සිත දැවූ මතක (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ අවුරුදු ගානකට කලින් දෙසැම්බර් මාසෙ අන්තිම සතියෙ වගේ කාර්යාලීය දිනයකි. මම බැංකු කළමනාකාරිනියක් විදිහට සේවය කරමිනුයි හිටියෙ.
දෙසැම්බර් මාසෙ ව්යාපාරික ගණුදෙනු විශාල වශයෙන් ඉහල යන නිසා ව්යාපාරික ගණුදෙනුකරුවනුත්, නව වසරක් උදාවීමට ආසන්න වීම, පාසැල් නිවාඩුව, නත්තල වගේ කරුණු නිසා සාමාන්ය ගණුදෙනුකරුවනුත් විශාල වශයෙන් බැංකුව තුල දවස තිස්සේම පිරිලයි හිටියෙ. ඒ නිසා මම වගේම සේවක මණ්ඩලයෙ හැමෝම අතිශය කාර්යබහුලවයි හිටියෙ.
මේ කරුණු වලට අතිරේකව වර්ෂාවසාන ඉලක්ක ඉක්මවීම සඳහා,
තව ණය මුදල් කීයක් දෙන්න ඕනෙද ..
කොයිතරම් තැන්පත් හොයන්න ඕනෙද..
අන්න ඒ වගේ දහසක් ව්යාපාරික අරමුණු තමා මගෙ ඔලුවෙ ලොකුවටම තිබුණෙ.
ඉතිං ඒ වෙද්දි අපේ ඉලක්ක උතුරා යන්න තරම් ණය යෝජනා ප්රධාන කාර්යාලයෙන් අනුමත කරල ලැබෙමිනුයි තිබුණෙ. මේ නිසා අදාල ව්යාපාරික මහතුන් මෙන්ම විවිධ තරාතිරම්වල ගණුදෙනුකරුවන් මගේ කාර්යාල කාමරේ උදේ ඉඳලම පිරිලයි හිටියෙ. ඇත්තටම කණ්ඩායමක් විදිහට සාර්ථක ජයග්රාහී වසරකුයි අපි අවසන් කරන්න සූදානමින් හිටියෙ.
උදේ දහයට එකොලහට විතර ඉතුරුම් නිලධාරිනිය මා ළඟට ඇවිත් කිව්ව ළමා ගිණුමකින් සල්ලි ආපහු ගන්න භාරකරු හෝ දෙමව්පියන් හෝ නොවෙන කාන්තාවක් සමග දරුවෙක් ඇවිත් ඉන්න බව.
” පොඩි පිරිමි ළමයෙක්. එකවුන්ට් එක ඕපන් කරනකොට සයින් කරල තියෙන්නෙ අම්ම. ඇවිත් තියෙන්නෙ වෙන ගෑණු කෙනෙක් එක්ක. එඩියුකේෂන් එකස්පෙන්සස්ලු. මුකුත්ම ඩොකියුමන්ට්ස්සුත් නෑ ” ඇය කියවන් යනව.
නීතියෙ හැටියට ළමා ගිණුම් වලින් මුදල් ආපහු ගන්න පුළුවන් අවුරුදු 18 සම්පූර්ණ උනාට පස්සෙයි. ව්යතිරේකයන් තියෙනව ආර්ථික අපහසුතා ඇති දරුවන්ගෙ වෛද්ය හරි අධ්යාපන වියදම් හරි සඳහා. නමුත් ඒ බවට සාක්ෂි ලේඛණ ඉදිරිපත් කරන්න ඕනේ.
” වෙන කෙනෙකුට සල්ලි ගෙවන්න බෑනෙ. ඩොකියුමන්ට්ස් අරගෙන අම්ම එක්ක එන්න කියන්න “
තවත් රාජකාරි ලිපි කීපයකට මගෙන් අත්සන් අරන් ඇය ගියා. මාත් ගණුදෙනුකරුවන් එක්ක සාකච්ඡා නිමක් නෑ. ඒ අතර ලෑන්ඩ් පෝනයෙනුයි ජංගමයෙනුයි ඇමතුම් එනව නිමක් නෑ. වචනෙන් දෙකෙන් ඒවටත් මොන මොනව හරි උත්තර දීලා දවල් කෑමට නැගිට්ටෙ 3 ත් පහුවෙලා. ඇත්තටම කාර්බහුල දවස් වලට මං විතරක් නෙමෙයි ඔෆිස් එකේ හුඟ දෙනෙක් දවල් කෑම ගන්නෙ ගණුදෙනුකරුවො හොඳටම අඩු උනාට පස්සෙ මේ වගෙ හවස් වෙලා තමයි.
මම කෑමට යද්දිත් ලොබියෙ සැලකිය යුතු පිරිසක් හිටිය. විනාඩි දහයෙන් වගේ බත් කටවල් කීපයක් ගිලල දාලා ආපහු එද්දි මම ලොබිය මැද්දෙන් හිතාමතාම ආවෙ ඉතුරු වෙල ඉන්න ගණුදෙනුකරුවන් එක්ක වචනෙ වචනෙ හරි කතා කරන්න හිතලයි. ගොඩක් අය දන්න හඳුනන අය. එහෙම නැති අයටත්
“ආව වැඩේ හරිද..
ඇයි තාම ඉන්නෙ..
මොකක්ද වෙන්න ඕනෙ “
වගේ වචනයක් දෙකක් කිව්වම එයාල හුඟක් සතුටු වෙනව. මටත් සතුටක් ලැබෙනව. ඒ සතුට මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙන වැටුපෙන් ලැබෙන්නැති එකක්. එදා දවසටම මට මේ දේ කරන්න වෙලාවක් නොලැබුණ එක ගැන මං හිතමිනුයි හිටියෙ.
මෙහෙම කතා කරන් යද්දි දිරා ගිය පෙනුමක් තියෙන වයසක අම්මෙකුයි විඩාපත් පෙනුමක් තියෙන අවුරුදු 12 ක 15 ක වගේ පිරිමි දරුවෙකුයි ලොබිය කෙලවරේම තියෙන සෝෆා එකේ අඩමානෙට වගේ ඉඳගෙන ඉන්නව. මං එතනට ගියාම වරදක්ද කලේ අහන්න වගේ බයාදු බැල්මක් හෙලල දෙන්නම නැගිට්ට.
“ඇයි අම්මල ඉන්නෙ “
දෙන්නගෙම ඇස්වල කඳුළු පිරුණ. වට පිටත් බැලුව. උත්තරයක් නොලැබුණ හින්ද ඒ ළඟම ඉන්න අපේ ලොබි මැනේජර්ගෙන් ඒ දෙන්න ඉන්නෙ ඇයි කියල මං ඇහුව.
” උදේ ඉඳන්මයි ඉන්නෙ. උදේ සේවිංග්ස් සෙක්ෂන් එකෙත් ඉන්නව මං දැක්ක. මොකටද කියල නම් දන්නෙ නෑ.”
එදා ඇත්තටම අපේ සුපුරුදු ලොබි මැනේජර් හිටියෙ නෑ. තාවකාලිකව වෙනත් නිලධාරිනියකුයි රාජකාරි වල යොදවල තිබුනෙ. ඇය ප්රෝග්රෑම් කරපු පරිගණකයක් වගේ තමයි. ප්රෝග්රෑම් එකේ නොලිවුනු දෙයක් කරන්නෙ නෑ. හැබැයි කිව්වොත් ඕන දෙයක් කරනව. අර අම්මයි පුතයි උනත් කිව්ව නම් ඇය මා ළඟට ඇවිත් නොකිය ඉන්නෙත් නෑ.
මම ඒ දෙන්නව මගෙ කාර්යාල කාමරේට අඬගහන් ගියා. ඉඳගන්න කියල දහපාරක් විතර කිව්වම පුටු අගිස්සෙ වගේ ඉඳගත්තේ මේව අපිට අකැපද මන්ද කියන්නා වගේ.
ඒත් එක්කම ඉතුරුම් නිලධාරිනියත් දුවගෙන ආවා.
” ආ..ආයෙ ආවද..? කෝ අම්ම ?අම්ම හරි තාත්ත හරි එක්ක එන්නනෙ මං කිව්වෙ “
ඇය කිව්වෙ තරහින් හෙම නෙමෙයි. මේතරම් වෙලා ඒ අම්මයි පුතයි හිටපු එක ඇගේ වරදක්වත්ද වගේ හැඟීමකිනුයි.
( එක දෙයක් කියන්න ඕනෙ..මං කළමනාකරුවෙක් විදිහට වැඩ කරද්දි මා එක්ක වැඩ කල පිරිසෙන් බහුතරය දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරිපුන් හැමදාමත් ආදරෙන් මතක් කරන්න පුළුවන් පිරිසක්. ඒක මගේ වාසනාව කියලයි මං තාමත් හිතන්නෙ )
” අපි ගියෙ නෑ නෝනෙ. ඉස්සරහට වෙල හිටියෙ. ලොකු නෝනව හම්බෙලාවත් පොතේ තියෙන සල්ලි ටික ගන්න කියල. මේ පුතාගෙ අම්මයි තාත්තයි නෑ නෝනෙ. “
සමාව ගන්න වගේ බයාදු බැල්මක් හෙලපු අම්ම අත පිහින්න වත් ගන්න බැරිතරම් දුහුල් වෙලා ගියපු සාරියෙ පොටෙන් ඇස් පිහින්න ගත්ත.
” ඇයි ඉතිං මෙච්චර වෙලා හිටියෙ. මා ළඟට එන්න තිබුණනෙ. “
” නෝනෙ ළඟ සෙනඟ පිරිල හිටියනෙ. සිකුරිටි මහත්තය කිව්ව නෝනෙට හොඳටම වැඩ උදේ ඉඳලම කාලවත් නෑ දවල්ටවත් කෑම ටික කාල එනකල් කරදර කරන්න එපා කියලා”
” අම්මල කාලද ඉන්නෙ “
” අපි කුරුණෑගලින් පාන්දර 5 බස් එකේ ආවෙ නෝනෙ. කන්න මුකුත් හදාගෙන එන්න බැරි උනා. ආපහු යන්න බස් එකට විතරයි සල්ලි තියෙන්නෙ “
දවල්ට කාපු කෑම ටිකත් එක්කම මගේ බඩ පපුව දාල පිච්චිලා ගියා. මටත් ඒ දරුව විතරම වගේ පුතෙක් හිටියෙ. ඉතුරුම් නිලධාරිනියත් මට නොපෙනෙන්න අනෙක් පැත්ත හැරිල කඳුළු පිහ දැම්ම. මේ වෙද්දි නිලධාරින් එක්කෙනා දෙන්න මගෙ කාමරේට ඔලුව දාලා විස්තර හෝදිසි කරන් යනව.
” කෑම පාර්සල් දෙකක් අමාරුවෙන් හොයන් ආවා. හැමතැනම කෑම ඉවර වෙලා දැන් හවස් උන නිසා “
තව නිලධාරිනියක් දුවන් ඇවිත් කිව්ව. අපේ කාර්යාලෙ වැඩිපුර හිටියෙ කාන්තා නිලධාරිනියන් හින්දද මන්ද එක්කෙනෙක්ට හිත උනු වෙච්ච ගමන් ඔක්කොමල උනු වෙන්න පටන් ගන්නව.
කෙල්ලො ටික වයසක අම්මටයි කොලු පැටියටයි කන්න බොන්න දීලා ආපහු එක්ක ආව. කොල්ලගෙ මුලින් තිබුණ මලානික ගතිය නැති වෙලා මූණට එලියක් වැටිල තිබුණ. පව්..උදේටත් නොකා වෙන්නැති ඉන්න ඇත්තෙ.
” දැන් ඉතිං කියන්නකො අම්ම.. පුතාගෙ අම්මයි තාත්තයි නැති වෙලාද එතකොට..”
” මේ මයෙ බාල දුවගෙ දරුව නොනේ..කෙල්ල පිලිකාවක් හැදිල නැති වෙලා අවුරුදු පහක් විතරැති. “
( ආයෙම අඬනවා. )
” එතකොට තාත්තා..?”
“කෙල්ලගේ අවුරුද්දෙ පිංකමවත් කලේ නෑ වෙන ගෑනියෙක් ගත්ත නෝනෙ. මං තනියම අවුරුද්දෙ දානෙ උයල පංසලට ගිහින් දුන්නෙත් “
” මේ පුතා විතරද ඉනේනෙ.”
” මීට බාල කෙල්ලක් උන්න. මං ගෙවල් වල උයල රෙදි හෝදල කුලී වැඩ කරල මේ දෙන්න හැදුවෙ නෝනෙ. ගෑනු දරුවෙක් තනියෙං ගෙදර දාල යන්න බෑනෙ දැං කාලෙ. ළමයි නැති ජෝඩුවක් හදාගන්න ඉල්ලුව. මං ඉතිං කෙල්ලව දුන්න නෝනෙ. දැන් ඒකිට දහය සම්පූර්ණයි මයෙ හිතේ”
” දෙන්න බලන්න බැංකු පොත “
පොඩි වූ කවර දෙකක පමණ ඔතා ඉටි බෑගයකින්ද ඔතා තිබූ බැංකු පොත දෝතින්ම ගෙන මා අතට දුන්නෙ මහානර්ඝ වස්තුවක් ලෙසිනි.
” බැංකුව අරිනකොටම එන්න හිතන් ආවෙ. පොත ගේන්න ගිය හින්ද පරක්කු උනේ නෝනෙ “
” ඒ කිව්වෙ ..? “
“අපි ඉස්සර උන්නෙ මේ පලාතෙමයි. අර ( … ) ගමේ නෝනේ. අපි උන්න ගේ කඩා වැටුන. මයෙ ලොකු දූත් ඒ ඉඩමෙමයි උන්නෙ. අපි එහෙ කාලයක් හිටිය. මං කුලී වැඩ කරල හොයන සොච්චම ගෙදර වියදමට ගන්නව බෑනා. කොල්ලව ඉස්කෝලෙ යවනවට බෑන විරුද්ධයි. “
( කඳුළු පිසියි )
” පස්සෙ මට අපේ පොඩි දුව උන්න කාලෙ භාවනා වලට ගිහින් අඳුරගෙන හිටපු කුරුණෑගල පැත්තෙ නෝනා කෙනෙක් ගේ කෑල්ලක් දුන්න වැටිල ඉන්න. එහෙ ගමේ ඉස්කෝලෙටත් කොල්ලව දාලා දුන්න. ඒ ගෙට කුලියක් ගන්නෙ නෑ ඒ නෝන . ඒ වෙනුවට මං ඒ ගෙදර උයනව. අපි යද්දි මෙහෙ ගමේ ගෙදරක වටින කියන බඩු ටිකක් තියල ගියා. ඉතිං බැංකු පොත ගන්න එහෙ ගියා පාන්දර ඇවිත් “
අවුරුදු 10 කින් පමණ කිසිදු ගණුදෙනුකරුවක් සිදු නොවූ බැංකු ගිණුමේ පොලියත් සමග ඇත්තේ රුපියල් තුන්දාස් ගානකි.
” මේ සල්ලි මොකටද ගන්නෙ අම්ම..”
” කොල්ල 10 ට පාස් නෝනෙ. ඉගෙන ගන්න දස්සය. පොත් ටික ගන්න ඕනෙ. කෑම බීමත් මේ ටිකේ හිග පාඩුයි. එහෙ ගෙදර උයල මං තව ගෙවල් දෙහෙක අත් උදව්වට ගියා. මාස තුනක් තිස්සෙ මට දනිස් අමාරුව නිසා ඒ උයමන් වලට යන්න බැරි උනා පිලිවෙලකට.”
දරුවා මගෙ පුතුට වඩා වසරක් බාලය. පුතාගේ පාසැල් පත පොත ඇසුරු කරන බැවින් මටද එම පංති වලට අදාල විෂය දැනුමක් තිබුණි. කතාවේ සත්යාසත්යතාව කෙසේ වෙතත් දරුවා ඉගෙනීමට දක්ෂද යන්න තහවුරු කර ගැනීම සඳහා මා ඇසූ ප්රශ්ණ වලට ඔහු පිලිතුරු දුන්නෙ මගේ හදවත හඬවමිනි. කොල්ලා දක්ෂයෙකි. එහි දෙකක් නැත.
ඔවුන්ව කාමරයේ රඳවා මා පසු කාර්යාලයට ගිය විට “උනුවන ” කණ්ඩායමද දුවගෙන ආහ.
” කීයක් හරි .. “
මා කියා අවසන් කරන්නටත් පෙර
” අපි කතා වෙවී හිටියෙ “
කෙල්ලො ටික එක හඬකි.
දරුවාගෙ බැංකු පොතේ තිබුණාට වඩා තුන් ගුණයකට වැඩි මුදලක් මුදලින් පමණක් සැනෙකින් එකතු වූ අතර ඊට අමතරව පසු දින මුදල් ගෙවීමේ පොරොන්දුව මත 10 වසරේ දරුවකුට අවශ්ය පාසැල් උපකරණ, සපත්තු කුට්ටමක් හා ටී ෂර්ට් එකක්ද අපේ නිලධාරින් විසින් රැගෙන එන ලදී.
දරුවා ඇඳ සිටියේ අපේ දරුවන් ඉවත දමන තත්ත්වයටත් වඩා පරණ වූ අවපැහැ පාසැල් නිල ඇඳුමක් හා ගෙවී ගිය රබර් සෙරෙප්පු කුට්ටමකි. අළුතින් ගෙනා ටී ෂර්ට් එක ආපසු යද්දී ඇඳගෙන යන්න යැයි නිලධාරිනියක් පැමිණ කී විට කොල්ලා ඇය පසු පස ගොස් එය ඇඳගෙන ආවේ දෙපාරක් නොසිතාය.
දෙදෙනා කාමරයට එද්දී රැගෙන ආවේ කුඩයක් හා බැංකු පොත ඔතා තිබූ කවරය පමණි. දරුවාට ගෙනා බඩු මුට්ටු කිසිවක් මගේ කාමරයට නොගෙනා අතර ඒවා ලොබි මේසය මත පාර්සල් කර තබා ඇත.
පුදුමයකි…
දැන් කොලුවාගේ අතේ තරමක හතරැස් පාර්සලයක් ඇත. බැලූ බැල්මට සල්ලි මිටි කීපයක් මෙනි.
දෙවනි වරටත් මට ගිනි පත්තු විය.
ගණුදෙනු සඳහා බැංකුව වසා ඇති බැවින් මුදල් භාරකරුවන් මුදල් මිටි මේස මත තබාගෙන තුලනය කරති. කෑමට හෝ ඇඳුම ඇඳීමට ගිය අතරේ කොල්ලා සල්ලි උස්සා ඇත.
” අර පාර්සලේ මොකක්ද බලන්න “
හීන් සීරුවට කාමරයෙන් පිටතට ගිය මා ආරක්ෂක නිලධාරි මහතාට දැනුම් දී කිසිවක් නොදත් ආකාරයට නැවත පැමිණ ඉඳගත්තෙමි.
ආපසු යාමට සූදානම්ව දරුවා අප සියළු දෙනාට දනගසා වඳින්නට සූදානම්වී අත තිබූ හතරැස් පාර්සලය මගේ මේසය මත තැබීය. වහාම ආරක්ෂක නිලධාරි මහතා ක්රියාත්මක විය.
” මේ මොකක්ද ?
මේක එද්දි ගෙනාපු එකක් නෙමෙයිනෙ. “
කොහොමත් ඔහුගේ කටහඬ ගැඹුරුය.
බියපත් වූ අම්මා සිලි බෑගයේ තිබූ පාර්සලය දිගහැරියාය.
” නෝනෙල බත් පාර්සල දෙකක් ගෙනත් තිබුණනෙ. අපි දෙන්න එකක් කාල මේක රෑට කන්න තියා ගත්ත “
මුහුණ ඇල කර ඒ අම්මා අවිහිංසක සිනාවක් පා උත්තර දුන්නාය.
එදින තෙවන වරටත් මගේ බඩ පපුව දැවී පිච්චී යනු දැනිනි.
උපුටා ගැනීම: Kumari Dayananda 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!