1989 වසරේ දිනයක බ්රසීල රූපවාහිනියේ යම් සාකච්ඡාවක දර්ශන ප්රචාරය වෙමින් පැවතිනි…මෙම සාකච්ඡාව පැවතුණේ බ්රසීලයේ ඇමේසන් වැසිවනාන්තරයේ කයාපෝ ගෝත්රික ජනතාව දිගුකලක් තිස්සේ තම නිවහන කරගත් එමෙන්ම එම නිවහන තම හදවත මෙන් රැක ගත් ෂිංගු ගංගාව හරස් කර වේල්ලක් බැඳ ජල විදුලිය නිපදවීමේ ව්යාපෘතියක් පිලිබඳව එම වනය නිවහණ කරගෙන ශතක ගණනාවක් දිවි ගෙවූ කයාපෝ ගෝත්ර සාමාජිකයන් ඇතුලු ගෝත්ර ගණනාවකට එම ව්යාපෘතිය පිලිබදව කරුණු පැහැදිලි කිරීමටය. තමන් ජීවත් වූ ඝන වනාන්තර වල සිට කුලියට ගත් කුඩා ගුවන් යානා මගින් හා ඔරු, පාරු, බෝට්ටු මගින් ගංගාවන් දිගේ දින, සති ගනන් ගෙවමින් පැමින සිටි විවිධ ගෝත්රයන් සමහරෙක් මින් පෙර එකිනෙකා දැක තිබුණෙ නැත. සමහරෙක් එකිනෙකාට විරුද්ධවාදීන් වූහ. ඔවුන් සියලු දෙනා ඔවුන්ට ආවේනික ඇදුම් පැළඳුම්, පබලු අබරණ, පිහාටු හිස් පැලදුම් මෙන්ම තම තමන්ට ආවේණික ගෝත්රික අවි ආයුධ වලින්ද සන්නද්ධව සිටියහ. එහෙත් ඔවුන් මෙසේ රැස්වී සිටියේ එකම අරමුණකින් විය. එය නම් ඔවුන්ට ජීවය දුන් වන බිම් කඩවල් ජලාශයට යටවීම මෙන්ම වේල්ල ඉදිකිරීමේදී හා ඉන් පසුව සිදු වෙන වන විනාශයට හා පාරිසරික මෙන්ම ඔවුන්ට සිදුවීමට නියමිත සමාජීය විපර්යාසය ට ඔවුන්ගේ විරෝධය දැක්වීම පිණිසය. රැස්වීම් ශාලාව පුරා ගෝත්රික ජනතාවගේ අධිශ්ඨානශීලී උද්යෝගය තදින් පැතිර තිබූ අතර ව්යාපෘතියේ ඉදිකිරීම් භාර ප්රධාන ඉංජිනේරු නිලධාරියා ඔහුගේ පැහැදිලි කිරීම ඇරඹීය. ඔහුගේ දේශනය අවසන් වනවාත් සමගම ශාලාව නොසන්සුන් වූ අතර එක්වරම ජනතාව අතරින් නැගිට ගත් ගෝත්රික කාන්තාවක් තම සාම්ප්රදායික තියුණු අසිපත අත දරාගෙනම ශාලාව මැදින් ප්රධාන ඉංජිනේරුවා වෙත ඇවිද යන්නට පටන් ගත්තාය. සාම්ප්රදායික ගෝත්රික වර්ණ ආලේපනයන්ගෙන් හා පබලු වලින් නිරුවත් උඩුකය සරසා තිබූ ඇයගේ දෑස කේන්තියෙන් දැවෙමින් තිබූ අතර ඇයගේ මුහුණ දැඩි අධිශ්ඨානයෙන් ශක්තිමත්ව තිබිනි. සිය ගනනක් ජනතාව අතරින් නිහඩවම ඇවිද ගිය ඇය ප්රධාන වේදිකාව මත වාඩි වී සිටි ප්රධාන ඉංජිනේරුවා අසලට ලංවෙත්ම එක්වරම මුලු ශාලාව පුරා නිහඩතාවයක් පැතිර ගියේය. ඇය එක්වරම ඇයගේ අසිපත ඉංජිනේරුවාගේ කම්මුල මත මෘදු ලෙස තබා තෙවරක් එය රැවුල කපන්නාක් මෙන් ඉහල පහල ගෙන ගියාය. ශාලාවේ සිටි සියලු දෙනාගේ හුස්ම මොහොතකට නවතිනු දැනිනි. ඉංජිනේරුවාගේ මුහුණ භීතියෙන් හා විශ්මයෙන් පිරී තිබුණු අතර නිලධාරීන්ගේ ආරක්ශාවට යොදවා සිටි ස්වයංක්රීය ගිණිඅවි දරාගත් සෙබලුන්ද වික්ශිප්තව මේ සිදුවීම දෙස බලා සිටියා මිස කිසිදු ලෙසකින් ඇයගේ ක්රියාව වලකන්නට ඉදිරිපත් නොවූහ. එසේ තම අසිපත ප්රධාන ඉංජිනේරුවාගේ මුහුන අභියස ලෙලවූ මේ අභීත කාන්තාව ඔහුට මෙසේ පැවසුවාය..
“නුඹ බොරුකාරයෙකි !!!!!,
නුඹ පවසන විදුලි බලය අපට කෑමට හෝ බීමට උදව් නොකරයි. අපට විදුලිය අවශ්ය නැහැ. අපේ ගංගා නිදහසේ ගලා යාමට අපට අවශ්යයි: අපේ අනාගතය එය මත රඳා පවතී. දඩයම් කිරීම හා එක්රැස් කිරීම සඳහා අපට අපගේ වනාන්තර අවශ්යයි. නුඹගේ වේල්ල අපට අවශ්ය නැත. ”
ඉන්පසු ශාලාව පුරා මහත් නොසන්සුන්තාවයක් ඇතිවූ අතර බ්රසීලයේ මෙන්ම ලොවපුරා මාධ්ය වාර්තාකරුවන් ඇයගේ මෙම අභීත ක්රියාව අගයමින් වාර්තා කරන්නට පටන් ගත්හ. මෙම සිදුවිමෙන් අනතුරුව ලෝක බැංකුව විසින් බ්රසීල රජයට මෙම ව්යාපෘතිය වෙනුවෙන් ලබාදීමට තීරණය කල ඩොලර් මිලියන 500ක් වූ ණය මුදල අවලංගු කර දැමිණි.
තමන්ගේ නිජ බිම වූ වනයට තම ජිවිතයට මෙන්ම ආදරය කල එක් නිර්භීත කාන්තාවකගේ ක්රියා කලාපය මත එම ව්යාපෘතිය එසේ අත් හැර දමන්නට බ්රසීල රජයට සිදුවුවද ටුයිරා කයාපෝගේ අසිපතෙහි සිසිල විඳි ඉංජිනේරුවා වූ ජොයිස් අන්තෝනියෝ මුනිස් ලෝපෙස් 2008 වසරේදී රාජ්ය විදුලි සමාගමේ (Electrobras) සභාපති වරයා වශයෙන් පත්වීමෙන් පසු නැවතත් මෙම ව්යාපෘතිය ඇරඹීමට පිඹුරුපත් සැකසිණි. එවරද ටුයිරා ප්රමුඛ ගෝත්රික ජනතාව තම විරෝධය දැක්වූවද වඩාත් සංවිධානාත්මක ලෙස ගෝත්රික ජනතාවගේ විරෝධය දියකර හැරිණි. ඒ අනුව සැලසුම් කල ලෙසම බෙලෝ මොන්ට් නම් වූ වේල්ල ඉදිකෙරුණු අතර 2014 වසරේදී ගංගා ජලය අවහිර කර ජලාශය ජලයෙන් පුරවන ලද අතර කයාපෝ ඇතුලු ගෝත්ර ගණනාවකට තම වාසස්ථාන මෙන්ම ශතක ගනනාවක් තිස්සේ රැකගෙන ආ ඔවුන්ගේ සංස්කෘතියෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ ගෝත්රික ජනතාව මත්පැන්, මත්ද්රව්ය හා ගණිකා වෘත්තීයටද හුරු කරමිනි. බෙලෝ මොන්ට් අඩු මුදලකට බ්රසීලයට විදුලිය ලබා දුන්නද ගෝත්රික ජනතාවට හා ස්වභාවික පරිසරයට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවී ඇති වන්දිය නම් මිල කල නොහැකි තරම් අධික විය…..
උපුටා ගැනීම: Ruwan K Pananwala