සොමියා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර අපේ ගමේ හිටියා පිස්සෙක්. නිකම් පිස්සෙක් නෙමේ පත්තර පිස්සෙක්. මිනිහාගෙ කොණ්ඩෙ අවුල්. සරමයි බොත්තම් ගැලවුණු කමිසෙයි දාගෙන පත්තර මිටියකුත් කිහිල්ලේ ගහගෙන හැම සතියෙම ඉරිදා ගමේ කරක්ගහනවා. ගෙයින් ගෙට යනවා. පත්තරේ විකූණනවා. පිස්සා හැමදාම වික්කේ එකම එක පත්තරයයි. පත්තරේ නම සොමී. කොහේ කොතැන අච්චු ගහනවද මන්දා. ගමේ උන්ට මේ සොමීය මාර සොමියක් වුණා. ඒ හින්දම පිස්සාට නම වැටුණා සොමියා කියල.
පත්තරේ තිබ්බෙ එක එක කතා. මිනීමැරුම්. ස්ත්රී දූෂණ. ඇමතිවරුන්ගේ හොරමැරකම්. හැබැයි මේ හැම එකක්ම ලියල තිබ්බෙ කතන්දරයක් විදියට. මේ අපරාධ හොයාගෙන යන රහස්පරීක්ෂකයෙක් ඉන්නවා. මිනිහා අන්තිමට මේ අභිරහස හොයාගෙන අපරාධය සිද්ධ වෙච්ච විදිහ ලෝකෙට හෙළිකරනවා. මෙහෙම කතන්දර විදියට එක එක අපරාධ සිද්ධි කියන එකම පත්තරයක් වත් ඒ කාලෙ අපේ ගමට ආවෙ නෑ.
සාමාන්ය පෙළ කරල උසස් පෙළ කරන්න බලන් හිටපු අපේ ලේ නහර ඇටමිදුළු වලට යන්න සොමී පත්තරේ කතා කළා. පත්තරේ ගත්තු දවසට එක හුස්මට කියවගෙන යනවා. පත්තරේ කළු සුදු වුණාට කියවගෙන යද්දි මැවෙන රූප පාට පාට. චිත්රපටියක් බලලවත් සොමී පත්තරේ කියවල ගන්න ආතල් එක ගන්න බෑ.
ඔය කාලෙ නැඟල ගියපු වල් මල් පත්තර අස්සේ සොමියා ගේන රූප නැති රූප මැවෙන පත්තරේ ගමේ නැඟලම යනව. සොමියා පත්තරේ අරන් ඇවිත් කෙලින්ම මගේ අතට පත්තරේ දික් කරනවා. ඊට පස්සෙ මං තාත්තගෙන් සල්ලි ඉල්ලන් ඇවිත් සොමියට දෙනව. තාත්තා සොමියට වැඩිපුරත් එක්ක සල්ලි දෙනවා. සොමියා සල්ලි උඩ සාක්කුවේ දාන් ඉතුරු පත්තර ටිකත් කිහිල්ලේ ගහන් යනවා. ඔන්න ටික දුරක් ගිහින් මොකක් හරි මතක් වුණා වගේ එකපාරම නතර වෙලා ආපහු හැරෙනවා.
” පුංචි මහත්තයා ගිය පාර පත්තරේ කියෙව්වද?”
මං ඔව් කියන්ඩ ඔළුව වනනවා. සොමියට පොඩි හිනාවක් යනවා. සොමියා දන්නවා ගමේ අනිත් උන්ට වඩා ආසාවෙන් මං පත්තරේ කියවනවා කියල. ගමේ උන් නම් හිතන් හිටියෙ මේ පත්තරේ විකුණන පත්තරකාරයා තමයි සොමියා කියලා. ඒත් මං දන්නවා මේ පත්තරේ ලිව්වෙත් සොමියම තමා.
කාලාන්තරයක් ගමටම සොමිය දුන්න සොමියා එක පාර අතුරුදන් වෙනවා. සොමියා මෙහෙම අතුරුදන් වුණාට සොමි කියවලා කියවලා රහස් පරීක්ෂකයො වෙන්න හීන දැකපු උන් ගමේ හැමතැනම හිටිය. සමහරු රහස් පරීක්ෂකයො වෙන්න ගිහිල්ල ගෙවල්වල මිනිස්සුන්ගෙන් අම්බානෙටම කෑවා. රහස් පරීක්ෂක හීන ලත් තැනම ලොප් වුණා. හැබැයි සොමියාගෙ සොමී මට ගෙනල්ලා දුන්නේ වෙන හීනයක්. ඒ තමා පත්තරකාරයෙක් වෙන හීනෙ. සොමී පත්තරේ තිබුණ කතා ලියල තිබ්බෙ එක හුස්මට කියවන්න පුළුවන් විදියට. ඇත්ත ලෝකෙ ඇත්තටම සිද්ධ වෙන මෙහෙම සිදුවීම් ගැන එක හුස්මට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් මිනිහෙක් වෙන්න මට ලොකු ආසාවක් තිබ්බා.
ඉතින් මාත් පත්තරකාරයෙක් වුණා. ඔව් මං පත්තරකාරයෙක්. හැබැයි මං එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔය කාගෙ කාගෙත් චරිත කතා හාරගෙන හාරගෙන ඇත්ත චරිතේ ලෝකෙට පෙන්නන්න මට පුළුවන්. ඒ ආසාව මට ඇති කළේ සොමියා. ඒ නිසා කාගෙ කාගෙත් හොඳ චරිතෙට යටින් ඉන්න ඇත්ත චරිතේ මගෙන් පරිස්සම් කරල තියාගන්න. මං ටිකක් හැංගිලා ජීවත් වුණාට ඕන වෙලාවට එළියට එනවා. එහෙම එළියට එන්නේ සුවිශේෂි හෙළිදරව්වක් කරන්න ඕන වුණාම. එහෙම මං හෙළිදරව් කරපු තුන්දෙනෙක් ගැනයි මේ කතාව.
අමාත්ය රංජිත් ගජනායක, වෛද්ය ගීතා රම්යානි දන්තනාරායන, ප්රසිද්ධ ව්යාපාරික රංගනාත් කුසුම්සිරි.
මේ තුන් දෙනා ගැන ඔබ දන්න කතාවක් තියෙනවා. අපි බහිමු ඒ කතාවට. සති අන්ත පත්තරේක ටැබ්ලොයිට් වල මෙයාලගෙ ෆේස්බුක් ගිණුම් වල, ටිවි එකේ ටී ටයිම් කතාබහක, රාත්රී සිංදු කියන කතාකරන වැඩසටහනකදි හැමතැනදිම මෙයාල ගැන තියෙන්නෙ මේ කතාව.
ආමාත්ය රංජිත් ගජනායක ආණ්ඩුව දිනවන්න වැඩකරපු මුල් පෙළේ නායකයෙක්. සුන්දර සැමියෙක්. ආදරණීය පියෙක්. රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් වැඩකරන සිංහල බෞද්ධ නායකයෙක්. කුඩා කාලෙම අම්මයි තාත්තයි වාමාංශික පක්ෂයක් විසින් මරල දාල. ඊටපස්සෙ තමන්ගෙ ආදරණීය ලොකු අයිය නිසා ඉතාම දුක් මහන්සියෙන් ඉගෙනගෙන නීති විද්යාලයට එනවා. නීතිඥයෙක් වෙනව. දේශපාලනේට එනවා. අදටත් ලොකු අයිය ගැන හැම වැඩසටහනකදිම ආදරෙන් මතක් කරනවා.
බලන්න කොච්චර හොඳ දේශපාලනඥයෙක්ද.
ඊළඟට වෛද්ය ගීතා රම්යානි දන්තනාරායන. ඉතාම ප්රසිද්ධ නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින වෛද්යවරියක්. තමන්ගෙ පෞද්ගලික රෝහල් සායන වලට පැමිණෙන රෝගීන්ට ඉතාම කාරුණිකව සලකන වෛද්යවරියක්. දේශපාලනයට එන බව අනින් කොණින් ආරංචි වෙන ඒ බව වැඩසටහන් වලදි ඉඟි දෙන කෙනෙක්. ඒ විතරක්යැ ලස්සනට සිංදු කියන්නත් පුළුවන්. මේ දොස්තර නෝනගෙන් බේත් ගන්න යන්නම සමහර පිරිමි ලෙඩ වෙනව. කොහොම වුණත් ගීතා ඉතාම දුක් මහන්සියෙන් ඉගෙනගත්තු කෙනෙක්. ලංකාවෙ අධ්යාපනේට මිනිස්සුන්ට මහපොළොවට ණය නැතුව ඉන්න කියල ගීතට පුංචි කාලෙම කියල දෙන්නෙ ගීතගෙ තාත්ත. බොරු නම් බලන්න ගීත ෆේස්බුක් ප්රොෆයිල් එකටත් දාන් ඉන්නෙ තාත්තව බදාගෙන ඉන්න ෆොටෝ එකක්.
බලන්න කොච්චර හොඳ වෛද්යවරියක්ද
ඊළඟට කුසුම්සිරි. සතියේ පොළේ අම්ම කඩල දෙන පළා මිටි විකුණපු කුසුම්සිරි. කුසුම්සිරි ඒක මතක් කරන්නෙ හරිම ආඩම්බරෙන්. දැන් කුසුම්සිරි ප්රසිද්ධ එළවළු ව්යාපාරිකයෙක්. ඒ විතරක්යැ තමන් කුඩු ගහන්න ඇබ්බැහි වෙලා හිටිය කියල කියන්න කුසුම්සිරි කියනව. ඒකම තමා වටිනාකම. ඊටපස්සෙ ඒකෙන් ගැලවෙන්න උදව්කරපු ඒ අසිරිමත් මනුස්සයට කුසුම්සිරි තාමත් ස්තුති කරනව. කුසුම්සිරි ගාණෙ මුළු මාසෙකටම එළවලු තාමත් ඒ මනුස්සයට දෙනව කියල කුසුම්සිරි හැම පුවත්පත් සාකච්ඡාවකදිම කියන්න අමතක කරන්නෙ නෑ.
බලන්න කොච්චර හොඳ ව්යාපාරිකයෙක්ද
මං දන්නව ඔබ ගජනායකට ඡන්දෙ දීල ඇති. වෛද්ය ගීතගෙන් බේත් අරගෙනත් ඇති. ඔබෙ කෑම වේලට එන්නෙ කුසුම්සිරිගෙ එළවළු වෙන්නත් ඇති. ඔවුන් සහභාගි වෙන වැඩසටහන් පුවත්පත් සාකච්ඡා ඉතා ආසාවෙන් කියවලත් ඇති. ඒත් මට සමාවෙන්න දැන් මං යන්නෙ ඔබේ ඒ සිහින චරිත වලට පයින් ගහන්න. මේ තියෙන්නෙ ඒ කතාව කෙටියෙන්.
රංජිත් ගජනායක කාලයක් වාමාංශික ව්යාපාරයේ බැහැල වැඩ කළා. පස්සේ ආණ්ඩුවට සහය දුන්නා. ඇමති පට්ටමත් හම්බුණා. දැන් වමට නෙළනවා ඇට්ටි හැලෙන්න. අවුරුදු 20කට කලින් ඉස්කෝලෙ යමින් හිටපු 13 වසරේ ගැහැනු ළමයෙක් දූෂණය කරල සැකපිට අතඩංගුවට ගත්ත. බාර් පමිට් තියෙනවා. ඒ වුණාට ජාතික මතට තිත තැබීමේ ජාතික සංවිධානෙ සභාපති. ජාතික වනෝද්යාන කිහිපයකම ඇතැම් කොටස් මුළුමනින්ම ඩෝසර් කරල තියෙනව. ඒකට රංජිත් ගජනායකගේ සෘජු සම්බන්ධයක් තියෙනවා. රජයට අයිති කොළඹ ඉඩම් කිහිපයක්ම මෙතුමට දීල තියෙනවා. ඒවගෙ ගෙවලුත් හදල. ඒව සම්බන්ධව කිසිම නීතිමය ලියකිවිල්ලක් නෑ.
ඊළඟට වෛද්ය ගීතා රාම්යානි දන්තනාරායාන. ලංකාවේ අධ්යාපන ක්රමයෙන් වෛද්යවරයෙක් වෙන්න ලකුණු මදිවෙන ගීතා පිටරට යනව. පිටරකදි වෛද්ය උපාධිය සම්පූර්ණ කරල ලංකාවට එනව. වෛද්ය සේවයට ආවට පස්සෙ එන්නතක් වරද්දල රෝගියෙකුගෙ කකුලක් එහෙම් පිටින්ම අයින් කරන්න සිද්ධ වෙනව. මේ සිද්ධිය ඉතාම ලස්සනට යට ගහන්න බළල් අතක් ක්රියාත්මක වෙනවා. ඊළඟට බෙහෙත් මාෆියාවෙන් මෙයා ගජරාමෙට හම්බකරවා.
කුසුම්සිරි. ගමෙන් ආපු අහිංසකයෙක්. කාලයක් හෙරොයින් වලට ඇබ්බැහි වෙලා හිටියා. පස්සෙ පුනරුත්ථාපනය. ඊටපස්සෙ හෙරොයින් බෙදාහැරීම. නමුත් හැමෝම දන්නෙ ප්රසිද්ධ එළවළු ව්යාපාරිකයෙක් විදියට. මත්ද්රව්ය සම්බන්ධව කුසුම්සිරි ගාව වැඩකරන කීපදෙනෙක්ම අත් අඩංගුවට අරන් තියෙනවා. ඒත් කුසුම්සිරි කවදාවත් අත්අඩංගුවට අරගෙන නෑ.
මිත්රවරුනි. මං දන්නවා ඔබ කොහෙත්ම දෙවෙනියට පැවසූ මගේ කතාව විස්වාස කරන එකක් නෑ. අර මුලින් කියපු සිහින චරිත තුනේ අතරමං වෙන්න කැමති අය අතරමං වෙන්න. ඒත් ඇත්තම කතාව ඉහළ කෙටියෙන් දක්වපු සිදුවීම් සම්බන්ධව මං නිර්නාමිකව ඉතා දීර්ඝව ලියල තියෙනවා.
දැන් අපේ ඇත්තම ඇත්ත කතාවට බහිමු. මං මේ චරිත තුන ඔබට දැන් හෙළිකර අවසන්. ඒත් ඒ ඔබ හිතන විදිය. මේ කතාව ඉවර නෑ. ඉවර නැති බව මට දැනෙනවා. ඒ නිසා මං හොයනවා.
ආණ්ඩුවෙන් ලැබුණ ගජනායකට අයිති ඉඩමක් තියෙනවා. මේ කොළඹ මැද්දෙ. ඔබ උදේට වැඩට යනවිට මේ දිහා බල බල යනවත් ඇති ඒත් කවුද සැක කරන්නෙ. මං පත්තරකාරයෙක්. රස්තියාදුව තමා මගෙ ජීවිතේ. දවල් වරුවට ගජනායකට අයිති ගෙවල් ඉස්සරහ පෙට්ටිකඩේකට වෙලා මං ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් පත්තු කරගන්නවා. ඔළු කට්ට රත් වෙන වෙලාවෙත් මං පපුව පුච්චගන්නවා. ඒ වුණාට මං මගෙ සෙල්ලම අත ඇරියෙ නෑ. ඕනම සෙල්ලමක් අත නොහැර අල්ලන් ඉන්න විදිය මට කියල දුන්නෙ සොමියගෙ සොමී පත්තරේ.
ගජනායකට අයිති එක ගෙදරකට හැමදාම කොළුවෙක් එළවළු මල්ලක් අරන් යනවා. දවසක් ගෙයි බැල්කනියෙන් මනුස්සයෙක් එබෙනවා. මට හොඳට පුරුදු මතක මූණක්. මිනිහා මාව අඳුනගෙන වගේ හිනාවෙනවා. ඊට පස්සෙ මට අතවනනවා ගෙට එන්න කියල. මොන තරම් සූක්ෂම විදියට වැඩකළත් සමහර වෙලාවට පත්තරකාරයන්ටත් කෙළවෙනවා. ඒ වෙලාවට තමා තුවක්කු කට ඔලුව ළඟට එන්නෙ. ඒත් ඕනෙම අභියෝගයට මං ලෑස්තියි. බාගෙට පුච්චපු සිගරට් එක බිමට දාලා මං ගෙදර දොර ළඟට යනවා. එළවලු මල්ල ගෙදර ඇතුළට අරන් ගියපු කොළුවා මං වෙනුවෙන් දොර අරිනවා. හිනාවක් නෑ. පිටතින් සුදු හුණු ගාල ලොකුවට පෙනුණට සාලය ඒතරම් ලොකුත් නෑ. මට අත වනපු පුරුදුකාර මිනිහා හෙමින් හෙමින් පඩිපෙළ දිගේ පහළට බහිනවා. සුදු සරමයි ක්රීම් පාට අත්කොට කමිසෙයි. ඇස් ලොකු කණ්ණාඩි කුට්ටමයි. මූණ පුරා වැවුණු සුදු රැවුලයි සුදුම සුදු කොණ්ඩෙයි.
මිනිහා කිසිම කතාවක් නැතුව සාලේ ලස්සනට පිළිවෙළට තියෙන කවිච්චියේ වාඩි වෙන්න කියල අත දික්කරල මට කියනවා. මං වාඩි වෙනවා. මට මේ මිනිහව හොඳට දැකල පුරුදුයි. මිනිහා මං ඉස්සරහ පුටුවෙ වාඩි වෙනවා. කකුලක් පිට කකුලක් දාගන්නව. පොඩි හිනාවකුත් ගෑවිලා නොගෑවිලා යන්න දානවා. වෛද්ය ගීතගෙ තාත්තා. මොන තරම් සුන්දර ගැලපීමක්ද? කුසුම්සිරි එළවලු යවන්නෙ ගීතාගෙ තාත්තාට. එයා ඉන්නෙ ගජනායකගෙ ගෙදරක. මට මං ගැනම ආඩම්බරයක් ඇති වෙනවා. මගෙ සොයාගැනීම මොන තරම්නම් අනර්ඝද? මේ රජ තුන්කට්ටුවේ සම්බන්ධය ගැන ඊළඟ හෙළිදරව්ව පත්තරේ පලවෙලා තියෙන හැටි මට මැවිලා පේනවා. ඒත් මං ඉදිරියේ තේජමානව වැඩ ඉන්න වෛද්ය ගීතාගේ තාත්තා ඊළඟට අහන දෙයින් මට කට උත්තර නැති වෙනව.
” පුංචි මහත්තයා ගිය පාර පත්තරේ කියෙව්වද?”
“අම්මට උඩු සොමියා”
වෛද්ය ගීතගෙ පියා බොරු රැවුල් ගස් ගලවමින් සොමියා බවට රූපාන්තරණය වෙනවා. ඉස්සර වගේම ඉතුරු වෙලා තියෙන කොණ්ඩෙ චුට්ට අවුල් කරගන්නවා. මූණෙ රැලි පෑදිලා. සොමියා වයසට ගිහින්. ඔළුකට්ට රත් වෙන වෙලාව. ඒත් මට තරු පේනවා.
” ගජනායකගෙ ලොකු අයියා, ඩොක්ටර් ගීතගෙ තාත්තා, කුසුම්සිරිගේ ගැලවුම්කාරයා” මං සොමියගෙ ඇස් දෙක දිහා බලාගෙනම කියනවා.
සොමියා කටකොණකට හිනාවක් දානව. ඔළුව දෙපැත්තට වනනවා.
” මං හිතුවෙ පුංචි මහත්තය විතරයි හරියට මගෙ පත්තරෙ කියෙව්වෙ කියල”
එළවළු ගෙනාපු කොල්ලා අපපි ඉස්සරහ තියෙන ටීපෝවෙන් පුරවපු බීම වීදුරු දෙකක් ගෙනත් තියනවා. ඊට පස්සෙ ඉස්සරහ දොරත් වහගෙන කොලුව පිටවෙලා යනව. සොමියා ඔළුවෙන් සන් කරනවා මට බොන්න කියල. මං කෝකටත් කියල නොබී බලන් හිටියා. සොමියා බීම එක අරන් උගුරක් බිව්වා. මමත් වීදුරුව අරන් තොල ගාන්න ගත්තා.
” දැනට සැහැල්ලු බීමක් කමක් නෑනෙ. පස්සෙ බැරියැ අපිට ටිකක් සැරට සප්පායම් වෙන්න”
සොමියා එක හුස්මට බීලා වීදුරුව ආයෙමත් තිබ්බා.
“පුංචි මහත්තය හරි. හැමෝම දන්න කතා ටික හැදුවෙ මම. ඒ තුන්දෙනා දැන් ඒව කියන්නෙ තමන්ගෙම කතා වගෙ. විස්වාස කරන්න බැරිත් නෑනෙ. හැබැයි පුංචි මහත්තය විතරයි අනිත් හැමෝම ඒ කතා බලද්දි මගෙ කතා ඇත්තටම කියෙව්වෙ. ඒත් පුංචි මහත්තයට එක කතාවක් මඟ ඇරුණ. “
සොමියා සාලෙ කොණක තියෙන පොත් කබඩ් එක අවුස්සනවා පරණ පත්තර ගොඩක් දූවිලි විසිකරගෙන එළියට පනිනවා. සොමියා ඒකෙන් පත්තරයක් තෝරගෙන මං ළඟට එනවා.
” මේ තියෙන්නෙ මං අන්තිමට ලියපු පත්තරේ. මට මේ පත්තරේ අච්චු ගහගන්න වුණේ නෑ. මං සිංහල වුණාට පත්තරේ අච්චු ගහන තැන දෙමළ. එදා පත්තරේ අච්චු ගහගන්න යද්දි ඉතුරු වෙලා තිබ්බෙ අළු ගොඩක් විතරයි පුංචි මහත්තය”
මං සොමියගෙ පත්තරේ අතට ගත්තා. සොමී… එදා වගේම ලස්සනට දකුණු පැත්තෙ උඩට වෙන්න නම ලියල තිබුණා. ඒත් ඒ පත්තරේ අකුරු හරි අලුත්. ඉස්සර ආපු සොමී පත්තරේ වගේ නෙවෙයි.
” ඕක මං අලුතෙන්මයි අච්චු ගැහුවෙ. ඕක ගෙදර ගිහින් කියවන්න පුංචි මහත්තය. මෙතන කියෙව්වොත් පුංචි මහත්තයට කරදර වෙන්න පුළුවන්”
මං සොමී අවසන් කලාපයේ පිටුවක් පෙරළන්න හදද්දිම සොමියා කිව්වා.
අන්දුන් කුන්දුන් වෙලා හිටපු මං පත්තරෙත් මගෙ මල්ලෙ දාගෙන සොමියට සමුදීල මගෙ බෝඩිමට ආව. සොමී පත්තරේ දිග ඇරියා.
ඒකෙ සම්පූර්ණයෙන්ම තිබුණෙ සොමියගෙ අනාගත කතාව. මන්ත්රී කෙනෙක් අතින් කෙල්ලෙක් දූෂණය වෙනවා. නඩුවෙන් බේරුණාට හෘද සාක්ෂියෙන් බෙරෙන්න මිනිහට බැරි වෙනවා. මිනිහා ඒ කෙල්ලට ඉගෙනගන්න උදව් කරනවා. කෙල්ල දොස්තර කෙනෙක් වෙනවා. අහම්බෙන් සැත්කමකදි දොස්තර නෝනා අතින් රෝගියෙක් මිය යනවා. ආයෙමත් කෙල්ලව බේරගන්න එන්නෙ මන්ත්රීතුමා. මන්ත්රීතුමා මැරුණු කෙනාගෙ පුතාට උදව් කරනවා. මරණය යටපත් වෙනවා. පුතණ්ඩියා ව්යාපාරිකයෙක් කරනවා. මන්ත්රීතුමාගෙ සියළු ජාවාරම් වලට ව්යාපාරිකයා උදව් කරනවා.
පත්තරේට කතා හද හද ලියපු සොමියා අන්තිමට මුළු රටටම කතන්දර හදනවා. මුළු රටම අන්දනවා. සොමියව මුළු රටටම එළි කරන්න ඕනෙ කියල හිතන් ආයෙමත් මං එදා හවසම සොමියා හිටපු බංගලාවට යනවා . ඒත් ගෙදර දොරවල් වහලා. කවුරුවත් නෑ.
මං ආයෙමත් වෛද්ය ගීතගෙ ෆේස්බුක් ගිණුමට ගියේ සොමියාගෙ මූණ මතක් කරගන්න. සුදු රැවුල්ගස් අස්සෙන් සොමියව මට මඟ හැරුණේ කොහොමද බලන්න. ඒත් මිනිත්තු කිහිපයකට කලින් වෛද්ය ගීතාගේ ප්රොෆයිල් පිංතූරයට සුදු කොඩියක රූපයක් දාලා.
තාමත් රෑට සොමියා ඉස්සර වගේම පත්තර ගොඩක් කිහිල්ලේ ගහන් මං ඉස්සරහට එනවා.
” පුංචි මහත්තයා ගිය පාර පත්තරේ කියෙව්වද?”සොමියා මෙගෙන් අහනවා. මං හීනෙන් බය වෙලා නැඟිටිනවා.
© මලිඳු කාවින්ද කුමාරසිංහ
මූලාශ්‍රය : Sathsara Jayanga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!