සියුම් මානුෂික හැඟීම්.. (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“හරි උඹ කියපන් ආදරේ කියන්නෙ මොකක්ද” කොච්චියා ඇසුවේය. මොලයේ නහර ගැට ගැහෙන තෙක් සිතුවත් මගේ පිළිතුර ගොළුකම ම විය. ඔන්න බලපන් මුගෙන් ඇහුවම දෙන්නෙ නැද්ද කියල විනාඩි දෙක තුනක Definition එකක්, මා අසලම විස්කි තොලගාමින් සිටි ඔහුගේ හොදම මිතුරා පැනයට ලක්විය. කොච්චියා කීවේ සැබෑවකි “ආදරේ ඉතින් අපිට ඕනේ. බිරිද, ළමයි ඕවා තමා ඉතින් දැන් බලපන් මම උඹට අදරෙයි, උඹ මට අදරෙයි.. මූ කියාගෙන කියාගෙන ගියේය. නෙල්ලිගේ මොලේ නහර තවත් ගැට ගැහුනී. සැබෑ ආදරය, කොන්දේසි විරහිත ආදරය හා ඒ අතරට maths ද කොච්චියා පදමට ඇනූ විට මගෙ මොලය කැලතුනි. මේ ලියන්නේ ඒ සංවදය ගැනනම් නොවේ. තවත් දිවියේ හැඩතල මැවූ හමුවීමක් ගැනය.
මා කොළඹ රැකියාව කළ කාලයේ මොරටු සරසවියෙන් ආයතනික පුහුණුවට තෙමස් පරිවාස කාලයකට පැමිණෙන ඈයන් බොහොමයක් මුනහැසී ඇත. ඒ අතර මා සිත් ගත් හුරුබුහුටී තරුණියක් විය. ඇය කටකාරය, දගකාරය. එමෙන්ම හැඩකාරය. ඔෆීසියේ ඉඩකඩ සිමිත වු බැවින් ඇයට මගේ මේසයේ කොනක ආසනයක් පිරිනැමින. නොබෝ දිනකින් එකිනෙක දොඩමලු විය. මගේ හොද මිතුරියක් විය. ඔෆීසියේ ගොසිප් සේවය නම් කිවේ මා ඇයට පෙම් බදින බවයි. එනමුදු මසිත වෙන පෙමකය. ඈ එය දනී. ඇගේ සිතද වෙන පෙමකය. මා ද එය දැන සිටියෙමි.
වරෙක ඇය ජනෙල් කවුලුව තුලින් හිස් අහස දෙස ඉබාගාතේ බලා සිටින්නීය, ඇයගේ සිහින් දිගැටි පාගිලි මා දැක අත්තෙමි. දස්කොන් ප්රමිලගෙ උපන් ලපය දුටුවේ අහම්බෙනි. නොසිතූ නොපැතූ අයුරකින්මය. මෙයද එසේමය. වාසනාවකට මෙය තිබුනේ කකුලෙහි නොවේය. ගෙලට පහලින් ලැමට ඉහලින් පිහිටි සිහින් උපන් ලපයද මා දැක තිබු ඒවා අතර විය. වෙනසකට තිබුනේ මාගේ ප්රමිලාව හා ඇයගේ දස්කොන් අපි අපිම නොවීමයි. එනිසා නෙල්ලිගේ හිසද කිසිවෙකු ගසා දැමුවේ නැත. මේ තරම් නිමිති පෙනෙද්දී කවි සිතක් කෙලෙසක වාවම්ද. මේ ඇය තුලින් මම රසවිදි මගේ සිහිනයි. මේ ඇයට ලියු පළමු කවියයි.
එබී කවුලුව තුලින් බලනා විට අහස් ගැබ හැඩ වළා
එකක් දිගැටිව පිහිටි පා තුඩු සිහින් බව මම සැක කලා
අහම්බෙන් හෝ එකම සළකුණ නුඹේ ලැම මැද පිහිටලා
වෙනත් කිසිවෙකු නොවේ සොදුරිය මගේ සදවත සිහි කලා
කාලය කෙමෙන් කෙමෙන් ඉගිලින. පරිවාස කාලය හමාර වන්නට මොහොතකි. නික්ම යන ඇය ගැන කිසිදු තැවුලක් සිතෙහි නැති නමුත් ඇයට සුබපැතිය යුතුය. ඒ අනාගත සුබ සෙත උදෙසාය. ඇය ලoකර ගැනීමට හෝ හිමිකර ගැනීමට අල්පමාත්රික රහස් හැගීමක්වත් හද තුල නොවීය. නමුත් කවි සිතක් කෙලෙසක පහදම්ද. මේ ඇයට ලිවූ අවසන් කවයි.
සහස් සුවහස් කාලයක් නුඹ සැපෙන් සතුටින් වෙසේවා
දහස් ගණන්ක් සොදුරු මල් වැසි වැටී ඉන් ඔබ තෙමේවා
රහස් අදහස් නැතේ මා සිත සිතූ පැතු දේ ලැබේවා
එහෙත් තනිකඩ උනොත් යම්දින මුලින් මට එය ඇසේවා
ළගදී මූණුපොතේ ඇය ද අතිනත ගෙන ඇති බව දුටිමි. සදවත ද අද මා සමගය. හදපිරි සතුටින් සුබපැතීමි. මා ඇයට ලියු සෙත් කවියේ වස් පදය ඇරෙන්නට අනෙක් පද සියල්ල මල්පල ගැන්වී ඇත. කවිකාරකමට ලියුවෙමි. වස් නොපැතුවෙමි..
උපුටා ගැනීම: Neranjan Jayakody

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!