සුදු හාමුදුරුවෝ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කවුරු ගම ඇහුවත් හැමෝම වගේ මමත් කියන්නේ බලංගොඩ කියලා.ඒකට ලොකුම හේතුව ඇත්තටම ගම වෙච්ච “මැදබැද්ද” කිව්වට ගොඩක් අය දන්නේ නැතුව විස්තර කරන්න වෙන නිසා.ඉතිං මැදබැද්ද,වේලිඔය,කල්තොට ඔය තමයි සබරගමු පලාතේ වගේම රත්නපුර දිස්ත්රික්කයේ මායිම.මායිම් වෙන්නේ ඌව පලාතේ මොණරාගල දිස්ත්රික්කයට.ලංකාවේ ලස්සන ලස්සන ඇල දොල ගංගා තියන තැන් කොච්චරකට ගිහින් ආතල් දාල තිබ්බත් ගම හරහා යන වලවේ ගගේ පැන්නුම් පාලම ලගින් චුට්ටක් උඩට ගිහින් නාල කාල ගන්න ආතල් එක තරම් හිතට ෆිට් එකක් දැනෙන තැනක් මට තවමනම් හම්බවෙලා නෑ.ඉතිං ඒක මට විතරක් නෙමෙයි කැම්පස් එකේ බැජ් හත අටක කොල්ලෝ වගේම ජීවිතේ එක එක තැන් වලදි සෙට්වෙලා ගමට ඇවිල්ලා ඔය උඩ කිව්ව පොට් එකට ගිය හැමෝම කියලා තියනවා.ගම ගැන පම්පෝරිය ඇති.ඒත් එතන පම්පෝරි ගහන්නම තැන.දන්නෝ දනිති.දැන් එන්නම් කතාවට.
ඉතින් ඔය කියන තැන පට්ටම ප්ලේස් එක තමයි මොකා ගෙදර ආවත් ඉස්සෙල්ලාම නාන්න එක්ක යන තැන.මැදබැද්දේ ඉදන් කල්තොට පැත්තට එද්දි වලවේ ගගේ පැන්නුම් පාලම පහු වෙනවත් එක්කම ඇල කන්ඩිය දිගේ උඩට පාර තියනවා.ඒක නිකං පරිසරේට ආදරය කරන එකෙක්ටනම් දිව්යලෝකෙට යන පාරක් වගේ පේන්නේ.එක පැත්තකින් පහලින් උග්ගල් කල්තොට ව්යාපාරයේ දකුණු ඇල.ඇලට එහා පැත්තෙන් බදන්න බැරි ගස් , පුස් වැල් වගේ එක එක ගස් වැල් වලින් උඩුවියනක්.දවල් දොලහට ගියත් ඇගට දැනෙන සිසිලස නම් වචන දාහකින්වත් විස්තර කරන්න බෑ.ඉතිං මේ නිසාම වෙන්න ඇති ගමේ අපි වගේම ලංකාවේ බහුතරයක් මෙතන්ට ආදරය කරන්නේ.
ඉතිං මම කියන්න යන දවසෙත් මමයි මගේ බැජ් එකේ සුමනයයි උසස්පෙල කාලේ එකට බෝඩිමේ හිටිය සුපුනුයි අපි තුන් දෙනා ගියා ඔය කිව්ව ප්ලේස් එකෙනුත් ටිකක් උඩට වෙන්න තියන ඇලිතුන ලගට.ඇලිතුන කියන්නේ පාලමට ටිකක් උඩින් තියන ගග තුනට බෙදිල ඇලි තුනක් විදියට තමයි එතනින් වතුර පහලට ගලන්නේ.ඉතිං ඔතන අපි දන්න කාලේ ඉදලා හාමුදුරුවරු භාවනායෝගීව වැඩ ඉන්න කුටියක් තියනවා ගගෙන් ටිකක් ඈතට වෙන්න.ගගට පේන නොපෙනන හරියෙන්.නොදන්න අයට දැනගන්න “නිශ්ශබ්දව හැසිරෙන්න” කියලා එතන පොඩි බෝඩ් එකකුත් තිබුනා ඉස්සර ඉදන්ම.ඔතන වැඩහිටියේ එකම හාමුදුරුනමක් නෙමෙයි.කාලෙන් කාලෙට එක එක අය.ඔතන්ට කොච්චර ගිහින් තිබ්බත් එක දවසක්වත් ඔය කුටියට මම ගිහින් තිබුනේ නෑ.ඇත්තටම යන්න හිතිලා තිබුනෙත් නෑ.ඉතිං එදත් අපි කයියක් ගහගන හෙමීට වතුරට බැහැල නාන්න අරන් විනාඩි විස්සකින් විතර දැක්ක ඇලි තුනට උඩින් හාමුදුරුනමක් ඇවිල්ලා සිවුර හෝදගන රැවුලත් බාගන යනවා.දැක්ක ගමන් අපට තේරුනා මේ හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක්නම් නෙමෙයි කියලා.අපි දිහා බලන්නෙවත් නැතුව තමන්ගේ වැඩටික කරගන වතුර බාල්දියකුත් අරන් ගියා කුටිය පැත්තට.කවදාවත් ඒ කුටියට යන්න නොහිතුනාට එදා සුපුනයි සුමනයයි කිව්ව හින්දම මටත් හිතුන කුටියට ගිහින් හාමුදුරුවෝ එක්ක ටිකක් කතා කරන්න.අපි නාගන එහෙම ඉවරවෙලා ගියා හෙමීට කුටිය පැත්තට.
අපි යද්දි ගගේම වැලි ගිහින් දාල වටේට ලස්සන ලස්සන ගල් අල්ලලා හදපු සක්මන් මලුවේ හාමුදුරුවෝ සක්මන් භාවනා කරනවා.අපි ඒක ඉවරවෙනකල් බලාගන හිටිය.කිසිම ගහක් වැලක් කපන් නැතුව හදලා තිබ්බ කුටිය,වට පිටාව,සක්මන් මලුව දැක්කම මට හිතුනා ඇයි මම කලින් මෙතන්ට නොආවේ කියලා.ඉතිං ටිකකින් හාමුදුරුවෝ ෆුල් ඉංග්ලිශ් වලින් අහපි “ඇයි ඔයාලා” කියලා.කැම්පස් එකේ යන්තම් පලවෙනි අවුරුද්දේ හිටියට සුමනයටයි මටයි කඩ්ඩ ඉතිං කතා කරන්න එහෙමට බෑ.ඒත් සුපුන් ඒ වෙද්දි ප්රයිවට් බෑන්ක් එක්ක වැඩ.මූ කිව්වා “හාමුදුරුවනේ අපි ටිකක් කතා කරන්න ආවේ කියලා”.එතන ඉදන් ගිය දෙබස පහලින් ලියන්නම්.
හාමුදුරුවෝ – කතා කරන්නවත් මෙතන්ට දානේ අරගෙනවත් කවුරුත් එනවට මම කැමති නෑ.ඒත් ඔය මහත්වරු ආපු නිසා ටිකක් කතා කරමු.නමුත් මට සිංහලනම් පොඩ්ඩක්වත් බැහෑ.
අපි – කමක් නෑ හාමුදුරුවනේ , අපි පුලුවං විදියට ඉංග්ලිශ් වලින් ටිකක් කතා කරමු.
හාමුදුරුවෝ – හොදයි.
දැන් තමයි අපට තිබ්බ ලොකුම ප්රශ්නේ අපි ඇහුවේ.
අපි – ඇයි හාමුදුරුවෝ මහණ උනේ?
හාමුදුරුවෝ – ඔය ප්රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නම්.මම ප්රශ්න ටිකක් අහනවා.ඔයාල උත්තර දෙන්න.කැමතිද?
අපි – හොදමයි හාමුදුරුවනේ.
හාමුදුරුවෝ – ඇයි මෙතන්ටම නාන්න ආවේ.ගෙදර ලිදෙන් හරි ශවර් එකෙන් හරි නාගන්න තිබ්බනේ.
ඔන්න ප්රශ්නේ.දැන් දීපන්කෝ උත්තර.අපිත් ඇත්තම කිව්වා.
අපු – ගෙදර ශවර් එකෙන් නානවට වඩා මෙතන නිදහස්.මෙතන එන්ජෝයි කරන්න පුලුවං ඒකයි මෙතන්නටම ආවේ කියලා.
හාමුදුරුවෝ – හොදයි.දැන් නාලා ඉවරවෙලා ගෙදර ගියාම ඒ සැනසීම එහෙමම තියනවද?නැත්නම් මෙතනින් ගියාම ඒක ඉවරද?
අපි – මෙතනින් ගියාම ඒක ඉවරයි.
හාමුදුරුවෝ – හොදයි.තව ප්රශ්නයක්.ඔයාලා කැමතිම ටෙලිනාට්යක් බල බල ඉන්න වෙලාවක කරන්ට් එක යනවා.ඔබට මොකද්ද දැනෙන්නේ?.පියෝ ටීවී එහෙම නැත්නම්.
අපි – දුකක්.කණගාටුවක්.
හාමුදුරුවෝ – ඔයාලා කමතිම කෑමක් කකා ඉද්දි ඒක වැලි ගොඩකට වැටෙනවා.හිතන්නකෝ සෝදලවත් ආයම ගන්න බැරි විදියට.ඔයාලට මොකද්ද දැනෙන්නේ?
අපි. – ඒත් කලින් වගේම තමයි හාමුදුරුවනේ . දුකක්.
හාමුදුරුවෝ – හොදයි.ඔයාල ඔයාලගේ ගර්ල් ෆ්රෙන්ඩ් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉද්දි හදිස්සියේම ෆෝන් එකේ ක්රෙඩිට් ඉවර වෙනවා.ක්රෙඩිට් දාගන්න තැනකුත් නෑ.ඔබට මොකද දැනෙන්නේ?
අපි – කලින් වගේම දුකක්. කණගාගාටුවක්.
ඔන්න ඔහොම ඔය වගේ ප්රශ්න පහලවක් විතර හාමුදුරුවෝ ඇහුවා.ඔක්කොටොම අපේ තිබ්බේ එකම පිලිතුරයි.ඒ දුකක් කණගාටුවක් කියන එක.අපට මෙලෝ හසරක් තේරේන්නේ නෑ දැන්.අන්තිමට හාමුදුරුවෝ මෙහෙම කිව්වා.
මම උපතින් බෞද්ධාගමිකයෙක් නෙවෙයි.මම වෙනත් ආගමක.මම බෞද්ධාගම වැලදගන මහන වෙන්න කලින් මට උපතින් ලැබුණු ආගම හැර තවත් ආගම් කිහිපයක් අද්යනය කලා.නමුත් අර කලින් ඇහුව ප්රශ්න වල ඔයාලට දැනෙන දුක කණගාටුව නොමැතිව ඒ සියල්ල විදිමින් අහිමි වූ විට දුක් නොවී කණගාටු නොවී සිටීමට ඉගැන්වෙන ක්රමය මා සොයාගත්තේ බුදුදහම තුල පමණයි.ඒ නිසයි මම බුදුදහම වැලදගෙන මහණදම් පුරන්නේ.සරලවම කියනවානම් මේ හාමුදුරුවෝ අපට කියාදුන්නේ බෞද්ධ දර්ශනය තුල පැහැදිලි කරන වෙනත් භවුතික දෙයක් මත අපේ සැනසීම රදා නොපැවිත්වීමෙන් අපට සැනසීමෙන් ජීවත්වියහැකි ආකාරයයි.
ඉතිං මේ කතාවෙන් පස්සේ තව කරුණු ටිකක් අපි කතා කලා.ඒ හාමුදුරුවෝ ජර්මන් ජාතිකයෙක්.අම්මයි තාත්තයි දෙදෙනාම විදුලි ඉන්ජිනේරුවෝ.හාමුදුරුවෝ කලින් වැඩකරලා තියෙන්නේ ප්රසිද්ධ සමාගමක පරිගණක ඉන්ජිනේරුවෙක් විදියට.මහණ වෙලා තියෙන්නේ අවුරුදු 29න්.ඒ වගේම තමයි දැන් ඒ හාමුදුරුවෝ භාවිතා කරනවා කිව්වේ ඊමේල් එකක් පමණයි.ඒකවත් අපට දෙන්නනම් අකමැති උණා.ඒකත් පාවිච්චි කරනවා කිව්වේ ජර්මනියට යන්න එන්න ටිකට් බුක් කරගන්න විතරයි.
ඉතිං මම කියන්න ගියේ ඒක තමයි මම මහණ උනේ ඇයි කියන ප්රශ්නෙට වගේම බුදුදහම ගැන මට තේරෙන්න වැටහුණු වචන ටික.ඊට පස්සේ දවස් දෙක්කට පස්සේ ගියත් හාමුදුරුවෝ හිටියේ නෑ.අද වෙනකල් කවදාවත් ආයම හම්බ උනෙත් නෑ.ඒ හාමුදුරුවෝ තව දෙයක් කිව්වා.ඒ තමයි අපට ඒ කියන්නේ ශ්රී ලාංකිකයන්ට ධර්මය ඉගෙනීමට අවස්තාව වැඩි නිසාලු අගයක් නැත්තේ.ඒ හාමුදුරුවෝ කරනවා කිව්වේ ලංකාවට ඇවිත් ධර්ම කරුණු කිහිපයක් ඉගනගෙන එය අවබෝධ වනතුරු භාවනායෝගීව ලංකාවේ වැඩයින්නවලු.ඊට පස්සේ හාමුදුරුවෝ එනකල් බන අහන්න බලන් ඉන්න ජර්මනියේ ශ්රාවකයෝ ලගට ගිහින් ඒ අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවලු.ඉතිං කතාව අවසානයේ මම ප්රශ්නයක් අහන්නම්.
ලංකාවේ හාමුදුරු කෙනෙක්ගෙන්
“ඇයි මහණ උනේ ඇහුවොත්?
පිලිතුර මොකක් වෙයිද?.
උපුටා ගැනීම:  චතුරංග ලේකම්ගේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!