ස්මාට් ෆෝන් සහ ෆේස්බුක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සෙල්ලාම අපේ ගෙදරට ස්මාට් ෆෝන් කට්ටක් ගෙනාවේ අපේ අක්කණ්ඩිට. සැම්සුන්ග් J2 එකක්. ඒ කාලේ උන්දැ ඉතින් හෙන ගැම්මෙන් හිටියෙ. අපිත් ඉතින් පොඩි නොකියා ෆෝන් වලින් අර නයි ගේම් එක ගගහ හිටපු චූ කොල්ලොනෙ ඒකාලේ. අපිටත් හෙන ආතල් ඉතින් වැඩේ.
ඔහොම කාලයක් ගිහින් මාත් ඒ ලෙවෙල් එහෙම ඉවර කරලා ගත්තා ස්මාට් ෆෝන් රාජයෙක්. කොච්චරවත් ඒකෙම තමා ඉතින් වැඩේ. වට්සැප් යනවා , ස්ටේටස් බලනවා , චැට් කරනවා , ෆේස්බුක් යනවා , ලයික් කරනවා වැඩ කෝටියයි.
සමහර වෙලාවට ටීවි එක බලන්න වාඩි වුනාට ෆෝන් එකේ තමා වැඩ. කවුරුත් ටීවි බලන්නෙත් නෑ. ඒ වුනාට ඔහේ දාලා තියෙනවා. ඔය වෙලාවට අප්පච්චි පොඩි සද්දයක් එහෙම දානවා. ලොකු අවුලක් නෑ ඉතින්. විභාගෙ එහෙම ඉවර වෙලා ආතල් එකේ ඉන්න කාලෙනෙ.
නිදාගන්න ගියත් ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා තමා නිදාගන්නේ. ඔය වෙලාවටත් අප්පච්චි ඇවිල්ලා බර බරේ දාලා යන්නේ. ඇස් දෙක සවුත්තු වෙයි , ෆෝන් එක ළඟ තියන් නිදාගන්න හොඳ නෑ එහෙම කියලා. අපෙම හොඳට තමා ඉතින් කියන්නේ. ඒ වුනාට ඒකට ඇබ්බැහි වුනාම කොහොමද කියලා මේකේ ඉන්න ඇත්තොන්ට කියන්න ඕනේ නෑනේ ඉතින්.
ආ අමතක වුනා කියන්න. මේ වෙනකොට අම්මයි අප්පච්චියි ළඟ තිබ්බෙ පොඩි ෆෝන් දෙකක්. ස්මාට් ෆෝන් නෙවෙයි.
ඔහොම ටික දවසක් යනකොට අප්පච්චිට ඕනෙ වුනා ස්මාට් ෆෝන් එකක් ගන්න. “චූටි පුතා යංකො” කියලා මාත් එක්කම ගිහින් තමා ෆෝන් එක ගත්තෙ. දැන් ඔන්න පටන් ගත්තා ස්මාට් ෆෝන් පාඨමාලාව. කෝල් එකක් ගන්නේ මෙහෙමයි , මැසේජ් එකක් යවන්නේ මෙහෙමයි , ෆොටෝ එකක් ගන්නේ මෙහෙමයි කියලා ඉතින් වැඩ ටික ඔක්කොම ටික ටික කියලා දෙනවා. මම තමා ගුරුතුමා. පොඩි හරි අබිලික් එකක් වුන ගමන් ඉතින් දුවගෙන එනවා “අනේ චූටි පුතා මේකෙ මොකක්දෝ වුනා” කියලා. වෙලාවකට හරි වදේ ඉතින්. අපි පොඩි කාලේ ඒ මිනිස්සුන්ට දුන්නු වද වලට රිටන් එක තමා ඉතින් ඔය හම්බෙන්නේ.
ඔහොම ගිහින් ඉතින් අප්පච්චිට ඕනේ වුනා ෆේස්බුක් මල්යායෙ අකවුන්ට් එකක් හදාගන්න. ඕන් ඉතින් මං ඒකත් කරලා දුන්නා. දැන් තමා නියම වැඩේ පටන්ගන්නේ. වෙනදා මටයි අක්කටයි ෆෝන් එක පැත්තකින් තියලා නිදාගන්න කියන එක්කෙනා දැන් සද්දයක්වත් නෑ. බැලින්නන් ලයික් දානවා , කමෙන්ට් දානවා , රික්වෙස්ට් දානවා , විඩියෝ බලනවා එකී මෙකී නොකී වැඩ කෝටියයි. යකෝ අපි හොඳයිනෙ. “අප්පච්චි” කියලා කතා කරත් “හ්ම්” කියනවා. එච්චරයි. වෙනදා රෑට හැමතැනම ලයිට් දාලා කියලා අපිට බනින එක්කෙනාට දැන් ඒ ගැන වගේ වගක් නෑ. “බඩගිනියි අප්පා තාම උයනවද? ” කියලා අහන එක්කෙනාට දැන් “අප්පච්චි බත් කමු” කියලා පස්පාරකට වඩා කියන්න ඕනෙ. කෑම නැතත් ෆෝන් එක අතේ නම් එච්චරයි. දැන් ඉතින් කියන්න එපා අපහාස කරනවා කියලා. ඇත්ත කතාවනෙ ඉතින් කියන්නේ.
අන්තිමට කොහොමහරි මං තමා අම්මගෙන් බැනුම් අහන්න ඕනේ.
“යස අගේට හිටිය මනුස්සයා. උඹ තමා අර අටමගලයක් අටවලා දුන්නේ. දැන් මෙලොව සිහියක් නෑ.” කියලා මව්තුමියගෙ දෝස් මුරේ.
මේ වෙනකොට අම්මා ළඟත් ස්මාට් ජංගමයෙක් හිටියා. එයා ඉතින් ඔබ නලයේ ( යු ටියුබ් එකේ බං) කෑම හදන වීඩියෝ බල බල ඉන්නවා ඉතින්. එයාටත් අදහසක් දැම්මා ෆේස්බුක් අකවුන්ට් එකක් හදමුද කියලා.
” අනේ මට ඕනේ නෑ අනුන්ගේ ඕපදූප හොයන්න. මට ඊට වඩා වැඩ තියෙනවා” ඕන්න දීපු උත්තරේ. එපා නම් ඉතින් මට මොකො කියලා මාත් නිකන් හිටියා.
අම්මටසිරි සඳේ මල්කාන්ති ළිඳේ කිව්වලු. මෙන්න ටික දවසක් යනකොට මව්තුමියටත් ඕනවුනා ෆේස්බුක් මල් යායට එන්න. මාත් ඉතින් හෙන ඩයල් එක වගේ අකවුන්ට් එක හදලා දීලා වැඩ ටික කියලා දුන්නා. හැබැයි ඉතින් අප්පච්චි ගෝලයාට වඩා අම්මා ගෝලයා ඉක්මනට වැඩ ටික ඉගෙනගත්තා.
දැන් ඔන්න හරි වැඩේ. හතර දෙනාම සූරයෝ කියලා අපි හතර දෙනාම දැන් ෆේස්බුක් මල් යායේ සාමාජිකයෝ.
අරයා ලයික් කරලලු , මෙයා කමෙන්ට් කරලලු , තව කෙනෙක් ෆොටෝ එකක් දාලලු බ්ලා බ්ලා බ්ලා…. කියලා සෑහෙන්ට කතන්දර. දැන් අර ඕපදූප හොයන්නෙ නැති කතා නෑ. අනේ අපොයි. කාට කියන්නද ඉතින් .
වෙනදා රෑ 10 වෙනකොට ගොරව ගොරව බුදියගන්න කට්ටිය දැන් රෑ 11.30ටත් ඇහැරලා. අප්පච්චි කාමරේට වෙලා ෆෝන් එක ඔබනවා. අම්මා සාලේ පුටුවක් ඉඳගෙන ෆෝන් එක ඔබනවා. මමයි අක්කයි දෙන්නත් කාමරවලට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. ඒකත් මරු ඉතින්. ඔහොම තමා ඉතින් මේ දවස්වල වැඩේ යන්නෙ. ඒ වුනාට ඉතින් වෙලාවකට කට්ටිය සෙට්වෙලා එක එක කතා කිය කිය ඉන්නවා. හැම වෙලාවෙම හැම කෙනාම ෆෝන් එක ඔබ ඔබ ඉන්නෙ නෑ. සාමාන්යයෙන් ඉතින් රෑ වෙනකොට උඩ කිව්ව විදිහට තමා සීන් එක වෙන්නේ.
ඒකෙත් කියන්න තරම් අවුලක් නෑ ඉතින්. අම්මට අප්පච්චිට එහෙම පරණ යාලුවො හම්බෙනවා. කතා කරනවා. යාලුකම් අලුත් වෙනවා. පොඩි වෙනසක් නෙ ඉතින්. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. ඔය දහ අටේ විස්සේ කොල්ලො කෙල්ලොන්ට වඩා ටිකක් වයසක අය මේකට ඇබ්බැහි වෙනවා වැඩියි. හැමෝම නෙවෙයි. ඇයි කියලා කියන්න ඉතින් මම දන්නෙත් නෑ. ඔයාලටත් ගෙවල්වල ඒ වගේ අත්දැකීම් ඇති නෙ. තියෙනවනන් කියාගෙන යන්නකො පල්ලෙහයින්.
ආ මේක මගෙ පළවෙනි කතාව. අඩුපාඩු සෑහෙන්න ඇති. ඒ සම්බන්ධයෙන් මාගෙ දැඩි කණගාටුව මේ මොහොතේ පළකර සිටිනවා ඈ. පල්ලෙහයින් අදහසකුත් දක්වලා යන්ටකෝ එහෙනන්.
උපුටා ගැනීම: අමර බන්දු

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!