ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්යනය කිරීමේදී මෙම දුපත අද පවතින ආකාරයට ජනාවාස වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු වේ. අද ලංකාවේ මිලියන 22 ජනගහනයක් මෙරට තුළ ජිවත් වන්නේ මීට අවුරුදු එක්ලක්ෂ විසි පන්දාහකට කලින් මෙරටට පැමිණි හෝමෝ සේපියන් මානවයාගෙන් හා ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී මෙරටට සංක්රමණය වූ ජනතාව ඇසුරින් බව මෙතෙක් කල පර්යේෂණයන් වලදී හෙළි වී තිබේ.
මෙරට ජනාවාස වූ ආකාරය අපට කොටස් දෙකක් වශයෙන් අධ්යනය කල හැකි වේ…
ප්රාග් ඓතිහාසික අවධිය…
ඓතිහාසික අවධිය…
මෙහි දී ඓතිහාසික අවධිය යනු ලකාවේ ලිඛිත ඉතිහාසයට අයත් කාල වකවානුවයි. එහි දී මුලික වශයෙන් අවදානය යොමු කරන්නේ සාහිත්ය මුලාශ්ර කෙරෙහි ය. විශේෂයෙන්ම මහාවංශයේ සදහන් කතා පුවත වන විජය කතා පුවත ප්රධාන වශයෙන් ඓතිහාසික අවධියට අදාල ලංකාවේ ජනාවාස විම පිළිබද සාධකයයි.
අප මෙහි දී අවදානය යොමු කරන්නේ ඒ ප්රචලිත කතා පුවතට නොව ලිඛිත ඉතිහාසයට පෙර යුගය වන ප්රාග් ඓතිහාසික යුගය තුල ලංකාව ජනාවාස වුයේ කෙසේද යන්න පිලිබදවයි. මේ අවදිය පිළිබද ඉතිහාසය අප තවම ගොඩ නගාගෙන යන අතර දැනට කර ඇති පර්යේෂණයන්ගේ ප්රතිඵල මත මෙම ලිපිය මගින් අවදානය යොමු කරනු ලැබේ. මන්ද යත් මෙම යුගය පිළිබද අප සම්පුර්නයෙන්ම අධ්යනය කරනු ලබන්නේ පුරාවිද්යාත්මක සාධක වන භෞතික සාධක මත ලබාගන්නා දත්තයන් මත වේ.
දකුණු පලාතේ මුහුදුබඩ ප්රදේශ ආශ්රිතව පැරණිම හෝමෝ සේපියන් මානවයින්ගේ සාධක හමුවි ඇත. මිනිහාගල් කන්ද, බුන්දල, පතිරාජවෙල යන ස්ථාන වලින් හමු වූ ශිලා මෙවලම් මගින් මේ පිලිබදව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව මුලින්ම මුහුදුබඩ ප්රදේශ වලට පැමිණි මේ ජනයා ක්රමයෙන් රට අභ්යන්තරේට පසු කාලීනව ගමන් කරමින් එකින් එකට වෙනස් පරිසර පද්ධතිවලට ක්රමයෙන් අනුගත වී ජනාවාස ගොඩ නගන්නට ඇතැයි සිතිය හැකි වේ. මෙතෙක් කර ඇති පුරාවිද්යා පර්යේෂණ වලින් ලැබී ඇති තොරතුරු අනුව ප්රාග් මානවයා ලංකාවේ සියලුම පරිසර පද්ධති ආශ්රිතව ජිවත් වී ඇත. පසුගිය අවුරුදු ලක්ෂයකට අයත් කාලයක් පුරා මෙම පරිසර පද්ධති තුල ඔවුන් ජිවත් වී තම ජනාවාස ගොඩ නගාගත් බව ලංකාවේ ස්ථාන ගණනාවක කරන ලද කැනීම් මගින් පැහැදිලි වේ. දිවයිනේ උතුරු මැද, ගිනිකොන දිග වියලි කලාප හා පහත රට තෙත් කලාපීය වනාන්තර යන ප්රදේශ මීට ප්රධාන වශයෙන් අයත් වේ. මේ අනුව ප්රාග් ඓතිහාසික යුගයට අයත් සාධක ලැබෙන්නා වු ප්රදේශ ගණනාවකි.
මාතොට
දොරවක
කළා ඔය බලන්ගොඩ
ජම්බුකෝල
බෙලිහුල්ඔය
පුල්මුඩෙයි
ෆාහියන්ගල
ගෝකණ්න
රචාමඩම
සීගිරිය මිනිහාගල්කන්ද
අලිගල
බුන්දල
පොතාන
අලුත්ගල්ගේ
ඉබ්බන්කටුව
කිතුල්ගල බෙලිලෙන
ගල්සොහොන් කනත්ත
කුරුවිට බටදොබ ලෙන
මේ අනුව ප්රාග් ඓතිහාසික යුගයට අයත් මානවයින් එළිමහන් ප්රදේශ වල හා ගල් ලෙන් ආශ්රිතව තම දිවි පෙවත ගත කර ඇති බව පෙනේ. ඒ ඒ පරිසර පද්ධතිය ට අනුව ඔවුන් ජිවත් වී ඇති අතර වර්ෂා කාල වල දී ගල් ලෙන්වලත්, වියලි කාල වල දී එළිමහන් ප්රදේශවලත්, දිවි ගෙවන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් මෙය අනුමානයක් පමණි. මන්දයත් සමහර එළිමහන් ප්රදේශ හා ගල් ලෙන් අතර කල වකවානුවල පරස්පරයක් තිබෙන නිසාවෙනි.
ඒ කෙසේවෙතත් එළිමහන් ප්රදේශවල ජීවත්වන්නට ඇත්තේ කුඩා පැල්පත් නිර්මාණය කර කුඩා කණ්ඩායම් වශයෙන් බව සිතිය හැකිය. ඊට හේතුව නම් ලෝකයේ අනිත් ප්රදේශවල ප්රාග් ඉතිහාසයට අයත් එළිමහන් භූමි වල ඔවුන් ජිවත් වී ඇත්තේ ඒ අකාරයෙන් බවට සාධක හමු වී ඇති හෙයිනි.
ලංකාවේ මෙම එළිමහන් ප්රාග් ඉතිහාසයට අයත් හොදම නිදසුන වන්නේ බෙල්ලන්බැදි පැලැස්සයි. එය එළිමහන් භූමියකි. එහි කරන ලද කැනීම් වලින් ස්ථර ගණනාවකට අයත් සාධක හමු වී ඇත. මානවයින් ගණනාවක අස්ථි කොටස් රැසක් එහි කැනීම් මගින් සොයා ගෙන ඇත.
ගල් ලෙන් ආශ්රිත ජනාවාස ගැන යම් තරමක දැනුමක් අපිට මෙතක් ලබාගෙන ඇති තොරතුරු මත අප සතුව ඇත. ඒ මේ යුගයට අයත් ගල් ලෙන් රැසක් පහත රට තෙත් කලාපීය ප්රදේශයේ දැක ගත හැකි අතර ඒ බොහෝ ලෙන් වල කැණීම් ගණනාවක් කර දත්ත රැසක් අනාවරණය කර ගෙන ඇති නිසාවෙනි.
පාහියන්ගල ලෙන
කිතුල්ගල බෙලිලෙන
කුරුවිට බටදොබලෙන
අළු ලෙන
සීගිරියේ අලිගල පොතාන
යනාදී ලෙන් මිට ප්රධාන වශයෙන් අයත් වෙයි.
කිතුල්ගල බෙලිලෙනේ කළ කැනීම් මගින් ගිනි ගොඩක් ලකුණු සොයා ගෙන ඇත. එම ගිනිමැලය මීටරයක පමණ විෂ්කම්භයකින් යුක්ත වේ. පුරාවිද්යාඥයන්ගේ අදහස වන්නේ මේ ගිනිමැලය එක් පවුලකට ප්රමාණවත් බවයි. ප්රාග් ඓතිහාසික යුගයේදී මෙරට එක පවුලක 5-6 අතර ප්රමාණයක් සිටි බවට ගණනය කර ඇත. මෙම කිතුල්ගල බෙලිලෙන තුළ එවැනි ගිනිමැල කීපයකට අයත් සාධක හමු වී තිබේ. ඉන් අදහස් කරන්නේ එක් අවස්ථාවක දී හෝ අවස්ථා කීපයක දී පවුල් කීපයක් වෙසෙන්න ඇති බවයි. මෙම සාක්ෂි වසර දහතුන්දාහක ට පමණ පැරණි කාල වලට අයත් බව සොයා ගෙන ඇත.
තෙත් කලාපයේ පිහිටි මෙම සෑම ගුහාවක්ම විශාල වපසරියකින් යුතු ගල් ලෙන් වේ. බෙලිලෙනට මේ අතරින් හිමි වන්නේ 5 වෙනි ස්ථානයයි. මීට හේතුව විශාල පිරිසකට එක ස්ථානයක ජිවත් වීමට අවශ්ය ඉඩකඩක් වුවමනා වු නිසාවෙනි. මේ ගුහාවල ගිනිමැල රැය පුරාම දැල්වෙන්නට ඇති අතර එමගින් ගුහාවේ උණුසුම හා ආරක්ෂාව ලබාගෙන ඇත. කිතුල්ගල බෙලි ලෙනේ හා කුරුවිට බටදොබ ලෙනේ සකස් කරන ලද ගල් බැමි පිළිබද සාක්ෂි ලැබී ඇත. බෙලිලෙනේ ඇති ගල් බැම්ම අදින් වසර 13000 කට ප්රථම වන අතර බටදොබ ලෙනේ ගල්බැම්ම මීට වසර 22000කට ඉහත ඉදිකරන ලද්දකි. මෙම ගල්බැමි ගුහාවට ආවරණයක් නිර්මාණය කිරීමට යොදා ගන්න ඇති බව සිතිය හැකි වේ. මීට සමාන නිර්මාණ ක්රමයක් වැදි ජනතාව අතර ද දක්නට ලැබේ. මේ සෑම ගුහාවක් අසන්නයේම ජල පහරක් ද දැකිය හැකි වේ. ඒ අනුව මෙම මානවයින් තම ජනාවාස පිහිටුවා ගැනීමේ දී ජිවත් වීමට අවශ්ය ආරක්ෂාව, ජලය, ආහාර සපයා ගැනීමේ පහසුව යනාදී කාරනා සැලකිල්ලට ගෙන ඇති බව මෙයින් පැහැදිලි කර ගත හැකිය.
පහත සදහන් වන්නේ දැනට කර ඇති පර්යේෂණයන් වලින් මානව ජනාවාස ඇති ලෙන් වල එම මානව සාධක හමු වී ඇති කාල නිර්ණයන් වේ.
බුලත්සිංහල පාහියන්ගල ලෙන
අදින් වසර 38000-5400 දක්වා
කුරුවිට බටදොබ ලෙන
අදින් වසර 37000-1000 දක්වා
කිතුල්ගල බෙලිලෙන
අදින් වසර 30000- 9000 දක්වා
කෑගල්ල අළුලෙන
අදින් වසර 10,350
බෙල්ලන් බැදී පැලැස්ස
අදින් වසර 6,500
බට තොට ලෙන
අදින් වසර 7,700 -4800 දක්වා
ප්රාග් මානවයාගේ ආහාර පාන…
ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයට අදාළ ජනකොටස් විවිධ ප්රදේශවල ජිවත් වු නිසා ඒ ඒ ප්රදේශවලට අනුව ආහාර පාන වෙනස් වී ඇත. එනම් මුහුදුබඩ ප්රදේශ හා පහත රට තෙත් කලාපීය වනාන්තර ප්රදේශවල ජිවත් වුු මානවයින් අතර වුු ආහාර රටාවේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවේ. මුහුදු ආසන්නයේ ජිවත් වුු මානවයින් මුලික වශයෙන් බෙල්ලන් හා මාලුන් අහාරයට ගෙන ඇත. මෙම ආහාරයට ගත් බෙල්ලන් වර්ගය සත්ව විද්යාත්මකව හදුන්වන්නේ ඔස්ට්රි මන්ද්රාසෙන්සිස් යනුවෙනි.
තෙත් කලාපයේ ජිවත් වු මානවයින් බොහෝ විට ආහාරයට ගෙන ඇත්තේ එම පරිසර වල වෙසෙන කුඩා සතුන් වේ. විටක විශාල සතුන්ගේ සාධක ද හමු වී නැතුවාම නොවේ. එසේ වන්නේ ඔවුන් විශාල සතුන් දඩයම් කිරීමට වඩා එම සතුන් මිය ගියායින් පසු ඔවුන්ගේ මල කුණ ගුහාවට ගෙන ගොස් ආහාරයට ගෙන ඇත. ඊට උදාහරණ ලෙස ගවරා ආහාරයට ගැනීම දක්විය හැකිය. මන්ද යත් එම සතා ඉතා සැර පරුෂ සතෙකි. ඒ නිසා එම සතා දඩයම් කළා යයි සිතිම අමාරු කරුණකි.
ඒ කෙසේවෙතත් බෙලිලෙන හා බටදොබ ලෙනින් හමු වු සත්ව අවශේෂ මත පහතරට තෙත් කලාපයේ සිටි මානවයින් ආහාරයට ගත් සතුන් ගැන අදහසක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. එම සතුන් නම් මීමින්නා, දඩුලේනා, හම්බාවා, අදුන්දිවියා, වදුරා, වල් ඌරා, ගොනා, ඉත්තෑවා, වලි කුකුලා, පිබුරන් හා ගැරඩියන්, ඉබ්බන්, මිරිදිය මත්සයින්, ගොළු බෙල්ලන් වෙයි. මෙම යුගයේ ආහාර පාන අතර ශාක ආහාර තිබෙන්නට ඇති අතර නමුත් මේ පිළිබද සාක්ෂි හමුවන්නේ සීමිත වශයෙනි. මන්ද යත් කැනීම් මගින් එම සාධක හමු වන්නේ කලාතුරකින් වන බැවිනි. නිවර්තනික දේශගුණික තත්ත්ව යටතේ කාබනික ද්රව්ය ඉතා ඉක්මනින් දිරාපත්වීම හේතුවෙනි. නමුත් පහතර රට තෙත් කාලපිය ලෙන් වල පවතින තෙත් සහිත පස නිසා සමහර සීමිත සාධක ප්රමාණයක් ඉතුරු වී තිබුණි. බටදොඹ ලෙනේ මීට අවුරුදු 25000 කට ප්රථම අනුභව කල දික් කැකුණ ඇට හමු වී ඇත. එම ඇටවල සාධක මීට අවුරුදු 13000කට ඉහත කලකට අයත් බවට බෙලිලේනෙත් තහවුරැ වී ඇත. එසේම අවුරුදු 7600කට කලින් අවිසාවේල්ලේ් මානියම්ගම ගුහාවෙත් සිටි මිනිසුන් ආහාරයට ගත් බවට සාදක හමු වී ඇත. කිතුල්ගල බෙලි ලෙනේ ඇටිකෙහෙල් හා දෝතළු, කටු අල, කටුකිතුල්, ගොනල යනාදී ශාක ආහාරයට ගෙන ඇත.
මානවයින්ගේ ශරිර ස්වභාවය….
උස – පිරිමි සෙන්ටිමීටර 174
ගැහැණු සෙන්ටිමීටර 166
මොලයේ විශාලත්වය – 1600 ඝන සෙන්ටිමීටර
ආයු අපේක්ෂාව – 35-40
තාක්ෂණය…
හෝමෝ සේපියන් හෙවත් බලංගොඩ මානවයා තම ජිවන රටාවට උචිත ආකාරයට ශිලා මෙවලම් නිපදවා ගෙන ඇත. කැපීම, සිරීම, ඇබරිම හා සිදුරු කිරීම වැනි ක්රියාවන් සදහා උචිත ආකාරයට ගල් වලින් හා සත්ව අස්ථි වලින් උපකරණ නිපදවා ගෙන ඇත. මුලික වශයෙන් උපයෝගී කරගෙන ඇත්තේ ශිලා මෙවලම් වේ. මිටි, ඇබරුම් ගල්, දා ගල්, මෝල්ගස්, වංගෙඩි ආදී උපකරණ ශිලා මෙවලම් වශයෙන් නිර්මාණය කරගෙන ඇත.
ලංකාවේ මධ්ය ශිලා මෙවලම් අතර දියුණුම තාක්ෂණය ලෙස හැදින්විය හැකි වෙන්නේ ජ්යාමිතික ක්ෂුද්ර ශිලා මෙවලම් තාක්ෂණයයි. චතුරශ්රාකාර, ත්රිකෝණාකාර, ත්රිපිසියම ආදී හැඩතලවලට අනුව කුඩා ප්රමාණයේ සෙන්ටිමීටර් 4.5ට අඩු ශිලා මෙවලම් මීට අදාළ වේ. මෙම මෙවලම් නිර්මාණයට තිරුවානා හා කහද පාෂාණ යොදා ගෙන ඇත.
අභිචාර විධි…
මෙම යුගයට අයත් අභිචාර විධි ගැන අවබෝධයක් ලබා ගත හැක්කේ මීනි වලලීම් ආශ්රයෙනි. රතු පැහැති ගුරුගල් අලේප කල මිනිස් ඇට සැකිලි වල කොටස් පාහියන්ගල ලෙනෙන් හමු වී ඇත. මල සිරුර වෙන තැනක වල දමා එහි කොටස් දිරා පත් වු පසුව ඇට සැකිල්ල ගෙන නැවත ඒවා ගුරුගල් අලේප කර නැවත වළ දමා ඇති බවට මේ මගින් පැහැදිලි වේ. කුරුවිට බටදොබ ලෙනෙන් සොයා ගත් ඇට සැකිලි වළ දමා තිබුනේ වකුටු කර වේ. රාවණා ඇල්ලේ ගල් ගුහාවෙන් සොයා ගත් ඇට සැකිල්ලේ හිස් කබලේ දෙකට බෙදෙන ලෙස හිල් විද ඇත. එම හිස් කබලේ රළුවට පිහිටා ඇති කොටස් මට්ටම් කොට එක පැත්තක ගුරුගල් අලේප කර තිබුණි. ඒ අනුව මෙම යුගයේ මානවයින් අභිචාර විධි කීපයක් අනුගමනය කර ඇති අතර වර්තමානයේ වැදී ජනතාව හා මෙම ගල් යුගයේ මිනිසුන් අතර සංස්කෘතික සම්බන්දතාව කෙසේද යන්න වගත් සොයා ගත හැකි වන්නේ මෙම අභිචාර විධි පරික්ශාකිරිම මගිනි.
ලංකාවේ මුලින්ම ජනාවාස කිරීමට පටන් ගත හෝමෝ සේපියන් මානවයින් ගේ කාල වකවානුව ගැන අපට මෙලෙසින් සැකෙවින් දැක්විය හැකි වේ. මෙම යුගය පිළිබද වන තොරතුරු තවදුරටත් සොයා ගැනීමට තිබෙන නිසා අනාගතයේ ප්රාග් ඉතිහාසය කෙලෙසින් වෙනස් වේද යන්න තවම අපට අනාවැකි පල කල නොහැකි වෙයි. ඒ ඒවා අයිති අනාගතයට නිසාවෙනි. ප්රාග් ඓතිහාසික යුගයේ සිටි මිනිසුන් කෙලෙසින් සංස්කෘතික මානව සමාජයකට ගියේද යන්න අපට අධ්යනය කල හැකි වන්නේ මූල ඓතිහාසික යුගය පිළිබද හැදෑරීම තුලිනි….
………….අන්තර්ජාලය ඇසුරෙනි……………..


උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න