මම ඔබට කියන්නම් යුරෝපයේ ඉතා වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් සුන්දර රජ මාලිගයක් ගැන.
මේ රජ මාලිඟාවෙ නම “නොයිෂ්වන්ස්ටයින් මාලිඟය ( Neuschwanstein Castle)”.
එය පිහිටලා තියෙන්නෙ ජර්මනියෙ Hohenschwangau කියන ග්රාමයේ. ජර්මනියේ බවේරියා ප්රාන්තයේ දකුණු කෙලවරේ ඔස්ට්රියා දේශ සීමාව ආසන්නයේ, ඇල්ප්ස් කඳු පාමුල පිහිටි ඉතාම මනරම් කඳුකර ප්රදේශයක.
නොයිෂ්වන්ස්ටයින් රජ මාලිඟය හඳුන්වන අනෙක් අනවර්ථ නාමය “සුරංඟනා මාලිඟය”( fairy-tale castle )
එයට හේතුව ලොව ප්රකට වෝල්ට් ඩිස්නි සමාගමේ ලාංඡනයට සහ ලොවපුරා ඩිස්නිලන්තවල සාදා ඇති නිදි කුමරිය හෙවත් සින්ඩරෙල්ලා රජ මාළිඟාවට (Sleeping beauty castle ) උද්දීපනය මෙම මාලිගය වීම.
සුරඟන මාලිගය සැබෑවට ගොඩනැගුයේ ජර්මනියේ බවේරියා ප්රාන්තයේ දෙවන ලුඩ්වික් රජතුමා. ඉතාම ඈත අතීතයක නොවෙයි. 1869 දි ඉදිකිරීම් ආරම්භ කරල තියෙන්නෙ. මෙය ඔහුගේ පෞද්ගලික ධනයෙන් ගොඩනැගූ බව සඳහන්. ඔහුගෙ ලමාකල නිවස එනම් පියරජුගෙ නිවස Hohenschwangau මාලිගය ඒ ආසන්නයේම තරමක පහල කඳු ගැටයක පිහිටා තිබෙනවා. මගේ ඡායාරූප පෙලෙහි කහ පැහැතිව දිස්වන්නෙ එය.
මාලිඟය පිහිටල තියෙන්නෙ තරමක ඉහල කඳුගැටයක. එය කරා යන ගමනාන්තයේ කිලෝමීටර් ගනනාවක් බොහෝ දුරකට, තැනින් තැනකදි, ඈත කඳුමුදුනක තුරුහිස් අතරින් මිහිඳුම් සළු මැදින් මතුවුනු මාලිඟය පෙනෙනවා. එය දකින්නට සිහින මැවූවෙකුගෙ හිත සලිත කරන , සතුටින් ඇඟ හිරිගඬු පිපෙන දසුනක්.
පොදු හෝ පෞද්ගලික ප්රවාහන ගමනාන්තය මාලිඟය පිහිටි කඳු පාමුල. එතැන් සිට කිලෝමීටර් එකහමාරක් පමණ ඉහලට විහිඳුනු කඳුකර මාර්ගයක පයින් හෝ අශ්වකරත්තයක යන්න ඕනි. අපි ගියේ අශ්වයින් බැඳි කරත්තයක ඉස්සරහම වාඩිවෙලා. නමුත් සතුන්ට ඉතාම ආදරය අපි තිදෙනාටම එය සතුටක් නම් ගෙනාවෙ නැහැ. දැඩි බෑවුම් සහිත මාර්ගයේ ඉතා අපහසුවෙන් සංචාරකයන් රැගෙන පල්ලම් බහින අසුන් සහ ඉතා අපහසුවෙන් අප සමඟ ඉහලට කරත්තය ඇදගෙන යන අසුන් අපිට ගෙනාවෙ ලොකු සිත්තැවුලක්. එනිසාම අපි නැවත ගමන ආවෙ කෙටි කැලෑ මං හරහා පයින්. වාසනාවට අපි අත ඇපල් ගෙඩි කිහිපයක් තිබුණා අප රැගෙන ගිය අශ්වයන් දෙදෙනාට යන්තමින් හෝ වන්දි ගෙවන්න සහ හිතේ චෝදනාවෙන් තරමකට හෝ මිදෙන්න.
මම මුලින් කිව්වා වගේම මේ සුරඟන මාලිඟය යුරෝපයේ ප්රමුඛ සංචාරක ආකර්ෂණය දිනාගත් තැනක්. එනිසා එහි මුදල් ගෙවා ලබාගන්නා ඇතුලත සංචාරයක් සඳහා ප්රවේශපත්ර අන්තර්ජාලයෙන් කලින්ම වෙන්කර ගැනීම ඉතා සුදුසුයි.
මාලිඟය ඇතුලට එහි කවුළු හරහා පෙනෙන දර්ශනය ඉතා මනස්කාන්තයි. අසල පිහිටි වැව් දෙකක් ,තෘණ මිටියාවත් සහ ඈත කඳුබිම්, මට්ටම් කිහිපයක ඉදිවුනු මාලිඟය තුලින් දැකිය හැකි නෙත්කළු සිත්කළු වටපිටාව.
නමුත් ඩෙන්මාකයේ රජමාලිගා කිහිපයක් නරඹා තිබූ මට ඒවාට සාපේක්ෂව එහි ඇතුලත බොහෝ අලංකාර ලෙස දැනුනේ නැහැ. එහි ඇතුලත සේයාරූ ගැනීමට අවසර නැහැ.
ඉහල කන්දක මැද බෑවුමේ පිහිටි මාලිඟයේ සැලැස්ම ඉතා හොඳින් දැකගන්න එහි ඉදිරිපසින් බැහැ. ඒ සඳහා තව කිලෝමීටර් දෙක තුනක් පාගමනින් කැලෑව මැදින් ගමන්කර වෙනත් කඳු ශිඛර දෙකක් හරහා ඉදිවුනු දිගු පාලමකට ගොඩවෙන්න ඕනි.
ඇල්ප්ස් කඳු පාමුල පිහිටි Hohenschwangau ගම්මානය නිතරම මීදුමෙන් වැසෙන ප්රදේශයක්. එනිසාම කාලගුණ අනාවැකිය බලල ගමන යොදාගන්නා ලෙස උපදෙස් මම අන්තර්ජාලයේ දැක්කා. ඝන මිහිදුම නිසාම බොහෝ සංචාරකයන්ගෙ බලාපොරොත්තු කඩවෙන බව කියෙව්වා. නමුත් මම එය කියෙව්වෙ එය නරඹන්න යොදාගත් දිනට පෙර දිනයෙදි. පහුවදා කාලගුණ අනාවැකිය මුළු දවසම මඳවැසි සහිත මිහිදුම පිරුණ දිනයක්. ඒත් අන්තර්ජාලයෙන් ගත් ටිකට්පත් වෙනස් කරගන්න පුළුවන් වුනේ නැහැ.
අපි ඒ පාලමට යද්දි මඟ දිඟට හමුවුන හැම කෙනෙක්ම කිව්වා ගියාට වැඩක් නැහැ කිසිවක් පෙනෙන්නෙ නැහැ කියල. ඒත් මගේ උනන්දුවට අපි දිගටම ගියා. දිනකට සංචාරකයන් 6000කට වඩා එන, එයට ගොඩවෙන්න පෝලිමේ සිටිය යුතු එතන අපි යද්දි මිනිසුන්ගෙන් හිස්. අවට කිසිවක් පෙනුනෙ නැහැ. පාලමට ගොඩවෙලා මම ඇස් පියාගෙන විනාඩි ගණනක් ප්රාර්ථනා කලා. මට ජීවිතයේ ප්රාතිහාර්ය යැයි හැඟුනු සිදුවීම් දෙකෙන් එකක් දුටුවෙ දුවගෙ හඬට මම ඇස් හරිද්දි. මුළු අහසම එලිය වෙලා ඉතාම ලස්සනට සුරඟන මාලිඟය ඈතින් දිස්වුනා. අනපේක්ශිතව දුටු එය ජීවිතේ අමතක කල නොහැකිම දසුනක්. කඳුකරයේ චංචල කාලගුණයේ සාමාන්ය සිදුවීමක් උනත් , එය සැබෑම ප්රාතිහාර්යක් වගේම හිතට දැනුන හැඟීමක්. (අනෙක් ප්රාර්ථනය මම කලේ ලංකාවෙදි. රෝගියෙක් වෙනුවෙන්. )
මගේ පින්තූර ඔබට ඒ දසුන පෙන්වයි.
නොයිෂ්වන්ස්ටයින් මාලිඟය පිහිටලා තියෙන්නෙ ඔස්ට්රියානු දේශසීමාවෙ බව මම කිව්වා.අපි නැවතුනේ ඔස්ට්රියාවෙ හෝටලයක. එතන ඉඳල කිලෝමීටර 8ක් ගිහින් ජර්මනියෙ මාලිඟාව බලල ආපහු ඔස්ට්රියාවට එද්දි යුරෝපයේ රටවල් අතර කිසිම දේශසීමා හැඟීමක් නැති ගමන්බලපත්ර නොබලන ඒ පහසු පිටරට යෑම, දූපතක ඉපදුනු අපිට තරමක අරුමයකුත් වුනු බව කියන්නම ඕනි. ඒ කාලෙ අපි යුරෝපයට අළුත් නිසා.












උපුටා ගැනීම: Nandani Wijayabandara