මේ ඉරිදා මවින්ද ගෙදර ස්ප්රිං ක්ලීනිං කරන දවස. මෙහෙට ස්ප්රිං එකනෙ දැන්. ඒ දවස ඇත්තටම ගෙදර සුද්ද කරන දවස කියන්නත් පුලුවන්. එහෙම දවසට එයා අඟලෙන් අඟල මිලිමීටරෙන් මිලිමීටරේ සුද්ද කරනවා විතරක් නෙවෙයි, අල්මාරිවල ගොඩගහගෙන ඉන්න බාප්පගෙ දුවගෙ දෙවෙනි මනමාලිට ඇඳල අල්මාරිය යට හංගලා තිබ්බ සාරි හැට්ටෙයි ආච්චි මතක්වෙන්න තියාගත්ත නවගුණවැලයි, ලොකුඅම්මගෙ අඳුරන නංගිගෙ සායයි, දුවගෙ පලවෙනි දතයි, පුතා පලවෙනියටම ඇඳපු ඉරයි, අවුරුදු දහයක් පරන හෑන්ඩ් බෑග් එකයි, එකී මෙකී නොකී හැම පෞරාණික වස්තුවක්ම මගෙ අධ්යාපන සුදුසුකම් මතක් කර කර විසිකරනවා.
ඒ වෙලාවට එයා ඇස් ඇරපු ගමන් ලෝකෙ දැකල පුදුම වෙන නීල කොබෙයියෙක් වගේ පුදුම වෙනවා මගෙ බඩු හැංගීමේ කුසලතාවය ගැන. ඒ දවසට මම ගෙදර ඉන්නවට එයා කැමති නෑ ඒව තියාගන්න හේතු කියලා මගෙ වචන විසිදාහ ඉවරවෙනවට වගේම මම කැමති නෑ ඉන්න මොකද ගෙදර සංහිඳියාව නැතිවෙලා කාන්තා අයිතිවාසිකම් සුනඛයාට යනවට.
ඒ නිසා මේ ඉරිදා එයාට ඕනෙ කස්තිරමක් අඩව්වක් තාල ඇතුව හරි නැතුව හරි අල්ලගන්න කියලා මමයි ලමයි දෙන්නයි ලඟ තියන පාක් එකට ගියා. මට ඉන්නෙ අතිශය පිරිසිදු මවින්දගෙ ජාන තියන කුමාරිකාවකුයි ඒ ජාන වැදිලවත් ගියෙ නැති එයා ඌරු පැටියෙක් කියල හිතන කොලු පැටියෙකුයි.
පොඩ්ඩක් අව්ව දැක්කම හිත වාවගන්න බැරුව කොරෝන වයිරසේ ඇවිල්ල මම කොරෝනා ඔයාට හැදෙනවා ඔන්න කිව්වත් ගනන් ගන්නෙ නැතුව එලියට යන ජාතියක් මේ සුද්දො කියන්නෙ. ඉතින් පාක් එක පිරිලා සුද්දොන්ගෙන් අව්ව නිසා. මම මීටරේ දුරින් ඉන්න ඕනෙ නිසා ඒකෙ තිබුන වැවට යන්න තෝරගත්ත පාර කලින් දවසෙ වැස්ස නිසා මඩ වෙලා.
නිතරම පෙපර් පිග් බලලා එයා ඌරු පැටියෙක් කියලා හිතන් ඉන්න කොලු පැටියා ඒක දැක්ක විතරයි දුවගෙන ගිහින් ඒකෙ උඩ පනින්න ගත්තා. මොනව උනත් එයාගෙ උපරිම වින්දනේ ගන්න දීල මම වීඩියෝ කරනකොට සුද්දො හිනාවෙවී ගියා කතා කරා.
ඕක බලන් ඉන්න බැරිවුන පිරිසිදු අක්කා මට කියනවා “ඊයා මල්ලි හිතාගෙන ඉන්නෙ එයා පොඩි ඌරු පැටියෙක් කියලා, ආයෙ ගෙදර ගියාම පෙපර් පිග් පෙන්නන්න එපා, ඕක වීඩියෝ කර කර ඉන්නෙ නැතුව ගන්න එයාව” කියලා.
මම කිව්වා “කමක් නෑ එයා සතුටු වෙනවනෙ ඒකෙන්, ටිකක් හිටපුදෙන්” කියලා.
මේ මොන ජාතියේ අම්මෙක්ද වගේ මගෙ දිහා පුදුමෙන් බලන් හිටපු අවුරුදු 10 ලමයා මට කිව්වා “ඔය කට්ටිය අනේ කියුට් ස්වීට් කිය කිය ගියාට හිනා වෙනවා ඇති, හරි ලැජ්ජයිනෙ” කියලා.
මම එයාට කිව්වා ” ඉතින් එයාල මොනව හිතුවම අපිට මොකද, හිනාවෙලා යනවනෙ මෙතනින්, එතනින් එහාට හිතන්න එපා” කියලා.
එතකොට මහා දාර්ශනික මවින්ද ජානී දැරිය මට කියනවා “එහෙනම් ඔයත් ඔය ෆේස්බුක් බලලා අරය මෙයා හිත රිද්දන කතා කිව්වා, අනික් කෙනාට ඉරිසියාකරන කතා කියනවා, බුලි කරනවා කියන්න එපා, මොකද ඒ මිනිස්සු මූණට නෙවෙයිනෙ කියන්නෙ ඔයා ගිහිල්ලනෙ කියවලා හිත රිද්දගන්නෙ” කියලා.
කාට කියන්නද ඉතින්. කොහොම හරි මඩකරියව අඬද්දි අමාරුවෙන් උස්සගෙන ආවා
ගෙදර ආවම දැක්කෙ ස්පොට්ලස්, බඩුලස්, අල්මාරිහිස් ගෙදරක්.
මේ ෆොටෝ එක කොලුවා මඩේ නටද්දි ගත්තෙ.
උපුටා ගැනීම: නිල්මිණී සමන්තිලක