සුබෝදා.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම ඉස්කෝලේ 10 වෙනි වසරෙ, හුරීගොල්ලෑව කණිෂ්ඨ විද්යාලේ 9 වසරෙන් 10 වසරට සමත් වෙන ළමයි එන්නෙ අපේ ඉස්කෝලෙට
ඉතින් දවසක් පන්ති භාර සර් ගියා principal office එකට , ආපහු පන්තියට ගොඩ උනේ තවත් මනුස්සයෙක් එක්ක හරිම කේඩෑරි වෙච්ච, මහන්සි පෙනුමක් තියෙන, බැලූ පමනින් “දුප්පත්” කියන සීල් එක වැදුනු කෙනෙක්.
ඒ මනුස්සයා දැක්කාම මගෙ හිතටත් දුකක් දැනුනා.
එයා පිටිපස්සෙන් හැබැයි තවත් කෙනෙක් හිටියා.
ලොකු ඉස්කෝලෙට එන්න අලුතින් ඇදුම් මහලා, අලුතෙන් සුදූ රිබන් දෙකක් අරන්
(අපේ ඉස්කෝලේ සුදු රිබන් අනිවාර්යයි)
මොකද ඒ අයගෙ හැටියට ඒ දෙක හොදටම කැපිලා පෙනුනා,
අවුවට පිච්චුන පරණ බෑග් එකක් එල්ලගෙන ගෑණු ලමයෙක්. හරීම අහින්සක ලස්සන පෙනුමක් තිබුණේ බොකුටු කොන්ඩෙ තෙල් ගාලා පීරලා කරල් දෙක ගොතලා. නලලේ පැත්තක පුන්චි කැලලක් තියෙනවා ඒක ලස්සනක් ගෙනාවා ඒ අහින්සක මූණට. කනේ,කරේ කියලා දේකට තිබුනේ අතේ තිබුණු සුදෝසුදු පිරිත් නූල විතරයි. ඒ ළමයා බිම බලාගෙනමයි හිටියේ වැඩිපුර .
පන්ති භාර සර් කිව්වා,
” මේ ඔයාලට තවත් අලුත් යාලුවෙක්,
කියන්න පුතේ නම “
“සුබෝදා කුමාරි ගුණරත්න ” එයා කිව්වා
සර් අහුවා කවුද මෙයාව තමන්ගේ කන්ඩායමට ගන්නේ….
මගෙ හිත සත්තකින්ම කිව්වා අනේ අපේ කන්ඩායමට, කියලා
ඒත් මට.. ඒත් මට ඒක කියන්න තරම් හයියක් දුන්නෙ නෑ මගේ හිත.
වෙන තැනක එයාව වාඩි කෙරෙව්වා.
“මට ඒ දවස සිදුවීමක් ගානට තාම මතක් වෙනවා”
මට කවදාවත් දැනිච්ච නැති මොකක්ද දෙයක් එයාව දැකලා දැනුනා.
ඒක දුකක් ද, වේදනාව ක් ද මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනා..
ඒ කෙල්ල ගෙ අහින්සක පෙනුම මට මහා දුකක් ඇති කරලා තිබුනා ඒ වෙද්දී.
සිංහල උගන්නපු හාමුදුරුවෝ පන්තියට උගන්වන අතරෙදී ,
“අලුතෙන් ආපු දුව කියන්න බලන්න තමන් ගැන විස්තර…..”
කියලා කිව්වා ඉතින් එයා අර පටියම දිගෑරියා.
“කවියක්.. සින්දුවක්.
වත් කියන්න බලන්න… එහෙදි ඉගෙන ගත්ත එකක්”
“අලුත් යාලුවන්ට අහන්නත් එක්කලා” කියලා හාමුදුරුවෝ කිව්වා.
අද වගේ මතකයි මට…
පන්ති කාමරෙන් එලෙයෙ ඈත කෙලවරක් දිහා බලාගෙන..
“ඉර පායා ඉර මුදුනට එන්ට එපා
සඳ පායා සඳ මුදුනට එන්ට එපා
පෑදී දියට බොර දිය එක්වෙන්ට එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා”
කියලා, ගිහිල්ලා වාඩිඋනා.
කවිය කියපු හැඟුම්බර තාලෙ ඇතුලේ ඒ කවියෙ තේරුම තිබුනා වගේ දැනුනේ මට.
ඉතින් මං ඒ කෙල්ල ගැනමයි…
මොකක්ද මහා වේදනාවක් ඒක තේරුනේම නෑ මොකක්ද කියලා..
ඉතින් ඔහොම කාලෙ ගෙවිලා ගියා.
මාසෙකින් වගේ 10 A, B, C පන්ති තුනේ ලමයි මිශ්ර කරන්න ඕන කිව්වා පන්ති භාර සර්,
ඒ දවසෙ ළමයි ගොඩක් දෙනෙක් එහාටයි මෙහාටයි මාරු උනා.
ඒ අය අතර අර ලමයත් B එකට දැම්මා.
මට මොකක්දෝ.. දෙයක් නැති උනා වගේ දැනුනේ.
ඔහොම යද්දී මං එයාට කතා කරන්න
“Good morning”
කියන්න තරම් මගේ හිත ඉදිරියට ඇවිල්ලා තිබුනා.
මොකද අනිත් හැමෝම එක්ක සාමාන්ය යාලුවො විදියට ඇසුරුකරත් අපි අතර වැඩි මිතුරුකමක් ඇති වෙලා තිබුණේ නෑ මේ වෙද්දීත්,
විෂයයක් විදියට සංගීතය හදාරපු මම අපේ ඉස්කෝලේ සින්දු කියන්න වගේම වාදනයට දක්ෂයි.
ඉතින් මං සංගීත කාමරේ ඉන්න වෙලාවට, ඉස්කෝලේ උත්සව තියෙන දවස් වලට අනිත් ළමයි ඒ ගායනයන් වාදනයන් අගය කරනවා, පුදුම වෙනවා.
ඒත් මේ ළමයා මුකුත් කියලා නෑ.
ඒත් මං ආස උනා එයා මොනවා හරි කියලා අගේ කරනවානම්.
හැබැයි එයා ආසාවෙන් බලාගෙන ඉදලා යනවා මං දැකලා තියෙනවා.
අනිත් ලමයි එක්ක කොච්චර කතා කරත්, හිනා උනත්
අපි අතර “good morning” විතරයි තාමත්.
ඒ ඇරෙන්න අවෂ්ය ම උනොත් තමයි කතා කරන්නේ,
ඒකත් මං අවෂ්යතාවල් හදාගෙන කතා කරපු නිසා.
ඒත් ඒ ලමයා මට විෂේශ බව යාලුවො දැක්කා.
මං කවදාවත් කෙල්ලෙක් ට ඒ තරම් ලන් වෙන්න හදනවා දැකලා නැති නිසා යාලුවොන්ට මේක ඉක්මනින්ම රසවත් මාතෘකාවක් උනා.
“ඔන්න.. එනවා… මචං”
“භානුකෙයා අන්න සුබෝදා එනව”
“ඒ.. ඒ.. අපි යං අපි යං”
“මුන්ට කතා කරන්න දීලා”
“මචං කතා කරලා වරෙං ඈ… ඉන්ඩෙපෑ…”
වගේ දේවල් කියනවා එකම හිනා සද්දෙ. ඉතින් මං ඒවට කැමති නෑ ඒත් උන්ගෙ කටවල් වහන්නත් බෑ
ඒ උන්ගේ හැටි. වෙන උන්ට විහිලු කරද්දීනම් මමත් ඊට එහා.
ඒ ලමයත් ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනාවෙලා මට විතරක් ඇහෙන්න
“good morning” කියාගෙන යනවා
හරියට නිකං
“යාලුවෝ කියන දේ තමයි ඇත්ත”
කියලා කියනවා වගේ මට දැනුනා.
ඒක මහා පුදුම අහින්සක ලෙන්ගතු හිනාවක්
මේ වෙද්දී යාලුවො කතා හදලා රෙජිස්ටර් කරලා ඉවරයි.
කිසිම දාක එයත් ඒවට අකමැති උනේවත් නෑ.
හිනාවෙලා මා දිහා බලලා එතනින් යන්න යනවා.
ඉතින් ඔහොම ඉද්දී අපි සමහර විෂයන් වලට පන්ති දෙකම එකට වැටෙනව.
එතකොට කන්ඩායම් බෙදාගන්න කියද්දී මම අර ළමයා ඉන්න එකට යනවා හෙමීට.
දවසක් විද්යාව කාමරේදි විනාඩි බාගයක් විතර වෙන්න ඇති අපි අපේ ඇස් දිහා බලාගෙන හිටියා.
ඒ ටීච උගන්නන වෙලාවෙ.
විටින් විට ඒ සිද්දිය උනා ඒ ඇස්දෙකත් මගේ ඇස්ම හොයපු විදිය මං හොදටම දැක්කා
සාමාන්ය වචනෙකින් කියනවානම්
බඩ යටින් ආපු මොකක්දෝ… දැවිල්ලක් පපුවත් පුච්චෙගෙන උඩට ආවා ඒ වෙලාවෙදි නම්.
ඉතින් මං මේ වෙද්දී ශිෂ්ය නායකයෙක්, එයාත් දක්ෂ ළමයෙක් නිසා ශිෂ්ය නායිකාවක් කරලා තිබුනා.
ඔහොම අපි සාමාන්ය පෙල සමත් වෙලා උසස් පෙලට ගියා.
ඒත් අපේ කතාව එහෙම්මයි,
එතනමයි,
ඒත් සුබෝදා ගේ අමුතු ලෙන්ගතු බවක් දැක්කා මං ඒ වෙද්දී,
බලපු දිගු බැල්මවල්,
පන්තියේ දී නිතර මගේ පැත්තම ගන්න විදිය.
යාලුවො මං ගැන කියලා විහිලු කරද්දී හිනා වෙලා මගේ දිහා බලලා
ඇස්වලින් මොනවද කියපු විදිය.
මට ඒවා හැමදාමත් නොදැක බැරි තරම්
එයා නෑවිත් හිටපු දාට පුදුම කම්මැලි දවසක්
වෙලාව යන්නෙ නෑ.
දවසක් කැන්ටින් එක වහලා නිසා
“ඔයා කන්න”
කියලා සුබෝදා එයාගෙ බත්මුල මට දික් කරා
මං ඇහුවා
“එතකොට සුබෝදට”
“බඩගිනි නෑ”
ඒ බලපු අහින්සක බැල්ම….., තාමත් මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා.
ඉතින් මේ අවුරුද්දේ මුල් කාලෙ
නිවාසාන්තර ක්රීඩා උත්සව හැම පාසලකම,
අපි දෙන්නම ගැමුණු නිවාසෙට දාලා තිබුනේ.
අපිට එකම නිවාසෙක ලොකු වගකීම් කොටසක් ලැබිලා තිබුනා ඒ දවස්ටික ඇත්තටම
හරිම සුන්දර උනා.
මොකද ඒ දවස් කීපයකට අපි ගොඩාක් හිතින් ලන් උනා.
එදා ඔන්න අන්තිම මොහොත.
ආරාධිත අමුත්තො එන්න ලඟයි.
නිවාසෙ සැරසිලි වලට තීන්ත ගාලා
අපි දෙන්නගේම අත් වල තීන්ත
හරිම හදිස්සිය ටීචර් කතා කරනවා
“සුබෝදා.. එන්න ලමයෝ…
අරෙහේ ඇමති තුමා එනවා, පිලිගන්න කෙනා තාම මෙතන”
මං ඉක්මනින් එයාව එතනට යවන්න ඕන නිසා
වතුර බේසමට එයාගෙ අත් දෙක ඔබලා
හොදට පොඩි කරලා අත්, ඇඟිලි සේදෙවුවා
ඒ වෙලාවෙ මගේ මූණ දිහා බලාගෙන හිටපු බැල්මට තමයි
“ආදරේ”
කියන්නේ
වෙන්න ඕන කියලා මට දැනුනා එදා.
ඒත් ඒ ආදරේ කියාගන්න බැරි වෙලා තිබුනා අපි දෙන්නගෙන් කාටවත්.
ඉතින් ඔය විදියටම කාලෙ ගෙවිලා ගියා.
අපි උසස්පෙල කරා මට Bදෙකයි C එකයි ආවා.
එයාට Bඑකයි Cදෙකයි.
දෙවනි වතාවට එයාගෙ අත ඇල්ලුනා එදා.
අතට අත දීලා මං
“සුබපැතුම් සුබෝදා “
“හ්ම්….”
“ඔයාට කැම්පස් යන්න පුලුවන් භානුක”
“දාලා බලන්න” එයා කිව්වා.
මට මතක් වෙනවා තාමත් එයාගෙ ඇස්වල කදුලු පිරිලා තිබුනා ඇයි දන්නෑ.
හැමදාමත් සුබෝදා ගේ එක පුරුද්දක් තිබුනා
ඉස්කොලේ ඇරියා ම
“යන්නම් භානුක” කියන්න
දවසක් මං කිව්වා
“ගිහිල්ලා එන්නම් කියන්න”
කියලා
පපුව පිච්චෙන ඒ අහින්සක හිනාව එතකොට මතු වෙලා ආවා එයාගෙ මූනෙ.
එයා හිනාවෙලා මුකුත් නොකියා යන්න ගිහිල්ලා
පන්තියේ දොර ගාවදි ආයෙ හැරිලා
“ගිහින් එන්නම්”
කියලා කිව්වාම, මං ඔලුව වැනුවා විතරයි.
උගුර හිර වෙලා කියලා දැනුනා.
ඉතින් අපි කොල්ලො කෙල්ලො ටික අවුරුදු දහතුනක් තිස්සේ ආපු ඉස්කොලේට සමුදෙන්න දවසත් ආවා නොදැනීම අපි තේ පාටියක් සූදානම් කරා.
ගුරුවරු සේරම ආවා.
ඒ අය අපිට අවවාද දුන්නේ සුබ පැතුවෙ හරීම ආදරෙන්.
ඒත් අපි දෙන්නා විටින් විට වෙනමම ලෝකෙක අතරමං වෙනවා වගේ දැනුනා.
ටික වෙලාවකින් සුබෝදා මුකුත් ම නොකියා කරබාගෙන මගේ දිහාට දික්කරා පුන්චි සමරු පොතක්.
ලා කහ පාට අවසාන පිටුව පෙරලගෙන
කලාත්මක අත්අකුරින් මං ලියුවෙ පේලි දෙකයි.
“ලොව හිමි එකම දෙය”
“අහිමි වීම යි..”
අතපය සීතලයි, පපුව දනවා වගේ,
මට මොකක්දෝ.. මහ වටිනා දෙයක් නැති වෙන්න යනවා වගේ දැනුනේ.
මං මොකක්හරි දෙයක් මගෑරලා දුරක් ඇවිල්ලා කියලා දැනුනා.
සාදය අවසන් උනේ දුක්බර නමුත් හරිම විනෝදෙන්.
එදා දවසම ඒ ඇස්දෙක,
මගේ ඇස්දෙක ඇතුලේ ම නේද තිබුණේ..
කියලා අදටත් මතක් වෙනවා..
සේරම දෙනා ගුරුවරුන්ට වැඳලා යාලුවො වැලඳගෙන සමුගන්නයි ලෑස්තිය.
ගොඩක් ලමයි අඩනවා. සමහර කොල්ලො පවා.
එදා එයා අවුරුදු හතරක් හිරකරගෙන හිටපු සේරම දේවල් ඇස්දෙක ඇතුලෙන් එලියට වැගුරුවා.
මගේ දිහා බල බලා අඩපු තරම,
ඉකිගගහා…
ඒක හරියට මට කරපු චෝදනාවක් වගේ..
ඒ තරම් ඇඩුවා.
ගොඩක් උන් ඉස්කෝලෙට සමුදෙන්න බැරුව අඩපු නිසා.
එයාගෙ මේ විලාපෙ කාටවත් ගානක් නෑ..
ඒත් ඒ ඇඩිල්ල මට දරාගන්න බැරි උනා..
මොකද මං දන්නවා ඒ කදුලු වලට හේතුව,
මගේ ඇස්දෙකත් කදුලුවල බරට
සේරම දේවල් බොඳ වෙලා පේන්න ගත්ත.
පිහදාන්න බෑ ලැජ්ජාවට,
මං එහෙම්ම හිටියා.
කදුලු අවුස්සන නොගිහින්..
මං නොදැනුන ගානට අමාරුවෙන් හිටියා.
සමහර විට ඒක එයාට තවත් දුකක් ගේන්න ඇති කියලා මට හිතෙනවා.
සේරම අය යන්න ලෑස්ති,
සමු දෙනවා… සුබ පතනවා… වැලඳගන්නවා..
සුබෝදා ආවා මගේ ලගට.
එයාගෙ යාලුවෙක් එක්ක,
එයා මං දිහා බලනගමන් යාලුවට කිව්වා.
මට ඇහෙන්න වචන පේලියක්, ඉකි ගැහෙන ගමන්.
තාමත් දෝංකාර දෙනවා කන්දෙකගාව ඒ අහින්සක හඬ.
“අපි, ආයෙත්, කවදාවත්, හම්බවෙන්නෙ නැති වෙයි,,
හිත හදාගෙන යමු”
කියලා.
තාමත් මතක් වෙනවා ඒක කියද්දී
එයාගෙ ඇස්වල වැටෙන්න ඔන්න මෙන්න තිබුණු කදුලු කැට ගොඩක් එකක් පස්සේ එකක් කඩාගෙ වැටුන විදිය.
එදා ඒ එයා කියපු විදියටම..
එදා තමයි.. එයාව දැකපු අන්තීම දවස.
උපුටා ගැනීම: Kingsley Wijesinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!