මම මුලින්ම සුධර්මා දැක්කේ කැම්පස් එකේදී.
ලස්සන ලොකු ඇස් දෙකයි තනි කරලට ගොතපු කොණ්ඩෙයි දණිස්සෙන් පල්ලෙහට දිගට ඇන්ද සායයි නිසා මං මුලින් හිතුවෙම ගමක කෙල්ලෙක් කියලා.
පිරිමි ඇස් දෙකකට දරාගන්න බැරි තරමේ ලස්සනක් ඒක.
කොච්චර නොබලා ඉන්න හැදුවත් ආයේ ආයේ ම ඒ මූණ දිහාමයි බැලෙන්නේ.
මං නොදැනුවත්වම හැමදාම ලෙක්චර් හෝල් එකේ හැමතැනම මේ කෙල්ලව හොයන්න පුරුදු වෙලා හිටියා ඒ දවස්වල.
ඒ විතරක්ද හවසට එයාගේ පස්සෙන් ම ගිහින් එයා යන්නේ කොයි පැත්තටද කියලා හොයන්නත් මං දෙතුන් පාරක් ට්රයි කළා.
ඔහොම ගිය දවසක තමයි දැක්කේ සුධර්මා කැම්පස් එක ගාවින් සුදු පාට කාර් එකකට නඟිනවා.
එදා තමයි මං දැනගත්තේ මේ ලස්සන ගෑණු දැරිවි ගමකින් ආව කෙනෙක් නෙවෙයි යමක් කමක් තියෙන පවුලක කියලා.
හැමදාම දකින්න බලාගෙන ඉන්නවා ඇරෙන්න කතා කරන්න තරම් හයියක් තිබ්බේ නෑ මට.
ඇරත් මම කොහොමද එයාට පෑහෙන්නේ!
ඒ ඇස් දෙක මට තාමත් මවාගන්න පුළුවන්.
සුධර්මා
එයා මාව පිස්සු වැට්ටුවා.
ඒ දවස්වල නම් නිතරම මට ඒ ඇස් දෙක හීනෙන් පෙනුණා.
ඒ නිසොල්මන් ගතියට මං හුඟක් ආදරේ කළා.
පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී මම සුධර්මා නොදැක ඉන්නම බැරි තැනට පත් වුණා.
මං පිස්සුවෙන් වගේ එයා එනකල් බලන් හිටියා.
හිතේ කැකෑරෙන ආදරේ කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත අවුරුද්දක්ම ගියා.
මං අන්තිමට තීරණය කළා එයාට හැමදේම කියන්න.
මං එයා එනකල් හැමදාම බලාගෙන හිටිය හැටි.
එයා නාවාම ඊලඟ දවස වෙනකල් ඇඟිලි ගැන්න හැටි
හැමදේම කියනවා කියලා මං හිතාගත්තා.
නිවාඩුව පටන් ගන්න කලින් දවසේ ගේට්ටුව ගාවට වෙලා හිටියේ සුධර්මා එනකල්.
මාව දැක්ක ගමන් කෙල්ලගේ ඇස් හිනාවකින් පිරුණා.
ගුඩ් මෝනින් සර්!
ඒ කටහඬ අදමයි මට ඇහුණේ.පුදුම ලස්සනයි.
මට තාම මතකයි මං හිටිය විදියට කෙල්ල බයවෙන්න ඇති.
මං ගල්වෙලා හිටියේ.
මගෙයි සුධර්මගෙයි අතර තිබ්බ පරතරය මට තේරුම් ගියේ එවෙලේ.
සර්…ඔව් මං මෙහෙ කථිකාචාර්යවරයෙක්!
ඊටත් මං ඉහ නිකට පැහෙන්න ළං වුණු මනුස්සයෙක්.
මට මං ගැනම තරහක් ආවේ.
ගුඩ් මෝනින් පුතේ.
මං බොරු හිනාවකින් මූණ වහගන්න උත්සහ කළා.
හවස ළමයි ටික එහාට මෙහාට වෙන අතරේ මං ආයේ සුධර්මට කිට්ටු කළා.
සුධර්මා.
මං එයාට නම කියලා කතා කරපු පළවෙනි වතාව.
සර්.
ටිකක් කතා කරන්න ඕනේ.
සුධර්මා බය වෙලා හිටිය වග මට තේරුණා.
මං කියන්න යන්නේ මොනවද කියලා දැනගන්න හදිස්සියෙන් වගේ එයා මං දිහාවේ බලන් හිටියා.
මං ඔයාට ආදරේ කරන්න පටන්ගෙන සුධර්මා.
මට සමාවෙන්න. ඒත් මට නොකියා ඉන්න බැරි වුණා.
සුධර්මා ඇස් දෙක තවත් ලොකු කරගෙන බලාගෙන හිටියා ටිකක් වෙලා.
ඊටපස්සේ වේගෙන් වේගෙන් ගේට්ටුව පැත්තට ඇවිදගෙන ගියා.
මටත් ඒ පස්සෙන් යන්න හිතුණත් මං ගියේ නෑ.
මං කළේ නොහොබිනා වැඩක් කියලා මට හිතුණා.
ඒත් කිව්ව වචන ආපහු ගන්නයැ.
මං ගෙදර ගිහිල්ලත් කල්පනා කළා සිද්ද වුණු දේ ගැන.
අපරාදේ හිතේ තියාගෙන ඉන්න තිබ්බේ.
තමන්ගේ තාත්තා වගේ වයසක මිනිහෙක් එහෙම දෙයක් කිව්වම කොයි කෙල්ලටද කේන්ති නොයන්නේ.
අවුරුදු පහළොවක් විතර මං වැඩිමල් ඇති එයාට වඩා.
ඒත් ආදරේට වයස වැදගත්ද?
විකාර
මට හරිම විලිලැජ්ජාවක් දැනුණේ එදා නම්.
ගෙදර ඇවිත් කවදාවත් නැතුව අරක්කු බෝතලයක්ම හිස් කළා.
ඇයි පුතේ මේ කවදාවත් නැතුව?
මං අම්මට උත්තර දෙන්න ගියේ නෑ.කොහොමද කියන්නේ ගෑණු ළමයෙක් නිසා කියලා.
දැන්වත් පිළිවෙලක් වුණොත් නරකද?
ඇත්තටම ඇයි මං කසාද නොබැන්ඳේ..
ඇහැට හොඳ අය හිතට ඇල්ලුවේ නෑ.
හිතට හොඳ අය ඇහැට ප්රිය වුණේ නෑ.
ඒකයි සරලවම හේතුව.
මගේ තරුණ වයස ගෙවීගෙන යද්දී සුධර්මා මොකට මගේ ඉස්සරහට ආවද?
ආපහු සුධර්මා මං දිහා කෙලින් බැලුවේ නෑ..
මං ආයේ එයා දිහා බැලුවෙත් නෑ.
හිතට වේදනයි!
සුධර්මා ඊට පස්සේ අවුරුද්දේ කැම්පස් එකෙන් අයින් වුණා.
බඳින්න යනවා කියලා ආරංචි වුණේ මට.
නොලැබෙන බව දැන දැන ආදරේ කළේ මං.
අන්තිම දවසේ කෙල්ල මාව හොයාගෙන ආවා.!
සර් මං යනවා.
ඒ කටහඬේ මොකක්ද දුකක් තැවරිලා වග මට දැනුණා.
ඒ කිව්වේ සුධර්මත් මට..
නෑ නෑ…ඒක වෙන්න බෑ…
මං මුකුත් නොකියම ඔලුව වැනුවා.
තවත් ටිකක් වෙලා මං දිහා බලන් හිටිය සුධර්මා යන්න ගියා.
මගේ හිතේ නැවතුණු එකම ගෑනු රූපේ!
මං ඇස් දෙක පිහිදාගත්තා.
අඩුම මට වෙඩින් එකටවත් එන්න කිව්වා නම්.
කමක් නෑ.
සුබ ගමන් සුධර්මා.
මට රස්සාව එපා වුණා සුධර්මා ගියාට පස්සේ.
ඒ අවුරුදු දෙකට මගේ ඇස් දෙකට සුධර්මා නොදැක ඉන්න බැරි වෙලා.
මං ලංකාව අතෑරලා යන්න තීරණය කළේ ඊට පස්සේ.
ප්රංශ කෙල්ලෝ අතරෙත් මං හෙව්වෙම මගේ සුධර්මා.
මොන කරුමයක්ද!
අවුරුදු පහකට පස්සේත් තාම ඒ ඇස් මට හීනෙන් පේනවා.
මං ආපහු ලංකාවට ආවේ අම්මගේ මරණෙට!
මං තීරණය කළා ලංකාවේ නවතින්න.
අවුරුදු පහක් ගිහින් නුවර වැව තාම ඒ වගේ.
හරියට සුධර්මගේ ඇස් දෙක වගේ.
සර්.
හුරුපුරුදු කටහඬක් අවුරුදු ගානකට පස්සේ.
මගේ හිත සීතල වෙලා ගියා.
මං නුවර වැවෙන් මගේ ඇස් දෙක මුදාගෙන ආපහු හැරුණා.
සුධර්මා.
හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා.
කේඩෑරි වෙලා ගිහින්.
කෝ ඒ ලස්සන ඇස් දෙක!
සර්.
ඇයි සර් මාව දාලා ගියේ!
මං සර්ව හොයාගෙන එද්දී සර් ගිහින්.
මාව හෙව්වා!
ඔව්.
මං සර්ට ආදරේ කළා
කියාගන්නේ කොහොමද මං!
කිව්වත් අම්මලා මාව සර්ට දෙයිද?
මං වෙඩින් එකට කලින් දවසේ සර් හොයාගෙන ආවා.
අම්මලා මාව බන්ඳලා දෙන්න ගියේ දොස්තර කෙනෙක්ට.
මං කැමති නෑ ඒ මනුස්සයට.
මගේ හිතේ හිටියේ සර්.
හැමදම උදේට දකින ඒ රූපේ නැතුව මං අතරමං වුණා.
හෑමදාම හීනෙන් බයවෙලා ඇහැරුණා.
අන්තිමට මං තීරණයක් ගත්තා.
මං සර් ගැන අම්මලාට ලියුමකින් ලියලා ඇඳුම් සේරමත් අරන්
කැම්පස් එක ගාවට ආවා හවස.
මං දැනගෙන හිටියා සර් මාව බාරගන්නවා කියලා.
මං එද්දී සර් රට ගිහින් මාස දෙකකුත් වෙලා.
මං සර් කොහෙන් හොයන්නද!
සුධර්මා මාව හොයාගෙන ඇවිත්!
මං තව ටිකක් බලන් ඉන්න තිබ්බා.
පුංචි දරුවෙක් සුධර්මා ගාවට දුවගෙන ආවා.
අම්මා.
පොඩි එකාගේ මූණට වැටුණු කෙහෙරොද එහෙමෙහෙ කර කර සුධර්මා මං දිහා බැලුවා.
සුධර්මා බැන්දද?
නෑ සර්.
ගෙදරින් මාව ආයේ බාරගත්තේ නෑ.
යන එන මං නැති වුණාම ගෑණු කෙනෙක් ගොඩක් අසරණ වෙනවා.
ජීවත් වෙන්න හුඟක් දේවල් කැප කරන්න වෙනවා.
දැන් මට මේවා හුරුයි.
මාත් එක්ක යමු සුධර්මා..!
බෑ සර්.
ඒ සුධර්මා දැන් මැරිලා!
මට සමාවෙන්න සර්.
දරුවත් වඩාගත්ත සුධර්මා පාර පැනලා කඩ කාමර පේලියක් අතරේ නොපෙනී ගියා.
ටික වෙලාවකින් ලස්සන රෝස පාට ගවුමක් ඇඳ ගෙන තොල් රෝස පාට කරගත්ත සුධර්මා මටත් වඩා වයසක මනුස්සයෙක් එක්ක කාර් එකකට නැගලා ඉගිල්ලුණා.
මං ආපහුම නුවර වැව දිහාට හැරිලා ඇස් වහගෙන ඒ ඇස් දෙක මවාගන්න හැදුවා.
අහිංසක දරුවෙක්ගේ කඳුළු පිරුණු ඇස් දෙකක් සුධර්මාගේ ඇස් අස්සෙන් මට පෙනුණා.
-SMR-
උපුටා ගැනීම: Shehani Malsha Rathnayake