ව්යාපෘති වලට සම්බන්ද වී ඇත්තෙමි. එහෙත් මෙවැනි ව්යාපෘතියක් ඒ බොහොමයකට වඩා සංකීර්ණය. මෙය ලියන්න තවත් හේතුවක් වූයේ, කෙනෙක් පූසෙක් බස් රථයක කිලෝ මීටර් 30ක් ගෙනයන්නේ කෙසේද යයි, “පූසන්ගේ පිටුවේ” ඇසීම වේ. මේ කතාව කියැවූ විට එය පහසු වනු ඇත.
මේ කියන්න යන්නේ, කිලෝ මීටර් 3300 ක දුරක් පූසෙක්, බල්ලෙක් හෝ කුරුල්ලෙක් ලංකාවට ගෙන යා හැකි ආකාරයයි. එනම් පිටරටක සිට ලංකාවට සතෙක් යවන ආකාරයයි. එහිදීද මගේ පූසී හෙවත්, රුසියානු සම්භවයකින් යුතු, “Miss Kioko Ginger” ඩුබායි සිට ලංකාවට යැවු ආකාරය කියමි. ඒකාට නම සහ වාසගම පැමිණි ආකාරය වෙනම කතාවකි.
ඔබ සිතන්නේ එය ලෙහෙසි පහසු දෙයක් කියාද ? කිසිසේත් නැත. කෝවිඩ් වසංගතය නිසා මිනිසුන්ට සිදු වී ඇති ව්යසනය ගැන විශේෂයෙන් කිව යුතු නැති බව ඔබ දනී. එහෙත් ඒ නිසා සුරතල් සතුන්ට සිදුවී ඇති ව්යසන වචනයෙන් කීමට නොහැකි තරම් දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරී ඇත. අයිතිකරුවන් නැති සුරතල් සතුන් ඉබාගාතේ යනවා දැකීම බොහෝ කණගාටුවට කරුණකි.
ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා යන විශාල වියදම මෙන්ම, උන්ව රට පැටවීමට අවශ්ය බොහෝ රෙගුලාසිද සම්පූර්ණ කල යුතු හෙයිණි. ඒවා ලෙහෙසි නැත. පිටරටක සිටින විටකදී සුරතල් සතෙක් ඇති කරනවා වුවද, ඒ සතා ඔබට එහි දමා එන්නට සිදු වුවහොත් එය විශාල දුකකි. ඒ නිසා මුලින්ම කිව යුත්තේ, ඒ ගැන දැනගෙන සතුන් හදන එක හොඳය යන්නය. ඔබ සිතනවාට වඩා ඒ සතුන් ඔබට සම්බන්ද වනු ඇත.
අවසානයේ ලංකාවට ඒ සතුන් ගෙනෙන්නට නොහැකි වී දුක් වෙනවාට වඩා සතුන් නොහදන එක වඩා හොඳය.
විශේෂයෙන් මේ වසංගත සමයේ රැකියා නැතිවී තමාට වත් ජීවත් වන්නට නොහැකිව ඉන්නා කෙනෙක්ට, සතෙක්ගේ බරද කරට ගන්නට නොහැක. ලංකාවේ නම් කමක් නැත. තණකොළ කා ළිඳකින් වතුර බීමට හැක. මැද පෙරදිග රටක නම් වැලි කා මුහුදු වතුර බොන්නට වනු ඇත. රැකියා නැති වී, පූසෙක් එවනවා තියා තමාටවත් ලංකාවට එන්නට නැතිව දුක් විඳින, “ඩයස් මී” ලා ඔබ කොතෙක්වත් දකින්නට ඇත. එය වෙනම කතාවකි.
ඔබේ සුරතල් සතා සඳහා නොයෙක් ආකාරයේ පරීක්ෂණ කරන්නට සත්ව ආයතන වලට යෑමට සිදු වීමත්, ඒවා සඳහා ගෙවිය යුතු මිළ ගණනත් කෙනෙක් සිතනවාට වඩා බොහෝ වැඩිය.
කෝවිඩ් කාලයේ රැකියාව නැති වී හෝ වෙළඳ ව්යාපාරය කඩා වැටී ඇත්නම් ඒ මුදල් ගෙවීමට හැකියාවක් නැති වනු ඇත. ඊටත් වඩා ගැටලුව වන්නේ මේ සංකීර්ණ ක්රියාවලිය සඳහා වෙලාව සොයා ගැනීමය. මේ නිසා මටත් රැකියාවට අදාළ තව රටකට යාමේ අවහිර බාධා ඇති වී, ආයතන ලොක්කාද මළ ඇණයක් විය.
දැන් අපි සතෙක් ලංකාවට ගෙනෙන්නේ කෙසේදැයි බලමු. මුලින්ම කල යුත්තේ මුල සිටම එන්නත් ලබා දීමය. ඒ වාර්ථා අවශ්ය වේ. ඊට අමතරව ඒ සතාගේ නිරෝගී ස්වභාවය වැදගත් වේ. සිංහළ පාරිභාෂික වචන සොයා ගැනීමට අපහසු හෙයින්, ඉංග්රීසි වචන යොදා ලියන්නට සිදුව ඇත. මේවා එකෙන් එක කීවොත් මෙසේ වේ.
1. සතා රටෙන් එළියට යවන අවස්ථාවේ කිසියම් ශරීර අඩුපාඩුවක් [Deformity] තිබිය යුතු නැත. බොහෝ කරුණාවන්ත උදවිය, අත පය, පිහාටු හෝ කකුල් කැඩී ඇති සතුන්ට කරුණාවෙන් කෑම බීම දී නිවසේ තබා ගනිති. එවැනි සතුන් ලංකාවට එවීමට නොහැක.
2. සතා අනෙක් රෝග ඇති වෙනත් සතුන් සමඟ මිශ්ර වී තිබිය යුතු නැත. ඒ අනුව, “Rabies”, “Aujeszky’s disease”, “Filariasis”, “Leptospirosis” යන රෝග, සතාව රටෙන් පිට යවන දිනයට මාස තුනකට පෙර නැති බවට සහතික තිබිය යුතුය. එනම් සතෙක් රටකින් ලංකාවට යවනවා නම් ඔබ අවම වශයෙන් මාස තුනකට පෙර එය සැලසුම් කල යුතු වේ. එනම් මාස තුනකට පෙර සිට සතාව නිදැල්ලේ යැවීම නැවැත්විය යුතු වේ.
[ඉහත කියන ලද රෝග ගැන විශේෂඥ දැනුමක් ලබා ගැනීම අනවශ්ය වුවද, ගූගලයේ ඒවා ලියා සාමාන්ය දැනුමක් ලබා ගැනීම වටී.]
3. සතාව රටෙන් එළියට යවන්නට දින තිහකට පෙර, “Heartworm [Dirofilaria Immitis] with[ELISA/PCR/Knott’s] පරීක්ෂණ කල යුතුය. [වියදම 710] . මේ පරීක්ෂණය නොකර ඒ මුදල ඉතිරි කල හැකි ආකාරය නම්, එම රටේ මේ රෝග නැති බවට සහතිකයක් ගැනීමය. [Country free states] ඒ සඳහා ඒ ඒ රටේ අදාළ ආයතන සම්බන්ද කරගත යුතුය. ඒවා ලෙහෙසි නැත. මේ කියන පරීක්ෂණය අමාරුවෙන් හෝ කර ගැනීම ඊට වඩා පහසුය.
4. සතාව රටෙන් එළියට යවන්නට දින තිහකට පෙර, “Felinepanieucopaenia & Rabies” නම් වන එන්නත් දින 30 කට ප්රථම සහ මාස 6කට පෙර අතර කාලයේ කර තිබිය යුතුය. [වියදම 350 ]
5. සතාගේ ශරීරයේ ‘මයික්රෝචිප්’ එකක් ඇතුළත් කර තිබිය යුතුය. එය තරමක් විස්තර කලොත් මෙසේ වේ. ඉන්ජෙක්ෂන් සිරින්ජරයක් වැනි දෙයකින් මේ චිප් එක සතාගේ ශරීරයට එන්නත් කෙරේ. එහි සතාගේ සියළුම විස්තර මෙන්ම අයිතිකරු/ අයිතිකාරියගේ විස්තර ද එහි ඇතුළත් වේ. මෙහි ඇති තවත් වාසියක් නම් සතා පැන ගියහොත් හෝ සොරු අරගෙන ගියහොත්, ස්කෑන් මගින් සතාව සොයා ගත හැකි වීමය. [වියදම 350]
අනෙක් දේ වන්නේ සතාව රටෙන් එළියට යවන විට, ගුවන් තොටුපලේ පොලීසිය විසින් සතාව ස්කෑන් කර යවන්නේ නිවැරදි සතාද යන අවසාන පරීක්ෂණය කරන බැවිනි.
සතෙක් ගේ බෙල්ලේ කුඩා පටියක් වුවද බැඳ පැය ගණනාවක් අහස් යානයේ තැබීම සතාට කරන හිංසාවක් මෙන් වුවද, ඒ සතාට හිමි අංකය සහිත පටිය බෙල්ලේ එල්ලා තැබිය යුතුය. ගුවන් යානයේ යන අතරතුර සතාව මත් කරන්නේ [Sedation] හෝ කෑම දෙන්නේ නැත. ඔබගේ අවසර ඇත්නම් ජලය පමණක් දෙනු ලැබේ.
අවසානයට සතාව රටෙන් පිටට යවන වෙලාවේ ඔබට ලැබෙන කොලයේ, Please give some water upon arrival සේ ලියන්න.
6. දැන් ඔබට සතා යැවිය යුතු කූඩුව ගැන කියමි. සතා නැගිට සිටින විට හිස ඒ පෙට්ටියේ ඉහළ වහළයේ ගෑවිය යුතු නැත. ඒ පෙට්ටිය IATA approved [IATA – International Air Transport Association] වර්ගයේ එකක් මිළට ගත යුතුය. [වියදම 300] එසේම එහි ජලය තැබිය හැකි කුඩා බඳුනක් සවි කර තැබීමේ හැකියාව තිබිය යුතුය. එහි දොරේ සිදුරු තිබිය යුතු නැත්තේ, පූසෙක් හෝ බල්ලෙක් නම් අත දමා ළඟ සිටින කෙනෙක්ට බරපතල තුවාල ඇති කල හැකි බැවිනි.
විශේෂයෙන් පූසන් සංවෘත ස්ථානයක තියා ඇති විට ඔවුන් ඉතා දරුණු වේ.
ඔබ කිසි සතෙක්ට හිරිහැර කලයුතු නැති වුවද, එසේ කරන්නට සිදු වුවහොත්, වසා ඇති කාමරයක සිට එය කිසිසේත් කල යුතු නැත. එසේ කල අවස්ථා වලදී පූසන් විසින් මිනිසුන් මැරූ අවස්ථාවන් වාර්ථා වී ඇත. මා මුලින් පූසන් ගැන ලියු ලිපි කියවන්න. බල්ලෝ මෙන් නොව, පූසා ඔබේ ස්වාමියා මිසෙක සේවකයා නොවේ. පූසා ඔබට ආදරේ නම්, ඒකා ඔබව ආරක්ෂා කරනු ඇත.
කුඩා දරුවෙක් හපන්න එන බල්ලෙක්ව එළවා එළවා හපා කමින්, තග් පාර්ට් දමන පූසෙක්ගෙ වීඩියෝව සමහරවිට ඔබ දකින්නට ඇත.
7. සතා ලංකාවට එවන්නට දින තුනකට පෙර, “COVID PCR” පරීක්ෂණය කල යුතුය. මෙය වැඩිම වියදමක් යන පරීක්ෂණය වේ. දින 1-3 අතරේ නම් 950 ක්, දින 3-5 අතරේ නම් 1990 ක් වේ. කාලය ඉතා සීමා සහිත වූ හෙයින්, එනම් තවත් රටකට යන්නට මට සිදු වූ හෙයින්ද 1990ක් ගෙව්වෙමි. [වියදම 1990]
8. තවත් පරීක්ෂණයක් වන, “Intestinal parasites using a broad spectrum anthelmintic” කල යුතුය. [වියදම 89]
9. රටෙන් රටට නීති කුඩා ප්රමාණයකින් වෙනස් විය හැකි වුවද, ඒ ඒ රටේ සතුන් සඳහා අදාළ ආයතනයෙන් සතාව රටෙන් පිට යැවීමට අවසර ගත යුතුය. එක්සත් අරාබි එමීර් රාජ්යයේ එම අවසරය සඳහා ඒ ආයතනය වූයේ, “The ministry of Climate change & Environment” විය. මුලින්ම රජයෙන් හඳුනා ගන්නා ලද සත්ව පරීක්ෂනාගාරයකින් අවසර ලබා, “Veterinary Health Certificate(Release)”
ඉන් පසු ‘ඔන් ලයින්’ ආකාරයෙන් දෙවන අවසරය [APH_HealthCertificateForExportOfLiveAnimals] ලබා ගත යුතුය.
[වියදම 442]
ඔබ ඉන් පසු එය ගුවන් තොටුපලේ කාගෝ අංශයේ සත්ව වෛද්යවරයාට පෙන්වා ඔහුගේ අත්සන ගත යුතුය. ඒ සඳහා සතාගේ මයික්රෝ චිප් එක ස්කෑන් කිරීමට එතනට රැගෙන යා යුතු වේ.
10. මේ සියළු දේ සිදුවන අතර, එයාර් ලයින් එකකට කතාකර, සතාව යවන දිනයක් ගත යුතුය. ඔවුන් ඉල්ලා සිටින අවශ්යතා සම්පූර්ණ වී තිබේද යන්න බැලිය යුතුය. විශේෂයෙන්ම ඉහත 9 කොටසේ කියන සහතිකය සහ කෝවිඩ් සහතිකය අනිවාර්ය වේ. අවසානයේ සතාව මේ සියළු සහතික සමඟ ගුවන් තොටුපළ වෙත රැගෙන විත්, කස්ටම් [වියදම 135] ,රේගු බදු, හැන්ඩ්ලින් සහ ගමන් බලපත් මිළ [වියදම 925] ගෙවිය යුතුය.
11. Department of Animal Production and Health, හී “Domestic_and_Wild_Animals_Application” අයදුම් පත පුරවා, ලංකාවේ “සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ” අවසාන අවසරය ලබා ගත යුතුය. එය නොමැතිව සතාව ලංකාවට එවිය නොහැක. මේ සඳහා මීටරය හෙවත්, සඥාපනය හෙවත්, සාමාන්ය දැනුම ඇති ලංකාවේ කෙනෙක් ඒ ඒ දෙපාර්තමේන්තු සමඟ සම්බන්ද විය යුතුය. ගුවන් තොටුපළ ගාස්තු ගෙවිය යුතුය.
[ලංකාවේ සියළුම වියදම රුපියල් 25,000 කට වැඩිවේ.]
12. මේ සියළු දේම වචන වලින් කියන්නට නොහැක. ඒ ඒ අවස්ථාවේ නොයෙක් ආකාරයේ ගැටළු පැන නැගෙනු ඇත. විශේෂයෙන්ම යම් යම් පරීක්ෂණ එක්තරා කාලයකට සීමා වන නිසා, කාලය කළමනාකරණයේ අපහසු ගැටළු ඇතිවන හෙයින්, දුර හිතා ඒවා සැලසුම් කල යුතුය. උදාහරණයක් සේ සැලසුම් කල අයුරෙන් එවන්නට නොහැකි වුවොත්, කෝවිඩ් පරීක්ෂණයට ගිය මුදල පමණක් වන රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අපතේ යනු ඇත.
සැමදාම ගුවන් ගමන්ද නැත. එසේ හෙයින්, “දැලි පිහියකින් කිරි කනවා” මෙන් ප්රවේශමෙන් මෙය කල යුතුය. ඊටත් වඩා හොඳ උපහැරණයක් වන්නේ, “කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙනි”, යන්නය. මක්නිසාදයත්, මෙහි බොහෝ පරාමිතික කාලය විෂයේ එකිනෙක නොගැටී තිබීමේ අවශ්යතාවය පවතින හෙයිණි. ඉතා හොඳ, ‘කාලය සඳහා වූ කළමනාකරණයක්’ අවශ්ය වේ.
කෙසේ වුවද, පිටරටක සිටින කෙනෙක්ට තමාගේ සුරතල් සතෙක් ලංකාවට යවන්නට මේ දළ මඟ පෙන්වීම ප්රයෝජනවත් වේ යයි සිතමි. ඉහත වියදම යන කොටසේ ඇති මිළ ඒකකය, “එක්සත් අරාබි ජනරජ ඩිරාම්” වේ. ඒ මිළ සහ, ලංකාවේ මිළ සියළුම එකතුව දළ වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ විය. දරුවෙක්ට මෙන් ආදරය කරන සුරතල් සතෙක්ට මිළක් නියම කරන්නට නොහැක.
එහෙත් වියදම් ලීවේ, කෙනෙක්ට තමන්ගේ බජට් එක බැලන්ස් කර ගැනීමට අදහසක් ලැබෙන අයුරෙනි.
මා විසින් විඳින ලද කරදර සහ වියදම් සියල්ල අමතක කර දමා, ලංකාවේ වාහනයක ඩෑෂ් බෝර්ඩ් එක උඩ ජින්ජර් රැජිනක් මෙන් යනවා ඔබ දකිනු ඇත. ඇය දැන් ඇයගේ ආදරණීයයන් සමඟ සිටී. මෙහි ඇති, ඇය එවූ, “ස්තුති පණිවිඩය” මට රටක් වටී. ජින්ජර් දැන් නැති නිසා, කරන්නට තව එකම එක දෙයක් පමණක් ඉතිරිව ඇත.
එනම් හරියටම උදේ පහමාරට වදින එලාම් ඔරලෝසුවක් ගැනීමය.
ජින්ජර් ලංකාවට එවූ පසු මගේ ජීවිතය වෙනස් විය. රටෙන් පිටවී ඉන්නා විට අල්ලපු ගෙදර රුසියානු පව්ලට ජින්ජර් භාර දීම අවශ්ය නැත. ෂර්ට් වල, කෝට් වල, ඇඳන් වල බළල් කෙස් නැත. තවදුරටත් මගේ වටිනා N95 මාස්ක් වල රබරි පටි කන්නට එකෙක් නැත. හෙඩ් ෆෝන් වයර්ද ආරක්ෂිතය. ජින්ජර්ට ආදරය කලද, බන්දුල මල්ලිගේ කොම්පියුටරයේ උණුසුම ලගින්නට හිඳ, පින්තුරයේ ආකාරයට ඔහුගේ වාර්ථා මකන්නට එකෙක් ඇත්තේද නැත.
පාද සෙලවෙන විට හපන්නට එකෙක් නැත. පිට මසාජ් කරන්නට එකෙක් නැත. බුදුන් වහන්සේට පුදන ලද ගිලන් පස වීදුරුවේ වතුර අඩුවන්නේ නැත. නිවාඩු දිනයක නහය ලෙවකා මාව නැගිට්ටවන්නට එකෙක්ද නැත.
එහෙත් ඒ සුන්දර “ඤාව් හඬ” තවදුරටත් සජීවීව ඇසෙන්නේ නැත.
උපුටා ගැනීම: Lalith Karunaratna