“අතේ තිබුණ තුවක්කුවෙන් කී දෙනෙක්ව මරලා තියද”
පලවෙනිම වතාවට පිරිසක් ඉදිරියේ ඔය ප්රශ්නෙ අහනකොට සිවරාජා හිතාගන්න බැරි තරම් අපහසුතාවයට පත් වුණා. වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් බැට කාපු මිනිස්සු ඉන්න රටක, තමන් වගේ ත්රස්තවාදියෙකුගෙන් ඒ වගේ ප්රශ්නයක් අහනකොට පිළිතුරු දෙන්න සිවරාජා දැනගෙන හිටියෙ නෑ. ඒ තරම් කල්පනාකාරීව වචන අමුණන්න තරම් දුරට එයා ඉගනගෙන තිබුණෙත් නෑ.
සිවරාජා සමාජෙට ත්රස්තවාදියෙක්. වසර ගණනාවක යුද්ධෙ අතරෙදි ඒ ඇඟිලි වලින් කොකාගැස්සුණ තුවක්කුව ජීවිත කීයක් බිලිගත්තද කියලා සිවරාජා ගණන් කරන්නැති කියල මම නම් හිතන්නෙ නෑ.
මම එයාගෙ නම කෙටියෙන් රාජු කියල කියන්නම්.
එල් ටී ටී ඊ එකෙන් ඇවිත් ගෙදර හිටපු අවසාන වැඩිමහල් පිරිමියා වෙච්ච එයාගෙ අයියව අරගෙන යනකොට රාජු දෙක වසරෙ. කොහු මෝලෙ වැඩට ගිහින් කරගැට ගැහුණු අම්මගෙ අත් දෙක අවසාන වතාවට දකිනකොට රාජු පහ වසරෙ. එල් ටී ටී ඊ එකෙන් ඇවිත් රාජුව එක්කගෙන යනකොට එයා කැමැත්තෙන්ම ගියේ මීට අවුරුදු තුනකට කලින් ගෙදරින් ගියපු අයියවයි ඊටත් අවුරුදු හතරකට කලින් අන්තිමට දැකපු තාත්තවයි බලන්න හිතාගෙන. ඒ වෙනකොටත් එයාලා කඳවුරු බිම් වලම වැළලිලා කියලා රාජු දැනගත්තෙ පුහුණුවට ගිහින් මාස ගාණක් ගත වුණාට පස්සෙ.
තාත්තව අයියව මරපු පලිය ගන්න ඕන කියලා එයාට තේරුම් කරපු සෙල්වම් ඒ කතාබහෙන් මාසෙකට පස්සෙ කොළඹ ගියා ගියාමයි ආයිත් ආවෙ නෑ. සෙල්වම් රාජුට ගොඩක් කරුණාවෙන් සැලකුවා. එතන හිටපු අනිත් අය නොකරපු තරමටම..
ත්රස්තවාදියෙක් වෙන එක ලේසි පහසු දෙයක් වුණේ නෑ. ඉස්කෝලෙ වගේ සෙල්ලම් කරන්න යාලුවො හිටියෙ නෑ. අම්මා වගේ බඩගිනි වෙන හැම වෙලාවෙම කන්න දෙන්න කෙනෙක් හිටියෙ නෑ. තෝසෙ කන්න ආසම හිතුණ දවසක කියල හදවගන්න කෙනෙක් හිටියෙ නෑ. වැස්ස දවසට රෑට උණුහුමට තුරුලු වෙන්න කෙනෙක් නැති උනාම රාජුට ඕන වුණා අම්මව හොයාගෙන යන්න.
ත්රස්තවාදියෙක් වෙන එකේ අමාරුම දේ කිසිම මනුස්සයෙක්ගෙන් කරුණාවක් ලැබෙන්නැති එක. මිනිස්සුන්ගෙ ඇස් වල තිබුණෙ බය විතරයි.
අඬන්න ඕන නැතිම වෙලාවට ඇස් කඩාගෙන කඳුලු වැටෙනකොට රාජු කරේ කාටවත් පේන්නැති ගහක් යටට වෙලා අඬන එක.
රාජුට තවත් පලිගන්න ඕන වුණේ නෑ. එයාට ඕන වුණේ ගෙදර යන්න. පලවෙනි පාරට තුවක්කුවෙන් ඉලක්කයක් ගත්ත දවසෙ රෑ අතේ කැක්කුම ඉවසන්න බැරි වෙනකොට රාජු ඇඬුවෙ මිට මොලවපු අත දත් වලින් තද කරගෙන.
ඊටත් පස්සෙ පලවෙනි පාරට සටන් බිමට ගියාම රාජුට දැනුණු එකම හැඟීම මරණ බය විතරයි.
හරිහමන් හේතුවක්වත් නොදන්නවා වුණාට සටන් බිමට අඩිය තිබ්බට පස්සෙ පණ රැක ගන්න නම් තුවක්කුවෙන් ඉලක්ක ගන්න වුණා. එදා ඉඳන් ගෙවුණු හැම දවසකම රාජු සටන් කරේ ජීවිතේ බේරගන්න. මේ යුද්දෙ ඉක්මනට ඉවර කරල අම්මව බලන්න යන්න. රස්සාවකට ගිහින් අම්මට කොහු මෝලෙන් අයින් වෙන්න කියන්න.
අවුරුදු ගාණකට පස්සෙ රාජුගෙ හිතේ හිටපු ආදරණීය මිනිහා සම්පූර්ණෙන්ම මැරිල ගියාටත් පස්සෙ හැමදේම ඉවර වුණා. රාජු හමුදාවට බාරවුණේ කැමැත්තෙන්මයි.
ඊටත් මාස ගාණකට පස්සෙ හමුදාවෙන් දීපු උදේ කෑම එක කලබලේට බඩට දාගෙන පාන්දර බස් එකට නැග්ගෙ අම්මව බලන්න එන්න. රාජු ගෙදර එනකොට ඉර තදට පායලා. වේලිච්ච පොල් අතු තිහක් විතර හෙවිලි කරලා තිබුණ වහලෙ එයා එනකොට තිබුණෙ නෑ. අව්වටම ගිනියම් වුණ බිත්ති අතරින් ‘අම්මේ, අම්මේ’ කියලා ගේ වටේම ඇවිද ඇවිද කෑ ගැහුවට අම්මා ආවෙ නෑ.
ගමේ මිනිස්සු රාජුට කිව්වෙ කොටියා කියලා. සිංහල මිනිස්සු විතරක් නෙමේ, දෙමළ මිනිස්සුත් රාජු දිහා බැලුවෙ මිනීමරුවෙක් දිහා බලන තාලෙට. අකමැත්තෙන්. කැමැත්ත අකමැත්ත අහන්නැතුව එක්කන් හියපු ගමන කෙලවරක් වුණේ රාජු අපරාදකාරයෙක්, කාලකණ්නියෙක් කරලා. එහෙමයි එයාට මිනිස්සු කතා කරේ.
යුද්දෙ ඉවර වුණාම මවපු හීන රාජු වලදාලා ආවෙ ගමේ පොදු සුසානභූමියෙ අම්මා හිටපු තැනම.
රාජු ගිහින් අවුරුදු තුනකින් අම්මා මැරිල තිබුණෙ සෙම අමාරුව වැඩි වෙලා. හුස්ම ගන්න බැරුව දඟලනකොට උස්සගෙන ඉස්පිරිතාලෙට දුවන්න කෙනෙක් හිටියෙ නැති නිසා.
වල උඩ ඕසෙට වැවිල තිබුණ තණකොල ටිකත් අත් දෙකෙන්ම උගුල්ලලා රාජු එතනින් ආවෙ අවසාන වතාවටත් අම්මගෙ සොහොනට වැඳලා.
අනුරාධපුර ඇතුලට වෙන්න තිබුණ නිස්කලංක පන්සලක රාජු නැවතුණේ හිස හැරුණු අත යන අතරෙ. ලොකු හාමුදුරුවෝ රාජුට අපරාදකාරයෙක් කිව්වෙ නෑ. ත්රස්තවාදියෙක් කිව්වෙ නෑ. අම්මට පස්සෙ කරුණාවක් ලැබුණ එකම තැන එතන.
ජීවිතේ අමාරුම කාලෙ ගෙවුණා කියල හිතුවත් ඒක එහෙම නෑ කියල රාජු තේරුම් ගත්තෙ ඇස් පියවෙන හැම විනාඩියකම කෙලවරක් නැතුව හීන පේන්න ගන්නකොට. තුවක්කුව ඉස්සරහ හිටගෙන හිටපු හැම මිනිහෙක්ම හැම රෑකම රාජු ගාවට ආවා. ඇඬුවා. ජීවිතේ යැද්දා. ඊට පස්සෙ හැමතැනම ලේ විසිරුණා. ආයිමත් ඒ මිනිස්සු ආවා. ඇයි අපිව මැරුවෙ ඇහුවා. හයියෙන් හිනාවුණා.
රාජු හිටියෙ ජීවිතේ තවත් අමාරුම කාලයක් ගත කරන ගමන්. ලොකු හාමුදුරුවො අපවත් වුණාම පන්සල කිට්ටුවෙන්ම ආණ්ඩුවෙ ඉඩම් කෑල්ලක පොඩි පැලක් හදාගත්තෙ රාජු තනියම. කුලියට හේන් කොටලා හම්බෙන ආදායම වැඩියත් එක්ක. අතරින් පතර රාජු කොටියෙක් කියන මිනිස්සු හිටියත් ගොඩක් අය ඒක අමතක කරා. හේන් වලින් එලවලු පලා ගෙනත් දුන්නා. පාරෙදි දැක්කම ඔලුව පහත් කරල හිනා වුණා.
මිනිස්සු නරක නෑ. රාජු එහෙම හිතුවා.
ආපහු කොටි සංවිධානය වෙනවා කියලා රාජු මුලින්ම දැනගත්තෙ ප්රවෘත්ති වලින් නෙමේ. එක අඳුරු දවසක වැහි බීරම මැදින් ආපු උස හීන්දැරි මිනිහා රාජුට ආරාධනා කරේ ආපහු සංවිධානයට එකතු වෙන්න. දැන් කාටවත් රාජුව බලෙන් එක්කන් යන්න බෑ. මීට අවුරුදු ගාණකට කලිනුත් එයාලා ආරාධනා කරානම් රාජුගෙ අම්මා හුස්ම හිරවෙනකම් බූරු ඇඳ උඩ වැටිලා ඉන්නෙ නෑ. එහෙනම් රාජු ගෙදර ඉන්නවා.
ඊටත් මාස ගාණකට පස්සෙ කවුදෝ කෙනෙක් කොලඹ ගිහින් කියලා තිබුණා කොටියෙක් බුදුදහම වැලඳගෙන ධාර්මිකව ජීවත් වෙනවා කියලා. ඒ වෙනකොට රාජු හිටියෙ කෑලි වලට කැඩුණ හදවත යන්තම් එකතු කරන ගමන්. දවසක් හේනකට ගිහින් එද්දි රාජුගෙ මිදුලෙ සෙනග පිරිලා හිටියා.
“සිවරාජා.. ඔබ එල් ටී ටී ඊ සංවිධානයේ අවසාන වනතෙක් හිටපු ක්රියාකාරී සාමාජිකයෙක් නේද”
මයික්රපෝන් පහ හයකට වඩා දික් කරගෙන අහන ප්රශ්න වලට උත්තර දෙන්න රාජුට ඕන වුණේ නෑ. ඒත් ඒ මිනිස්සුන්ට ඕන වුණේ කට ඇතුලට අත දාලා හරි රාජුගෙ පපුව එලියට ගන්න. සුදු ඇඳුමක් ඇඳල පන්සලට යන්නත් රාජුට අන්තිමේදි සිද්ද වුණා කැමරාවට ඉස්සරහින්.
“අතේ තිබුණ තුවක්කුවෙන් කී දෙනෙක්ව මරලා තියද”
රාජුට ඕන වුණේ දුවලා ගිහින් කුඹුක් ගහ පාමුල හැංගෙන්න.
එදායින් ඒක ඉවරයි කියල හිතුවට ඉවර වුණේ නෑ. දවස ගාණෙ එක එක්කෙනා ආවා. හැමෝටම දැනගන්න ඕන වුනේ මිනිස්සුන්ව මරපු හැටි. වද දීපු හැටි. කවුරුත් ඇහුවෙ නෑ රාජු හොඳින් ද කියලා.
අවුරුදු ගාණකට කලින් මැරුණ මිනිස්සු ආයෙමත් හැම රෑකම රාජුගෙ හීන වලට එන්න පටන් ගත්තා. රාජුගෙ අත්වල ගෑවුණ ලේ ගමේ මිනිස්සුන්ට මතක් කරල දුන්නෙ මාධ්ය වලින්. අහල පහල මිනිස්සු ඊට පස්සෙ රාජුට කිව්වෙ මිනීමරුවා කියලා. එයා ත්රස්තවාදියෙක් කියලා හැමෝම රාජුට ඔලුවට ඇනලා කියන්න ගත්තා. ඉතුරු වුණ දෙතුන් දෙනෙක් ඇරෙන්න කවුරුවත් රාජුගෙ පැත්තෙන් හිටගත්තෙ නෑ. සමාජ ජාලා වල හංවඩු ගහන්න ගත්තා. ඒවා රාජු දැක්කෙ නෑ. ඒත් මම දැක්කා.
“ත්රස්තවාදියෙක් වෙන එක ලේසි නෑ. කිසිම ගරුත්වයක් නැතුව ආදරයක් නැතුව බංකරයක් ඇතුළෙ ජීවත් වෙන එක ලේසි නෑ. අහම්බෙන් හම්බෙන මනුස්සයෙක්ගෙ ඇස් වල බය විතරක් දකින්න ලැබෙද්දි දැනෙන වේදනාව පාලුව ඉවසන්න බෑ. අනේ දැන් ඇති.. තවත් ඉවසන්න බෑ..”
රාජුට කියන්න ඕන වුණේ එහෙම. ඒත් හැමදාම කැමරාව මූණට එල්ල වුණාම එයා කරේ බිම බලාගෙන හිනාවෙන එක.
හේන්වලින් හම්බවුණ එලවළු, පලා ඉවර වුණාම ආපහු කවුරුත් ගෙනත් දුන්නෙ නෑ. පාරෙදි හම්බෙන මිනිස්සුන්ගෙ මූණු වල කලින් හිනාව තිබුණෙ නෑ. මාධ්ය වලින් තව තවත් රාජුගෙ ජීවිතේ අඳුරු අහුමුලු හාරන එක නැවතුනෙත් නෑ. මිනිස්සුන්ට ඕන වුණේ රාජු අඬනවා බලන්න. පාපොච්චාරණ කර කර වේදනාවෙන් විඳවනවා බලන්න. බලලා ඒක රසවිඳින්න. රාජු විඳෙව්වා. ඇඬුවා. හැබැයි තනියම. ඉතින් මිනිස්සු කිව්වා එයා මිනීමරුවෙක් කියලා. මරපු මිනිස්සු ගැන අහනකොට හිනාවෙනවා කිව්වා.
තවත් හැංගෙන්න තරම් ශක්තියක් රාජුට තිබුණෙ නෑ. නින්ද නැති කරන හීන වලින් රාජු හෙම්බත් වෙලා හිටියෙ. එයා තේරුම්ගත්තා එයාගෙ අතීතෙන් ගොඩ එන්න මිනිස්සු එයාට ඉඩ දෙන්නැති බව. රාජුට මතක් වුණේ ඒ කාලෙ දඬුවමෙන් හෙම්බත් වෙලා හිටපු මිනිස්සු අමාරුවෙන් එල්ලිලා නැගිටින්න හදනකොට දණහිසට කකුලෙන් ගහල බිම දාපු හැටි. මිනිස්සු තව කෙනෙක්ට නැගිටින්න දෙන්නෙ නෑ. එයාලා අනිත් අය වේදනා විඳිනවා බලලා සතුටු වෙනවා. අන්තිමට රාජු තීරණයක් ගත්තා.
රාජුව මට හම්බවුණේ යාපනේට යන බස් එකේදි. එයා ගාව තිබුණා ඇඳුම් කෑලි පහ හයක් දාපු බෑග් එකක්.
“පසුතැවුණා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සු වෙනස් වෙන්න දෙන්නෙ නෑ. පසුතැවෙනකොට නපුරු අතීතෙ හීන වෙලා ඇවිත් අපිව බය කරනවා. මම හිතුවා මම තවත් පසුතැවෙන්නෙ නෑ කියලා”
දිග කතාවක අවසානයේ ස්ථීර වචන පිට වුණත් ඒ ඇස් වල තිබුණෙ හිස්බවක්.
“ඔයා කොහෙද ඉතින් යන්නෙ?”
“මට මිනීමරුවා කියන්නැති තැනකට”
“කොහෙද.. අර එදා ආපු උස කෙට්ටු මිනිහා ගාවටද?”
“මම මුලින්ම යනවා අම්මා ගාවට. ඊට පස්සෙ හිතනවා..”
ඒ අන්තිම වචන මට ඇහුණ.
රාජු ත්රස්තවාදියෙක් වෙන්නැති. ඒත් රාජු බොරුකාරයෙක් නෙමේ. රාජු මට කිව්ව වගේම අම්මා ගාවට ගිහින් කියලා මම දැනගත්තෙ පහුවදා උදේ මාධ්ය වලින්.
“එල් ටී ටී ඊ සාමාජිකයෙකුව සිටි සිවරාජා සෙල්වම් අද උදෑසන එල්ලී මරුට”
කවුරුත් කිව්වෙ නෑ රාජුව මැරුවෙ අපි කියලා…
(තක්ෂිලා පැතුම්)
උපුටා ගැනීම: Thakshila Sri Pathum