‘ස්පෝර්ට්ස් මීට්’ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇමරිකාවට ආවට පස්සෙ මට මග හැරුණු එක දෙයක් තමයි ‘ස්පෝර්ට්ස් මීට්!
‘ක්රීඩාවට ඔච්චර ප්රසිද්ධ ඇමරිකාවේ ‘ස්පෝර්ට්ස් මීට්’ නැද්ද?
තියනවා…තියනවා….පාසල් පසුබිම තුළ මලල ක්රීඩා තරඟ බොහොමයක් තියනවා.මධ්යම හා උසස් පාසැල් මට්ටමින් අන්තර් පාසල් තරඟ බොහෝමයක් තියනවා. නමුත් මං වැඩ කරන්නෙ කනිෂ්ඨ පාසැලක නොවැ.ඒවාගේ ‘ස්පෝර්ට්ස් මීට්’ නෑ.
ඇත්තම කීවොත් කාලෙකට ඉස්සරලා කනිෂ්ඨ පාසැල් වලත් ඔය ‘ස්පෝර්ට්ස් මීට්’ ඒ කියන්නේ නිවාසාන්තර ක්රීඩා තරඟ තිබුණලු.ඒත් පස්සෙ කාලෙක කුඩා වයසේදී තරඟකාරී බව සිසුන්ගේ ආත්ම අභිමානයට හානි කළ හැකිය යන හේතුව මත හා ක්රීඩා සඳහා ත්යාග නොලබන දරුවන්ට සිදුවන මානසික පීඩනය යන හේතුව මත බොහෝ කනිෂ්ඨ පාසල් ක්රීඩා දිනය අහෝසි කලා කියලයි කියන්නේ!
ඒ කොහොම වුණත් මට නම් නිවාසාන්තර ක්රීඩා තරඟය සුන් දර අත්දැකීමක්!
ඒ කාලේ අපේ ඉස්කෝලේ නිවාසාන්තර ක්රීඩා තරඟය ලං වෙනකොට අපිට දැනෙන්නේ නිකං ලෝකෙම කළබල වෙලා වගේ!මොකද අපි එච්චරටම කළබලයි.
ක්රීඩා තරඟ වලට ළමයි තෝර ගන්නේත්, පුරුදු පුහුණු කරන්නේත් ‘ආෆ්ටර් ස්කූල්!’
ඉස්කෝලේ ඇරුනට පස්සේ ගෙදරින් ගේන ලොකු බත්මුල කටට දෙකට ගිලලා දාලා දුවන්නේ ක්රීඩා තරඟ වලට ළමයි තෝර ගන්න තැනට. රේස් එකකට​, රිලේ එකකට තේරෙන එක තමා ලොකුම බලාපොරොත්තුව​!
ඔය තරඟ වලට තේරුණාම, ක්රීඩා තරඟය දවසේ දිව්වට පස්සේ, දිනුවත්, පැරදුණත් ග්ලූකෝස් කන්න ලැබෙන්නේ පෙට්ටි පිටින්!
සෙල්ලමක්ද?
අපි ගෙදරදී ග්ලූකෝස් ඉල්ලුවම අම්මා ග්ලූකෝස් හැන්ද හැන්ද අපි පස් දෙනාගේ කටවල් වලට දානවා. ඒ වගේද ග්ලූකෝස් පෙට්ටිය පිටින් අතට ලැබෙනකොට​!
ඒත් ඉතින් අපි මොන තරම් හයියෙන් දිව්වත් අපි හැරෙනකොට සමහර දැරිවියෝ දිනුම් කණුව පහු කරලත් ඉවරයි.අනෙ අම්මේ දුවන්නේ නිකන් කඟවේන්නු වගේ! ඉතිං කොහෙද අපි තේරෙන්නේ!
දැං නං ලංකාවේ බොහොම දෙනෙකුට හොඳට දුවන්න පුලුවන් ය කියන්නේ! චූං පාං පස්සේ දුවලම හුරුවෙලාලු! කොහෙද ඉතිං අපේ කාලෙ චූං පාං තිබුණු එකක් යැ.
දුවන්න බැරුවට මොකද තරඟ වලට නොතේරුනාමත් හිතට හරි දුකයි!
ඒ කියන්නේ කිසිම තරඟෙකට තේරෙන්නෙම නැද්ද?
මොකද නැත්තෙ? තේරෙනවා!තේරෙනවා!
බැලුම් පුම් බන්න​….
බෝතලේට අතින් වතුර පුරවන්න…..
පිටි මුට්ටියේ කාසිය හොයන්න​……
දෙහි ගෙඩියක් හැන්දේ තියාගෙන දුවන්න​…….
ඕවා කලාට ග්ලූකෝස් ලැබෙනවද?
නෑනේ!
ක්රීඩා තරඟේ තරඟ කාරියක් වීමේ සිහිනය ලත් තැනම ලොප් වුණාට පස්සේ අපි ඊලඟට ඇදෙන්නේ ආචාර පෙළපාලිය පුරුදු වෙන තැනට. අපි ඒකට කීවේ ‘මාච් පාස්ට්!’
වම්ප් වම්ප් වම්ප් දක් වම්ප්……..ලොකු අක්කලා ‘මාච් පාස්ට්’ එකට පුරුදු කරවනවා.
ටිකක් හිතට අරගෙන ‘මාච්’ කලොත් ඒකට තේරෙන්න අමාරු නෑ.
හැබැයි තේරුණාට පස්සෙ ඒකත් සෙල්ලමක් නෙමේ.
හැමදාම පුරුදු වෙන්න ඕනේ.
‘ආෆ්ටර් ස්කූල්’ ඉන්න ඕනේ.
කාලයක් තිස්සේ ‘ආෆ්ටර් ස්කූල්!’ක්රීඩා තරඟයට ඔන්න මෙන්න තියෙද්දි ඉස්කෝලෙ වෙලාවෙත් පුරුදු කරවනවා.​
වම්ප් වම්ප් වම්ප් දක් වම්ප්……
ලස්සනට සුදු ගවුම ඇඳලා, ඉස්කෝලේ ටයි පටිය දාලා​, නිවාසේ පාටින් බැජ් එකක් ගහලා, කොණ්ඩේ , තදට ගොතලා, කලු පීත්ත පටි ගැට ගහලා, සුදු කැන්වස් සපත්තු දාලා තමා ආචාර පෙලපාළියේ යන්න ඕනේ.ඉතින් අපේ වැඩේ හුණු කූර අතුල්ල අතුල්ල සපත්තු සුදු කරන එක​.
මට මතක හැටියට මුල් කාලෙ අපේ ඉස්කෝලේ නිවාසාන්තර ක්රීඩා තරඟය තිබ්බේ ඉස්කෝලෙමයි. ඊට පස්සේ පොලිස් ක්රීඩාංගන වල ක්රීඩා තරඟය තියන්න පටන් ගත්තා.
කොහේ තිබ්බත්, කොතන තිබ්බත් අපි නිවාසාන්තර ක්රීඩා තරඟයට සහභාගි වුනේ පුදුමාකාර සතුටකින්!
ළමයි විතරක් නෙවේ. ගුරු මණ්ඩලයත් අපි වගේම උද්යෝගයෙන් ක්රීඩා තරඟයට සහභාගි වුනා! බලන්න ඕනෙ නිවාසෙ පාටින් සාරි ඇඳලා අපේ ‘ටීචර්ලා’ එන උජාරුව​!
නිවාස හතර ලස්සනට සරසලා. රතු පාට, නිල් පාට, දම් පාට, කොල පාට කොඩි තැන් තැන් වල ලෙල දෙනවා.
තරඟ පටන් ගත්තට පස්සෙ හතර වටින්ම ජයඝෝෂා ඇහෙනවා.’ටීචර්ලා’ත් අපි එක්ක එකතු වෙලා හරි හරියට කෑ ගහනවා.
කමෝන්!
කමෝන්!
කමෝන්!
කමෝන්!
ඒ ඒ නිවාසවල තරඟ කාරියෝ දුවනවා!
පනිනවා!
දිනනවා!
පැරදෙනවා!
ග්ලූකෝස් කනවා!
ටීචර්ලාගේ බාධක දිවීමේ තරඟය වෙලාවට අපි උගුර ලේ රහ වෙනකල් කෑ ගහනවා.
අනේ, එහෙම සතුටක්!
උත්සවය ඉවර වෙනකොට හොඳටෝම හවස් වෙලා! ඒකට මොකද​?මොකද හැමදාම ‘ස්පෝර්ට්ස් මීට්’ තියනවා කියලද​?
බලන්න ඕනේ දිනන නිවාසෙ දැරිවියන්ගේ ආඩම් බරේ!කට්ටිය සතුටින් උඩ පනිනවා!නටනවා! කෑ ගහනවා!
එහෙම කීවට ඉතින් අපේ නිවාසෙ දිනුවත් ඒ සෙතේම තමා.
හුඟක් වෙලාවට අපිට පහු වෙනිදාට පාසැල් නිවාඩුවක් ලැබෙනවා.එතකොටනම් පැරදුණ අයත් සතුටින් බෙරිහන් දෙනවා.
මොනවා කීවත් ඒ කාලේ අපේ නිවාසාන්තර ක්රීඩා තරඟ වලින් අපි නම් බොහෝ දේ ඉගන ගත්තා. කණ්ඩායමේ අනෙක් අය සමඟ සමීප මිත්රත්වය, ජය මෙන්ම පරාජය එක ලෙසට භාර ගැනිමේ හැකියාව, මානසික සතුට මෙන්ම නායකත්ව කුසලතා අපි මේ තුලින් ලබා ගත්තා. එහෙම නේද?
පින්තූර අන්තර්ජාලයෙනි.
උපුටා ගැනීම: Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!