සෝමසිරි ආදිපොල සර් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම කොලඹ නාලන්දා විද්යාලයට ඇතුලත් වුනේ 9 පංතියේදී.මගේ පංතිභාර ගුරුතුමා වුනේ සෝමසිරි ආදිපොල ගුරුපියාණන්.අණ්ඩපාල කොල්ලන්ව ඇගට නොදැනි ටැකල් කරපු,සිලබස් එකත් ගානට කවර් කරපු ආදිපොල සර් ගැන අපූරු මතක ටිකක් තියෙනවා.
සර් කවදාවත් එකම කට්ටියකට ඉස්සරහවත් පිටිපස්සෙවත් ඉන්නෙ දුන්නෙ නෑ ඩෙස් පේලි වල.ඒ කියන්නෙ back benchers ලා නැහැ පංතියේ .රෙජීස්ටර් එකේ අංක පිලිවෙලට පංතිය වටේට දිනපතා රොටේට් වෙන්න ඕනෑ.මේ ක්රමය අනුව හැම ලමයෙක්ම හැම ඩෙස් එකකම වාඩි වෙනවා .තමන්ට විශේෂිත ඩෙස් පුටු තියාගන්න විදිහක් නෑ.
රෙජිස්ටර් එක මාක් කරද්දි කවදාවත් නම් කියන්නෙ නෑ.”එක!දෙක!තුන!..”කියලා කියාගෙන යනවා.හැම ලමයෙක්ම කල්පනාවෙන් ඉදලා ප්රසන්ට් කියන්න ඕනෑ.ඒ වගේම තමුන්ගෙ දෙපැත්තේ දෙන්නා ගැන උදේට හෝදිසියෙන් ඉදලා,ඇවිල්ලා නැත්නම් ඇබ්සන්ට් කියලා සෙනිකව කියන්න ඕනෑ.නැත්නම් ඉතින් පලවෙනි පීරියඩ් එක ඉවර වෙනකම් ඩෙස් එක උඩ හිටගෙන ඉන්න වෙනවා.ඒ කියන්නෙ මගෙ අංකෙ 40 නම් අංක 39යි 41යි ඇවිල්ලද නැද්ද කියලා මම දැනගෙන ඉන්න ඕනෙ.
ඩෙස් එක උඩ නැග්ගවීම, ඩෙස් එකයි පුටුවයි අතර දණ ගැස්සවීම,ඩෙස් එක යට රිංගවීම සර්ගෙ ජනප්රිය දඩුවම් ක්රම.සමහර වෙලාවට ඩෙස් එක උඩ නැගලා බෑග් එකත් ඔලුව උඩ තියන් ඉන්න වෙන්නේ.
පංතියේ කොස්ස සම්බන්ධයෙන් එහා පංති සමග මාරක සංග්රාම යන බව දැන ගත්තම සර් යෝජනා කලා ක්රමයක්.කොස්ස දෙකට කපලා පංතියේ කබඩ් එකේ දාලා ලොක් කරලා තියනවා.උදේට එස්ලෝන් බට කෑල්ලකින් කොස්ස සම්බන්ධ කරගෙන අතුගාලා ආයෙ කබඩ් එකට දානවා.අනිත් පංති කොසු වෙනුවෙන් මරා ගනිද්දී අපි එකම කොස්සක් සෑහෙන කාලයක් තියා ගත්තා.
ඉස්කෝලෙ පිංකමක් තියෙනකොට පංතියකින් පොල් තෙල් බෝතලයක්,හදුන් කූරු ,පහන්තිර එහෙම දෙන්න ඕනෙ.සර් කවදාවත් එක ලමෙකුට ගේන්න භාර දෙන්නෙ නෑ.පංතියේ හැමෝම පොඩි ඕඩිකොලොන් කුප්පියකට හරි පොල්තෙල් පොඩ්ඩ පොඩ්ඩ ගේන්න ඕනෙ.ඒ වගේමයි හදුන් කූර බැගින්,පහන්තිර එක දෙක ගානෙ හරි ගෙනත් ඇබිත්තකින් හරි පිනට සම්මාදම් වෙන්න ඕනෙ.හැබැයි අන්තිමට බෝතල් දෙකහමාරක් විතර එකතු වෙනවා පිංකමට දෙන්න.අනිත් ඒවත් වෙන පංති වලට වඩා තොග වශයෙන් එකතු වෙලා.
සිල් සමාදන් වීමෙදිත් එහෙමයි.ලමයි හතලිස් ගානටම බරක් නොවෙන්න අවශ්ය දේවල් චුට්ට චුට්ට භාර දීලා අන්තිමට සුපිරි ලන්ච් එකක් ඇගට නොදැනි ලෑස්ති කරවනවා.වෙන පංතිවල නැති සලාද,බැදපු මාලු,කට්ලට්,අන්නාසි පෙති එහෙම අපේ දානෙ වේලට ඇතුලත්!ආර්ථික අපහසුතා තියෙන ලමයි වගේම මේ හතලිස් ගානටම පොකට් මනි වලින් විතරක් සුපිරි හෝටලේකින් කෑම ගෙන්නන්න පුලුවන් ලමයිනුත් අපි අතර හිටියා.ඒත් සර්ගෙ පංතියෙදි හැමෝම සමානයො.හැමෝම පිනට සහභාගි වෙන්න ඕනෙ.බත් ග්රෑම් පන්සීයක් වුණත් අවුලක් නෑ.ප්රධාන ආහාර බාර දීල ඉවර වුනාම ඉතිරි දහ දොලොස් දෙනාටම අයිස් ක්රීම් බාර දෙනවා!
අපි සිල් ගන්නේ ඉතින් මේ දානෙ වේල සහ අයිස්ක්රීම් වෙනුවෙන්..(ලැජ්ජාව වරහන් ඇතුලෙ)සර් කොච්චර අයිස්ක්රීම් ගෙන්නනවාද කිව්වොත් ලමයි ඩෙසට් කප් නෙමෙයි,ජොග්ගු තමයි අයිස්ක්රීම් වලදන්න අරන් එන්නෙ!
ලමයි වට වෙලා එකම කෑම එක හුගදෙනෙක් කනවට සර් වැඩිය කැමති නෑ.ඉතින් සර් ඕකට කතාවක් කියනවා.
“ලමයි ඔහොම වට වෙලා කන එක හරි නෑ.බලනවා බලු කපුටු දානෙ වගේ!ඕක සවුක්කෙට හොද නෑ..!”සර් කියනවා.”ඕගොල්ලො දන්නවද එකම රොටිය පංතියක්ම කාලා වෙච්ච දේ?”
අපිත් කලින් කී සැරයක් ඕක අහලා තිබ්බත් “නෑ!”කියලා බෙරිහන් දෙනවා.
සර් ඉතින් ඉඩම් නඩුවක් හින්දා කට්ටි දෙකක් විරසක වුණු විදිහයි,එක ගෙදරක පාන් පිටි පෙට්ටිය ට අනිත් ගෙදර තරහ කාරයො වස දාපු හැටියි රස කර කර කියනවා.
“අනේ ඉතින් දුප්පත් ගෙවල්නෙ ලමයි.ඔන්න දවසක් ගෙදර ලමයට ඉස්කෝලෙට බත් යවන්න විදිහක් තිබ්බෙ නෑ.අර පිටි වලින් අම්මා රොටියක් හදලා දුන්නා!ලමයත් ඕක අරගෙන ගිහිල්ලා කෑම කන වෙලේ ඔක්කොමලත් එක්ක කෑවා.හොද වෙලාවට කැවුනෙ පොඩි කෑලි හින්දා කවුරුවත් මලේ නෑ.හැමෝටම යහමින් බඩවල් සුද්ද වුනාලු..!දැන් තේරෙනවනෙ ඕකෙ භයානක කම!”
මේ කතාව අහගෙන ඉන්න ලමයි කෑගහනවා,
“ඉතින් සර් ලමයා තනියෙන් කෑවනම් මැරෙනවනෙ?කොච්චර හොදද එකතු වෙලා කාපු එක !”කියලා.
සර් ටිකක් වෙලා කට කොනකට හිනාවක් දාගෙන කල්පනා කරල බලනවා .
“ඔන්න බලනවා තමුසෙල ඒකෙන් ගත්ත ආදර්සෙ!ඒකෙ ඇත්තකුත් තියෙනවා තමයි.ඒ වුනාට අයිසෙ අර මිනිහා විතරක් මැරිලා ඉවර වෙන්න තිබ්බ එක, අදාල නැති එවුන්ටත් බඩ ගියානෙ? පංතියම මලානම් එහෙම..?ඒක හින්දා එහෙම කන එක වැරදියි!”සර් තීන්දුව දෙනවා.ඊට පස්සෙ අනිත් අතට,
“දැන් තමුසෙලාගෙන් කවුද අද ඉන්ටවල් එකේ තමුන්ගෙ කෑම එක බෙදා ගන්න හිතා ඉන්නෙ තාමත් ?උස්සනවා බලන්න අත්?”කියලා අහනවා.
කීප දෙනෙක් අත උස්සනවා.
“ආ නගිනවා නගිනවා ඩෙස් උඩ! මෙච්චර ආදුරුසුමත් කතාවක් කියලත් හැදෙන්න බෑනෙ!”සර් කියන්නෙත් හිනා වෙවී.අත් උස්සපු ලමයි සපත්තු ගලෝල ඩෙස් උඩ නගින්නෙත් හිනා වෙවී !
ඔහොම කරනවා මිසක් ලමයි වට වෙලා කන එක නවත්තන්න සර් ලොකුවට තහංචි දාන්නෙත් නෑ.ඉතින් ඒක නතර වෙන්නෙත් නෑ.
සර් හිටිගමන් කියන තවත් කතාවක් තියෙනවා.
“දැන් බලන්න ලමයි ඕගොල්ලෝ කොච්චර හොද ලමයිද කියලා? ලංකාවේ ලමයින්ට තාම හොදට ගුරු ගවුරවය තියෙනවා.ඒකට ඇමරිකාවෙ එහෙම ලමයි දැන් වල් සත්තු වගේනෙ!”
“අනේ සර් ඇමරිකාවෙ ලමයි කොහොමද? අපිට කියාදෙන්න!”ලමයිනුත් කතාවට සෙට් වෙනවා.
“ඇමරිකාවෙ ලමයි සීතලට ඕවර්කෝට් එකක් ඇදගෙනනෙ ඉස්කෝලෙ යන්නෙ!ඒකට යටින් තියෙන්නෙ පොඩි යට ඇදුමක් විතරයිලු.ඕවර්කෝට් එක ගලවලා එල්ලලා පංතියට එන්නෙ ඒ විදිහටලු!”
“ඒ කියන්නෙ සර් ජොකා පිටින්ද?” පංතියේ කටකාරයා මලිත් අහනවා.
“චෑ!චෑ! එහෙම කියන්න එපා ඕයි!සස්පෙන්ඩරේ පිටින් කියනවා!”සර්රුත් කියනවා.
“ඉතින් ගෑනු ලමයි පිරිමි ලමයි තමුන්ගෙ ලෝක වල නිදහසේ සත්තු වගේ හැසිරෙනවලු.ගුරුවරුත් බයලු උන්ට මුකුත් කියන්න!ගුරුවරුන්ට කතා කරන්නෙත් නම කියලනෙ? හේ මැක්..!හේ පීට්..!”
“සර් ඉතින් ගුරුවරු බය ඇයි?”
“ඇයි ලමයෝ,උන්ගෙ ලග තුවක්කු පිස්තෝල තියෙනවනෙ?වචනයක් වරදින්ඩ බෑ, ඇදලා අරන් තියල දානවලු!”
“සර් එතකොට වෙන ඇදුමකුත් ඇදල නැත්නම් පිස්තෝලෙ ගන්නෙ ජොකා අස්සෙන්ද?” මලිත් මැද්දට පැනල අහනවා.
“ඒකත් හැබෑව!අර කිව්වත් වගේ සස්පෙන්ඩරේ අස්සෙන් තමයි ඕයි ගන්නවා ඇත්තෙ! හිනා සාගරයක් මැද්දෙ සර්ගෙ කතාව ඉවර වෙනවා.
සර්ගෙ වැඩ නිසා පංතියෙ ලමයි අතරෙ පුදුම සමගියක් තිබුනා.මේ සමගිය උදව් කරගෙන ලමයෙකුගෙ අනාගතයටත් ප්රශ්නයක් වෙන්න තිබුනු මානසික ආබාධයක් සුවපත් කරපු හැටි තමයි මට කියන්න ඕනෙ.
අපේ පංතියෙ ලසන්ත (මේක අන්වර්ථ නමක්.පංතියේ ලමයි හතලිස් හතරෙන් ඕනම කෙනෙක් වෙන්න පුලුවන්)කියලා ඉගනීමටත් දක්ෂ හොද ලමයෙක් හිටියා .හදිසියේ මෑන්ගෙ හැසිරීම වෙනස් වුනා.තනියෙන් මුමුණ මුමුණ පැත්තකට වෙලා ඉන්නත්,හේතුවක් නැතිව අනෙක් ලමයින්ට ගහන්න පනින්නත් පටන්ගත්තා!
ලසන්ත ලග හිටපු ලමයි මේක දවස් දෙක තුනක් තිස්සෙ දැනගෙන ඉදලා.පස්සෙ මේක මුලු පංතියමත් සෙක්ෂන් එකමත් දැනගෙන,ලමයි ලසන්තට විහිලු කරන්න පටන්ගත්තා .ලසන්තව අවුස්සලා කොරිඩෝ දිගේ දුවන එක සෙල්ලමක් වුනා. ලසන්ත සතියක් විතර ඉස්කෝලෙ නෑවිත් ඇරියා.
ආදිපොල සර් මේක ගැන ලොකු සෝදිසියක් කලා.මේ වෙද්දි සර් ලසන්තගෙ දෙමව්පියෝ හමු වෙලා ඒ පැත්තෙ හැමදේම අහගෙන ඉවරයි.
“ලමයි ලසන්ත කියන්නෙ ඕගොල්ලො වගේම හොද ලමයෙක්.ලසන්තගේ තාත්තා එයාගෙ මානසික ආබාධයක් හැදිච්ච මල්ලි කෙනෙක්ව ගෙදර නවත්තගෙන ඉදලා පහුගිය ටිකේ..!ලසන්ත මෙයාගෙ හැසිරීම් කොපි කරලා තියෙනවා .ඒ වගේම ලසන්තගෙ අයියා මිනිහාව බය කරලා අර මනුස්සයා අල්ලපු දෙයක් ඇල්ලුවොත් පිස්සු බෝවෙනවා කියලා..!ඉතින් ඒ මනුස්සයා අල්ලපු දේවල් නාල්ලා ඉන්නයි,ඇල්ලුනාද කියන සැකයයි ලසන්තට ලොකු පීඩනයක් වෙලා!”
සර් අපිට පැහැදිලි කලා.(ලසන්ත තාමත් එන්නෙ නෑ ඉස්කෝලෙ.)
“ඉතින් ඕගොල්ලෝ කැමතිද යාලුවා පිස්සෙක් වෙනවට?”සර් ඇහුවා.
“අනේ නෑ සර්!”මුලු පංතියම එක හඩින් කිව්වා.
“එහෙනම් ලසන්තව පරිස්සමෙන් බලාගන්න ඕනෑ.එයා අමුතු වැඩ කලොත් දැක්කෙ නෑ වගේ ඉන්න.කිසිම වෙනසක් නැතිව එයා එක්ක කතාබහ කරන්න.එයාට විහිලු කරන්නවත් කේන්ති කරන්නවත් එපා.අනිත් පංති වල අය අරියාදු කරනවා නම් ඕගොල්ලො එයාව බේරගන්න ඕනෙ..!තනියෙන් කොහෙවත් යවන්නත් එපා.ටොයිලට් එකට ගියත් තමුසෙලාගෙන් කවුරු හරි නොදැනෙන්න ගිහින් එනවලා චූ බර නොතිබ්බත්!”සර් අපිට උපදෙස් මාලාවක් දීලා,
“ලසන්ත හෙට ඉදන් ඉස්කෝලෙ එනවා!”අන්තිමට නිවේදනය කලා.
ඊට පස්සෙ කොල්ලන්ගේ ෆිට් එක ගැන අදටත් මතක් වෙන සුන්දර කාල පරිච්ඡේදයක් ගත වුණා!පංතියම ලසන්ත වෙනුවෙන් කැප වුණා.බලාකියා ගත්තා.අල්ලපු පංති වල නසරාණි බුලි කාරයෝ එලවලා දාන්න හැමෝම එකා වගේ ඉදිරිපත් වුණා.අපේ කෑලි දෙකේ කොස්ස සෑහෙන්න ප්රයෝජනවත් බව තේරුනා.විහිලු කරන්න ආපු සමහරුන්ට තර්ජනය කලේ කොස්ස බෙල්ලට තියලා බිත්තියට තද කරගෙන..!එහෙමත් නැත්නම් චෝක් කුඩු පිරිච්චි ඩස්ටර් පාර මූණට දීලා!
එපාම කරපු එකෙක් හිටියා ජයකොඩි කියලා.සර් හැමදාම උදේට ලසන්තව රෙකෝඩ් බුක් එක ගේන්න යවලා අපිත් එක්ක තත්වෙ පොඩ්ඩක් සමාලෝචනය කරනවා.අපි ජයකොඩි ගැන සර්ට පැමිනිලි කලා.සර් වහාම අල්ලපු පංතියෙන් ජයකොඩි ව ගෙන්නුවා.ඊට පස්සෙ කතා කලේ මෙහෙම.
“මොකක්ද මහත්මයෝ නම?”
“සර්,ජයකොඩි “
“අයිසෙ මිස්ටර් ජයකොඩි..! තමුසෙ දන්නව නේද,අපේ ලසන්ත මහත්මයට මේ දවස් වල පොඩි ප්රශ්නයක් තියෙන බව?
” ඔ..ඔව් සර්” ජයකොඩිට දාඩිය පොල්ල දාලා දැන්.මොකද සර්ට ගහන්න හිතුනාම බ්ලැක්බෝඩ් එකට අත් උස්සලා තියවලා දික්කරපිය පුක කියලා තමයි වේවැල් පාර සනීපෙට දෙන්නෙ!අපි බලාගෙන හිටියෙත් එහෙම වෙනකන් තමා!
“ඉතින් මොකද මිස්ටර් ජයකොඩි එහෙම දැනගෙනත් අපේ ලසන්ත මහත්මයට කරදර කරන්නෙ?මොකක්ද ඒකෙ තියන විනෝදෙ?”
“නෑ සර්.නිකම් මේ.. මේ.. විහිලු සර්”
“ආ..එහෙමද…සර් නැලවිල්ලෙ කියනවා.”මීට පස්සෙ එහෙනම් ඕව තියාගන්න එපා මිස්ටර් ජයකොඩි ! දැන් යන්නකො පංතියට.”
“හරි සර්..සො..සොරි සර්”
ලසන්ත රෙකෝඩ් බුක් එක අරන් පංතියට එද්දි ඔක්කොම ආයෙ නෝමල්!
ජයකොඩි නෙමෙයි ආයෙ අපේ පංතිය දිහා බලාගෙන බත් ටිකක්වත් කෑවෙ!.ලසන්තට තිබුණ අවහිර බාධක ඔක්කොම ඉන්පස්සෙ මගහැරිල ගියා.
සර්,ලසන්තගේ අයියා ඇතුලු පවුලෙ අයවත් ලස්සනට දැනුවත් කරල ගෙදර පරිසරයත් හදවලා තිබුනා.සති කිහිපයකින් ලසන්ත නීරෝගි සාමාන්ය ලමයෙක් වුනා.අපිටත් ඒක ගැන වගේ වගක් නැතිව අමතක වෙලා ගියා.
සර් මේ සිද්ධියේදි ලොකු මිනිස්සුන්ට වගේ සලකලා වැඩේට අපිව හවුල් කරගත්තා.අපේ අදහස් ඇහුවා, ඒවට ගරු කලා.අපේ අතට වැඩේ භාර දීලා පැත්තකින් ඉදන් ලස්සනට වැඩේ පසු විපරම් කලා.ජයකොඩිගෙවත් ආත්මාභිමානය පලුදු කලේ නෑ.
අද වැඩිහිටියෙක් විදිහට හිතල බලද්දි සර් ගැන පුදුම ගරු කිරීමක් හිතට එන්නෙ,මේ හැම දෙයක්ම කරපු සැහැල්ලු විනෝදාත්මක ශෛලිය නිසයි.අදටත් අපි නැව ගිලුනත් බෑං චූං කියල ප්රශ්න වලට මූණ දෙන්නෙ සර්ලගෙ හැඩගැස්මෙන් තමයි.ඉතින් සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා.ලසන්ත ලොක්කා දැන් කතිකාචාර්ය වරයෙක්.
උපුටා ගැනීම: Nalaka Caldera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!