2021 ලැබුවත් හරි කතාවක් ලියන්න බැරි උනා. මට හිතුනා මේ අවුරුද්දේ හැමිනෙන කතා ටිකක් ලියන්න ඕන කියලා. නෑ.. නෑ.. ඒ කිව්වේ එකකට එකක් සම්බන්ධ කතා ටිකක්. කොහොමත් මගේ වැඩ අනිත් පැත්තට නිසා. මම උපතින් නැතුව මරණින් පටන් අරගෙන උපතට එන්නම්.
දැන් අපි ඇත්තටම දුක් වෙන්නේ අපේම ලඟම කෙනෙක් මැරුණොත් විතරයිනේ. අනිත් ඒවයි අපි කරන්නේ මරණේ දැක්කම සෝක මෝඩ් එක පොඩ්ඩක් ඔන් කර ගන්න එක විතරයිනේ.
මමත් එහෙම තමයි. ඉස්සර ලංකාවේ ඉන්න කාලේ මළ ගෙවල් හොයාගෙන යන්නේ. අපි දන්න එකෙකුට යන්තමින් හරි ගෑවෙන නෑ කමක් තියෙනම් ඌට වඩා උනන්දුවෙන් තමයි අපි යන්නේ.
එක පාරක් මම කොග්ගල බ්රාන්ච් එකේ වැඩ කරන කාලේ ඒකේ මගේ එහා පැත්තේ කවුන්ටර් එකේ ඉඳපු එකාගේ ආච්චි නැති උනා කියලා ඌට කෝල් එකක් ආවා. ඒත් ඌ වැඩ.
පිස්සු යකෙක්නේ මූ. මම කවුන්ටරේ වහලා දාලා නැගිට්ටා. දැන් වාහන හොයනවා මළ ගෙදර යන්න, යන්න එන උන් ගාන බලනවා, බොන්න ගන්න ඕන බෝතල් වර්ගය ගැන ඒවට අදාල පුද්ගලයින් එක්ක සාකච්ඡා කරනවා , හොටෙල් එකකට කතා කරලා සියලුම මස් වර්ග වලින් බයිට් සෙට් කරනවා, බජට් එකක් හදලා එක එකාගෙන් සල්ලි එකතු කරනවා. තව එකෙක් බොංගෝ එකයි දර්බග් එකයි ටිවුන් කරන්න යනවා. තව එකෙක් මල් වඩමක් ඕඩර් කරනවා, බැනර් හොයනවා. ඒත් අර ගල් මූසලයා වැඩ.
දුර මළගෙයක් කියන්නේ තනිකර ට්රිප් එකක් තමයි. අපේ බොසත් ඕවට උපරිම සපෝට්. ඒ වගේ ඒවට මට තමයි කතා කරන්නෙත්. මොකද මම හැදුනේ අපේ තාත්තගේ ලෙයින් විතරක් නෙමෙයි. ඒ ලේ වල තිබ්බ ඇල්කොහොල් වලිනුත් එක්ක.
කොග්ගල වයින් ස්ට්රෝස් එකක් නෑ. මම තව එකෙක් අල්ලගෙන බස් එකේ අහංගමට ගිහින් බෝතල් අරගෙන එන්නේ. එහෙමයි උනන්දුව. මේ ඔක්කොම කරලත් මම හතර හමාර වෙද්දී වාහනේට බඩු ටික දාලත් ඉවරයි අනිත් උන් එක්ක සෙට් වෙලා. ආච්චිගේ අයිති කාරයා තාම වැඩ. ඒත් ඉතින් උගේ ආච්චිට හාල් ගරනවද කියලා කටක් ඇරලත් අහන්න බෑ නේ.. දැන් හාල් ගරලා මොනවා කරන්නද?
කොහොම හරි පහයි කාල වෙද්දී පිට උනා. වාහනේට නගින එකාට මගේ අතින් කප් එකයි සර්වියට් පේපර් එකයි දෙනවා. වාඩි උන ගමන් බෝතයෙයි සෝඩා එකයි දෙනවා. ප්ලේන් එකකවත් නැති සැපක් අපි දෙන්නේ.. දෙක නමද්දී සින්දු එනවා. මළගෙදර අයිති එකා ඉස්සරහා සීට් එකේ. අපි දැන් සින්දු කියාගෙන යනවා.ගෙදරට ලං වෙද්දී අරූ කිව්වා. අපි බොංගෝ, දර්බග් සීට් යට තැන්පත් කරා. මූඩ් චේන්ජ් කර ගත්තා. දැන් දකින උන්ට හිතෙන්නේ මේ මැරුණේ අපේ ආච්චි කියලා. ඒ තරමේ දුකක් මූනේ.
ගිහිල්ලා බැස්සා විතරයි. අරූගේ තාත්තා ආවා. කටෙන් එකයි හිනාව තාත්තගේ. දැන් අපිට අවුල්. මාර සතුටකින් අපි පිලිගත්තේ. එන්න එන්න කියලා කෙලින්ම කාමරේකට එක්ක ගියා. යකෝ මිණිය දැක්කෙත් නෑ.. මල් වඩම උස්සගෙන ආව එකත් ඒක අරගෙනම මේ කාමරේට ආවා. බැනර් එක අතේ තිබ්බ එකා ඒකත් පොල්ලක් වගේ උස්සගෙන අපේ පස්සෙන්.
කාමරේට ගියා විතරයි තාත්තා දොර වැහුවා. අපි බලනවා මේ මොන හුයන්නක්ද වෙන්න යන්නේ කියලා. ඒ කාමරේ හරි මැද මේසයක් තියලා වටේ පුටු තියලා. වාඩි වෙන්න, වාඩි වෙන්න කියලා කිව්වා අපිත් වාඩි උනා. මල් වඩම මේසේ ලඟ. තාත්තා අල්මාරියක් ඇරලා ගත්තා බෝතල් දෙකක්. අපි ගහපු වර්ගෙමයි. සෑ වෑවු.. කවලම් වෙන්නෙත් නෑ. ඒක මේසේ උඩ. ටිකකින් චිකන්, මාලු ඇඹුල්තියල්, පපඩම්, බැදුම් මේසේ උඩ. මෙන්න මළගෙවල්. අපිට පට්ට සැට.
ඒ අතරේ වෑන් එකේ ගහපු එකෙන්ම වැදුන එකෙක් අහනවා අර දෙකත් අරන් එමුද කියලා. මම ඇහුවා මොකක්ද කියලා. බොංගෝ එකයි, දර්බග් එකයි. මම ඌට කිව්වා, රත්තරං පැටියෝ.. මගේ චූටි මහත්තයෝ.. මේ අහපං දෙයියෝ.. අපි ආවේ මළගෙදරකට මයේ අම්මා. මේකේ උඹේ මව් නොගෙන පාඩුවේ ඉඳපං කියලා. ඔන්න ඒ පාර මූ කටයි පුකයි වහගෙන වාඩි උනා.
අපේ එකාගේ තාත්තා ගත්තා බෝතලේ අනිත් පැත්ත හරවලා පතුලට වැලමිටෙන් දුන්නා එකක්,ප්ලොක් ගාලා නැවුම් බවේ සද්දේ ආවා.. ඒ සද්දෙට කට්ටිය මූණට මූණ බැලුවා. බ්රස් බ්රස් ගාලා මූඩිය කරකවලා ඇරියා. වීදුරුවෙන් එකක් පුරවලා දාගත්තා. ඔන්න එහෙනම් මම ගත්තා කියලා සෝඩත් නැතුව මේ යකා ඇරලා දැම්මා ඒක. අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා. පුදුමාකාර පිපාසෙකින් මේ යෝධයා ඉඳලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්නවා අපිට බෝතලේ දෙනකන්.
කොහොම හරි ඒ බෝතලේකු ඉවර උනා. දැන් ආච්චි මෙතනට ආවොත් මිසක් අපි නම් එතනට ගිහින් ආච්චි බලන්නේ නෑ. ඔය අතරේ හිටියා අපේ ස්ටාෆ් එකේ ටිකක් වයස ඩයල් එකක්. හොඳ රස පොර වගේම බ්ලොටින් පේපර් එකක්. උගේ යටි පතුලේ හිලක්ද කොහොද. කොච්චර බිව්වත් ගානක් නෑ. හැබැයි පොරට හාට් සීන් එකක් තියෙනවා කියලා මොකක්ද පෑනක් වගේ එකක් සාක්කුවේ දාගෙන ඉන්නේ. හදිස්සියක් උනොත් දිව යටටද කොහෙද ගහන්නලු තියෙන්නේ. ඒක ඒ දවස් වලත් පට්ට ගනන්.
දැන් අපේ එකයි අරූගේ තාත්තයි සැපට ගහනවා. එක්කුස උපන් සහෝදරයෝ වගේ බදාගන්නවා. ඉඹ ගන්නවා එක විකාරයයි. ටිකකින් ආදරේ වැඩි උනා අර පෑන වගේ එක උඩින් ගියා බිම වැටුනා. කුඩු. දැන් අපිට බයයි යද්දි මූට මොනවා හරි උනොත් දිව යටට මොනවා දාන්නද.
කොහොම හරි සෙට් එකම දාගෙන පාන්දර තුන විතර වෙද්දී අපි කොග්ගලට ආවා. දැන් එකා එකා බහිනවා. මෙන්න යකෝ අර මල් වඩම අරන් ගියපු එකා ඒකත් අරන් බහිනවා.
මූ බඩු පිට ගෙනියපු මල් වඩම ආයෙත් අරං ඇවිල්ලා. ඒක පාඩුවක් උනේ නෑ. එකෙක් හිටියා කබරයා දාලා මැරිලා වගේ. ඌව හාන්සි කරලා මල් වඩම උගේ ලඟ තියලා. ඌට වැඳලා අපි ගියා.
ආහ්.. කොහොම කරත් මළගෙයක් නිසා ඔය ෆොටෝ එකේ විදියට අඬ අඬ තමයි ඕක ගැහුවේ මම ..
උපුටා ගැනීම: Sajitha Roshan