සිරිසඟබෝ රජු හිස දන් දුන් සැබෑ අත්තනගල්ල හත්ථිකුච්ඡිය ද? අත්තනගල්ල ද..? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අනුරාධපුර රාජධානියේ රජ කළ සිරිසංඝබෝධි රජු ස්වකීය හිස දන් දුන් ස්ථානය පිළිබඳ මතවාදයන් දෙකක් පවතී. එකක් නම් ඒ වනාහී ගල්ගමුව ආසන්නයේ ඇති හත්ථිකුච්ඡී විහාරය බවයි. අනෙක් මතවාදය නම් ඒ වනාහී බස්නාහිර පළාතේ ඇති අත්තනගල්ල බවයි. නමුත් මෙහි නිවැරදි ස්ථානය කුමක්ද යන්න විමසීම සැබැවින් ම කාළෝචිත යැයි හඟිමි.
සංඝබෝධි රජුගේ ශිල තේජස පිළිබඳ වංශකතා ආදී මූලාශ්ර මහත් අභිරුචියකින් වර්ණනා කර තිබේ. රාජ්යය බලය ලබා ගැනීමේ පිපාසයෙන් ක්රියා කළ ගෝඨාභය රජුගේ ක්රියාකළාපයත්, ඒ අනුව රාජ්යය අතහැර වනගත වන සංඝබෝධි රජුගේ පිළිවෙතත් සංග්රහ කරමින් එළු අත්තනගළු වංශය වැනි ග්රන්ථ පවා රචනා වී තිබේ. සංඝබෝධි රජුගේ හිස දන් දුන් ස්ථානය පිළිබඳ මූලාශ්ර කීපයක ම සඳහන් වේ. මේ ඒ පිළිබඳ තබන සටහනක් වන අතර නිවැරදි අත්තනගල්ල කුමක්දැ’යි විමසීමට ගන්නා උත්සාහයකි.
සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳ පූජාවලී කතුවර බුද්ධ පුත්ර හිමියන්ගේ මතය නම් ‘මායා රට කැළණි මහ වෙහෙරට ඊශාන දෙසින් පිහිටි’ හත්වනගලු වෙහෙර බවයි. (පූජා. 34 පරිච්ඡේදය, 776 පිට) පූජාවලියට අනුව යමින් රාජාවලිය ද මෙම මතයම පිළිගනී. (රාජාවලී, 195 පිට) වන්නි රාජාවලිය ද සඳහන් කරනුයේ සිරිසඟබෝ රජු ‘දකුණු වාසල් දොරින් නික්මී මායා රට අත්තනගලු විහාරයට’ පැමිණි බවයි. (වන්නි රාජාවලිය, 72 පිට)
ඒ වනාහී මායා රට හත්ථවනගලු විහාරයට සිරි සඟබෝ රජු නික්මී ගිය බවට සඳහන් වන ප්රධාන මූලාශ්රයන් කිහිපයකි. නමුත් අප මුල් යුගයේ මූලාශ්ර කීපයක් විමසීමේ දී ඉහත මූලාශ්රයන්ගේ සඳහන් කරුණු පිළිබඳ තරමක සැකයක් ඇති වේ.
දැනට ශේෂ මූලාශ්ර වලින් පැරණිම මූලාශ්රය දීපවංශය යි. නමුත් දීපවංශයේ කිසිදු තැනක සිරිසඟබෝ රජු අත්තනගල්ලට නික්මී ගිය වගක් සඳහන් වී නැත. එමතුදු නොවේ. සංඝබෝධි රජු පිළිබඳ අතිශය කුඩා විස්තරයක් පමණක් ඉදිරිපත් කරමින් දීපවංශය නිහඬ වේ. මහාවංශයේ එන යක්ෂ දමනය, ගෝඨාභයගේ රාජ්යය පැහැර ගැනීම, හිස දන් දීම ආදී කිසිවක් දීපවංශයේ නැත. (දීප.වං, 22 පරිච්ඡේදය, 194 පිට) නමුත් වැඩි විස්තරයක් එන්නේ මහාවංශයේ යි.
මහාවංශය සඳහන් කරන ආකාරයට සංඝබෝධි රජු නගරයේ දකුණු දෙසින් රහසේ ම මාලිගයෙන් පිට ව පළා යයි. (ම.ව, 36 පරිච්ඡේදය, 160 පිට) මහාවංශය පෙන්වා දෙන ආකාරයට සඟබෝ රජු නගරයේ දකුණු දෙසින් පිටව යනවා විනා ගමනාන්තය කොහිදැ’යි සඳහන් කර නැත. මේ පිළිබඳ වැඩි විස්තරයක් එන්නේ එළු අත්තනගළු වංශයේ ය. උක්ත ග්රන්ථයට අනුව සඟබෝ රජු නගරයේ දකුණු වාසල් දොරින් නික්ම පැමිණෙන්නේ ‘ගල්වල් රටට’ ය. එහි අත්තනගලු විහාරය රජුගේ නවාතැන විය. (එළු. අත්ත. වං, 7 පරිච්ඡේදය, 51 පිට)
ඒ කෙසේ වෙතත් දකුණු වාසලින් පිට ව යන රජු මායා රටට යන ලදැ’යි පැවසෙන පසු කාළීන මූලාශ්ර ප්රකාශයන් අභියෝගයට ලක් වන කරුණු කීපයක් එළු අත්තනගළු වංශයේ එයි. ඉන් එකක් නම් දුගී පුරුෂයා පිළිබඳ එන විස්තරය යි. මේ පිළිබඳ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතුන් සඳහන් කරන්නේ වත්මන් රාජාංගනය අසළ නිවැරදි අත්තනගල්ල ඇති බවයි. අනුරාධපුරින් පිටව එන මගියෙකුට දහවල් බතට අත්තනගල්ල තරම් දුරකට යා නොහැකි බව පවසයි. ඒ අනුව වත්මන් රාජාංගනය අසළ පැරණි අත්තනගල්ල පිහිටන්නට ඇතැයි එතුමා අදහස් කරයි.
නමුත් එතුමාගේ ප්රකාශයේ ගැටළුවක් පවතී. කුමක්ද යත් අත්තනගලු වංශය පවසන්නේ මගියා ගල්වල්රට වැසියෙක් කියා මිසෙක අනුරාධපුර වැසියෙක් කියා නොවේ. (එළු. අත්ත. වං, 8 පරිච්ඡේදය, 53 පිට) එසේ ම සඟබෝ රජු නවතින්නේ ද ගල්වල රට බව ඉහත දී ත් සඳහන් කර ඇත්තෙමු. (එළු. අත්ත. වං, 7 පරිච්ඡේදය, 51 පිට) ඒ අනුව ගොඩකුඹුරේ මහතාගේ ප්රකාශය අභියෝගයකට ලක් වන අතර ම සඟබෝ රජුට හමු වන්නේ ස්වකීය ප්රදේශයේ ම වැසියෙකු බව පිළිගැනීමට සිදු වේ.
නමුත් අදාල මගියා රජුගේ හිස රැගෙන සීග්ර ගමනින් ගොස් අනුරාධපුරයේ ගොඨාභය රජුට දැක්වීමේ පුවතින් පැහැදිලි වන්නේ (එළු. අත්ත. වං, 8 පරිච්ඡේදය, 57 පිට) අත්තනගල්ලේ සිට ඉක්මනින් පා ගමනින් යා හැකි දුර ප්රමාණයක අනුරාධපුර පිහිටා ඇති බවයි.
වත්මන් අත්තනගල්ල යනු එතරම් ආසන්නයේ පිහිටා ඇති ප්රදේශයක් නොවේ. එසේ ම උක්ත ග්රන්ථයේ ම සඟබෝ රජුගේ හිස දන් දුන් ස්ථානය වර්තමානයේ අත්තනගල්ල නොවන බවට විශ්වාස කළ හැකි තවත් සාධකයක් පවතී. එනම් සඟබෝ රජුගේ මෙහෙසිය පිළිබඳ එන පුවතයි. ඕ සඟබෝ රජු සොයමින් ‘දකුණු වාසල් දොරින් නික්ම සෘජු මාර්ගයක් හැරගෙන ගම් නියම්ගම් පසු කරමින් ගල්වල රට’ට පැමිණෙන්නී ය. (එළු. අත්ත. වං, 9 පරිච්ඡේදය, 59 පිට) ඒ අනුව පැහැදිලි වන කරුණක් නම් අනුරාධපුරයේ දකුණු වාසලින් පිටවන සඟබෝ මෙහෙසිය ගල්වල රටට පැමිණෙන්නේ සෘජු මාර්ගයක බවයි. නමුත් වත්මන් අත්තනගල්ල සෘජු මාර්ගයක පිහිටා නැත.
එසේ ම වංසත්ථප්පකාසිනිය පැහැදිලි කරන ආකාරයට සඟබෝ රජු හිස දන් දුන්නේ ඉස්සරසමණාරාමයෙන් (ඉසුරුමුණියෙන්) දකුණු දිශාවේ පිහිටි ස්ථානයකයි. නමුත් වත්මන් අත්තනගල්ල දෙස බලන විට ඒ වනාහී අනුරාධපුර නගරයෙන් නිරිත දෙසට වන්නට පිහිටා ඇති බව මිසෙක දකුණු දෙසට වන්නට පිහිටා නැති බව පෙනී යයි.
ඒ අනුව මෙහි දී ගැටළු කීපයක් පවතී. ඉන් පළමු වැන්න නම් මහාවංශය සවිස්තරාත්මකව ඉදිරිපත් කරන සිරිසංඝබෝධි රජු පිළිබඳ දීපවංශය ඉතා කෙටියෙන් විස්තර කර නිහඬ වන්නේ ඇයි?
දෙවැන්න නම් අතිශය විස්තරාත්මක කථනයක යෙදෙන මහාවංශය සැබෑවටම රජු හිස දන් දුන්නේ අත්තනගල්ලේ දී නම් ඒ බව සඳහන් නොකර නිහඩව සිටින්නේ ඇයි? චූලවංශය පරාක්රමබාහු රජු විසින් අත්තනගල්ලේ විවිධාකාර ප්රතිසංස්කරණ කටයුතු කර ඇති බව සඳහන් කර ඇති නමුත් ඒ වනාහී කැළණියට ඊසාන දෙසින් ඇති අත්තනගල්ල යැයි සඳහන් කරන්නේ ද නැත. කැළණියට ඊසාන දෙසින් ඇති අත්තනගල්ල යැයි පළමුවෙන් සඳහන් වන්නේ පූජාවලියේ පමණි. එතෙක් කිසිදු මූලාශ්රයක් ඉහත ප්රකාශය සඳහන් නොකරයි.
ඒ අනුව මහාවංශය හා දීපවංශය අදාල කරුණු රචනා කරන කාළය වන විටත් අත්තනගල්ල
යන ස්ථානය පිළිබඳ අද වැනි මතයක් නොතිබූ බව පෙනී යයි. ඒ අනුව මගේ හැඟීම නම් පූජාවලිය උක්ත කරුණ සඳහන් කළ පසු අනුප්රාප්තික මූලාශ්රයන් ද පූජාවලිය අනුව යමින් අදාල කරුණ සඳහන් කළ බවයි.
ඒ අනුව මහාවංශය, හෙළු අත්තනගලු වංශය, වංසත්ථප්පකාසිනී වැනි ග්රන්ථ අධ්යයනය කර බලන විට පෙනී යන්නේ වත්මන් අත්තනගල්ල නොව වර්තමානයේ හත්ථිකුච්ඡි වශයෙන් හඳුන්වන ස්ථානය නිවැරදි ස්ථානය විය හැකි බවයි….
…………අන්තර්ජාලය ඇසුරෙනි………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!