කෝච්චියේ බදුලු යනවනං මම සේරම බලාගන්නං” කිව්වෙ අපේ පැතුම් මල්ලි.
“මගේ කස්ටමර් කෙනෙක් ඉන්නව බදුල්ලෙ. මිනිහට සුපිරි බංගලාවක් තියෙනව. අපි එහේ ගියොත් මෑන් මට උඩින්ම සලකනව” කියලත් කිව්ව.
“ඔය සුපිරි බංගලාවෙ පින්තූර ටිකක් ගන්න බැරිද” කියල මම ගත් කටටම ඇහුවෙ කස්ටමර් කෙසේ වෙතත් අපේ මිනිහ ගැන සත පහක විශ්වාසයක් නැති නිසා.
“අපි එහෙම ඉල්ලන එක හරි නෑනෙ. බයවෙන්න දෙයක් නෑ. කස්ටමර් උනාට මිනිහ මගේ යාළුව, මට මෑන් ෂුවර්” කියල ටක් ගාල සෙටිපිකෙට් එකකුත් දුන්නු නිසා ගමනට දවස් දාගත්ත. තනියම නෙමේ දරු පවුල් එක්කම. පවුල් කිව්වට එකකුත් නෙමේ පහක්. නෑ නෑ මට පවුල් පහක් නෑ. යාලුවොත් එක්ක උන්ගෙ පවුල් පහක්.
දන්නවනේ දවල් කොළඹින් පිටත්වෙන බදුලු කෝච්චිය එහේට යද්දි රෑ වෙනව. ආසාවෙන් පටං ගත්තට මොකද බදුල්ලට එනකොට පොඩි උන්ට හොඳ ගාණට මහන්සියි. මහ උන් වෙච්චි අපිටත් එහෙමම තමයි.
අපේ මිනිහට එයාගෙ කස්ටමර් යාළුව කොච්චර විශ්වාසද කිව්වොත් කිසි වග විභාගයක් නැතුව ස්ටේෂමෙන් අපිව අරගෙන අර “සුපිරි බංගලාවට” ගෙනියන ට්රාන්ස්පෝට් එක එක්ක ඕල් ඉන්ක්ලූසිවු පොට්ටනියම ඒ කිව්වෙ පැකේජ් එකම මිනිහට බාර දීල තිබ්බ.
දවස් තුනක් “සුපිරි බංගලාවෙ” ඉන්න හිතාගෙන ඇඳුම් කැඩුම් එහෙමත් අරගෙන ගිය නිසා අපි කාගෙ කාගෙත් ළඟ තිබ්බෙ තඩි බෑග්. ඒවටයි අපිටයි යන්න පොඩි වෑන් දෙකක් ස්ටේෂමට ඇවිත් තිබුණ. ඒව නිකම්ම නිකං වෑන් නෙමේ. මම හිතන්නෙ සුද්ද ලංකාව දාල යද්දි අතෑරල දාල ගිහිපුව වෙන්න ඕන.
ඕං දැං සුපිරි වෑන් දෙකේ පැක් වෙලා අමාරුවෙන් නැගගත්තු අපි “සුපිරි” බංගලාවට යන ගමන පටන්ගත්ත. ඒකත් නිකං පාරක ගමනක් නෙමේ “සුපිරි පාරක”.
වටේම කළුවරයි. දැං කබල් වෑන් දෙක වළවල් පිරුණු පාර දිගේ ඒවායෙ වැටි වැටී යනව. මම ඉන්න වෑන් එකේ හැම කෑල්ලෙන් ම මොකක් හරි සද්දයක් එනව. බ්රේක් ගැහුවම ඉඳගෙන ඉන්න සීට් එකේ පස්ස ඉස්සිලා අපි ගිහින් ඉස්සරහ ඉඳගෙන ඉන්න උන්ගෙ ඔළුවල හැපෙනව.
ඒ අස්සෙ වාහනේ ඉන්න කාන්තා පාර්ශ්වය නානාවිධ ප්රශ්න අහනව. තම තමන්ගෙ මහත්තුරු දිහා බලල රවනව. අනිත් වාහනේ ඉන්න උන් “තව දුරද බං” කියල කෝල් කරනව. එක විකාරයයි. කලාමැදිරි එලියකට වඩා පොඩ්ඩක් වැඩියෙන් එලිය තියෙන හෙඩ් ලයිට් දෙකෙන් පාර පේන්නෙත් යන්තමට.
සාඩින් ටින් එකේ හිරවුනු මාලුවො වගේ පැය දෙකකට වඩා කාලයක් කොට කොටා ගිය වෑන් දෙක අන්තිමේ වත්තකට ඇතුළු වෙලා කන්දක් නගින්න පටන් ගත්ත. වංගු මැදින් කන්ද නගින අතරෙදි ඈතින් කහපාටට පරණ වතු බංගලාව පේනකොට ඕං හිතට සනීපයි. උණු වතුර ටිකක් නාලා පොඩ්ඩක් ඇඟ රත් වෙන්න මොනව හරි බීලා. උණු උනුවෙ කෑම ටිකක් කාලා හොඳ නින්දක් ලැබෙන්න යන්නෙ තව මොහොතයි.
අන්තිමේ ඕං බාගෙට පත්තුවෙන මලානික කහපාට ලයිට් මැදින් සුපිරි බංගලාවට ඇතුළු උනා.
මුලින්ම පටු කොරිඩෝව. ඒකෙ මුල්ලක එකම එක ප්ලාස්ටික් පුටුවක් කකුල් තුනකින් බිත්තියට හේත්තු වෙලා තියෙනව. දකුණු පැත්තෙ පොඩි වීදුරු තියෙන සුදුපාට ජනෙල් පේලියක් තියෙනව. ඒකෙ වීදුරුවල එලියට යාගන්න බැරුව ඉන්නෙ මොක්කුද , බඹරු… උන් සෙට් සෙට් හැදිල එක එක හැඩ වලට හත් අවුරුද්දකින් සුද්දකරල නැති වීදුරුවල ඇලිල ඉන්නව. කොරිඩෝව කොනේ තියෙන දොරෙන් වමට හැරුණම තියෙන්නෙ සාලෙ. ඒකෙ කැඩිච්චි නිල්පාට සෝපාවක් තියෙනව. මුලු සාලෙටම එච්චරයි.
අපි සේරම මූණෙන් මූණ බලාගත්ත මිසක් එකෙක් කට හෙලෙව්වෙ නෑ. එවෙලෙ අපිට අපි ගැන වගේම අසරණ වෙලා ඉන්න පැතුම් ගැනත් හිතන්න වුනා. එතන එකෙක් හරි කට හෙලෙව්වනං පැතුමට වෙන්නෙ අඬන්න. මේ වෙච්චි දේට ඌත් තක්බීර්වෙලා හිටියෙ.
ඊලගට කාමර,, ඒව ඊට එහා. සමහර කාමර වල සිවිලිමට උඩින් හදල තියෙන බඹර වදවල බරට සිවිලිම පහත් වෙලා, ඒ මදිවට සිවිලිම කැඩුණු තැන්වලින් බඹර වද පහළට එල්ලෙනව.
නාන කාමර වලට එබිල බැලුවම මතක් උනේ ඉංග්රීසි හොල්මන් චිත්රපටි.
තද පාටට කහ ගැහුනු බාත් ටබ් වලට උඩින් ශවර් හෙඩ් නැති පයිප්ප බටේ එල්ලෙනව. නාන්න ඕන එකෙක් ඉන්නව නං ඌ අර ජරා ටබ් එකට බැහැල කැඩුණු ශවර් එකේ බටේට කෙලින් හිටගන්න ඕන.
කොමඩ් ගැන නං කතා නොකරන එක අපි කාටත් හොඳයි.
මේ ඔක්කොම අස්සෙ ෆෝන් වලට සිග්නල් නැති එක තමා හොඳම කෑල්ල.
විශ්වාස කරනවනං කරන්න, උයන්න එවල හිටපු දෙමළ මිනිස්සු දෙන්නට කියල කොහෙන්දෝ ගෙනාපු ප්ලාස්ටික් පුටු කීපයක් උඩට වෙලා මුළු රෑම අවදියෙන් වාඩිවෙලා බලාගත්තු අත බලාගෙන හිටිය මිසක් අපේ බිරින්දෑවරු කිසිම කෙනෙක් මුලු රෑ පුරාවට වතුර පොදක්වත් බිව්වෙ නෑ. ඒ ටොයිලට් යන්න වෙයි කියල බයට. බඹරුන්ට බයේ සද්දෙන් කතා කරගන්න බෑ. අපිම ගෙනාපු බෙඩ්ශීට් කීපය දාල පොඩි එව්වො යාන්තමට නිදිකෙරෙව්වෙ වෙන කරන්න දෙයක් නැති නිසා.
මහ රෑක – බදුල්ලේ ස්ටේශන් එකටත් පැය කීපයක් ඈත, නොදන්න පළාතක කොහේ කියල යන්නද. කොහේ හොටෙල් හොයන්නද. සිග්නල් නැති ෆෝන් වලින් කාට කතා කරන්නද.
එතන තිබ්බ තත්වෙ මම ලියනවට වඩා නරක එකක් උනා මිසක්, මේ කිසි දෙයක් අතින් දාල ලියනව හෙම නෙමේ.
කොහොමින් කොහොම හරි ෆෝන් එකේ ලයිට් එක ගහගෙන වත්තෙ උඩ පහල ගිහින් සිග්නල් හොයාගෙන උදේ පාන්දර නුවරඑළියට යන්න බස් එකක් කතාකරගන්න පුළුවන් උනා. බස් එකට එතනට එන්න පාර කියාගත්තු හැටි වෙනමම කතාවක්.
අන්තිමේ අපි ඒ අපායෙන් මිදිල නිදහසේ හුස්ම ටිකක් ගත්තෙ පාන්දර ගෙන්න ගත්තු බස් එකට නැග්ගම.
කතා කරල විස්තර ඇහුවම උයන්න ආපු දෙන්න මුලින්ම බංගලාවෙ වැඩට ඇවිත් තියෙන්නෙ කලින්දා උදේ. එයාල වත්තක වැඩ කරන අය මිසක් බංගලාවෙ අය නෙමේ.
මරාලෙ සෙට් කරපු එකා එදාවත් ඊට පස්සෙ කවමදාකවත් පැතුම්ට ආයෙ මුන ගැහිල තිබුනෙ නෑ..
මිනිහෙක්ට මේ තරම් වරදින්න පුලුවන්ද කියල මේක කියවන අයට හිතෙන්න නම් මම ඉස්සර මේකට ලියපු පැතුම්ගෙ පරණ කතා එකක් දෙකක් කියවන්නම ඕන.
කරන හැමදේම – හැමදාමත් හත් පොලේ ගාගන්න මිනිහෙක්ගෙ වචනෙ ආයෙ ආයෙත් විශ්වාසෙට අරගන්න මං තරං හරකෙක් දැකල නැත්තං මගේ ප්රොෆයිල් එකෙන් පින්තූරයක් බාගෙන බිත්තියේ ගහගන්න. මොකද පැතුම් තාමත් වෙනස් වෙලා නෑ. මම ඌව විශ්වාස කරන එක නවත්තලත් නෑ.
උපුටා ගැනීම: ..සමීර බෝපගේ ..