ඒක ලා මීදුමක් එක්ක වැස්ස වැටුනු හවසක්. වැස්සේ සද්දෙත් එක්කලා වැව රවුම හරිම නොසසුන් උනා. පාට පාට විදුලි බුබුලු එක දෙක පත්තුවෙද්දී වැස්ස නිසා හිරවුනු වාහනවල නලා සද්ද එක්ක මූසල තෙතබරිත හැගීමක් මට දැනුනා. පොඩි කුඩේ මන් තනි වෙලා වැස්ස අතරින් ඔහේ බලන් හිටියා. කුඩෙන් දැන් වැඩක් උනෙත් නැ. ඒ තරම් මන් තෙතබරිතව හිටියේ. මීදුම අතරින් වැස්ස වැටෙන කොට චිරි චිරිය එක්ක මට ඒ මූණ මැවිලා පෙනුනා. මන් ඉස් ඉස්සෙල්ලා ම ඒ මූණ දැක්ක දවස වගේම.
රත්තරං පාටට වැව රවුමට අව්ව වැටුනු හවසක රෝස පාට මල් ගවුමකුත් එක්ක උකුලටත් පහලින් තිබ්බ තනි කරලට ගොතපු කොණ්ඩෙත් එක්ක මල් වැටිච්චි කුඩේ යටින් ඇවිදන් ආපු එයා අවුරුදු ගානක් මගේ හිතේ චායාවක් ඇදිල තිබ්බ ගෑනු රූපෙට හරියටම හරි ගියා. වසර ගානක් අපි එකිනෙකා දැන හැදිනුවත් එදා තමයි මට එයා ගැන පළවෙනියටම මගේ කරගන්න හිතට ආපු දවස. වෙනදා වගේම එයත් එක්ක කතා කරපු මම හිත ඇතුලෙන් අමුතුම විදිහේ හැගීමකින් පිබිදුනා. ගෙදර ඇවිත්වත් මට එයා එදා වැවරවුමේ මා දිහාවට ඇවිදන් ආපු හැටි අමතක කරන්න බැරි උනා. දන්නෙම නැතුව මම එයාට ආදරේ කරන්න පටන් ඇරන් තිබුනා. ඊටත් මාස තුනකට විතර පස්සෙ මන් එයාගෙන් හිතේ තිබ්බ දේ ඇහුවාම එයා රතු උනේ පුංචි රෝස මලක් වගේ. දින සති ගෙවිලා දැන් අවුරුදු තුනකුත් පහුවෙලා ගිහින්.
එයා හරියට හුලගක් වගේ. මට ඉස්සෙල්ලා ම දකිනකොට හිතුනේ එයා වැව් හුලගේ පාවෙලා මා දිහාවට එනවා කියලා. එයාට තිබ්බේ හරිම සැහැල්ලු ජීවිතයක්. ගොඩාක් කතා කරන කටකුයි පුංචි හදවතකුයි. එයාට ඕනි උනේ හැම තත්පරේකම මන් එක්ක හිනා වෙන්න. හුලග වගේ ඔහේ නිදහසේ පාවෙලා යන්න. වෙලාවකට එයා වැස්ස වගේ. තේරුම් ගන්න බැරි හේතු දාහක් හොයන් පොඩි එකෙක් වගේ මූන එල්ලගෙන අඩන්න එයාට ඕනි උනා. කදුලු ලේසියකින් වැටුනේ නැති ඒ ඇස් වල හිර වුනු කදුලු මට එතකොට පේනවා.
“පවනි, ඔයාට කවුරු උනත් හරිම නම දාලා තියෙන්නේ.”
එයා පවනි නිවර්තනා. නම වගේම එයා හුලගක් වගේම, ඕනි වෙලාවක වැස්සක් වැටෙන්න පුලුවන් වැහිවනාන්තරයක් වගේ මහ ගුප්ත බවකින් නිස්කලංක විදිහට හැදිලා තිබුනා.
” දන්නවද මහී, වැස්සයි හුලගයි එකතු උනාම අමුතු හැගීමක් එනවා. මන් ඒකට හරිම කැමතියි. මේ අපි දෙන්නා දවසක මේතන ඉදන් තද හුලගක් එක්ක වැස්ස වැටෙන දවසක ඇති තරම් තෙමෙමු.”
කටට වඩා කතා කරේ ඒ නිල් පාට ඇස්. ඒකට එයා කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවාද කියලා එයාගේ ඇස් වලින් මට තේරුනා. වැව රවුමේ අපිටම වෙන් වුනු බංකුවට වෙලා එයා දවසක් එහෙම කිව්වා. ඉතින් හිතුවෙවත් නැති මොහොතක හිතුවෙවත් නැති දවසක ඒක උනා. ඔව් ඒ අද. හැබැයි ඒ ඇස් වල අර දිලිසෙන කතාව මන් අද දැක්කේ නැ. ඒ වෙනුවට තිබුනේ කදුලු කැට හිර කරගත්තු මලානික ඇස් දෙකක්.
“මහී, ඔයාට මහන්සි පාටයි. අපි මොනහරි බොන්න යමු.එන්නකෝ”
දවස් ගනන් සම්මුඛ පරීක්ෂණ වලට විතරක් යමින් බලාපොරොත්තු කඩ වෙලා හිටපු මගේ අතේ ඒ වෙලාවේ බස් එකේ යන්නවත් රුපියල් විස්සක් තිබුන් නැ. එයා මගේ අතින් අල්ලගෙන පොඩි කඩේකට ගියේ කිසිම චකිතයක් නැතුව. හිමීට මාත් එක්කලා මේසයකට ඉදගත්තු ඈ මගේ අත තදින් අල්ලගත්තා.
“මන් දන් නැ පවනි, මගේ අතේ සතයක්වත් නැ. මට මේක ඇති වෙලා. මට හිතාගන්න බැ මොනවද කරන්න ඕනි කියලා.”
මම ඇත්තම තත්වේ ඇයට පැහැදිලි කරේ වරදක් කරපු මනුස්සයෙක් වගේ මූණත් හංගගෙන. හිමීට මගේ අත අතෑරපු එයා අපිට තේ එක්ක තව මොනවදෝ ඇණවුම් කරා. දිග සුසුමක් පිට කරපු ඇ මගේ අත තදට අල්ලගත්තා.
“මහී, හැම කෙනෙක්ට ම අමාරු දවස් එනවා. ඒවාට මූණ දෙන් නැතිව අපිට පැනලා යන්න බැ. ඔයත් එක්ක මන් ඉන්නවා. අපි අලුතින් මුල ඉදන් පටන් ගමු. ඔය දක්ශයි ටිකක් ඉවසගෙන ඉන්න හොද දේවල් ඉක්මනට ලැබෙන් නැ.අපි ඉවසීමෙන් වැඩ කරමු”
එයාගේ දිලිසෙන ඇස්වලින් මා දිහා බලාගෙන මූනට ගත්තු ලස්සන හිනාවෙන් මට ප්රශ්න ඔක්කොම අමතක වුනා. හරියට මගේ හිතේ තිබ්බ බර හුලගට ගහන් ගියා වගේ සැහැල්ලුවක් දැනුනා. එදා ඒ පුංචි හෝටලේ තේ එකත් එක්ක වඩයක් කාකා එයා මගෙ අත අල්ලගෙන මාව නිදහස් කරා. ඊට දවස් තුනකට පස්සෙ මට අලුත් රස්සාවක් ලැබුනේ හිතගන්නවත් බැරි විදිහට. එයා එදා මාව බදාගත්තේ හරියට පොඩි එකෙක් වගේ. සතුටට එයාගේ ඇස් දිලිසෙනවා මන් දැක්කා.
“මහී, මට යන්න ඕනි.”
අපේ සුපුරුදු හමුවීම්පොල වූ බංකුවේ ඉදගෙන ඈත වැව දිහා බලාගෙන එයා හිමීට කිව්වේ දැන් පැය දෙකකට කලින්.
“කොහෙද? ඔයාට කොහෙද යන්න ඕනි. අපි දෙන්නම යමු. මේ වැඩ ටික ඉවර උනු ගමන්ම අපි යමු”
” නැ මහී මට ඔයාගෙන් අයින් වෙන්න ඕනි. ඔයාගෙ වෙලාවක් නැති ජිවිතෙන් අයින් වෙල යන්නයි මට ඕනි”
මට හිතුනේ එයා ඒක විහිලුවට කියපු දෙයක් විදිහට. ඒත් එයා පුන පුනාම කිව්වේ එයාට යන්න ඕනි බව. මන් ඒකට හේතුවක් ඇහුවාම එයා මට දුන්නේ දැන් මාස ගානක ඉදන් එයා මට කිව්ව හේතුවමයි.
“මහී, ඔයාගේ ජීවිතේ මට ඉඩක් නැ. මට වෙලාවක් නැ. ඔයා වෙලාවක් දෙන්න හැදුවත් ඒ හැම වෙලාවකදීම මට එතන දැනුනේ හිස් තැනක්. ඔයා වැඩ එක්ක හිරවෙද්දී ඔයාට හැමදාම මාව අමතක උනා. කොච්චර නම් බලන් හිටියද. මට තවත් බලන් ඉන්න බැ. එහෙම හිටියොත් මුලු ජීවිත කාලෙටම වෙන්නේ මට බලන් ඉන්න. මට ඒක කරන්න බැ. මට ඕනි ඔයා ලග බලෙන් තවත් කදුලු හිරකරන් ඉන්න නෙවෙයි. මන් නැති උනොත් ඔයාට ත් නිදහසෙ වැඩ ටික කරන් යන්න පුලුවන්.”
එයා ඒක එක දිගටම කියන් ගියේ කලින් ඒක පුරුදුකරපු කතාවක් වගෙ. මම බින්දුවෙන් ජීවිතේ පටන් ගද්දී මන් ලගින්ම ඉන්නම් කිව්ව එයා මන් පුලුවන් උපරිම තැනට ආවට පස්සේ මාව අතාරිනවා. මට දැනුනේ මහ වේදනාකාරී හැගීමක්. මම රස්සාවත් එක්ක හිර වෙද්දී එයා මගේ පස්සෙම්ම ඉදන් උදව් කරා. එයා ඉවසිලිවන්ත පෙම්වතියක් උනා. මන් අඩියෙන් අඩිය ඉස්සරහට යද්දී එයාව මගෑරුනු හැම තත්පරෙත් වෙනසක් නොකර එයා මන් එක්ක හිටියා.ඒත් දැන් මාස ගානක ඉදන් එයාගේ ඉවසීමේ සීමාව පහුකරන් මන් ඇවිත් තිබ්බා.හරිම අසාධාරණ විදිහට. මට ඒක තේරුනෙත් මේ දැන්. ඒයා යන්න හදනකොටම පටන් ගත්තු හිරිපොද වැස්ස මහා වැස්සක් වෙලා මාව තෙමිලා යනකන් මන් ඒ බංකුවේ ඉදගෙන ඔහේ බලන් හිටියා. එයා යනකොට මට දිගඇරලා ගිය කුඩෙන් එයා තාමත් මන් ගැන හිතනවා කියන පොඩි සිතුවිල්ලකින් මාව පිරෙව්වත් ඒ කුඩෙන් වැස්සෙන් මට බේරෙන්න ඉඩක් දුන් නැ. ඔව් දැන් ඇය මාව රකින්න සූදානම් නැ. මගේ හදවත කඩා වැටුනා. ඒත් එක්කම මතක් උනේ එයා කැමතිම සිංදුව.
සුළඟ නුබ වගෙ සිත් මල වටා එතේ
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුබ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි…
ඇත්තටම එයා හුලගක් වගේ වසන්තයක් අරන් ඇවිත් දැන් නොකියාම යන්න හදනවා. ඒත් මගේ වරද එයා මහ ලොකුවට මගේ ඔලුව උඩට ගොඩ ගැහුවා. ඉවසීමෙන් මන් එක්ක හිටපු එයාට කවදාවත් ස්තුතියි කියන්න මට අද වෙනකන් බැරි උනා. වැඩ එක්ක හිර වෙච්චි මට එයාව මතක් උනත් ඉස්සර තරම් ලගින් ඉන්න මට බැරි උනු බව මටත් දැනුනත් මන් හිතුවේ එයාට තව ටිකක් ඉවසන්න පුලුවන් වේවි කියලා. අන්තිමේදී එයා කුණාටුවක් වගේ ඒ ඔක්කොම දේවල් මන් දිහාට ගෙනත් අතෑරලා ලොකු විනාශයක් කරා. මගේ පස්සෙන් ඉදන් හෙවනැල්ල වගේ හිටි එයා. මන් කියන්නත් කලින් මට ඕනි මොනවද කියලා දැනගත්තු එයා. මන් මොන ප්රශ්නෙක හිටියත් හිත සැහැල්ලු කරපු එයා. මට අතෑරුනු තැන් වලත් වචනයක්වත් නොකියා පස්සෙන් එල්ලි එල්ලී ආපු එයා අද එකපාරම මගේ අත අතහැරියා. එයාට මහන්සි දැනුන එක සාධාරණයි මට එහෙම හිතුනා.
සිත හැදිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුබයි
නුබ මගේ සිත අරන් ගියා
පුදුමයක් තමයි…
වැස්සට තාම නවතින්න හිතක් නැ. විදුලි බුබුලු එලියත් එක්ක නොසසුන් මාවත මගේ දැහැන බින්දා. ඒත් තවමත් හිතාගන්න බැ එය හුලග වගේ මාව අතෑරලා ගියා කියලා. ඔහේ බලා ඉන්න මට මන් ගැනම ආවේ තරහක් කලකිරීමක්. හැමදේම මුල ඉදන් මට පටන්ගන්න ඕනි උනා. ඒත් එයා නැ කියන සිතුවිල්ල හදවත පසාරු ක්රන් යද්දී මන් එතනින් නැගිට්ටා. පැය ගානක් එක දිගට වැස්සෙ සේදිලා ගිය කදුලු වල දිය කරලා මතක ටික යවන්න මට ඕනි උනත් එයාගේ, මන් වෙනුවෙන් ආදරේ පිරුණු දිලිසෙන පුංචි ඇස් දෙක මැවී මැවී මට පෙනුනා…
සිත තනිකලෙත් නුබයි
මගේ සිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුබයි
ඒත් නුබෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි…
උපුටා ගැනීම: Samindi Wickramarathna