………සොල්දරය…….. (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ වෙනකොට මට අවුරුදු පහක් හෝ හයක් මම හිතන්නේ. ඔය කියන්නෙ දැන් අවුරුදු පනහකට විතර කලින්. ඉස්කොලේ හෝඩියේ පන්තියේ හෝ දෙකේ පන්තියේ මම ඉන්න ඇත්තේ . තාත්තා වැඩකලේ මිනිදෝරු දෙපර්තුමෙන්තුවේ. අම්මත් ටිකක් ඈත ඉස්කොලෙක උගැන්නුවෙ. දෙන්නම එද්දි හවස් වෙනව. ඒකාලෙ දැන් වගෙ නෙවෙයි හැම පවුලකම ළමයි හතක් අටක් ඉන්නවා. ඒත් අපේ පවුලෙ මම විතරයි. ඉතින් ඉස්කොලේ ඇරිල ආවම මම ඉන්නෙ ලොකු අම්මලාගෙ ගෙදර . උන්දැටත් අපෙ අම්මට මාව හම්බෙන්න මාස කීපෙකට කලින්ලු කොලු පැටියෙක් හම්බ උනේ . අඩු වයසෙන් ලැබුනු දරුවෙක් කියලයි මට යමක් කමක් තේරෙන කාලෙදි දැනගන්නට ලැබුනෙ . ඒ කොලුව අවුරුදු දෙකක් විතර ඉදල වලිප්පුව හැදිල නැති උනාලු. ඒ කාලෙ දැන් තරම් වෛද්ය සාස්තරය දියුනු නැහැ, මිනිස්සුත් ගොඩක් නූගත් .
ඉතින් ලොකු අම්මටත් දරුවෙක්ට ඉදියෙ මම විතරයි. උන්දැත් මට පන ඇරලා. අම්මටත් වඩා උන්දැ මට ආදරෙයි මමත් එහෙමයි . මම උන්දැට කීවෙ ලොකු අම්ම නෙවෙ මගෙ අම්මා කියලා. අපෙ අම්මට කිවෙ ඉස්කෝලෙ අම්මා කියලා. ඒ මට ඒකාලෙ දැනුන තේරුනු හැටි.
ඉස්කොලේ ඇරුනු ගමන් එක පිම්මට ගෙදර දිව්වා. ඇදුම් ගලවලා දැම්ම. ලොකු අම්මම මහල දුන්නු ජංගි කොටෙ ඇදගත්තු මම එක පිම්මට ආයෙත් ලොකු අම්මලාගෙ ගෙදර කුස්සියෙ තමයි නැවතෙන්නෙ. ඒ ගෙදර ටිකක් පරන තාලෙ ගෙයක්. ඒ කාලේ අපෙ මුත්ත කෙනෙක්ලු ඒක හදල තියෙන්නෙ . පරන වලව්වල තියෙන පෘතුගීසි පන්නයේ ගෘහ නිර්මාන ක්රමයක් තමා ඒ ගෙදර තිබුනෙ මට ඔය කියන කාලෙනම් ඕව ගැන තේරුමක් නැහැ . ගෙදර ටිකක් පාලු අදුරු පෙනුමක් තිබුනත් ගෙදර ලොකු නිසා මට සෙල්ලම් කරන්න ඕනෙ තරම් තැන් තිබුනා. ඒ නිසාත්, ලොකු අම්මා මට ලොකු සෙනෙහසක් දක්වපු නිසාත්, ඒ විතරක් නෙවෙයි ප්රධනම හේතුව උන්දෑ හදන එක එක කෑම කන්න තිබුනු පෙරේතකමත් නිසා මම එහෙ ඉන්න ගොඩක් ඇලුම් කලා.
එහෙ ලොකු සොල්දරයක් තිබුනා. ඒකෙ උඩ පරන බඩු මුට්ටු දාල තියෙනවා කියලයි කීවෙ. ඒකට නගින්න ලී තරප්පුවක් තිබුනා. ඒත් හැම වෙලාවකම ඒක උඩ එල්ලලායි තිබුනෙ. සොල්දරේට රිංගන දොරත් ඉබ්බො දාලමයි තිබුනෙ. මට ඕක උඩට යන්න සෑහෙන ආසාවක් තිබුනෙ. ඒත් මං තියා කවුරුවත් ඕකට යනව බඩුමුට්ටුවක් ඒකෙන් ගන්නව දැකල තියා අහලවත් තිබුනෙ නැහැ .
හැබැයි ඕක ඇතුලෙන් නොයෙකුත් සද්ද බද්දනම් ආවා. හරියට සත්තු දගලනව වගේ. ලොකු අම්ම කීවෙ දඩු ලේන්නු ඉන්නවා කියලා. ඒත් බල්ලෙක් කෙදිරිගානව වගේ හඩකුත් නිතර ආවා. මට ඒතරම්ම ඕක ගැන කුතුහලයක්වත් උනන්දුවක්වත් තිබුනෙ නැහැ ඇත්තටම. ඒත් අපේ අල්ලපු ගෙදර ගාමිණීට උන්ගෙ තාත්තා දඩු ලේන් පැටියෙක් අල්ලලා දීපු දවසෙ ඉදන් මට ඕනෙ උනා කොමහරි සොල්දරෙට රිංගලා දඩු ලේන පැටියෙක් අල්ලාගන්න. මම ලොකු අම්මට ඕක කීවම මං දිහා රවලා බැලුවා හරියට බටකොල ආච්චි වාගේ. හොඳ තරව්ටුවක් එක්ක මට ඒක තහනම් උනා. ඊට පස්සේ මට සොල්දරෙට රිංගන දොර තියෙන තැන ගැවසීමත් තහනම් උනා.
ඉතිං හැම පොඩි එකාටම වගෙ මගෙ ඔලුවෙ වැඩ කලේ එපා කියපු තහනම් කරපු වැඩේ කොහොමහරි කරන එක. ගාමිනියගෙ ආඩම්බරේ යවන්න මටත් දඩුලේනෙක් හදාගන්න උවමනාවත් ඊට නොදෙවෙනිව තිබුනා.
එදා ඉස්කොලේ ඇරිල ලොකු අම්මලාගෙ ගෙදරට යනකොට ලොකු අම්මා වැලිතලප හදලා. එයාගෙ හොදක් තියෙන්නෙ හදනකොට කෑමක් හදනව ගමකට ඇති වෙන්න . එදත් වැලිතලප මදි නොකියන්න හදල තිබුනෙ . ලැබුනු අවසරයෙන් වට්ටියෙ තිබුනු වැලිතලප කෑලි හත අටක්ම මම මඩක්කුවකට දාගන කුස්සියෙ තිබුනු පරන බූරු ඇදට පැන්නා. කෑලි පහ හයක් එක හුස්මට ගිල දැම්මත් ඉතිරි ටිකනම් ටිකක් අමාරුවෙන් පෙරේතකමට ගිල දැම්මෙ. ලොකු අම්මා කහට කෝප්පයක් හදාගන ඇවිත් මට දීලා ,
” මමත් යනවා කොලුවො ටිකක් හාන්සි වෙන්න උබත් ඔහෙ එහෙ මෙහෙ දගලන් නැතුව ඔය බූරු ඇදෙන් හරි නැත්නම් අර ඇතුලෙ කාමරේකින් හරි නිදාගනින් පැටියො” කියලා ලොකු අම්මා උන්දලාගෙ කාමරේට ගියා.
උදේ ඉදන් ඉස්කෝලෙ දගලල දගලල තිබුනු මහංසියටයි අර වැලිතලප කැටියක් ගිලලා ආපු මතේටයි මටත් හොඳ නිදිමතක් ඇවිත් තිබුනෙ. මටත් එහෙමම බූරු ඇදේ නින්දගියා.
ඔහොමම නින්දෙන් වගේ මගෙ සිහියට ආව ලේන් පැටව් ගැන. එහෙමම බූරු ඇදේ වාඩිඋනු මට කල්පනා වුනේ ලේන්නු ගන්න සොල්දරෙට නගිනවානම් මේක තමා හොදම අවස්තාව කියලා. ඒ වෙනකොට මම දැනගෙනයි තිබුනෙ ලොකු අම්මගෙ යතුරු කැරැල්ල තියෙන තැන. ලොකු අම්මගෙ කාමරේ තියෙන පැදුරු ආනෙ අස්සෙ තමා ලොකු අම්මා ඒක හංගන්නෙ. මම හෙමිහිට කාමරයට රිංගලා ලොකු අමමට නොදැනෙන විදියට යතුරු කැරැල්ල අරගන සොල්දරයට ගොඩවෙන තැනට ආව. ඒත් තරප්පු පෙල පහලට ඇදගන්න මම උස මදි. දුවල කුස්සියට ගියපු මම උස කොලොම්බු කැටයක් අරගන ආයෙත් එතනට ආව. කොහොමහරි කොලොම්බට නැගල දගලල දගලල තරප්පුව පහතට ඇදගත්තා. ඒක ජර බර ගාගෙන ලොකු සද්දයක් එක්කයි බිමට පාත් වුනෙ. මම බය වුනා ලොකු අම්මා ඇහැරෙයිදො කියල. නැහැ මට ඇහෙනව උන්දැ හොදටම ගොරවනව.
ඒත් සොල්දරෙ ඇතුලෙන් අර ලේන්නු දගලන සද්දෙ ටිකක් වැඩියෙන් ඇහෙන්න ගත්තා. ඒත් එක්කම අර බල්ලෙක් කෙදිරිගානව වගේ සද්දෙත් ටිකක් වැඩියෙන් ඇහෙන්න ගත්තා. ලේන්නු ගැන ආසාවට වඩා පොඩි බයක් ඒපාරනම් හිතට දැනෙන්න ගත්තා. කොහොමහරි තරප්පු පෙල දිගේ සොල්දරෙ දොර ගාවට නැගල ඉබ්බට යතුරු එකින් එක දාන්න උනා මම. ඒ කැරැල්ලෙ යතුරු තිහක් විතර තිබුනා. ඒ මදිවට ඒ සේරම එක වගේ. යතුරු සද්දෙ ඇහිල ලොකු අම්මා එයි කියලා පපුව ඩිග් ඩිග් ගාන්න ගත්තා. ඒත් ලොකු අම්මා තවම ගොරවනවා ඇහෙනව. ඒත් සොල්දරෙ ඇතුලින් අර බල්ලා කෙදිරිගාන සද්දෙ නිකම් සොල්දර දොර ගාවට එනවා වගේ ඇහෙන්න ගත්තා. ඒපාරනම් මගෙ ඇගට දාඩියත් දැම්මා. අත් දෙකත් වෙවුලනවා…
ඔට්ටුවෙලා ඔට්ටුවෙලා කොමහරි යතුරු පහලොවකටත් වඩා උත්සහ කරාම යන්ත්ම් හරි යතුර ඉබ්බට වැටුනා. ඉබ්බ ඉවත් කරල හෙමිට පැතතකින් තියලා කොන්ඩිපට්ටම අයින්කලා. දොර ටිකක් තදට දැනුනා මහ කාලකණ්ණි ජරා සද්දයක් දාගෙන දොර ඇරුනා. මම හිතුවෙ පරන බඩුමුට්ටු වලින්, මකුලුදැල් වලින් දොර ගාවටම සොල්දරෙ පිරිල තියෙයි කියලා. වහලෙ පැත්තක සිංහළ උලු අස්සෙන් දාල තිබුනු වීදුරු කෑල්ලෙන් හවස බැහැගෙන යන ඉර එලියෙ මලානික ආලෝකයට යන්තම්ට වගේ සොල්දරෙ ඇතුල පේන්න ගත්තා.
මම තවමත් ඉන්නෙ ඔලුව විතරක් සොල්දරෙට ඔබාගන. ඇතුලෙ කිසිම බඩුමුට්ටුවක්වත් මකුලුදැල්, දූවිලිවත් පේන්න තිබුනෙ නැහැ. අර ලේන්නු දගලන සද්දෙවත්, බල්ලෙක් කෙදිරිගානව වගේ සද්දෙත් ඇහෙන්නෙත් නැහැ .
ටිකක් වෙලා එක එල්ලෙම බලාගන ඉදපු මගෙ ඇස් හොදට ඒ මද ආලොකයට හුරු උනා. සොල්දරෙ කෙලවරට වෙන්න පැදුරු කඩමාල්ලක් තියෙනවා මට පෙනුනා. එතනම පිගානක් වගේ භාජනයකුත් තියෙනව මට පෙනුනා. පැදුරට උඩින් වහලෙ යටලීයක ඉදන් කොහු කඹ කෑල්ලක් බිමට එල්ලෙනව. මම ඒ කඹ කෑල්ල දිගේම මගේ ඇස් යොමුකලා. ඒක සොල්දරෙ බිම දිගේ මගෙ දිහාවටයි යොමු වෙලා තිබුනෙ……
එකපාරටම අර බලු කෙදිරිලි හඩ මගේ ලගින්ම ඇහෙන්න ගත්තා. කවුරුහරි මගෙ ලගින්ම ඉදන් හයියෙන් හුස්ම ගන්නවා. මගෙ ඇග හිරිවැටිල යනව මට දැනුනා. එකපාරටම ඒ කෙනා මගෙ ඉදිරියටම මතු වුනා. මගෙ උගුරකට වේලිලා ගියා. මට කෑගහන්න ඕනෙ උනත් මගෙ කටින් හඩක් පිට වුනේ නැහැ………..
මට තවමත් මතකයි ඒ මගෙ වයසෙම කොල්ලෙක්. නැහැ ඒ මමමයි. මගෙ මූනමයි. මගෙ පෙනුමමයි. ඒත් ඒ කොල්ලගෙ අත් දෙක නැහැ, ඔව් අත් තිබුන් නැහැ. කකුල් තිබුනෙත් නැහැ. මගෙ ලගට එන්න ඇත්තෙ බඩගාගනද? පාවෙලාද? දෙවියනේ ඒ කඹෙන් ගැටගහල ඉදියෙ කව්ද ? මගෙ සර්වාංගයම ගල්වෙලා යනවා මට දැනුනා. දගලන්න, එතනින් පැනගන්න හදපු මම තරප්පු පෙලේ උඩ ඉදන් පහලට ඇදගන වැටෙනවා මට මතකයි. මගෙ හිස කොහෙදො තදින් වැදුනා. මගෙ ඇස් කලුවර වේගන යනවා අවසානයට මට මතකයි.
තද හිසෙ කැක්කුමක් එක්ක මට ඇහැරුනා. මගෙ කකුලෙනුත් වේදනාවක් දැනුනා. මම මේ කොහෙද? ටික වෙලාවක් යනකම්ම මට හිතාගන්න බැරි වුනා. මලානික චිමිනි ලාම්පු එලියෙන් තාත්තා පුටුවක වාඩිවෙලා සුරුට්ටුවක් උරනවා මට පෙනුනා. මම ඉන්නෙ අපෙ ගෙදර සාලෙ තිබුනු තාත්තාගෙ ඇදේ. අම්මා කිරි වීදුරුවක් අරගන ඇවිත්. මං ලගින් වාඩි වුනා.
“අම්මෙ මට මොකද උනේ..?”
“මොකද උනේ තමයි, උබේ හපන්කම් තමයි. ලොකු අම්මා එපා කියද්දිත් උබ අර අඹ ගහේ බඩගාන්න ගිහින් ලිස්සලා වැටිලා ඔලුව වැදිලා. පැයගානක් උබ සිහියක් නැතුවයි ඉදියෙ. ඉලුක්ගාලෙ වෙදානම් කීවෙ ඒහැටි අමාරුවක් නැහැ ඔලුව වැදුනු ගැස්මට, කම්පනේට කියලා. කෝකටත් හෙට ඉස්පිරිතාලෙ යමන් දොස්තර බෙහෙත් ටිකක් ගන්ට.”
“එතකොට අම්මෙ සොල්දරෙ හිටපු කොල්ලා…….
උපුටා ගැනීම: Konara Bhanuka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!