මේක කියවන ඇත්තෝ කාට කාටත් පොඩි ඈයන්ට පත බෑවෙන කෙනහෙලිකම් ඉවසා වදාරගෙන ඉක්මනට ලොකු වෙන්ට දගලපු පුංචි සන්ධියක් නොතිබ්බා නොවෙනේ.. මාත් ඉතින් පොඩිහිටියා කාලේ හරි හරියට බාල්දි පෙරලගත්තු මනුස්සයෙක්. ( දැන් කියලත් මහ ලොකු වෙනසක් නෑ මිත්රවරුනි ) කොහොම නමුත් මගේ උපතින්ම ලත් ගුටි කන මූණ මෙව්වට මදි නොකියන්ට සම්මාදම් වුණා කියල නම් ඔන්න මට හොදාකාරවම කිව්වැහැකි…
යටගිය දවස පැපොල්වත්පුර මංතුමී ශිල්ප ශාස්ත්ර හදාරන කල්හී රෑට හදත් නොපෑව්ව අමාවක දහවලක මං ගියා ආයුබොවන්ට එළිපහළියෙ සංචාරෙක. ඉන්ටවල් එකේ අපෙ කුඩා ඇත්තෝ ඇත්තියෝ කොහොඹා යක් කංකාරිය නටන්නා වාගේ…
දොං දොමිකිට නැටුම් නටති. එහෙට මෙහෙට දුවති පනිති. දුවන් ඇවිත් ඇගේ හැපෙති. කොක්හඩලා සිනා මවති. මාත් ඉතින් තත්ත තරි තරි කියලා උඩට පැනපි. බිමට පැනපි. මං පාඩුවෙ ආතල් ගමි.
ඔය ඉන්න අල්ල පනල්ලේ ඒක් පැත්ත හැරිලා මේක් පැත්ත හැරෙන ඩිංගට පුංචි පිට මැද්දට හස්ත ප්රහාරයක් වැදුණයි කියහල්ලකො.
අනේ ඉතින් ඔය අත් පොඩිත්තෙ චාලක ශක්තියෙන් කොටසක් ඩෝං දඩෝං ගාලා ධ්වනි ශක්තිය විදිහට හානි වෙලා ඉතිරි භාගෙ මගේ අහිංසක වේදනා ප්රතිග්රාහක ටික උත්තේජනය කොරල ස්නායු ආවේගයක් ජනනය කරන පුණ්යකර්මයටත් අනුමෝදන් වුණා. මිලි තත්පර ගානකින් ආවේගෙ ගොහින් මගෙ මොළ ඩිංගට.
ටාං ටීං ටූං … බෙල් එක පත්තු වෙච්චි. මට යක්සාරූඪ වෙච්චි. “කවුද අඩේ මට ගහන්නේ… ඉදපන් මං තොට අද…ගනු කඩුව.. එනු සටනට.. දෙනු හොක්කට.. ” කියලා මාත් හැරුණා පිටිපස්සට. මෙන්න ඉදපි සීදේවි මූණැති උස සුදු දිගංචි කොලු ගැටයෙක්. “ඇයි ඇයි මොකද ඈ..” උන්දැ අහපි. අනේ ඉතිම් කොහොමැයි ඔයි මූණ බලං බනින්නෙ මං. “අනේම් මුම්කුත් නෑම්…(ඉම්හි ඉම්හි..)” ඔන්න ඔහොමයි මිත්රවරුනි අපෙ කතානායකයා මට ගුටි කන නැකතකදි ඉස් ඉස්සෙලාම මුලිච්චිවෙන්නේ.
බත් එකේ කරවලයක් වැරදුන් නැති අපි මෙ උන්දෑට ‘සූඩයියා’ යැයි නම් තබමු. ඔන්න ඉතින් සූඩයියායි මායි එක පන්තියේ. රතු කට්ට පන්නගෙන දුම් කෝච්චිය වගේ දුම් දම දම ඉන්න සූඩයියා කොයිවෙලේ බැලුවත් ගවුමක් එක්කල වලියක්. නැත්තන් ගුටි කෙලියක්. මටත් ඉතින් ඉදල හිටල දිට්ටධම්මවේදනීය කරුමෙ වගේ වලියකට සෙට් වුණාම මදි නොකියන්ට සම්බුව හම්බවෙනවා.
අපේ ටීචර් තොමෝ මොකෝ කොරන්නේ දවසක සුභ මුහුර්තයක් හෙම බලා කියාගෙන මහෝශධ පඩිතුමාගේ නුවණින් කල්පනා කොට බලා පරස්පර ලක්ෂණැති දරුවන් යුගල් කොට වඩා හිදුවාලති. අනේ වාසනාවන්.. මටත් හම්බවෙච්චි ටොපියක් ! සූඩයියායි මායි එක ඩෙස් එකේ. මුන්දැගෙ දස වද ඉවසපල්ලකො දැන්…
ඔන්න දවසක් සූඩයියායි මායි ගනන් හදනවා. දෙකෙන් බෙදිලි තුනෙන් බෙදිලි .. ගනන් වැඩ කෝටියයි. හිටපු ගමන් මේකා මගෙ ඔලුව දිහා බලාන පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හිනා වෙච්චි. ඒ ගමන් කියාපි “ශා ..ලස්සන කොණ්ඩ කට්ටක් අහ්”කියලා. මාත් හීන් සීරුවේ ඔලුව අතගාල බලපි. මෙන්නෙ බොලේ මකුළු පැටියෙක් මගෙ ඔලු ගෙඩිය උඩ. අනේ ඇත්තමයි දෙයියනේ මං දැන් නම් මේ සූඩයියාව ගිහින් දානව කරෝල වාඩියකට. බල, කට්ට කරවල ,කීලං, මුහුදු කුකුළා, බොම්බිලි…මට ඉතින් සූඩයියගෙ හත් මුතු පරම්පරාවම මතක් වෙනවා ඔය අස්සේ. අද නං නෙලන එක නෙලනවා කියල නැගිට්ටට මොකෝ සිරිමත් වගේ මට ගැරඩියෙක්ට ගහල පව් පුරෝගන්ට බෑ නොවැ. හ්ම්….
කොහොම නමුත් අවුරුදු ගානක් එකටම ඉදලා සූඩයියා මට කාටත් වැඩිය පොඩ්ඩක් ලෙන්ගතුයි ආයුබොවන්ඩ. කාලය මැවු වෙනසක අරුමේ කිව්වලු. අපි සිස්සත්ත පන්තියෙ ඉන්න කාලෙ දවසක මං අරන් ගියා අලුත් බෑග් කට්ටක්. බෑග් රාජයාව පුටු කෑල්ලෙ වඩා හිදුවලා මං එළි බැස්සා රෝන්දයක් ගහන්ටය කියලා. වටේ තියෙන ඕපදූප පල් හෑලිත් හොයාගෙන සෙල්ලම් බතුත් උයාගෙන පොල්පිති ක්රිකට් ගහනවත් බලාන ඉදලා ආයෙ එනකොට මේන් බොලේ බෑග් කට්ට නෑයි කියාපි.. වටේට උකුසු ඇහැ දාලා අන්තිමට හොයාගත්තෙ ළඟ පාත පන්තියකින්. සූඩයියා මොකෝ කොරල තියෙන්නේ “මගෙ යාළුවගෙ පුටුව උඩින් කවුද වෙන වෙන බෑග් තිබ්බෙ” කියලා මගෙ අලුත් බෑග් කෑල්ල අල්ලලා වීසික්කා කරලා. අනේ ඉතින් මුන්දැට මං ගැන තිබ්බ කරුණාවක්..සතුටට තනි ඇහැට කදුලුත් පැන්නා..
කාලෙත් එක්ක අපි සිස්සත්වෙත් ලියලා මං ගොඩවුණා බාලිකා පාසලකට. සූඩයියා කොහෙද ඉතින් එහෙ?.. හරි සාංකාවයි.. පාළුත් එක්කල. ළඟ නැති කොටනෙ අගේ දැනෙන්නෙ කිව්වලු .
අවුරුදු ගාණකින් මුන්දැව ඇහැට නොදැක්ක මං මේ ළඟකදි පාරෙ යද්දි මෙන්න ඉන්නව මූ. අප්පදබොල දැන් ගජ ඉලංදාරියෙක් නොවැ. මේ අපේ සූඩයියාමද? ඒ කෝකටත් කියල මං ගොළුබෙල්ලා වගේ ලිස්සලා ගියා ඔතනින්. කවුද දන්නෙ පොඩි කාලෙ වගේ සම්බුව හම්බවෙයිද කියලා..හැබැයි ඉතින් දැන් ඉටි රූපෙ වගේ ඉන්න මුන්දැව දැක්කහම තමා හිතෙන්නේ “මට මගේ නොවුණු මගේම සූඩයියෙක් හිටියාදෝ” කියලා…
චතුරිකා අබේසේකර