැතිමතුන්ගේ සිරිතයි. මේ අඩවියේ ඇති හාස්කම් ගැන දන්නා කිසිවෙක් නම් ආවාට ගියාට මේ භූමියට පිවිසෙන්නේ නැහැ.
සිරිපා අඩවිය කරුණා කරන බැතිමතුන් විතරක් නොවෙයි අවට ගම්වල ඇත්තන් ද මේ සමන් දෙවියන්ගේ අඩවියේ හාස්කම් අත් විඳලා තියෙනවා. ඒ හාස්කම් ගැන ඕනෑ තරම් කතා අපිට අහන්න ලැබෙනවා. අපි බලමුකෝ මේ සිරිපා අඩවියේ හාස්කම් මොනව ද කියලා.
ඉස්සර පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් මේ සිරිපා අඩවියේ අවට ගමේ කීප දෙනෙක් එක්ක දැන හැඳුනුම්කමක් ගොඩ නගා ගත්තා.අවුරුද්දකට විතර පස්සෙ මේ කපුවට ඕන වුණා හිමේ ගරන්න යන්න. හිම කියල කියන්නෙත් මේ සිරිපා අඩවියටයි. කපු මහත්තය තව කීප දෙනෙක් එක්ක සිරිපා අඩවියට ගිහින් වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් ගත්තා. මේ ශුද්ධ භූමියට පිලී ජාති ගෙනියන්නේ නැත්තේ සමන් දෙවියන්ගේ අඩවියේ තියෙන බලගතු හාස්කම් නිසා. ඒත් මේ කපු මහතා කරවල පිළී ජාතිත් අරගෙන ගිහින් හිටියේ. ඉතින් දවසක් උදේ කන්න උයලා තියලා ගරන්න ගිහින් හවස දෙකට විතර වාඩියට ආවලු. ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ පණුවො ගහලා.මේක දැකල බයවුණු පිරිස ආයේ ගමට එන්න ආවා. ඒත් කපුවට ගමට එනකොට පිස්සු හැදුණලු. කවදාවත් සනීප කරන්න බැරි වුණු ඒ කපුවා පිස්සුවෙන්ම මැරුණලු. සිරිපා අඩවියේ හාස්කම් එහෙමයි.
කට වරද්දා ගැනීම මේ අඩවියේ දී නොකළ යුතු දෙයක්. ඒ නිසා සිරිපා අඩවියට ඇතුළු වෙන අය “ගිහින් එන්නම් ”කියල කියන්නේ නැහැ. “සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටින් යන්නම් ” යැයි පමණක් කියයි. සිරිපා කරුණාවේදීත් තුණ් සරණේ කවි ගායනා කරමින් සමන් දෙවියන්ගේ ගුණ සිහි කරමින් යාම තමයි සිරිත. දෙවියන් බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිසුන්ට සමනල අඩවියේ කරක් ගහන්න බෑ. එක්කො පාර වැරදෙනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා. එහෙමත් නැත්නම් පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ. මේ සමනල අඩවිය අවට ගම්වල වැඩිහිටියෝ මේ අඩවියේ තියෙන බලගතු හාස්කම් ගැන කියන කතා තමයි ඒ.
ඒ විතරක් නෙවෙයි මේ සිරිපා අඩවියෙන් ඇද වැටෙන ඇලි හත මාලිබොඩ කියන ගම්මානයට අලංකාරයක් ගෙන දෙනවා විතරක් නෙවෙයි ඒ දිය ඇලි හතම හාස්කම් තියෙන තැන්ලු. සමනල අඩවියේ දිවියෝ , අලි, කොටි, වලස්සු විතරක් නෙවෙයි, නයි පොළොන්ගු වගේ සර්පයොත් ඉන්න බව මිනිස්සු කියනවා. ඒත් සමනල අඩවියේදී මේ සතුන් දැකපු අය ඉතාම අඩුයි. ඔවුන් කියන විදියට ඒ සමන් දෙවියන්ගේ බලගතු හාස්කම්වල පිහිට තමයි.
වරක් සිරිපා අඩවියට ගිය පිටගංකාරයෙක් සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්න කියලා. එතකොටම ළඟ තිබුණ බට පදුර බිඳින ශබ්දයක් ඇහිල තියෙනවා. බට පදුරු බිඳින්නේ අලියා කියලා හිතලා කට්ටියම බයවෙලා දුවලා.ඒත් ඇවිත් බලනකොට අලියා ඉඳල නෑ. කට වරද්ද ගැනීම සමන් දෙවියන්ගේ උදහසට ලක්වෙන කාරණාවක්.
සමනල අඩවියේ හාස්කම් ගැන කතා කරද්දි බෙලිහුල් ඔය ගලගම ප්‍රදේශයේ හිටපු කිරි අප්පුහාමි කියන උපාසක උන්දැ සම්බන්ධ කතාවත් ඉතාම ජනප්‍රියයි.එතුමා සිරිපා කරුණා කරද්දි කට වරද්දා ගත්තු නිසා දහතුන් වතාවක් එතුමාට සිරිපා කරුණා කරන්න බැරි වුණාලු. ඉතින් අන්තිමේ ඔහුට සිරිපා කරුණා කරන්න පුළුවන් වුණේ කිරිමැටියෙන් චෛත්‍යයක් කරන බවට වෙහෙරගොඩ පන්සලට කරපු භාරයෙන් පසුවයි.
තවත් හාස්කමක් ගැන කියවෙන කතාවක් සිරිපා අඩවිය ඇසුරෙන් අපට හමුවෙනවා. ඒ ගිනිගත්හේනට නුදුරු සිල් මාතාවක් තවත් සිල් මාතාවන් සමඟ සිරිපා කරුණාවේ යෙදෙන අවස්ථාවේ. සිරිපා කරුණා කරන අවස්ථාවේ වරක් නැවතී ගිමන් හරිද්දී දෙපා ඉදිමී තුවාලවලින් කකුල් වැසී ගත් මහල්ලෙක් සිල් මාතාවන් පසුකර පිය ගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළා. මහලු තුවාලකරු දුටු සිල් මාතාවට ඔහු ගැන දැඩි පිළිකුලක් ඇති වුණා. ඔහු සිරිපා කරුණා කරන්නේ කොහොම ද කියල සිල් මාතාවෝ කතා බහ කළා. මේ අතරේ නැවත ටික දුරක් ගමන් කරල මේ සිල් මාතාවෝ නැවත ගිමන් හරින්න නතර වුණා. මේ වෙලාවේදීත් අර තුවාල ඇති මහලු මිනිසා නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පතා ඔවුන් පසු කර ගියා. තුන්වෙනි වරටත් මේ විදියටම සිදු වුණා. සිල් මාතාවන් කල්පනා කළා මේ මහලු මිනිසා මෙතරම් ඉක්මනින් කොහොමද ආවේ කියලා. ඉතින් සිරිපා මුදුනට ආපු පිරිස සිරිපාදය වන්දනා කරල ඉඩ ඇති තැනක වාඩිවෙලා භාවනා කළා. ඒ වේලාවේ සිල් මාතාවගේ මුහුණට එක්වර ආලෝකයක් පතිත වෙලා දරුවා මං නුඹට තුන් සැරයක් කතා කළා මතක ද කියල ආපු හඬත් එක්කම ආලෝකය අතුරුදහන් වෙලා. මේ සිල් මාතාව එය අඩවියේ හාස්කමක් කියලා හිතලා ඉතා භක්තියෙන් සමන් දෙවියන්ට පින් දුන්නලු.
මේ සිරිපා කන්දේ දී ඉතා කලාතුරකින් ඝන්ටාර හඬක් වගේ ශබ්දයක් ඇසෙන බවත් ඒ ශබ්දයෙන් යම් අසුබ දෙයක් දැනුම් දෙන බවත් ගම්මු කියනවා. ආර්.එල්. බ්‍රෝහියර් ඔහුගේ කෘතියක සඳහන් කරන්නේ මෙවැනි ශබ්දයක් සිරිපා කන්දෙන් අවසන් වරට නිකුත් වුණේ ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන බව කියූ අනාවැකිය බවයි.
සිරිපා කරුණාව සිදු නොවන අවාරයේදී හිමයේ සිටින්නේ මුරකරුවන් දෙදෙනෙක් පමණයි. කිසිවෙක් සිරිපා කරුණා නොකළත් ඇතැම් දිනවල හිමිදිරි පාන්දර සිරිපා පද්මයට පූජා කරන මල් ඔවුන් දැක තිබෙනවා. ඇතැම් අවස්ථාවල විශාල නඩයක් එන ශබ්ද පවා ඔවුන්ට ඇසී තියෙනවා. පසළොස්වක පොහෝ දවස්වලටත් බෙර හඬ, සක් හඬ නිතර ඇහෙනවලු.වරක් උපශාන්ත පෙනුමෙන් යුක්ත පැවිදි උතුමෙක් අවාරයේ සිරිපතුල වන්දනාවට පැමිණ මල් පහන් පූජා කරල දැහැනට සමවැදී හිටියලු. මුරකරුවන් ඒ උතුමාට මහත් භක්තියෙන් දහවල් දානය පිළියෙල කරලා පිළිගැන්වුවා. දානය වැළදූ උන්වහන්සේ මුරකරුවන්ට පඩිපෙළ ළග දී සමුදී පිටත් වුණත් මුරකරු නැවත පිටුපස හැරී බැලුවිට කිසිවෙක් සිටියේ නෑලු.
සිරිපා වාරෙ පටන් ගන්න කලින් සමන් දෙවියන් සිරිපා කන්දේ සමන් දේවාලයට වැඩම කරවන්නේ ආවතේවකරුවන්ගේ කර පිටින්. සමන් දෙවියන් නල්ලතන්නියට වැඩම කරවද් දී ධනවත් සල්ලි තියෙන අය ප්‍රතිමාවට රන් මාලා දානවා. තමන්ට සෙතක් ශාන්තියක් බලාපොරොත්තුවෙන් තමයි මේ විදියට කරන්නෙ. මේ කාර්යය වසරකට වරක් කරන කටයුත්තක්. කලින් අවුරුදුවල සමන් දෙවි ප්‍රතිමාවට පළන්දන රන් මාලා එකට එකතු වෙලා එක් මාලයක් වෙනවලු. සෑම වසරකම පරණ මාලෙට අලුත් රන් මාලා එකතු වෙනවලු.
මේ විදියට සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වඩම්මන අවස්ථාවක ගිමන් නිවා ගන්න දේව පිළිමය මැස්සක් උඩ තිව්වලු. ඒ වේලාවෙම අහස කළුවර වෙලා සැඩ සුළඟක් එක්ක පොලව යට ගුහාවකින් කළු දෙබරු මතුවෙලා ඔක්කොම වහගත්තලු. කපු මහතාට තේරුණාලු මොකක් හරි වරැද්දක් වුණ බව. පස්සෙ බලද්දි දැක්කේ සමන් දෙවියන්ගේ ප්‍රතිමාව තියල තියෙන්නේ කරවල තිබුණ කඩ බක්කියක් උඩ බව. කපුරාළ වහාම දෙවියන්ට කන්නලව් කරලා කහ දියරවලින් ප්‍රතිමාව සෝදලා පිරිසිදු කලාට පස්සෙ තමයි කළු දෙබරු අතුරුදන්වෙලා අහසෙ අඳුරු බවත් නැති වෙලා තියෙන්නෙ.
සිරිපා අඩවියට එන බැතිමතුන් ආරක්ෂා කරන්න සමන් දෙවියෝ පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා සමන් දෙවියෝ භක්තිමත් වන්දනාකරුවන් ආරක්ෂා කරනවා. ඒවගේම අසංවරව හැසිරෙන, කිලි, පිලී එක්ක සිරිපා අඩවියට එන අයට දඬුවම් ලැබෙනවා. කොතරම් සිරිපා කාලෙට වන්දනාකරුවන් ආවත් සිරිපා මළුවෙ ලොකු තදබදයක් ඇති වෙන්නේ නෑ. ඒ ඉතින් මේ ශුද්ධ භූමියේ තියෙන දේව හාස්කම් . ඒ නිසා කටවරද්ද ගන්නේ නැතුව පිරිසිදු සිතින් සිරිපා අඩවියට ප්‍රවේශ වෙනව නම් සුමන් සමන් දෙවි පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙනවා.
උපුටා ගැනීම: Hela Rahas