මම කාර් එකට නගින්න කලින් මොනවත් අමතක උනාද කියලා බැලුවා. ගිය මාසෙ කාර්යාලෙ පුහුණුවකට ගිය කොරියානු සංචාරයෙදි ගියපු විවිධ තැන්වලින් ගත්තු පෝස්ට් කාර්ඩ් ටික හෑන්ඩ් බෑග් එකේ තිබුණේ අද එනවා කියපු දුලීට දෙන්න. ඇමරිකාවේ වසර කිහිපයක් ගත කරලා ආව දුලී ළගත් මට දෙන්න ඒ වගේම මිටියක් තියෙන බවයි ඊයෙ යන එන වෙලාවල් කතා කරද්දි කිව්වෙ.
දුලී මායි සුසිලා ඇන්ටිගෙ පැණිදෙණියෙ බෝඩිමේ සාමාජිකාවො.
—————————————
රට වටේ විවිධ තැන්වල අවුරුදු ගණන් ගත කරලත් තවමත් ජීවිතේ හොදම කාලය ගැන හිතද්දි කැම්පස් එකේ සිසිල සුවය වගේම සුසිලා ඇන්ටිගේ බෝඩිම මතක් වෙන එකත් නවත්තන්න මට මෙච්චර කල් ගිහිනුත් පුලුවන් උනේ නෑ. අපි ගොඩක් අයට ගෙදරට වඩා රසට කාපු කාලෙ, ගෙදරට වඩා නිදහසේ හිටපු කාලෙ, ඒ වගේම බෝඩිමේ සමහර කෙල්ලන්ට නම් ගෙදරට වඩා අම්මෙක්ගේ ආදරේ වින්ද තැන උනෙත් සුසිලා ඇන්ටිගෙ බෝඩිම.
සමහර විට ඇන්ටි කවදාවත් ඇත්තටම අම්මෙක් වෙලා නැති හින්දද මන්දා සැරවැර, නීති නැතුව පුංචි කෙනෙක්ගේ පොඩි නැන්දා කෙනෙක්ගෙන් ළමයි ඇත්විදින සැහැල්ලු, ආදරබර ගතිය විතරයි ඇන්ටි ළග තිබුණේ. අපි තෙමිල එනකොට චොක්ලට් දාපු උණු කිරි හදලා තියන්න, අපේ සෙමෙස්ටර් ප්රතිඵල ආව දවසට පිටින් කෑම ගෙන්නන්න, පෙරහැර කාලෙට දවස් ගානක් පාරවල් අයිනෙ අපි එක්ක ඉඳගෙන ඉදගෙන පෙරහැර බලන්න ඇන්ටිට පුලුවන් උනේ ඒ නිසා වෙන්නැති.
අපි වගේ මධ්යම පාන්තික පවුල්වල කෙල්ලො පස් දෙනෙකුට ඉඩ තිබුණ ඒ බෝඩිමට පළවෙනි අවුරුද්දේ ඒන ළමයි දිගටම ඉන්න නිසා බෝඩිමේ හැමෝම අවුරුදු ගානක් ඉන්න නිත්ය සාමාජිකාවෝ මිස නිතර යන ඒන අය උනේ නෑ.
අපි යනකොට හිටපු චම්පා අක්කා උපාධිය කරලා ඉවරවෙලා පශ්චාත් උපාධිය කර කර පර්යේෂිකාවක් විදිහට වැඩ කරද්දිත් හිටියෙ බෝඩිමේ. ඇන්ටිගෙ මව් ගුණය, සැහැල්ලුව කාන්දු වෙලා වගේ එයා අපිට සැළකුවෙත් පොඩි නංගිලා ටිකකට වගේ. එයා කාර් එකේ වැඩට යන කොට එක එක පීඨවල කෙල්ලො බස්සලා යන්නත්, එයා හවසට පිටත් වෙන්න කලින් අපිට කතා කරලා එක්කගෙන එන එකත් එයා වැරැද්දුවේ නෑ.
මුල කාලෙදි උඩ පේරාදෙණිය පාරේ වංගුවක් ළගට විතරක් එනකම් අපිව එක්කගෙන එන පෙම්වත්තු ගේ පේන හරියට නොආවත් ඒ හැමෝම ගැනත් ඇන්ටි දැනගෙන හිටියා.
අපි ඒ බව දැනගත්තෙ සැරින් සැරේ ඇන්ටි කරන විහිළු වලින්.
අපෙන් බෝඩිම් ගාස්තු විදිහට සැළකිය යුතු මුදලක් ඇන්ටිගෙ ගිනුමට වැටුණත් ඒ නැතත් ඇන්ටි අපිව තියාගනියි කියලා අපි හැමෝටම හිතුණේ නිකම් අපි ගෙදරම ළමයි වගේ උන නිසා වෙන්න ඇති.
ඇන්ටි සෑහෙන කාලෙක ඉදන් බෝඩිම පවත්වාගෙන ගියපු නිසා සැරින් සැරේ දළදා වඳින්න යන ගමන් ආපු, පිටරට ඉඳලා නිවාඩුවට ලංකාවට ආව වෙලාවට දහසක් වැඩ අස්සේ ඇන්ටි බලන්න දුවලා ආපු කෙල්ලො වැරදුණේ නෑ.
එයාලා ඇන්ටිට ගේන චොකලට්, ආලේපන, ආභරණ ඒ සැණෙන්ම බෙදුණේ අපි කට්ටියට.
——————————-
මීගමුවේ කෙල්ලෙක් උන ඇන්ටි පේරාදෙණියේ කැම්පස් ආව ගමන් මේ ගෙදරත් අරන් නැවතුණේ නුවරම රස්සාව කරන්න ලැබුණ නිසා කියලයි අපිට කිව්වේ.
විශ්රාම අරන් හිටපු ඒ කාලෙත් සෑහෙන ලස්සනක් තිබුණ ඇන්ටි තරුණ කාලෙ ගිනි කිකිළි වගේ ඉන්න ඇති කියලා අපි විහිළු කළේ. නමුත් පෙම්වතෙක් ගැන වත් විවාහයක් ගැන හිතුවා කියලවත් කිසිම දෙයක් ඇන්ටි කවදාවත් කිව්වේ නෑ.
සමහර බොහොම ලස්සන කෙල්ලො තමන් හොයන ප්රමිතිය වැඩි නිසාම තනිකඩව ඉන්න නිසා අපි කතා උනේ ඇන්ටිටත් එහෙම වෙන්න ඇති කියලා.
අම්මා තාත්තා නැති උනාට පස්සේ මීගමුවේ දේපළ අයියලාට විකුණලා තමයි ඇන්ටි පැණිදෙණියේ ගේ අරගෙන තනි නොතනියට කැම්පස් කෙල්ලො නවත්තගන්න පටන් අරන් තියෙන්නේ.
————
මගෙයි දුලීගෙයි පෝස්ට් කාර්ඩ් පිස්සුව පටන් ගත්තෙත් ඔය බෝඩිමෙන්. දවසක් ඇන්ටි මහා පොත්, පෙට්ටි තොගයක් ඉස්කෝප්පුවට දාලා තිබුණේ වේයො බෝවෙන්න ඇවිත් නිසා.
හවස දේශන ඉවර වෙලා ආව අපි එතන නැවතෙද්දි ලස්සන කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියකින් එළියට අරන් තිබුණේ හරිම ලස්සන පෝස්ට් කාර්ඩ් ගොඩක්.
“අනේ මේ මොනවද?”
දුලීයි මායි ඒවා අතට අරගෙන බැලුවේ සීනි බෝල බෝතලයක් අහුවුණ පොඩි ළමයි වගේ. එතන තිබුණේ එක එක රටවල ලස්සන තැන්වල පින්තූර තියන පෝස්ට් කාර්ඩ්.
“කමක් නැද්ද ඇන්ටි බැලුවට?” දුලී ඇහුවේ ඒවයේ පිටපස්සේ මොනවහරි ලියලා තියෙන බව දැක්ක නිසා.
“කමක් නෑ, බලන්න” පරණ රෙදි කෑල්ලකින් එතන තිබුණ දේවල් පිහ පිහ හිටපු ඇන්ටි කිව්වේ ඔලුව වත් උස්සන්නේ නැතුව.
අයිෆල් කුළුණ, පීසා කුළුණ, ලන්ඩන් පාලම වගෙ අපි දන්න ප්රකට තැන් වගේම නොදන්න හරිම ලස්සන දර්ශන ඒ කාර්ඩ් වල තිබුණේ.
හැම එකකම පිටිපස්සේ ඒ තැන ගැන ලියපු පුංචි සටහනක් පිටපස්සේ තිබුණේ “සුන්දරී” කියලා ඇමතුමෙන්. ලියලා තිබුණේ ලලිත්.
‘කවුද ඇන්ටි සුන්දරී?”
“මෙහෙ ඉස්සර හිටපු කෙල්ලෙක්”
“ලලිත්?”
“එයාගෙ කොල්ලා අනේ”
‘ඉතින් ඇයි අනේ මේවා මෙහෙ?”
“කාමරේ අමතක වෙලා ගිහින්. මාත් දෙන්න ඉන්නවා ආවම මටත් අමතක වෙනවා”
එදා රෑ වෙනකම් මායි දුලීයි කාර්ඩ් බැලුවා. නොදන්න කොයි දේත් හොයාගන්න ඒ කාලෙ අන්තර්ජාලෙ තිබුණේ නැති නිසා අපිට සමහර දේවල් හොයාගන්න බැරි උනත් යුරෝපයේ රටවල්වල ලස්සන තැන් ගොඩක් ඒ තියෙන්න කියන දේ හොයාගන්න බැරි උනේ නෑ.
කවදහරි ලෝකෙ බලන්න යන්න, මේ තරම් ලස්සන දේවල් අපේ දූපතෙන් පිට තියෙනවා කියලා අපිට තදින්ම හිතේ රැඳිච්ච දවස වෙන්න ඇති ඒක.
දුලීගේ ඇමරිකාවෙ ගමනටත්, සල්ලි ටිකක් හොයාගත්ත ගමන් මමත් යන ගමන්වලටත් මුල් උනේ ඒ පෝස්ට් කාර්ඩ්වලින් දැක්ක චමත්කාරජනක ලෝකෙ තමයි.
————
අවුරුදු හතරෙන් පස්සේ අපි තැන් තැන්වල විසිරුණා. ඒත් කට්ටියගේ මඟුල් වලදී, ළමයි දළදාවට භාර කරන්න යද්දි ඇන්ටිව බලලා ගියේ ලොකුම වන්දනාවක යනවටත් වඩා හිතේ සතුටෙන්.
අපි එනවා කියද්දිත් තමන්ගේ ළමයි එනවා වගේ අපි ආස කෑම හදාගෙන, අපේ පොඩි උන්ට තෑගි අරගෙන ඇන්ටි බලාගෙන හිටියා.
අද යන්නත් වචනයක්වත් නොකියා මගේ සැමියා, මහිමත් නිවාඩු දාලා එකතු උනේ එයාත් මගේ ජීවිතේ ඇන්ටි කොච්චර වැදගත්ද කියන එක දන්න නිසා වෙන්න ඇති.
—————————–
“සුසිලා ප්රනාන්දු මෙනෙවියට නිවන් සුව ලැබේවා”
ගෙදරට කළින් පාරේ හරහට තිබුණ බැනර් එක දැකලා මගේ ඇස් ආයෙ තෙත් උනා.
හදිසි හෘදයාබාධකින් ඇන්ටි නැතිවෙලා කියලා පණිවිඩය චම්පා අක්කගෙන් ආවෙ ඊයෙ.
මං බැහැලා යද්දිම කළින්ම ඇවිත් ඉදපු දුලී දුවගෙන ඇවිත් මාව බදාගත්තා. සැර පරුෂ අම්මෙක්ගේ දුවෙක් උන දුලී අපි ඔක්කොටම වඩා ඇන්ටිට සමීප උන බව අපි හැමෝම දැනගෙන හිටපු දෙයක්.
ටිකක් අස් පස් කරන වැඩ කටයුතු වලට උදව් වෙලා, අවශ්ය වෙලා තිබුණ වියදම් ටිකක් කරලා අපි සාලෙ ඉඳගත්තා. අපේ කාලෙත් කළිනුත් පසුවත් බෝඩිමේ හිටපු කෙල්ලො වගේම ඇන්ටිගේ කාර්යාල සගයෝ සැරින් සැරේ ඇවිත් ගියා.
ඇන්ටිගේ වෙනුවෙන් කතා කරන්න ඥාතියෝ නොහිටපු නිසා ඇවිත් ඉන්න අයටත් කතා කළේ අපි.
———————-
ලස්සන ඕකිඩ් මල් වඩමක් අරන් ආපු කෙනෙක් ඒක දේහය ළගින් තිබ්බා.
“අප්පො මම එහා පාරෙ වාහනේ දාගෙන ඉන්නම්. යන්න ලෑස්ති වෙලා කෝල් එකක් දෙන්න”
ඔහු හැරිලා එහෙම කිව්වෙ පිටිපස්සෙන් ආව පාංශු දේහධාරියෙකුට. ඔලුව වනපු ඔහු දේහය ළඟ නැවතුණා. දෑත් එකතු කරද්දි මැදඟිල්ලේ නවරත්න මුද්දක් දිලිසුණා.
“ලලිත්, මචං” එකපාරට පිටිපස්සෙන් ආව කෙනෙක් ඔහුට කතා කළා.
එතනම සෙටියක වාඩි වෙලා කතා කර කර හිටපු මායි දුලීයි මූණෙන් මූණ බලාගත්තා.
“අර ලලිත්ද?සුන්දරී ආවෙ නැද්ද දන්නෑ”
“බලන්න රීත් කාර්ඩ් එකේ, From Lalith and Sundaree කියලා තියෙනවනම් මෙයා තමයි. එහෙම උනොත් කතා කරමු”
මම නැගිටලා ගිහින් මල් වඩම බැලුවා.
“Farewell Sundaree,
With eternal love,
Lalith”
දිගටි අකුරු මල් වඩම මැද දිළිසුණා.
උපුටා ගැනීම: පවිත්රා අභයවර්ධන