“සුද්දිට බබා හම්බවෙලා..” (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ මම බලාපොරොත්තු නොවුණු වෙලාවක පෙම්වතාගෙන් ලැබුනු දුරකථන ඇමතුම.සාමාන්යයෙන් උදේ පාන්දරට රමේශ් ගෙන් මට කෝල් එකක් එන්නෙ නැහැ.අවුරුදු 8කට කිට්ටු රමේශ්ගෙයි මගෙයි සම්බන්ධෙ පහුගිය අවුරුද්දක විතර කාලයක් ඇතුලත හරිම සාමාන්ය ජීවිතේකට අපි හුරුවෙලා හිටියා.ඒ නිසා කෙටි පණිවිඩ වලින් කන, බොන, අවදි වෙන වෙලාවල් දැනගත්ත අපි කතා කරන්න පුරුදු වෙලා හිටියෙ නිදහසේ ඉන්න වෙලාවට විතරයි.
රමේශ් කෝල් කරද්දි උදේ 7ට විතර ඇති.
“සුදේශ් මේ දැන් කෝල් කලේ නිලූ..දැන් පොඩ්ඩකට කලින් බබා අරගෙන තියෙන්නෙ..දෙන්නම හොඳින් ඉන්නවලු”
“අනේ එහෙමද රමේශ්..ශෝක්නේ..මං දැන් ම කෝල් කරනවා සුදේශ් අයියට..අක්කට තාම කතා කරන්න අමාරු ඇතිනෙ..
“ඒක නෙවෙයි රමේශ්..ඔයාට මතකද අද දවස? “
“ඔව් නිලූ..කොල්ලා ඉපදුනේ ලකී දවසක නේ..”
“හ්ම්ම්..”
“නිලූ,මං පස්සෙ කෝල් එකක් ගන්නම්.ඔෆිස් එකට ආවා විතරයි මේ..බුදු සරණයි”
“බුදු සරණයි රමේශ්.පරිස්සමින්”
රමේශ් පෝන් එක තිබ්බා.එක දිගට මතක් වෙන පහුගිය සිදුවීම් වල බර දරාගන්න බැරි තරමට කකුල් දෙක වෙව්ලනවා.මං එහෙමම පුටුවෙ වාඩි වුනා..ඔක්කොටම කලින් සුදේශ් අයියට කෝල් කරලා ඉන්න ඕන හින්දමයි ඒ කෝල් එක මං ගත්තෙ.”
“කන්ග්රැජුලේශන්ස් සුදේශ් අයියේ.මට රමේශ් මේ දැන් ආරංචිය කිව්වෙ.අක්කයි බබා යි සනීපෙන් ඉන්නවා නේද? “
“ඔව් ඔව් නිලූ.කොහේද ඉන්නෙ?වීඩියෝ කෝල් එකක් ගන්නෝ පුතා ව පෙන්නන්න.”
“අනේ අයියේ මං දැන් නම් ගෙදර නෙවෙයි ඉන්නෙ.ආසයි කොල්ලව බලන්න..මෙතන වීඩියෝ කෝල් ගන්න බැහැනෙ.පස්සෙ ගන්නම්.සුද්දි අක්කටත් කියන්න මං විශ් කලා කියලා.”
“හා එල එල නිලූ.පස්සෙ කෝල් එකක් දෙන්නම්කො එහෙනම්.”
සුදේශ් අයියගෙ සතුට එයාගෙ හැම වචනෙකම තිබ්බා.පුතාව බලන්න හොඳට ම ඕනකම තිබ්බත් ඒකට හයියක් මට නෑ කියලා මං දැනගෙන හිටියා.ඒ නිසා මටත් ඕන උනේ ඉක්මනින් පෝන් එක තියන්න.
රමේශ් කිව්වා හරි.අද ලකී දවසක්.ඒත් මට තාමත් පුදුමයි මේ දේවල් මෙහෙම වෙන්නෙ කොහොමද කියලා.හරියට ම ගිය අවුරුද්දෙ අද වගේ දවසක තමයි රමේශ් මට වැඩිපුරම දැනෙන්න ලං වුනේ..එදායින් පස්සෙ සිද්ධ වෙච්ච සේරම මට නම් තාමත් හීනයක්.
රමේශ් තමයි මගෙන් මුලින්ම යාලු වෙන්න ඇහුවෙ.එයා ඇහුවෙ “මගේ මුනුපුරන්ගෙ ආච්චි වෙන්න කැමතිද..” කියලා.අපි දෙන්න ම දරුවන්ට පුදුම විදියට ආදරේ කලා..රමේශ් මාව දාලා යාවි කියලා සැකයක් කොහොමටවත් තිබුනෙ නැති නිසා තමයි එයාගෙයි මගෙයි අතරෙ සීමාවක් තියාගන්න මට ඕන උනේ නැත්තෙ.ඇත්තටම අපිට තිබ්බෙ නැත්තෙ කසාද සහතිකේ විතරයි.
එදා අපි ගොඩක් සතුටින් හිටියෙ.ජීවිතේ අපි වැඩිපුර ම ලං වෙච්ච දවස එදා කිව්වොත් මං හිතන්නෙ මං හරි.රමේශ් හමුවෙලා ඊට පහුවෙනිදා මං ආයෙත් නර්සින් ස්කූල් එකට ගියා.රමේශ් වැඩට ගියා.
ඊට හරියටම සති හතරකට පස්සෙ කවදාවත් නැතුව මට රමේශ් ව ඕන වුනා.අමුතු හීන පෙනුනා.අපේ හැම හමුවීමකින් පස්සෙ ම ඊලඟ මාස් ශුද්ධිය වෙනකන් අපි හිටියෙ බයෙන්.දවසින් දවස ඒක පරක්කු වෙද්දි අපි දෙන්නම බය වුනා.ඒ වෙද්දි මගේ පෝන් එකේ ස්ක්රීන් එකට දාගෙන හිටියෙන් බබෙක්ගේ පොටෝ එකක්.දවසක් මං හීනයක් දැකලා එක පාරටම ඇහැරුනා.ඒ හීනෙ හිටියෙ හරිම ලස්සන පුතෙක්,රමේශ්ට තුරුලු වෙලා අපි දෙන්නම නිදාගෙන හිටියෙ.
මට රමේශ්ව ඇත්තටම ඕන උනා.එක පාරටම රමේශ්ට කතා කරලා එයාව ඕන කියලා අඬද්දි රමේශ් හොඳටම බය උනා කියලා මට තේරුනා.ඊට පහු වෙනිදා මං දැක්ක බබා වගේම බබෙක් ගූගල් සර්ච් කරද්දි මට හම්බුනා.මං ඒක රමේශ්ට යවලා කිව්වෙ මං දැක්ක බබා මේ වගේමයි කියලා.
කොහොමහරි ඒ වීකෙන්ඩ් එකේ අපි ආයෙත් හමුවුනා.ඒ වෙද්දි මං හිතන විදිය ,මට දැනෙන දේවල් වෙනස් කියලා ටික ටික මට තේරෙන්න අරන් තිබ්බෙ.
මං බස් එකෙන් බහිද්දි රමේශ් ඇවිත් හිටියෙ.”හා ,අම්මේ කොහොමද?” කියලා රමේශ් මගෙන් ඇහුවෙ විහිලුවට වඩා මාව රිලැක්ස් කරන්න කියලා මට පස්සෙ හිතුනා.ඒ වෙලාවෙ මට ඕන උනේ පුලුවන් තරම් ඉක්මනින් රමේශ්ගෙ පපුවෙන් ඔලුව තියාගන්න,එදා මං දැක්ක හීනෙ වගේ.
කොහොමහරි අපි අපේ සුපුරුදු නවාතැනට ආවා.මට මතකයි,මං හිටියෙ පාවෙනවා වගේ.අපිට ඕන කලේ යූරීන් ටෙස්ට් එක ඉක්මනින් කරලා හිතේ තියෙන බය නැති කරගන්න.
ස්ට්රිප් එක යූරීන් සාම්පල් එකට දාලා බලන් ඉන්න රමේශ්ගෙ මූනෙ ඒ වගේ පසුතැවීමක් පහුගියපු අවුරුදු 7ටම මං දැකලා තිබ්බෙ නෑ
“අම්මට %&ලා නිලූ..”
මට ඇහුනෙ එච්චරයි.මං ඇඳෙන් වාඩි උනා.රමේශ් ඉකි ගහ ගහ එයාගෙ හොඳම යාලුවා චතුකට කෝල් කරනවා මට ඇහුනා..මගෙ හිතට දැනුනෙම සතුටක් විතරයි.
“දෙයියනේ මං දැන් අම්මා කෙනෙක්! මේ ඉන්නෙ රමේශ්ගෙයි මගෙයි දරුවා..”
රමේශ් ඇවිත් මාව බදාගත්තා.අපි දෙන්න අවුරුදු ගානක් බලන් ඉඳපු තෑග්ග අපිට ලැබිලා.එයා ගොඩාක් ආදරෙන් මං දිහා බලන් හිටියා.රමේශ් එදායින් පස්සෙ අද වෙනකන් මං දිහා ඒ වගේ ආදරෙන් බලනවා මං දැකලා නෑ. ඒ හැම සතුටක් ම තිබ්බෙ විනාඩි කීපයයි.කසාද බැඳලා නැති ,සම්බන්ධෙ ට ගෙවල් වලින් කැමැත්තවත් දීලා තිබ්බෙ නැති අපිට තීරණයක් ගන්න වෙලා තිබුණා.
අපි කරන්නෙ මොකක්ද කියලා රමේශ් ඇහුවෙ මගෙන්.මට ඕන ම තීරණයක් ගන්න රමේශ් ඉඩ දීලා තිබුණා.රමේශ්ගෙ ගෙදර අය අපිට යන්තම් හරි කැමති වෙලා තිබ්බත් පවුලේ එකම දරුවා විදියට අම්මලට පිටුපාන්න මට හයියක් තිබ්බෙ නැහැ.මං නර්සින් ස්කූල් නිසා බඳින්නත් බැහැ.රමේශ් මට කිව්වෙ දරුවයි මමයි අරන් කොහේ හරි ගිහින් පුලුවන් විදියට ජීවත් වෙනවා කියලා.
රමේශ්ලගෙ අම්මලා,තාත්තලා නම්බුකාර විදියට ජීවත් වෙච්ච මිනිස්සු. එයාගෙ අනාගතෙත් මගේ අතේ තියෙන්නෙ කියලා මට තේරිලා තිබ්බෙ.හැමදේම ගැන හිතලා ,මේ ලෝකෙ තියෙන කාලකන්නි ම තීරනේ ගන්න මං තීරණය කලා.
මං රමේශ්ට කිව්වෙ අපි ආයෙ දරුවෙක් හදාගමු කියලා.හුඟක් වෙලාවකට පස්සෙ එයත් මගේ තීරනේට හා කිව්වා. රමේශ් ගේ අඳුනන යාලුවො මාර්ගෙන් ඇබෝශන් එකට ටැබ්ලට්ස් හොයාගන්න එච්චර ම අමාරු උනේ නැහැ..
ඒ ගෙවුනු දවස් 5 ඇතුලෙ රමේශුයි මමයි ජීවත් වුනේ කොහොමද කියලා මං දන්නෙ නැහැ..වෙනදට රමේශ්ගෙ ඇස් වල තිබ්බ ආදරේ , රාගික හැඟීම් එදාවත් ,එදා ඉඳන් අද වෙනකන්වත් මං දැකලා නැහැ.රමේශ් මාව පරිස්සමට තුරුලු කරන් නිදාගත්තා විතරයි.
ඉවසගන්න බැරුව බ්ලීඩ් වෙද්දි රමේශ්ගෙන් අයින් වෙලා ඇඳේ කොනටම වෙලා එයාට නොපෙනෙන්න අඬන්න මං උත්සාහ කලා.. එයාට පේන්න විතරක් නෝමල් වුනා..ඒත් ,ඒ කිසි දේකින් රමේශ් ඉස්සර හිටියා වගේ කරගන්න මට පුලුවන් උනේ නෑ..
ඒ දවස් ටිකේ අපිව බලන්න ආපු චතුක එක්ක රමේශ් ඉකි ගහ ගහ අඬනවා මං බලන් හිටියා.කවදාවත් ගෙවලා ඉවර කරගන්න බැරි පවක් මං කරගත්තා කියලා විතරක් මගේ හිතේ තිබ්බා.මං මට සමාව දුන්නෙ නෑ.
කාලය ටික ටික ගෙවිලා හැමදේම නෝමල් විදියට වුනා.මං නර්සින් ස්කූල් ගියා.රමේශ් වැඩට ගියා.අපි අතරෙ වෙච්ච පුංචි රන්ඩු පවා ඉවර උනේ ලොකු හිත් රිදීම් එක්ක..ඒ ඔක්කොම අස්සෙ මාව සතුටින් තියන්න,අලුතින් ජීවිතේ පටන් ගන්න රමේශ් හැමවෙලාවෙම ට්රයි කලා.
ඊට හරියටම මාස 3කට පස්සෙ මං බෝඩිමේ ඉද්දි ,දවසක් හවස සුදේශ් අයියා වීඩියෝ කෝල් එකක් ගත්තා.සුදේශ් කියන්නෙ රමේශ් ගෙ ලඟම යාලුවා.සුදේශ් අයියා එයාගෙ හැමදේම ඉස්සරවෙලාම රමේශ් ට කියන්න තරම් ලොකු යාලුකමක් ඒ දෙන්නා අතරෙ තිබ්බා.ඒ නිසා ඒ දෙන්නගෙ ජීවිතේ ගොඩක් දේවල් ඉස්සරවෙලාම දැනගත්තෙ රමේශුයි මමයි.ඒත් අපේ රහස එයාලා දැනන් හිටියෙ නැහැ.
මං කෝල් එක ආන්සර් කලා
“කොහෙද ඉන්නෙ බන්?රමේශ් පෝන් එක ආන්සර් කරන්නෙ නැහැනෙ”
“මං බෝඩිමේ ඉන්නෙ අයියේ ..රමේශ් වැඩට ගිහින් එන ගමන් කිව්වා.බස් එකේ නිසා වෙන්න ඇති අයියේ ආන්සර් කරන්න නැතුව ඇත්තෙ..”
“හා එල එල..ඒක නෙවෙයි,සුබ ආරංචියක් කියන්න ගත්තෙ.”
“ඒ මොකද්ද අයියේ?”
“සුද්දි ප්රෙග්නට් වෙලා හලෝ.මාව බලන්න සබන් පවුඩර් අරන් එනෝ..”
“අඩේ එහෙමද අයියේ ..ශෝක්නේ අනේ.ඒක නෙවෙයි,ඔයා බලන්න එන්නෙ මොකටද හලෝ..සුද්දි අක්කා කෝ?එයාට දෙනවකො”
“මමනේ බං තාත්තා..ෆුල් ක්රෙඩිට් එක මට නේ එන්න ඕන..හරි හරි සුද්දිට දෙන්නම්”
අපි ගොඩක් වෙලා කතා කලා.අවුරුදු ගානක් දරුවො නැතුව හිටිය එයාලට දරුවෙක් ලැබෙන්න යන්නෙ.කවදාවත් මං සුද්දි අක්කට ඉරිසියා කලේ නෑ..හැබැයි ,ඉවසගන්න බැරි තරම් මං පසුතැවුණා.
සුදේශ් අයියලා හිටියෙත් රමේශ්ලගෙ ගෙවල් හරියෙමයි.ඒ නිසා සුද්දි අක්කට ආස දේවල් අරන් රමේශ් එහේ ගියා.මමයි එයාට ගොඩක් දවස්වලට එහේ යන්න කිව්වෙ.ඒකට හේතු ගොඩක් තිබුනා.සුද්දි අක්කා ප්රෙග්නට් වුනාට පස්සෙ රමේශ් කිව්වෙ ඒ අපේ දරුවා වෙන්න ඇති,මේ හරියෙම ඉඳලා එහාට යන්න ඇති කියලා..
ඒක පිලිගන්න මං කැමති උනේ නැති උනාට ඊට පස්සෙ වෙච්ච දේවල් නිසා මට ඒක පිලිගන්න සිද්ධ වුනා.රමේශ් නම් කිව්වෙ ඒක කිව්වෙ විහිලුවට කියලා..
මං නිතරම සුද්දි අක්කට කෝල් කරා..එයා බබා ගැන දැනෙන විදිය කියද්දි මට හරියට ආස හිතුනා..ඒත් එයාව බලන්න යන්න මගේ හිතට හයියක් තිබුනෙ නැහැ.හදාගත්තෙ නැති උනාට මං මගේ හිතින් මගේ දරුවා එක්ක ජීවත් වුනා..ඒ පිස්සුවට රමේශ් නම් ආස වුනේම නැහැ
.එයාට ඕන උනේ ලස්සන මතක විතරක් තියන් අනිත් ඔක්කොම අමතක කරලා දාන්න.අමතක කරනවට වඩා එයාට ඕන උනේ මතක් වෙද්දි දැනෙන වේදනාව මගහරින්න කියලා මං පස්සෙ තේරුම් ගත්තා..
ගොඩක් දවස් වල මම දරුවෝ හුරතල් කරන හැටි,කිරි දෙන හැටි හීනෙන් දැක්කා.කොච්චර හිත හදාගන්න හැදුවත් ඒක කරන්න බෑ කියලා මට තේරුණා..හිතේ තියෙන දේ කියාගන්න කෙනෙක්වත් අන්තිමට මට හිටියේ නැහැ..රමේශ්ට කියලා එයාව අවුල් කරන්න මට ඕනකමක් තිබ්බෙත් නැහැ..
දවසක් මං සුද්දි අක්කට මැසේජ් එක්ක දැම්මා සනීපෙන් ඉන්නවද අහලා..එයා රිප්ලයි කරලා තිබ්බෙ නෑ.ඊට දවස් දෙකකට පස්සෙ ,මං ආයෙත් මගේ බබාට කිරි දෙනවා හීනෙන් දැක්කා..එයා ටිකක් ලොකුයි ඒ වෙද්දි.
“අම්මි කිරි දෙන්න ඕන නෑ..මං දැන් චණ්ඩියෙක් “කියලා එයා කිව්වෙ.
අපේ දරුවා අපේ ලඟ හිටියනම් එදාට හරියටම මාස 10 යි.මට එදා රෑ ආයෙත් නින්ද ගියේ නෑ.මං රමේශ් ට කෝල් කලෙත් නෑ..සැරින් සැරේ මං කියන දේවල් එයාට මේ වෙනකොටත් වදයක් වෙලා තිබුණා.
එදා උදේ සුද්දි අක්කගෙන් මැසේජ් එකක් ආවා.
“ගුඩ් මෝර්නින් නිලූ.අනේ සොරි මට රිප්ලයි කරන්න බැරි උනා..මේ ටිකේ ටිකක් අමාරුවෙන් හිටියෙ..මෙයා දැන් චණ්ඩියෙක් වෙලානේ ” කියලා ඒ මැසේජ් එකේ තිබ්බා..
එදා මං හරියටම තේරුම් ගත්තා මේ දේවල් අහම්බයක් නෙවෙයි කියලා..මගේ හීනෙයි ,සුද්දි අක්කගෙ මැසේජ් එකයි සමාන වෙන එක දිහා බලාගෙන මං පුලුවන් තරම් ඇඬුවා..
තවදුරටත් මගේ දරුවා මගේ ලඟ නෙවෙයි කියලා මට පිලිගන්න සිද්ධ වුනා..ජීවත් වෙලා නොහිටියත් එයා මගේ ලඟම ඉන්නවා කියලා මං විශ්වාස කරන් හිටියෙ..
ඉස්සර මාසෙට දෙවතාවක් මුණගැහුණු රමේශ්ව මේ ගෙවුනු අවුරුද්දට මං දැක්කෙ හතර වතාවයි.අද වෙනකන් මාව දාලා ගියේ නැතත්,රමේශ් ටික ටික මගෙන් දුරස් වුනා..හැමදේම මට දුන්නත් හිතින් අපි ගොඩක් දුරයි කියලා ගෙවුනු හැම දවසකම මට පිලිගන්න සිද්ධ වුනා..
මං දැකපු හීන,මේ කතා ඔක්කොම මගේ හිතේ තියෙන දේවල් කියලා රමේශ් කිව්වෙ.මුලදි එයා එක්ක ඒවට තර්ක කලත් පස්සෙ මුකුත් නොකියා ඉන්න මට පුලුවන් වුනා..මේ හිඩැස පිරෙන්න දරුවෙක්ගෙන් ම විතරයි කියලා කාලය විසින් මට තේරුම් කරලා දුන්නා..
අපේ දරුවා බඩට ආව දවසට හරියටම අවුරුද්දකට පස්සෙ සුද්දි අක්කට බබා ලැබෙයි කියලා හීනෙකින්වත් මට හිතුනෙ නැහැ.
එදා උදේ මං අවදි වුනේ දරාගන්න බැරි බඩේ කැක්කුමක් එක්ක..සුද්දි අක්කගෙ බබා එදා උදේ අරන් තියෙන්නෙ සීසර් කරලා කියලා රමේශ් මට කිව්වා.හැමදේම මටත් නොදැනිම මට දැනිලා තිබ්බා..
එදායින් පස්සෙ කවදාවත් මං බබා ව හීනෙන් දැක්කෙ නැහැ.රමේශ් බබා බලන්න ගියාට මට එහේ යන්න තරම් හයියක් තිබ්බෙ නැහැ..
………………………………………………………
සුද්දි අක්කටයි ,සුදේශ් අයියටයි පුතෙක් ලැබුනා..රමේශ් කවදාවත් ආයෙ අපේ නැතිවුණ දරුවා ගැන මාත් එක්ක කතා කලේ නැහැ.ඉස්සර වගේ මට ලං වුනෙත් නැහැ.එයා හැමදේම හිතේ විතරක් තියන් මං ගැන හෙව්වා විතරයි..
සුද්දි අක්කා පුතාගෙ පොටෝ එවද්දි ඒවා දිහා දවසම බලන් ඉන්න මං පුරුදු වුනා..රමේශ් කෝල් කලේ දවසට එක පාරක් නැත්නම් දෙපාරයි.බබා ටික ටික ලොකු වෙද්දි එයා හුරතලේට හිනා වෙන පොටෝ ගොඩක් සුද්දි අක්කා අරන් තිබුණා..
දවසක් ,එයා මට එවපු පොටෝ ටික බලද්දි මාව වෙව්ලනවා කියලා මට දැනුනා.මං ගූගල් එකෙන් දැකපු බබායි සුද්දි අක්කගෙ පුතයි හිනා වෙන්නෙ,හුරතල් වෙන්නෙ,බලන් ඉන්නෙ එකම විදියට..
පොටෝ එකකින් දැක්ක මගේ දරුවා වෙන අම්මෙක්ගෙ බඩෙන් මේ ලෝකෙට ඇවිල්ලා තිබුණා.එයාට, එයාව රකින ආදරේ කරන අම්මෙක් ලැබිලා තිබුනා.ලැබුණු මැනික රැකගන්න බැරුව ඉන්න මට මතක් වුනේ,රණ්ඩු වෙද්දි මං රමේශ්ට කිව්ව කතාවක්..
“වටිනාකමක් ලැබුනෙම දරුවෝ රැකගත්ත අම්මලාට..”
ඔව්..ඒක එහෙමම වුනා..හැමෝම ඉස්ස්රහා මං නොවැදගත් චරිතයක් උනා..
රමේශ් ලඟ පවා..ඒ දරුවා මගේ නොවුනත්,මගේ කියලා හිතන් ආදරේ කරන්න මං හිත හදාගත්තා.
මං කරගත්ත පවට දවස ගානෙ විඳවන්න වෙනවා කියලා අත්දැකීමෙන් ම දැනගත්තා..කතාවල විතරක් තියෙන දේවල් ජීවිතේට වුනාම කොච්චර අමාරුද කියලා තේරුම් ගන්න මට වැඩි කල් ගියේ නෑ.
ආදරේදි ,තමන්ගෙ ජීවිතේදි මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි.තීරණවලදි හිතන්නෙ තමන් ගැන විතරමයි..ඒකයි මේ සංසාරේ මේ තරම් දිග කියලා මට තේරුම් කලේ මං මරලා දාපු ,මට වඩා හොඳ අම්මෙක් හොයන් ආයෙත් මේ ලෝකෙට ආපු මගේ දරුවා❤
උපුටා ගැනීම: Shashika Wijenayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!