ස්කේබීස්… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක කලිං පෝස්ට් එකක කමෙන්ට් එකක් නිසා මතක් වුනු පරණ සිද්දියක්. ඒ ලෙවල් පලවෙනිපාර ඇණගත්තට පස්සෙ මං ගියා නුවර. නෑදෑ ගෙදරක නතරවෙලා ක්ලාස් යන්න. අවුරුද්දකට කිට්ටුවෙන්න එහෙ හිටිය. ඔය අතරෙ මට වුනා ඇඬෙන වැඩක්.
මගේ අතේ ආවා පොඩි වතුර පිරුනා වගේ තියෙන බිබිලි දෙකක්. ඒකෙ කිසි අමාරුවක් තිබුනෙ නෑ. කොයිකටත් කියල ගෙදර ආච්චි කිව්ව ඩොක්ට ගාවට ගිහිං පෙන්නගන්න කියල. ඉතිං මාත් ගියා.
දැං ඔන්න දොස්තර ගාව. මං ගියා ලඟට. වාඩිවෙන්න කිව්ව. මං ඉතිං අත පෙන්නල මෙන්න මෙහෙම ටිකක් ඇවිත් තියෙනව ඩොක්ට කිව්ව. ඇඟිලි වලින් අල්ලල හරවල කරල හොඳට බලං ඉඳල එකපාරම නැඟිටල ගිහිං අත සෝදන ගමන් මගෙං අහපි “ඔයා කොහෙද ඉන්නෙ පුතා” කියල.
මං දිහාව කිව්ව. “ගර්ල් ෆ්රෙන් කෙනෙක් එහෙම ඉන්නවද” ඇහුව. මං ආ.. කියල පිංහාමි වගේ හිනාවුනා. මොකද ඒ වෙද්දි අති උත්කෘෂ්ඨ කුළුඳුල් නිකළැල් ලදබොළඳ ප්රේම කතාවක් මට තිබුන. “කොහොම සම්බන්දයක්ද තියෙන්නෙ.. නිතර හම්බවෙනවද ඇහුව”. යකෝ මේ හැම ඉරිදම දහම්පාසල් යන මගෙං අහන ප්රශ්ණ. පොළොව පලාගෙන යන්න හිතෙනවනෙ. උඹලට කියන්න ඒ වෙද්දි මං අතිංවත් අල්ලන්නෑ කියල මං පහ වසරෙ ඉඳං ලව් කරපු කෙල්ලගෙං දාර බූට් එකකුත් කාලා හිටියෙ. එච්චරට රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්ය නිර්මල කොල්ලෙක් මං. එහෙව් මගෙං කිසි හිරිකිතයක් නැතුව අරෙහෙම අහනවද මං අහන්නෙ. මං අනේ නෑ ඩොක්ට කිව්ව.
මොකේද යන්නෙ එන්නෙ ඇහුව.මං කිව්ව බස් එකේ කියල. බස් එකේ මොනවගේ අයද යන්නෙ ඇහුව. මොකෝ ඉතිං බස්වල සත්තු සරපයි යනවයැ මං කිව්ව මිනිස්සු යනව කියල. එතකොට ඇහුව දෙමළ අයත් යනවද කියල. මං හිටිය පැත්තෙ ටිකක් දෙමල ලයින් ගෙවල් තිබුන. මං කිව්ව ටිකක් යනව කියල. ඇඟේ ගැවෙන්න යනවද ඇහුව. මොන කුණුහරපද බං මේ අහන්නෙ. බස් වල යද්දි ඇඟේ ගෑවෙන්නැතුව යන්න මං ඩ්රයිවර්ද. මගේම නහයෙ ඇඟිල්ලක් ගහන්න බැරිවෙන්න සෙනඟ පටවන ඒ බස් එකෙං බැහැල තමයි මං ගැලවිච්ච ඇඳුං ඇඳගන්නෙ. එච්චරට හිරවෙනව. මූ අහනව ඇඟේ ගෑවෙනවද කියල. මං ආපු කුණුහරප සේරම එකතු කරල තනි වචනෙං ඔව් කිව්ව.
“ඒකතමයි පුතා.. අද ගෙදර ගියාම….. (මට හිතෙන්නෙම මූ මට කැන්සර් එකක් හැදල මැරෙන්න තව දවස් දෙකයි තියෙන්නෙ සතුටෙං පිණක් දහමක් කරගෙන හිටපං කියයි කියල. එහෙම ටෝන් එකක දැං කතාව යන්නෙ. මට ඇඬෙන සයිස්..) කාමරේ රෙදි සේරම හෝදල උණුවතුරෙ දාලා තම්බල වේලල පාවිච්චි කරන්න” කිව්ව. මං ඇහුව ඇයි කියල. “පුතා.. කලබල වෙන්නෙපා.. අපි බලමු මොකද කරන්න පුලුවන් කියල..” (යකෝ කියපං බං.. මොකක්ද හත්තිලව්වෙ වෙලා තියෙන්නෙ.. රවුං කර කර ඉන්නැතුව කෙලිං කියහං කියල කියාගෙන පැනල මුගෙ බොටුව මිරිකන්න හිතුනට ලෙඩේ දැනගෙනම මිරිකරනව කියල හිතාගෙන..) මොකක්ද ප්රශ්ණෙ ඩොක්ට.. කියල ඇහුව.
“මේකට කියන්නෙ ස්කේබීස්.. සමාජ රෝගයක්…” මොනබීස් මට හික් ගෑවුනා.. තාම කෙල්ලෙක් එක්ක හිනාවෙලා කතාකරලවත් නැති මට සමාජ රෝගයක්. මේකනං වෙන්න බෑ දෙයියෝ හරියට චෙක්කරපං.. කියල හිතිං හිතද්දි.. මූ ආයි ගිහිං අත හෝදනගමන් “සාමාන්යයෙන් දෙමළ අයට මේක තියෙනව. ටිකක් පරිස්සං වෙන්න. මං බෙහෙත් ටිකක් දෙන්නං.. අර කිව්ව විදියට කරල, මේ බෙහෙත් බිලා, ක්රීම් එක ගාන්න. බලමුකො…”
මං එවෙලෙ මිනිස්සු මැරච්ච නැති ගේක අබ හොයාගෙන යද්දි ළමය උකුස්සෙක් අරං ගිය එකා වගේ අන්ත අසරණ වෙලා හිටියෙ. ඩොක්ට මොනාදෝ ටිකක් කියෙව්වට මට මෙලෝ දෙයක් ඔලුවට ගියේ නෑ. මට මතක් වුනේ ගෙදර ගිහිං දැං මොනාද කියන්නෙ, කවද මැරෙයිද, අම්ම මොනා කියයිද, තාම ළමෙක්වත් නෑනෙ, දැං මේක කපලා දාන්න තමයි වෙන්නෙ වගේ උත්තර නැති ප්රශ්ණ කෝටියක්.
දීපු දේවල් අරගෙන ගෙදරට ඇවිත් කාටවත් මුකුත් නොකිය ඇඳුම් බෑග් එකත් හදාගෙන ඒ ලෙවල් බල්ලට දාලා ගෙදර යන්න පිටත් වුනා. ගෙදරට යනකල් මගේ ඔලුව ඇතුලෙ හොල්මං කලේ මටවත් තේරෙන්නැති විකාර ටිකක්. ගෙදරට ගිහිං තාත්තට සිද්දිය කිව්ව. තාත්තා “ආ යං ගුණදාස ඩොක්ට ගාවට” කියල වාහනේ දාගෙන මාව අපේ ගමේ දොස්තර ලඟට එක්ක ගියා. කිසි කැතක් නැතුව මගෙ අත අල්ලල හොඳට චෙක් කරපු ඒ ඩොක්ට මොනාද ලියන්න ගත්ත. මං හිතුවෙ මැරෙන දවස ලියලම දෙන්න හදනව කියල. තාත්ත ඇහුව “මොනාද ඩොක්ට මේ” කියල. එතකොට ඩොක්ට “ආ මේක මේ සාමාන්ය උෂ්ණ බිබිලි වගයක් මේක ගෑවම හරියයි” කිව්ව.
මට නේද…… ඉතුරු ටික ටයිප් කරන්නෑ.. හිතාගනිං. අර නුවර ඩොක්ටගෙ අම්මයි තාත්තයි හිටියනං මැරෙන්නැත්තෙ හචිං ගිහිං..
උපුටා ගැනීම: Asanka Warnakulasooriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!