හවස එක දෙක වෙද්දි මහරගමට වැටෙන්නෙ ඉරටත් එපා වෙච්චි අවුවක්.ඉස්පිරිතාලෙට මෙහා හන්දියෙ නවත්තපු සීටීබී බස් එක අද්දන්න හදනවා වගේ බොරු කර කර තව පැය කාලක්වත් තියෙයි.
ජනේලේ පැත්තෙ වාඩිවෙලා මං හිටියා.හිටියා නෙවෙයි තියලා තිබුනා කිව්වොත් හරි.
“සුද්දී..”
දෙදරන ජනේලෙට වාරු වෙනවා වෙනුවට මං මගේ වම් අත පැත්තට බර වෙලා අසංකගෙ උරහිස උඩින් ඔලුව තියා ගත්තා.
“ඔයාට අවුල් නේද?”
ඇත්තටම මම හිටියෙ මට අවුල්ද නැද්ද කියලා හිතා ගන්න බැරි මානෙක පැටලිලා.
හැමදාම පිළිකා වාට්ටුව ළඟ ඉඳන් රට වටේ දිව්වෙ එකම සීටීබී බස් ටිකක් මගෙ හිතේ.අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න දඟලාපු ලෙඩ්ඩු උන්දැලගේ ගෙදර මිනිස්සු වගේම තමයි ඒ බස් ටිකත්.
එන්ජිම අවදි වුනාම පරණ යකඩ බඩු කඩේක ඉන්නවා වගේ හෙලවෙන මේ බස්වල මගේ මතක කොයි තරම් නං නීරසද කියලා මතක් වෙද්දි ඇස් අගිස්ස ඉබේම තෙතබරියන් වෙනවා.
…………………………..
“තිලිනි ශානිකා වනිගසේකර වෙන මම……
මෙහි සිටින ….ධනුශ්ක උදයංග සමරවීර …..
මාගේ නීත්යානුකූල ස්වාමිපුරුශයා ලෙස….”
…………………..
ඉස්සෙල්ලාම ධනුශ්ක මගෙ ඇස් දෙකෙන් අල්ලගත්තෙ ඒලෙවල් ගෲප් ක්ලාස් එකකට නුවර ඇවිදින් මාසයක් යන්න කළියෙන්.පුංචියට හීනි කරලා හිනා වෙච්ච ඇස්වලින් මදිවාට හිතෙනුත් මාව කොටු කරගන්න එයාට වැඩිම උනොත් සතියක් යන්න ඇති.
අතින් අල්ලගෙන වළාකුළු බැම්ම අද්දර නැවතිලා නුවර වැව දිහා බලාගෙන ඉන්න ඉස්පාසුවක් ආවෙ මාස ගානකට පස්සෙ.
ඉතින් මං එයාගෙ එයා මගේ වුනා.කාලෙ ඉගිල්ලිලා ගියා.එයා පළවෙනි වතාවෙම කැම්පස් ගියා.මම දෙවනි වතාවටත් පන්ති ගියා.කැම්පස් එකේ අලුත් ඇස් දෙකක් මගේ තැනට පැන ගනීද කියලා බයක් නොතිබුනා නෙවෙයි.ඒත් එහෙම වුනේ නෑ.
ඊළඟ අවුරුද්දේ මාත් කැම්පස් ගියා.එකම ෆැකල්ටි නොවුනත් එක ළඟ ෆැකල්ටි දෙකක අවුරුදු පහ හයක්ම සද්ද නැතුව අපි දිහා බලාගෙන උන්න ගහ කොළවලට බිල්ඩිංවලට, මහවැලි ගඟට අපේ ආදර කතන්දරේ ඉඳහිට තාම මතක් වෙනවා ඇති.
ඉතින් අපි අවුට් උනා.එක ළඟ අවුරුදු දෙහෙක අපි වවුල් ලෝගු දමාගෙන පාට දෙහෙක මාල දමාගෙන උපාධි පින්තූරු ගත්තා.ඒ වෙද්දි ගෙවල් දෙකේම උදවිය වටින් ගොඩින් අපේ කතාව ගැන දැනගෙන උන්නේ.
මට උන්නේ අම්මා විතරනේ.”ඔයාට හොඳ විඳිහක් සුද්දියේ..” අම්මා කිව්වෙ එහෙමයි.
ධනුශ්කගෙ ගෙදරින් නම් ඒ හැටි කැමැත්තක් තිබුනෙ නෑ.මුලින්ම දැක්ක දවසෙ ඉඳලම ධනුශ්කගෙ අම්මගෙ හිතේ මගේ ගැන ඒ තරම් ලස්සන පාටක් තැවරිලා නැති වග තේරුණත් කොච්චර වලි කෑවත් ඒක වෙනස් කරන්න බැරි තැනයි මමත් ඔන්නොහේ කම්මලේ බල්ලා වගේ ඉන්න තීරණය කලේ .
අවුට් වෙලා රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් ගිහින් අන්තිමේ අපි එක වහලක් යටට වුණා.ධනුශ්කගෙ තීරණේ වෙනස් වෙන්නෙම නැති තැන කැමති වුනා මිස ඒ ගෙදර අයගෙ නම් අලුත් ලේලිට මනාපයක් තිබ්බෙ නෑ.ධනුශ්ක ඇරුණම යන්තටම හරි ඒ ගෙදර මගේ දිහා වපරැහෙන් නොබැලුවෙ තාත්තයි ආමි එකේ හිටපු ලොකු අයියයි විතරමයි මගෙ හිතේ.
……………….
පොඩි එකෙක්ගෙ කෑමොර ගැහිල්ල අපේ කාමරේ පැත්තෙන් ඇහෙද්දි ඔය නොහොඳ නෝක්කාඩු ඇරිලා යයි කියලා ධනුශ්ක කිව්වෙ.කිව්වත් වගේ මාස දෙක තුනක් යද්දි මං මූණ ඇඹුල් කරන් පිළිකන්න පැත්තෙ වමනෙ දාද්දි අම්මලගෙ මූණු ටිකක් පාට වැටුනා.
පොඩි එකෙක්..
කිරි සුවඳ ඉහිරෙන රෝස පාට පොඩි එකෙක්….
පොඩි එකෙක්ගෙ හීනෙ පොළවෙ ගහලා කුඩුපට්ටම් කරලා දාන්න උනේ මාසයක් යන්නත් කලියෙන්.
ස්කෑන් එකට මගේ අතින් අල්ලගෙන ගිය ධනුශ්කගෙ අත ගෙදර එන ගමනෙදි අතෑරිලාද තිබුනෙ කියලා මම තාමත් කලින් කලට කල්පනා කරනවා.
ස්කෑන් එකේ අහම්බෙන් හොයාගත්තෙ කිරි සුවඳ බබුට්ටා පිටිපස්සෙන් දත් විළිස්සාගෙන ඉන්න පිළිකා මාරයෙක්.සතියක් ගිය තැන ඉස්පිරිතාලේ ඔපරේශන් කාමරෙන් එළියට ආවෙ ඒ පොඩි එකාත් අතෑරුන ආයෙත් කවදාවත් මගේම පොඩි එකෙක් අතට ගන්න වාසනාවක් නැති මම.
…………………………….
මුලදි මුලදි ධනුශ්කගෙ කාර් එකේ මහරගම ආපු මම මළ කාපු සීටීබී බස් එකට මාරු වුනේ ඒ කාලෙද කියලා හරියටම මතකයක් නෑ.මොකද ඒ ජීවිතේ අමතක කරන්නම ඕනෙ කාලේ.ඉණ ගාවට වැවුණ ෆැකල්ටියේ කෙල්ලො ඉරිසියා කරපු කොණ්ඩෙ පොකුරු පිටින් ගැලවෙද්දි ඇස් වගේම හිතත් තද කරන් ඔලුව බූ ගාපු කාලෙ.සති තුනෙන් තුන විඳින බෙහෙත් ජීවිතේ එපා කරවපු කාලේ.ඔක්කොටම වඩා දරාගන්න බැරි ඒ අත අල්ලගෙන ඉන්න හිටිය අම්මා නොඑන්නම යන්න ගිය කාලෙ හින්දා.
ඒ තරම් දේවල් එහෙම වෙද්දි මගේ ඇස් හොරකං කරපු හිත අරගෙන දුවපු ධනුශ්ක තව දුරටත් ඒ විදිහටම ඉඳියි ද?
ධනුශ්කගෙ තැන මම හිටියානම් මම මොනවා කරයිද?
…………………….
ඒ වෙද්දි එයාගෙ අම්මා එළිපිටම මට දෙස් දෙවොල් තියන්න පටන් අරන් උන්නේ.උන්දැගෙ පැමිනිල්ලේ හැටියට මට කරුම ලෙඩ හැදෙන්න හේතුව පෙර කරපු පවු.මගේ කරුමෙ නිසා එයාගෙ පුතාගෙ ජීවිතේ විනාස වෙනවා බලාගෙන ඉන්න වෙච්ච එක එයාගෙත් කරුමෙලු.මුලදි අම්මා එක්ක රණ්ඩු වුන ධනුෂ්ක පහු පහු වෙද්දි අම්මා කියන දේවල්වලට හූමිටි තියන්න ගනිද්දි මට යන්න කාලෙ හරි කියලා .
මාසෙ හරියට මතක නැතත් ධනුශ්ක දික්කසාදයක් ඉල්ලුවෙ සිකුරාදා දවසක රෑ කියන එක මට අමතක වෙන්නෙ නැති වෙයි.බලෙන් එල්ලිලා රණ්ඩු කරගෙන පරිස්සම් කරන්න ඒ කසාදේ ඇතුළේ ආදරයක් ඉතුරු වෙලා නොතිබුන බව අපි දෙන්නම දැනං හිටියා.
ජීවත් වෙන්න ඕනෙ ඇඳුම් කැඩුම් ටිකත් පොදි ගහගෙන ඇනෙක්සියකට ඇවිදින් එහෙ බලලා මෙහෙ බලද්දී මං ආයෙ තනිකඩ ගෑණියෙක් උණා.
ජීවිතේ වෙන දෙයක් වෙච්චාවෙ කියලා හිතාගෙන මහරගම නුවර සීටීබී බස්වලට ක්ලිනික් පෝලිංවලට ජීවිතේ දිය වෙලා යන්න දීලා මං ඔහේ බලාගෙන උන්නා.
………………
අසංක ජීවිතේට බලෙන්ම වගේ කඩා පනින්නේ ඔය පාවි පාවී ඉන්න කාලේ.ජීවිතේ හෙට මොනවා වෙයිද නොදන්න, පරම්පරාවේ නම ගෙනියන්න දරුවෙක් මල්ලෙක්
දෝතට දෙන්න බැරි ගෑණියෙක්ගෙන් එයා මොනවා බලාපොරොත්තු වෙනවද කියන එක එයාවත් දන්නවද මන්දා.ඒත් තල්ලු කරලා එළියට දාලා ඇනෙක්සියේ දොර වහගත්තත් යන්නෙ නැතුව ඉන්න මුරණ්ඩු හාදයෙක් එක්ක මේ මං වගේ පරඬැල් ආත්මයක් කොහොම හැපෙන්නද?
හැබැයි කසාද බඳින්නවත් ඇනෙක්සිය අතෑරලා වෙන කොහේවත් යන්නවත් බැරි බව මං එකහෙළාම කියා හිටියා .
එයා කළෙත් එයාට පුරුදු තාලෙට ඇස් පුංචි කරලා හිනා වෙන එක.
ආයෙමත් ඉතින් අම්මලාගෙ ගෝරණාඩු.ගේ දොරකඩටම ඇවිදින් මට දෝස්මුර තිබිල්ල නතර වුනේ අසංක ගෙයින් එළියට ඇවිදින් මගේ ළඟින් හිට ගෙන වෙනදාට හිනා වෙන ඇස් ගොරක යකා වගේ කරගෙන අම්මා දිහා බැලුවට පස්සෙ.
ඉතින් කාලෙ ගෙවුනා ඕං ඔහොම.මට අමුතුවෙන් අත අරින්න ජීවිතයක් තිබ්බෙ නෑ.අසංක මං හින්දා පවුලෙ ඔක්කොම අතෑරියා.ඒ කරලා ඇස් පුංචි කරලා හිනා වුනා.පොතේ අස්සන් නොකර අපි දෙන්නා එක ඇනෙක්සියේ වහළෙ යට සමහර රෑක එකට ගුලි වුනා.
මං පුරුදු විදියට මාසෙන් මාසෙ මහරගම ක්ලිනික්.බෙහෙත් අහවර වෙලා වුනාට සැක දුරු කරන්න මාසෙන් මාසෙට යන විපරම්.ඉඳහිට දවසක විතරක් අසංක මගෙ දකුණු පැත්තෙන් වාඩි වෙලා ආවා.ඒ නාවත් හැමදාම ඒ සීට් එකේ එයාගෙ උණුහුම තැවරිලා තිබුනා.
…………..
අවුරුදු ගාණකට පස්සෙ ආයෙමත් ධනුශ්කව මතක් වුනේ ඊයේ විතර ද කියලා කවුරුහරි ඇහුවොත් මම දෙන උත්තරේ මොකද්ද ?
අවුරුදු ගානක් එකට ජීවිතේ හැමදේම බෙදාගත්ත මනුස්සයෙක් එහෙම අවුරුදු ගාණක් පොඩ්ඩක්වත් මතක් නොවී තියෙයිද?
ඒත් ඊයෙ ආයෙමත් හදිසියෙම ධනුශ්කව මතක් උනා.අවුරුදු ගානක් ගිහිල්ලත් නොම්මරේ වෙනස් නොවෙච්ච මගේ ෆෝන් එකට ධනුශ්කගෙ අම්මා කතා කළේ ඊයේ.
අවුරුදු ගාණක් ඒ මනුස්සයා වයසට යැව්වද නැතිනම් ඒක වුනේ පහු ගිය දවස් දෙක තුනේ ද මන්දා.ඒත් ඒ කටහඬ හිටියෙ හැම අතින්ම පරාද වෙලා.
“ගිය සතියෙ ලේ අඩු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලේ.ලියුකීමියා කියලා මහරගමට ට්රාන්සර් .බෙහෙත් කරන්න අමාරු තරමට දුර්වලයිලු.”
හද්දා ඈතක ඉඳන් ඇවිදින් ඒ මනුස්සයාගේ දුක් කෙඳිරිය මගේ කන අද්දර වෙවුලුවා.
“පුළුවන් නම් ඇවිදින් බලලා යන්න.”
කාලෙකින් නොගියත් පුරුදු වාට්ටු කොරිඩෝ දිගේ හොයාගෙන ගිහින් අන්තිමේ ධනුශ්ක ඉස්සරහ හිට ගනිද්දි ආයෙමත් මඟුල් දවසෙ ඇහෙන නෑහෙන ගානට මුමුණාපු වාක්ය මට ආයෙමත් මතක් වුනේ ඇයිද මන්දා.
හිත හෙළවුනාට මට අඩියක් පිටිපස්සෙන් අසංකගෙ අත මගේ උරහිස උඩින් මාව හයියට අල්ලගෙන ඉන්න බව මම දන්නවා.
“සුද්දි ඔයා ආවා එහෙනම්…”
දික්කසාදෙ දුන්නාට පස්සෙන් පහු ඇස් දෙකට නොදැකපු කලින් කසාද පුරුශයා ඔක්සිජන් මාස්ක් එකක් අස්සෙන් අමාරුවෙන් වචන ගැට ගහනවා.
ඒ ඇස් මගේ මූණ පුරා හොයන්නේ මම දුකෙන්ද සතුටෙන්ද කියලාද මන්දා.ඒත් දැන් ඒ ගැන හොයන්න අවුරුදු ගාණක් කල් වැඩියි නේද කියලා ඇඟවෙන්න ඉඩ තියෙන හින්දා මම තප්පර දෙක තුනකට ඇස් දෙක ධනුශ්කගෙ මූණෙන් අයින් කරගෙන තාලෙකට බීප් බීප් ගාන මොනිටරේ නොනැවතී දුවන ඉරි තාල උඩින් තියා ගන්නවා.
ආයෙම ඒ දිහා බලද්දී ධනුශ්ක මගේ උරිස්සට උඩින් අසංක දිහාවට එබෙනවා පේනවා.
“ලොක්කයියා….”
අයියා මලෝ බැරිමරගාතේ ඇස් පුංචි කරගෙන දුරස් වෙච්චි සහෝදරකම් ආයෙ අලුත් කරනවා.
…………………………..
“මටත් අවුල් සුද්දි.මොනවා කරන්නද?මේ අපි එකඑක්කෙනා ලබා උපන් හැටි වෙන්නැති.”
අසංකගෙ උරහිස උඩින් ධනුශ්ක ගැන හිත දියවෙද්දි මෙච්චර වෙලා එක තැන ළතවුන සීටීබී එක නුවර යන්න පිටත්වෙන්න මහරගම පැත්තට ඇදෙනවා.
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera