ගොරවන එක ලෙඩක් ද??? නින්දෙන් ලී ඉරන අය කියවන්න..

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නින්දෙන් ගොරවන අති බහුතරයක් දෙනා මෙය සාමාන්‍ය තත්වයක් යැයි හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේකෙන් එන අතුරු ඵල පවා නින්දෙන් ගෙරවීම නිසා ඇතිවෙන්නක් කියලා කවුරුත් දන්නෙ නෑ.
මොකද්ද මේ sleep apnea කියන්නෙ? මම අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙක්ට තිබෙන ඒත් දැනුවත්භාවය අතිශය අවම රෝගයක් පිලිබඳව. දන්න භාශාවෙන් කිව්වොත් නින්දෙන් ගෙරවීම ගැන. හැබැයි sleep apnea කියන්නෙ නින්දෙන් ගෙරවීමමයි කිව්වොත් ඒක වැරදි ප්රකාශයක්. මොකද නින්දෙන් ගෙරවීම මේ ලෙඩේ ලක්ශන රාශියක් අතරින් එක ලක්ෂණයක් පමණයි. නමුත් නින්දෙන් ගොරවන අති බහුතරයක් දෙනා මෙය සාමාන්ය තත්වයක් යැයි හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේකෙන් එන අතුරු ඵල පවා නින්දෙන් ගෙරවීම නිසා ඇතිවෙන්නක් කියලා කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් වීම ඉතා වටිනවා.
අපිට අනන්තවත් එදිනෙදා ජීවිතයේදී නින්දෙන් ලී ඉරනවා වගේ ගොරවන ගොර මාමලා ඕනතරම් හම්බෙනවා. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ. මේකට ප්රධානම හේතුව තමා ශ්වසන මාර්ගයේ සිදුවන අවහිරතාව. ඒ නිසාම මේකට Obstructive sleep apnea කියනවා. කොහොමද එතකොට මෙහෙම අවහිර වෙන්නෙ? පින්තූර බැලුවොත් පෙනෙයි අවහිර වෙන විදිය.
අපේ නාස් කුහරය සහ මුඛ කුහරය වෙන් කරන්නෙ තල්ලෙන් (pallet). තල්ල දෘඩ තල්ල (hard pallet) සහ මෘදු තල්ල (soft pallet) යනුවෙන් දෙකක් තියෙනවා. ඕන්නම් පොඩ්ඩක් ඇඟිල්ල දාලා අල්ලල බලන්න මුලින්ම මේ දෘඩ තල්ලත් ඊට පසුපසින් මෘදු තල්ලත් අහුවෙයි. මේ මෘදු තල්ල සහ අපේ දිව නින්දෙදි පසුපසට තල්ලු වෙලා ශ්වසන මාර්ගය පටු කරවනවා සමහර අයගෙ සම්පූර්ණයෙන්ම ශ්වසන මාර්ගය වහලා දාන්න පුලුවන් මට්ටමට මේ දෙක අවහිර වෙන්නත් පුලුවන්!
ඒ විතරක් නෙමෙයි අපි නිදාගනිද්දි අපි ඔලුවට කොට්ටය තියෙන ආකාරය සහ බෙල්ලේ පිහිටුම අනුවත් මේ ශ්වසන මාර්ගයේ අවහිරතාව වැඩි වෙන්න පුලුවන්. සරලව තේරුම ගන්න මතක් කරගන්න අපි ගෙවත්තෙ වැඩ කරද්දි හෝස් බටය නමපුවාම වතුර එන එක නවතිනවා වගේ හුස්ම අවහිර වීමක් තමා මේ වෙන්නෙ.
මීට අමතරව ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් තේරෙයි ගොරවන අතිබහුතරයක් ගොරමාමලා ගොරනැන්දලා තරබාරු උදවිය බව. මෙයාලට මේ sleep apnea ලේසියෙන් හැදෙන්න පුලුවන් මොකද එයාලගෙ බෙල්ලෙ ශ්වසන මාර්ගය ආශ්රිතව තැන්පත් වෙලා තියෙන මේද ස්ථරයෙන් මේ අවහිරතාව වඩා තීව්ර කරවන නිසා. මම මේ විස්තර කලේ obstructive sleep apnea ගැන. මීට අමතරව central sleep apnea කියලා වර්ගයකුත් තියෙනවා. ඒකෙදි වෙන්නෙ මොලයේ කාබන්ඩයොක්සයිඩ් ප්රමාන සංවේදන හැකියාව අඩු වීමෙන් වෙන අවුලක්. නමුත් මේක ගෙරවීමට සම්බන්ධ නොවන නිසා මම ඒ ගැන විස්තර කරන්න යන්නෙ නෑ.
දැන් තේරෙන්න ඇති මේ ගෙරවීමට හේතුව මොකද්ද කියලා. එතකොට ගොරවන හැමෝම sleep apnea අයද? ඒක තේරුම් ගන්න අපි මුලින්ම sleep apnea වලටම විශේෂිත ලක්ශන ටික බලමු. Sleep apnea කියන්නෙ කලින් කිව්වා වගේ නින්දෙදි සිදුවන හුස්ම ගැනීම අතරමග නැවතීමක් හෝ බාධාවක්. මේ හුස්මගැනීම නවතින එක තප්පර කිහිපයක සිට විනාඩි කිහිපයක් දක්වා පවතින්න පුලුවන්. මේ හේතුවෙන් රුධිරයේ ඔක්සිජන් ප්රමානය අඩු වෙලා කාබන්ඩයොක්සයිඩ් ප්රමානය වැඩි වෙනවා. එතකොට මොලයෙන් ඒ බව සංවේදනය කරගෙන මේ මනුස්සයව ක්ෂණිකව ඇහරවනවා. ඇහැරවලා ගැඹුරු හුස්මක් ගන්වනවා. ගොරමාමලා ගොරවනවා බලං ඉඳලා තියෙන අයට මතක් වෙයි ගොරවන අය එක දිගටම ගොරවන්නෙ නෑ කඩින් කඩ ගොරවන එක නවත්තලා එකපාරටම ලොකු ආස්වාශයක් අරගෙන චුට්ටක් ආයෙ ගොරවන්නැතුව ඉඳලා ආයෙ සර්කල් එක පටං ගන්නවා.
ඇත්තටම කිව්වොත් මේ අය නින්දත් නොනින්දත් අතර මැද්දෙ තමා හැමතිස්සෙම ඉන්නෙ. මොකද සාමාන්ය කෙනෙක් නිදාගනිද්දි එයාගෙ මාංශපේෂි සේරම සම්පූර්ණයෙන් රිලැක්ස් වෙලා තමා තියෙන්නෙ. ඒ වගේමයි ඇඟේ පද්ධති බොහොමයක් අඩුවෙන් වැඩ කරන්නෙ. නමුත් sleep apnea ගොරමාමලගෙ මාංශපේෂි රිලැක්ස් නෑ වැඩ. අනික් පද්ධති පවා රජයේ සේවකයෝ නයිට් ගගහා OT කරනවා වගේ එකදිගට වැඩ. ඉතිං දහවල් කාලයෙදි හරිම ලොකු වෙහෙසකාරි බවක් තමා මෙයාලට දැනෙන්නෙ. ඒ වගේම දහවල් කාලයේදී ලොකු නිදිමතක් දැනෙනවා. ඉතිං මෙන්න මේ ලක්ශන තියෙන ගොරමාමලා ගොර නැන්දලා තමා අපි මේ කතා කරන sleep apnea වලින් පෙලෙන්නෙ. ඒම නැතුව පැයකට එකවතාවක් ගොරවන ඈයො sleep apnea කිව්වොත් වැරදී. සාමාන්යයෙන් sleep apnea තියෙන කෙනෙක්ට පැයක් තුලදී නින්ද අතරමග නවතින මට්ටමේ ගෙරවිලි 30 වතාවක්වත් වෙනවා කියලා තමා පොත පතේ තියෙන්නෙ.
කොහොම උනත් මේ ගෙරවිල්ලෙ ඇති භයානකකම ගැන තාම අති බහුතරයකට කිසිම අවබෝධයක් නෑ. මගෙන් මීට අවුරුදු පහකට විතර කලිං ඇහුව නම් නින්දෙන් ගොරවන එක භයානකද කියලා මම කියාවි ගොරවන මිනිහට නම් කිසි අවුලක් නෑ එයා ලඟ නිදාගන්න මනුස්සයට නම් හෙන භයානකයි කියලා. ඒත් ඇත්තටම මේක අපි හිතනවට වඩා භයානක ප්රථිපල දෙන තත්වයක්. ගොඩක් ගොරවන්නො දන්නෙ නෑ එයාලට ඒ වගේ ප්රථිපල ලැබෙන්න හේතුවක් තමයි නින්දෙන් ගෙරවීම බව. මේ sleep apnea වල අහිතකර ප්රතිපල මොනාද සහ ඒ සඳහා තියෙන ප්රතිකාර මොනාද කියල අපි මීලඟ ලිපියෙන් කතා කරමු.
L. H. D. J. Sathsara
Physiotherapist
Base Hospital, Bibile

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!