එවකට මා සේවය කලේ මොණරාගල දිස්ත්රික් මහ රෝහලේය. ඒ දෙදාස් දාහතර වසරයි.
දිවා සේවා මුරයට වඩා රාත්රී සේවා මුරය අධික වෙහෙසකරය. ඊට හේතුව රාත්රියට අපවෙත වැඩි වශයෙන් යොමුවන්නේ රිය අනතුරු, පහර දීම්, වලට ලක්වූවන් වැන්නන් නිසාය.
මීට අමතරව ඇතිමලේ ප්රදේශයෙන් රෝගියෙක් පැමිණියේ නම් බොහෝවිට වන අලි ප්රහාරයකි. නැතිනම් වෙඩි වැදීමකි.
මෙකී දවසේ රාත්රී එකොලහට පමණ වයස හතලිහක් පමණ වූ අයෙක් අප අංශයට ගෙන ආවේ අධික මොරගෑමකුත්, කළව ප්රදේශයේ විශාල රුධිර වහනයකුත් සමගය. විකිරණ ඉල්ලුම්පතේ ලියා තිබුන සායනික ඉතිහාසය වෙඩි වැදීමකි
“මෙයාට මොකද උනේ.?”
මම ඔහු රැගෙන පැමිනි අයෙකුගෙන් විමසීමි.
“ඌරන්ට බැඳපු වෙඩිල්ලක් වැදිලා මහත්තයා.”
බියපත්ව සිටි ඔහු පැවසීය
“කවුරු බැඳපු එකක්ද කියල දන්නවද.?”
“මෙයාම බැඳපු එකක් තමයි මහත්තය.මේ මගේ අයියා.”
ඔහුව පසෙකට කල මා මගේ රාජකාරී ඇරඹීමි. විකිරණ සේයාරුවක් ලබාගැනීමේදී ලබාගන්නා කොටසේ ඇති සියලුම ලෝහ ද්රව්ය එනම් කටු, සුර, මාල, මුදු ඉවත් කල යුතුය. එමනිසා ඔහුගේ උකුලේ සිට දණිහිස දක්වා එවන් යමක් ඇත්දැයි විමසා සිටියෙමි
“ඔව් මහත්තයෝ.ගාතෙ බැඳපු සුරයක් තියනවා. අම්මෝ වේදනායී…”
ඔහු තතන තතනා එසේ කීවේ අධික වේදනාවකින් පෙලෙමිනි. ඔහුගේ කකුල කළවය ආසන්නයෙන් කීප පොලකට කැඩී ඇති බව බැලු බැල්මට කිවහැකිය.
කිව්වා සේම ඔහුගේ කළවයේ බැඳ ඇති කුඩා සුරයකි. කුකුස නිසාම මා ඒ පිළිබඳව ඔහුගෙන් විමසා සිටියෙමි.
“ඇයි තාත්ත මේ සුරයක් කකුලෙ බැඳල තියෙන්නෙ.අපල වලටද.?”
ඔහු වචන පටලමින් පැවසුවේ මෙයය
“නෑ මහත්තයා ඕක වෙඩි වදින්නැතිවෙන්න ජීවම් කරපු සුරයක්. අම්මෝ බෑ… අද මට කිල්ලක් අහුවෙලා. ඒකයි වෙඩි වැදුනෙ. නැත්තන් මෙච්චර කාලෙකට ඕක තමයි මාව ආරස්සා කරේ හයියෝහ්…”
ඉන් එහාට මම ඔහුත් සමග වචනයකුදු කතා නොකලෙමි.
මිත්යාව වැජඹෙන සමාජයක එමගින් තමන්ටත් සමාජයටත් කරගන්නා විනාශය අති මහත් ය. මේ එක් කුඩා උදාහරණයක් පමණි.
උපුටා ගැනීම : Ishara Wanasuriya