ශ්‍රී ලංකාවට ආවේණික කොණ්ඩ කවුඩාගේ ‘විස්මිත චර්යා’…. (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විද්යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කරගන්නා අසිරිමත් කුරුලු ලෝකයේ සැඟවුණු රහස් මිනිසා පුදුමයට පත් කරවන්නකි.
ආදරවන්තියක සොයා ගැනීමට, ඇගේ ආදරය දිනා ගැනීමට මෙන් ම දිනාගත් ආදරය රැක ගැනීමට ඇතැම් කුරුල්ලන් කරන කැප කිරීම් මනුෂ්ය ලෝකයේ ”සැබෑ ආදරවන්තයන්ට” දෙවැනි නොවේ.
සහකරු හෝ සහකාරිය මිය ගිය පසු ජීවිතයේ ඉතිරි කාලය තනිකඩව ගෙවන කුරුලු ලෝකයේ ආදර කතා පක්ෂි විද්යාඥයන් සිය විද්යාත්මක පර්යේෂණ සහ නිරීක්ෂණ ඔස්සේ තහවුරු කර ඇත.
ඒ අතර කුරුලු ලෝකයේ ඇතැම් සාමාජිකයන් අතර දක්නට ලැබෙන බහුභාර්යා සේවනය සහ බහුපුරුෂ සේවනය ද මනු සතුන්ට දෙවැනි වන්නේ නැත. එමෙන් ම කෙටි ඇසුරකදී ආදරය ප්රකාශ කර පැටවුන් සමග කැදැල්ලේ තනි වන, රැවටිලිකාර පෙම්වතුන්ට හසුවන කිරිල්ලියන් ගැන ද පක්ෂි නිරීක්ෂකයන්ගේ වාර්තා වල දැක්වේ.
එම සුවිශේෂී කුරුලු චර්යා රටාවන් අතරට එක්වන මෑත කාලයේ සිදු කෙරෙණු විද්යාත්මක පර්යේෂණයකට පදනම් වී තිබෙන්නේ ශ්රී ලංකාවවට අවේණික කුරුලු විශේෂයක් වන කොණ්ඩ කවුඩා (Sri Lanka Drongo) ය. කොණ්ඩ කවුඩා කැදලි තනන සමයේ දක්නට ලැබෙන සිත්ගන්නාසුලු චර්යා රටාවක් විද්යාත්මක පර්යේෂණයක් ඔස්සේ අනාවරණය කිරීමට එම් ඩී ගිහාන් රජීව් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. දුලාන් රංග විදානපතිරණ, කසුන් බෙනරගම සහ මෙන්ඩිස් වික්රමසිංහ පර්යේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
විද්යාත්මක පර්යේෂණ පත්රිකාවක් නිකුත් කරමින් ඔවුන් අනාවරණය කර ඇති කොණ්ඩ කවුඩාගේ සුවිශේෂ චර්යා රටාව මේ දිනවල නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව හිමිව තිබේ. ඊට හේතුව වන්නේ එම පක්ෂියා කැදලි සාදා බිත්තර දමන කාලය ජනවාරි සිට මැයි දක්වා වන බැවිනි.
‘ගස හුදෙකලා කර කඳ පොලිෂ් කිරීම’
ශ්රී ලංකාවට අවේණික කුරුලු විශේෂ 33 අතරට අයත් වන එක ම කවුඩන් විශේෂය කොණ්ඩ කවුඩා හෙවත් ශ්රී ලංකා සිළු කවුඩා ය. සත්ව විද්යාත්මකව Dicrurus lophorinus ලෙස හඳුන්වන කොණ්ඩ කවුඩා තෙත් කලාපයේ දක්නට ලැබෙන පක්ෂියෙකි.
තුරු වදුළක කැදලි සාදන විට, කැදැල්ල සාදන ගස අනෙක් ශාකවලින් හුදකලා කරන බවත් එම ගසේ කඳෙහි ඇති පෙඳපාසි ගලවා දමා කඳ වඩාත් සුමට කරන බවත් පර්යේෂණ කණ්ඩායමේ මෙන්ඩිස් වික්රමසිංහ පවසයි
එම පක්ෂියා තුරු වදුළක කැදලි සාදන විට, කැදැල්ල සාදන ගස අනෙක් ශාකවලින් හුදකලා කරන බවත් එම ගසේ කඳෙහි ඇති පෙඳපාසි ගලවා දමා කඳ වඩාත් සුමට කරන බවත් පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මෙන්ඩිස් වික්රමසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
”උපාලි පියසිංහ කියලා දැරණියගල, අංහෙට්ටිගම අපේ යාළුවෙක් ඉන්නවා. මීට අවුරුදු හයකට විතර කලින් ඔහු දවසක් කිවුවා කොණ්ඩ කවුඩෝ ‘නිය’ ගස්වල අතු කඩනවා කියලා. අපි බලන්න ගියහම වැඩේ ඇත්ත. ඌ බිත්තර දාන්න කූඩුව හදන ගහට වදින අනෙක් ගස්වල අතු තමයි මේ විදියට කඩන්නේ. ඒ වගේ ම කොණ්ඩ කවුඩා උගේ හොටෙන් කූඩුව හදන ගහේ කඳ සුද්ද කරනවා අපි දැක්කා. ඒ නිසා තමයි අපි මේ ගැන විද්යාත්මක පර්යේෂණයක් ආරම්භ කළේ,” යනුවෙන් මෙන්ඩිස් වික්රමසිංහ විස්තර කළේය.
දැරණියගල, අත්වැල්තොට, කුඩව සහ සිංහරාජය ආදී ප්රදේශ රැසක කොණ්ඩ කවුඩාගේ මෙම චර්යා රටාව පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත. මීට අදාළ විද්යාත්මක පර්යේෂණයේදී දක්නට ලැබුණු නිරීක්ෂණ අනුව පර්යේෂකයන්ගේ නිගමනය වී තිබෙන්නේ කැදැල්ලේ ආරක්ෂාව සඳහා කොණ්ඩ කවුඩා මෙම චර්යාව දක්වන බවය.
”ගස්වල රළුවට තියෙන කඳන්වල පෙඳපාසි, පොතු ඉවත් කළා ම ඒ කඳ පොලිෂ් කළා වගේ සිනිඳු වෙනවා. එතකොට වෙනත් විලෝපික සතෙකුට කඳ දිගේ ඉහළට නැගල කුඩුවට ළඟාවෙන්න ලේසි වෙන්නේ නෑ. ඒ වගේ ම බිත්තර දාල තියෙන ගහ වටේ තියෙන අනෙකුත් ගස්වල අතුඉති කැඩීමෙන් කරන්නෙත් ගහ හුදෙකලා කරලා කැදැල්ල ආරක්ෂා කිරීමක්. උකුස්සෝ වගේ කුරුල්ලෝ තනි ගස්වල බිත්තර දානවා. දැන් මෙයා කරන්නේ ගස් ගොන්නක් අතර කුඩුව හදන ගහ හුදෙකලා කිරීමක්,” යනුවෙන් මෙන්ඩිස් වික්රමසිංහ පවසයි.
මෙම පර්යේෂණයේදී විද්යාත්මකව තහවුරු කර ගත් තවත් කරුණක් වන්නේ කොණ්ඩ කවුඩා වසර ගණනක් එක ම ගහක කැදලි සාදන බවය. ඇතැම් වසරවල එක ම ගසක කැදලි සෑදීම ආරම්භ කර තිබෙන්නේ වසරේ එක ම දිනක වීම පර්යේෂකයන් පවා පුදුමයට පත්කළ සිදුවීමකි.
“උදාහරණයක් විදියට අපි හිතමු 2015 අවුරුද්දේ ජනවාරි 01 වන දා ඌ කූඩුව හදන්න පටන් ගත්තා කියලා. 2016 ත් උන් කූඩු හදන්න මුලින් ම වැඩ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා. 2017 ත් ජනවාරි පළවෙනිදා මේ තත්ත්වය දකින්න පුළුවන්. ඇත්තට ම මේක හරි පුදුම චර්යාවක්,” මෙන්ඩිස් වික්රමසිංහ විස්තර කළේය.
අනෙකෙකු ලෙස හඬ නැගීම…
සිංහරාජය වැනි වනාන්තරවල කුරුලු විශේෂ කිහිපයක් එකතු වී නඩයක් ලෙස ආහාර සොයා ගමන් කරන සුවිශේෂී චර්යාවක් කුරුලු විද්යාඥයින් මීට පෙර විස්තර කර ඇති අතර එම කුරුලු නඩවල ඉදිරියෙන් ම ගමන් කරන සටන්කාමී පක්ෂියෙකු ලෙස කොණ්ඩ කවුඩා හඳුන්වා දී ඇත එවන් අවස්ථාවල වෙනත් සතෙකු ලෙස හඬ නැගීම උගේ සිරිතකි
ඇතැම් අවස්ථාවලදී වෙනත් සතෙකු ලෙස කොණ්ඩ කවුඩා හඬ නගන විට ආහාර බුදිමින් සිටින වෙනත් කුරුල්ලන් විලෝපිකයෙකු පැමිණෙනු ඇතැයි සිතා අනුභව කරමින් සිටි ආහාර දමා පලා යති. එවිට කොණ්ඩ කවුඩා එම ආහාරයේ රස බලන බව පක්ෂි විද්යාඥයින් සිය පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.
අතීතයේ පටන් ශ්රී ලංකාවට අවේණික උප විශේෂයක් (Sub Species) ලෙස සලකනු ලැබූ කොණ්ඩ කවුඩා ශ්රී ලංකාවට අවේණික කුරුලු විශේෂයක් (Endemic Species) බවට ප්රකාශයට පත් කෙරුණේ පී සී රැස්මුසන් සහ ජේ සී ඇන්ඩර්ටන් 2005 වසරේ නිකුත් කළ Birds of South Asia, The Ripley Guide කෘතියට අනුවය.
PASSERIFORMES ගෝත්රයේ Dicruridae කුලයට අයත් කවුඩන් විශේෂ පහක් ශ්රී ලංකාවේ දක්නට ලැබෙන අතර කොණ්ඩ කවුඩා පමණක් ශ්රී ලංකාවට අවේණික වේ.
සෙන්ටිමීටර් 30 ක් පමණ දිග මෙම පක්ෂියා දිලිසෙන කළු පැහැතිය. උගේ හොටයට ඉහළින් හිසේ ඉදිරියෙන් කොණ්ඩයක් ලෙස දිස් වෙන කෙටි පිහාටු දිස්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. අපර කෙළවර මාළු වරලක් වන් පෙඳය හොඳින් දෙබල් වී තිබේ…
අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!