මාව චූටි කාලෙ බලගන්න කෙනෙක් හොයාගන්න අම්මලාට සෑහෙන්න මහන්සි වෙන්න වෙලා තියනවා. තැන්පත් බවේ මුදුන්මලකඩ වගේ උන්නු මාව බලාගන්න බෑ කියලා ගොඩක් අය ගිහින් තිබුනේ මම එක විනාඩියක් එකම විදියට ඉන්නකොට එයාලට නින්ද යනවා කියලලු. ඉතින් මේ සුකුමාල දූ කුමාරිකාව බලාගන්න කෙනෙක් හොයගන්න බැරි උනු හින්දා අම්මලා ගෙවල් වලට ටිකක් ලග් ගෙදරක උන්නු නැන්දෙක්ට මාව භාර කරලා ගිහිල්ලා. නැන්දෙක් කීවට හැට පහක විතර කෙනෙක් ලු. තවමත් ඉන්නවා දැන් ගොඩක් වයසයි. ඔය ගෙදර ඉදලා තියෙන්නෙ ඒ නැන්දයි මාමයි.
උදේම මාව දාල ගියාම මාමත් ටිකක් දවල් වෙලා වත්තෙ ඉදලා ගෙදර එනකොට නැන්දගෙ හොද පණ ගෙදර ඉස්සරහා එල්ලිලාලු මෙම නිවසට දෙයියන්ගෙම පිහිටයි කියලා. ඊටපස්සෙ ඉතින් නැන්දා මාව පුටුවක ඉන්දලා දිගම දිග පොලු කෑල්ලක් පුටුව හරහා දානවලු පැත්තක් වැහෙන්න මට හෙලවෙන්නවත් බැරුව යන්න. එහෙම දාලලු වෙන වෙන වැඩ කරගන්න යන්නෙ. කොහොමහරි ඔන්න මමා ආවට පස්සෙ මාව අර සිංහාසනෙන් රිලීස් කරලා මාමට කියලා මාව බලගන්න කියලා නැන්දට උයන්න යන්න.
මාමත් මාව පේන මානෙක තියලා සෙල්ලම් කරන්න කියලා ඇදේ හාන්සි වෙලා ඉදලලු. මයියොක්කා ( ලියාගන්න බැරි උදාහරණමයි මතක් වෙන්නෙත් කරුමෙට).
ඉතින් මයියොක්කා අලේකට කලයක් තියලා මැස්සක් බැදල වගේ මාමත් ඇදේ නිදිලු. වැලයන අතකට මැස්ස ගහන්න්න් ඕනා කියලා හිතලා මාව හරස් කරලා තිබ්බ පොල්ල අරන් ඇද හරහා පුටුවටයි මේසෙටයි පොල්ල දාලා මාමව ආරක්ෂා සහිතව දොයි කරවලා මං ගිහින් සෙල්ලම් කරන්න.
ඔන්න ඉතින් මාත් මගේ පාඩුවේ සෙල්ලම් කරනවලු. මාමා එයාගෙ පාඩුවේ නිදිලු. ඒ මුකුත්ම නොදන්න නැන්දා කුස්සියේ උයනවලු. කුරුල්ලො පියාබනවලු. ගහකොළ නිහඩයි මාමා ගොරවයිලු. බත ඉදෙයි හැලිය කරවෙයිලු. ඔහොම ඔහොම ඉන්නකොට එකපාරම කැපටන් හැඩොහ්ගෙ නැව ෂර්වුඩ් කැලේ කපාගෙන හූ තියාගෙන එන සද්දයක් ඇහිලා නැන්දා හැන්ද දාලා දුවලා පාර දිහාවට කවුද හූ තියන්නෙ බලන්න. ඒ යනකොට පාර මැද්දෙ බයික් එකකුයි වෑන් එකකුයි හග් කරලා කිස් කරනවලු. සිප වැලද ගැනීමේ දරුනුකම කියන්නෙ බයික් එකේ ආපු මනුස්සයා අම්මේ ගුණ කිරීම දෙක බුද අම්මො වර්ගෙ වැඩි කිරීම තුනට සමානයිලු. ඒ අස්සේ වෑන් එකේ මනුස්සයා යං කලිසං මන් එන්නම් ගුණ කිරීම අට කියලා පාගලා ඇරිල්ලා වර්ග කරලා ජියර් දාන්න යනකොට නැන්දගෙ කෑ ගැහිල්ල තවුතිසාවට මීටර් වලින් අඩි සීයක්ලු. ඔය සේරම වෙනකොට වර්ග කිලෝමිටර දෙසීයක විතර ගමේ සෙනග පිරිලලු.
කොහොමහරි සෙනග බෙදලා ජවය එකතුකරලා පැනලා දුවන්න ගිය වෑන් මාමව අල්ලගන්න දගලපු පොරේ ඇහිලා ගේ ඇතුලෙ උන්නු මාමත් කාවයියෙක් මඩේ දාලා වගේ ගැස්සි ගැස්සි දුවන් එනවලු. මාමා දැකපු නැන්දා එකපාරම සෙනග මැද්දෙ ඉදන්ම හූ තියන්න ගත්තු පාර හැංගි හැංගි ආව මාමා දිහා හැමෝම බලන්න ගත්තලු. මාමත් ඉන්නවලු දැන් නිනන් ආලවකයාට ලිප්ස්ටික් ගාලා මොට්ටුවක් තියලා වගේ, බඩ මැද්දෙන් සරමත් ඇදගෙන. පාරට වඩා දෙයක් ගේ ඇතුලෙ වෙලා තියනවා කියලා හිතපු නැන්දට එවෙලෙ තමයි මාව සිහියට ඇවිත් තියෙන්නෙ. අනේ ඔන්න මන් නම් මුකුත් නෑ…. නැන්දා මාව හොයන පමාවට මන් නැන්දා ලග!. මටත් මුකුත් හානියක් නෑ.. මගෙනුත් මුකුත් හානියක් නෑ කියලා කන්ෆර්ම් කරගෙන පොල් මලත් අතට අරගෙන ගියාලු ආලවකයව දමනය කරන්න . දමනය කරන්නත් කලින්ම ආලවකයම ස්ටෝරිය විස්තර කරන්න ගත්තලු.
කොහොමහරි පාරෙ මැද්ද උනු කලබගෑනියෙ සද්දෙට නිදන් උන්නු මාමා උතුර දකුණ මාරු කරාගෙන හදිස්සියට නැගිටලා දුවන්න හදනකොට ඇද හරහා දාපු පොල්ලට මාමගෙ සරම පැටලිලා.. සරමට කකුල පැටලිලා.. මාමට දෙයියෝ සිහිවෙලා… කකුල් දෙක ක්රොස් වෙලා ලග තිබ්බ පුටුවත් බදාගෙනම මාමා පත බෑවිලා. ඔලුව උස්සලා බලනකොට බොම්බෙ ලුකින් කොල්කටාලු. එහෙ බලද්දි මෙහෙ පේනවලු මෙහෙ බලද්දි එහෙ පේනවලු. කොහොමහරි දනිපනිගාලා උන්නු තැනින් නැගිටලා ඔලුවත් වනලා රුයිතෙට ගිය සරමත් ඇදගෙන ගෙදර ඉස්සරහා සෙනග මැද්දට එනකොට මාමගෙ මූන නිකන් තලපු ටොනික් මිඩියකට ස්ටෝබෙරියක් තියලා වගේලු. සිද්දිය බලන්න අලුතින් ආව දෙතුන් දෙනෙක්ම ලෙඩා පැත්තක ඉද්දි තොල පලන් ඉන්න මාමා ලගට ඇවිත්..
අනේ ෂර්ට් එකකුත් නෑ.. දෙයියෙනේ.. ඉරෙන්නම හැප්පිලා.. අනේ…දෙයියනේ .. මේ… තොල… ස්ස්ස්ස්ස්… සරමත් ඉරිලා…දෙයියනේ… ගාලා හූල්ලන ගෑනුන්ව මමා පැන්නලා තියෙන්නෙ හරකා නැට්ටෙන් මැස්සො පන්නවා වගේලු.
මන් නෙවෙයි යකෝ අරුන්දෑ හැප්පුනේ කියලා මාමා කීපදෙනෙක්වම නිවැරදි කරත් පස්සෙ පස්සෙ මාමා මුකුත් නොකියා ලෙඩ වගේ ඔලුව වනලා නිකන් හිටියලු.
කොහොමහරි ඔන්න හැප්පුනු මනුස්සයව හොස්පිටල් අරන් යන්න දගලනකොට මාමවත් කීප දෙනෙක්ම බලෙන්ම වගේ වාහනේට දාන්න ගියේ සුලුවෙන් හරි මාමටත් තුවාල වෙලා හින්දා.. මොන දානවද මාමා ඔක්කෝටම වඩා පොඩි එකා වෙන්න දගලනවලු.. බයික් එකේ ආව මාමනම් වාහනේට දාන්න උස්සද්දි විතරයි අම්මෝ ගාලා තියෙන්නේ.. ඒකට අපේ මාමා.. යං සුමනෙ යං කීවා විතරයි මාමා නැන්දා බදාගෙන අඩන්න ගත්තලු. නැන්දත් ඉතින් මාමා බදාගෙන.. මෙ පොඩි තුවාලයක්නේ ඕක අඩුවෙයි උදේ වෙද්දි කියලා මාමව අල්ලන් යන්න ආව මිනිසුන්ව ශේප් කරලා.
ඔන්න ඉතින් කොම්බුව වගේ උන්නු මාමත් ඊටපස්සෙ හර්ෂාදි ලකුනු වගේ කෙලින් උනේ පොළීසියෙන් එතෙන්ට ආවමලු.
ටික වෙලාවක් ගිහින් තත්වෙ සාමකාමි කරලා පාරෙ රවුම් රවුම් අදිනකොට මන් හිතුවෙ බට්ට පනින්න වෙන්න ඇති කියලා. ඒ මුකුත් කරන්න වෙලාවක් උනේ නෑ පොළිස් මාමලා ඇක්සිඩන්ට් එක බලන්න ආව සෙනගත් එලවලා නැන්දගෙ ආරාධනාවට ගේ ඇතුලට ආවා නඩු විසදන්න.
පැනලා යන්න ගිය වෑන් මාමව අල්ලලා තියාගෙන හිටියෙ නැන්දලාගෙ ගෙදර හින්දා පොළිස් මාමලා දෙන්නත් ආරාධනය පිලි අරගෙන ගේ ඇතුලට ආවා. වෑන් මාමා පැත්තක තියද්දි පොළිස් මාමලා දෙන්නා හෝ ගාලා ප්රශ්න කරන්නෙ සුමනෙ මාමගෙන්.
“””තමුසෙ දැන් ඔය ජරා වැඩ එහෙම කරන්නෙ නෑ නේද..?””
අපෝ නෑ සර්.. එදායින් පස්සෙ මන් ඕවට නෑ සර්..
“” අපිට ආරංචි තමුසෙ ආයෙත් එහෙන් මෙහෙන් ඕවා පටන් අරන් කියලා..””
“” අනේ නෑ සර් දෙයියම්පා… මේ අපේ ගෑනි පල්ලයි.. මන් දැන් ඔය අංශෙට නෑ සර්..”
නැන්දා ගියා කුස්සියට. මේ දරුවා කාගෙද.. උබලගෙ ළමයින්ගෙද..
අනේ නෑ සර් මෙ අර ඉලංගසිංහ මහත්තයාගෙ පොඩි දුව.. ඒයාලා ඉස්කෝලෙ ඇරිලා එනකන් අපි තමයි බලාගන්නෙ.
මාව අදුන්නලා දුන්නම මටත් ඉතින් ලැජ්ජා නොහිතුනත් කෙලිකමට හරි ලැජ්ජාවක් තියෙන්න එපායැ කියලා හිතලා කෙහෙල් ගහට හොරෙන් කෙහෙල් කැන බාන හොරෙක් වගේ යන්තන් ඇඹිරිලා..
සර්ලා කතා කර කර ඉන්නකො මන් තේ ගේන්නම් කියලා මම ගියාලු.
නැන්දට විතරයැ… කුස්සි අපිටත් තියෙන්නෙ මේ කුස්සි කියලා මාත් මගේ සෙල්ලම් ගෙදර කුස්සියේ දැන් කෝම්පිට්ටුවක් තියලා ඊට උඩින් වදමලක් ගහලා වටේට වතුසුදු මල් ගහලා බාගෙට ඉදුනු ටජ්මහලක් ප්ලාස්ටික් පිගානෙක තියන් යනවා වගේ කේක් ගෙඩියක් ලෑස්ති කරාන ගිහින් දීලා පොළිස් මාමලාට. අනේ ඒ මාමලත් මගෙ හිත රිද්දන්නෙ නැතුව.. ෂා.. රස පාටයි කියලා මගෙ කේක් ගෙඩිය තියාගෙන. ඊටපස්සෙ ඉතින් කේක් විතරක් දීලා ඇතැයි.. තේ දෙන්නත් එපැයි.. කියලා.. දර මඩුවට දුවගෙන ගිහින් පොල් කටු දෙකකුත් අරන් ඒවට තේත් දාගෙන ගිහින් පොලිස් මාමලාට දුන්නලු. මන් තේ දෙක දුන්නා විතරයි…
දුම්මලයක් මැද්දෙ අගුරු උනු පොල්කටු කෑල්ලක් වගේ මූනත් හදාගෙන සුමනෙ මාමා පොලිස් මාමලාගෙ කකුලෙ පල්ලෙ වැටිලා කිසාගෝතමිගේ අම්මා පටාචාරා හම්බෙලා දුක කියනවා වගේ පටන් ගත්තෙ නැද්ද ශෝකාලාප තියන්න.. දැන් සුමනෙ මාමා..අඩනවා දුක කියනවා.. පොලවෙ හැපෙනවා.. ඉවරයක් නෑ. කලින් පාර පොලව ඉබලා තොල පලාගෙන හින්දා මිනිහට හරියට පොලවෙ හැපෙන්නත් බෑ. ඒ උනාට සුමනෙ මාමා නෙවෙයි වැඩේ ඇතෑරියේ.. පොලවෙ හැපුනත් දශමෙට තොල වද්දගන්නෙ නැතුව අඩන්න මෑන් දන්නවා. අනේ මෙව්වා සුමන සමන් දෙවියන්ටම පේන්න ඕනා. එවෙල තමයි මට හිතුනෙ මිනිහට දාලා තියෙන නමෙන් වැඩකුත් නෑ දෙයියනේ කියලා. දෙයියෙගෙ නමක් තිබුනත් මිනිහට හදිස්සියට වැඩක් ගන්න බෑනේ. ඒ අඩෝ වැඩියාවට නැන්දත් එකතු උනා. දැන් දෙන්නා ශිවයි පාර්වතියි වගේ. මාමා ලාස්යට නටනවා නැන්දා තාණ්ඩවය නටනවා.
මන් ඔය මිනිහට කීවා සර් ඕවා නවත්තපන් කියලා.. එකපාරම අමාරුයි කියලනෙ සර් ඔය.. අනේ බුදු සර්.. මේ මනුස්සයා දැන් ටික ටික හැදෙනවා සර්.. සර් පල්ලයි සර්..
උනේ මොන හත්තිලව්වක්ද කියලා දන්නෙ නැති අර වෑන් මාමා සැපට ඉදගෙන තේ එක බොනවා. ඒ මාමා ලගට වෙලා ඇස් ගෙඩි දෙකත් ලොවි ගෙඩි කරාන මාත් බලන් ඉන්නවා මේ සංදර්ශනේ.. මාමා නැවෙනවා නැන්දා කෙලින් වෙනවා.. ආයේ නැන්දා නැමිලා වැදලා අඩනවා.. මාමා කෙලින් වෙනවා.. ආයේ මාමා වදිනවා නැන්දා කෙලින් වෙනවා. අන්තිමට තමයි ඔන්න පොළිස් මාමලා මගෙන් ප්රශ්න කරේ.
දැන් ගේ ඇතුල උසාවිය වගේ. අන්තිමට කොහෙවත් හිටපු මගෙන් තමයි ප්රශ්න කරන්නෙ. හිටපල්ලකො අප්පච්චි ඉස්කෝලෙ ඇරිලා ආවම සේරලවම කූඩු කරනවා කියලා භය කරපු පාර තමයි පොලිස් මාමලත් චොක්ලට් දෙනවා කියලා ශේප් උනේ.
“”කොහෙන්ද පුතේ ඔයා මේ තේ ගෙනාවේ? “”
” දර මඩුවෙන්..””
ඔච්චරයි කීවේ දෙයියනේ ආයෙ පාරක් සුමනෙ මාමා මීමැස්මොරේ හැදුනු තල්මහෙක් වගේ දගලන්න පටන් ගත්තා. කොහොමහරි ඒ දර මඩුවෙන් තව තේ පැකට් දෙක තුනක්ම හොයාගන්න පුළුවන් උනා. බැලින්නම් මන් තේ කියලා පොල්කටු දෙකකට දාලා දීලා තියෙන්නෙ ඉස්සර රුපියලේ ග්රොසරි වලට දාලා දුන්නු අරක්කු කාලක්.
* ඉල්ලංකනසිංහ*