මේ දවස්වල ගොඩාක් දෙනෙක්ට හුරු පුරුදු වචනයක් තමයි “ස්වයං නිරෝධායනය” කියන්නේ. හරියට “ස්වයං නිරෝධානය” වෙන්න නම් ඒ කෙනා තුළ “ස්වං විනයක්” තියෙන්න ඕනේ. ඒත් අපි බොහෝ දෙනෙකුටත් නැත්තේ මේ ස්වයං විනයම තමා. අද ස්වයං නිරෝධානය වෙන අයට තියෙන එකම විනෝදේ තමා පී.එච්.අයි. මහත්තයට කොකා පෙන්නලා ගම පුරාම ඇවිදින එක. ඒත් මම මේ කියන්න යන්නේ ස්වං විනයක් සහිතව ස්වයං නිරෝධානය වෙලා මිනිස්සු දහස් ගණනක් බේරගත්තු පුංචි ගමක් ගැන.
ලෝක ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ වඩාත් මාරාන්තිකම වසංගතය තමයි “කළු මරණය” එහෙමත් නැතිනම් “බ්ලැක් ඩෙත්” කියන්නේ. අපි සිංහලෙන් මහාමාරිය කියලා කියන්නේ ඔය ලෙඩේට. 1346-1353 අතර කාලය තුළ ඇෆ්රෝ-යූරෝආසියව තුළ පැතිර ගිය මහාමාරිය වසංගතය නිසා යුරෝ ආසියාවේ මිනිස්සු මිලියන 75-200 ත් ගණනක් මියගියා. ඒ කාලේ ලෝක ජනගහණයට සාපේක්ෂව හතරෙන් එකක්.
මහාමාරිය හැදෙන්නේ කළු පාට මීයන්ගේ ශරීරයේ ජීවත් වන (Yersinia pestis) කියන බැක්ටීරියාවෙන්. මේ ලෙඩේ හැදුණු අයගේ ඉකිලි, බෙල්ල සහ කිහිල්ල වගේ ප්රදේශවල කළු පාට කුද්දැටි වගේ ගෙඩි දානවා. පස්සේ මේවා පුපුරා සැරව එළියට ගලනවා. මහමාරිය හැදුණු රෝගියෙක් ජීවත් වෙන උපරිම කාලය දින 8 යි.
1353 අවුරුද්දෙදි මහාමාරිය වසංගතය පහ වෙලා ගියත් තවත් අවුරුදු 200 ක් විතර යන කම් යුරෝපයේ නොයෙක් රටවල්වලින් කාලයෙන් කාලයට මහාමාරිය ඉස්මතු වුණා. මහාමාරිය කියන්නේ ඉතාමත් ඉක්මනින් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවෙන මාරාන්තික රෝගයක්. ඒකට බෙහෙත් තිබ්බේ නැහැ. ඉතින් ගෙදරක කාටහරි මහාමාරිය හැදුණාම ගෙදර අනෙක් අය කරන්නේ ලෙඩාව ගෙදර තනිකරලා දාලා ගමෙන් පිටමන් වෙලා යන එක. ගමේ අනෙක් අයත් කරන්නේ ගම අතහැරලා දාලා වෙනත් ගමකට පදිංචියට යන එක. මේ විදිහට යන අයගෙන් සමහරක් ඒ වෙද්දිත් මහාමාරිය ගොදුරු වෙලා හිටියා. ඉතින් ඒ අය වෙනත් ගමකට ගියාම ඒ ගමටත් ලෙඩේ ඇතුළු වුණා. මේ විදිහට මුළු ගම් පිටින් මහාමාරිය හැදිලා මැරිලා ගියා.
1665 අවුරුද්දේ ගිම්හාන කාලය එංගලන්තයට ආවේ මහාමාරිය රෝගයත් අරගෙන. දවසින් දවස් ගම් පිටින් මේ රෝගයට ගොදුරු වුණා. ඒ අවුරුද්දේ එක දවසක එංගලන්තයේ ඉයෑම් කියන පුංචි ගම්මානයේ ඉන්නේ ඇඳුම් මසන්නෙකු වූ ඇලෙක්සැන්ඩර් හැඩ්ෆීල්ඩ් ගේ නමට ලන්ඩනයේ ඉඳලා ඇඳුම් පාර්සලයක් ලැබුණා.
ඔහු මේ ඇඳුම් පාර්සලය විවෘත කරන්නේ නැතිව පැත්තකට දාලා තිබ්බා. හැඩ්ෆීල්ඩ් සහායකයා තමයි ජෝර්ජ් විකාර්ස් කියන්නේ. මේ ඇඳුම් පාර්සලය තෙමිලා තියෙන බව ඔහු දැක්කා. ඔහු ඒ පාර්සලය විවෘත කරලා ඒකේ තිබ්බ ඇඳුම් වේලෙන්න දැම්මා. මේ ඇඳුම්වල මහාමාරිය ට හේතුවන බැක්ටීරියාව තියෙනවා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ.
ඊට දින කිහිපයකට පස්සේ, හරියටම කිව්වොත් 1665 සැප්තැම්බර් 7 වැනිදා විකාර්ස් මියගියා. විකාර්ස් ගේ මරණයෙන් දින කිහිපයකට පස්සේ ගමේ ගෙවල්වල එකා දෙන්නා මහාමාරිය නිසා මැරෙන්න ගත්තා.
රෝගය ටිකෙන් ටික ඉයෑම් නරගය ආක්රමණය කළා. කරන්න දෙයක් නොදැන හිටපු ඉයෑම් ගම්වැසියෝ ගමේ නායකකම පල්ලියේ දේවගැතිවරයා වූ විලියම් මොම්පෙසන් පියතුමාට බාර කළා.
ගමෙන් පිටවෙලා වෙන ගමකට ගිහින් ජීවිතය බේරාගමු කියලා තමයි ගමේ බහුතරයක් දෙනා මොම්පෙසන් පියතුමාගෙන් ඉල්ලා හිටියේ. ඒත් මොම්පෙසන් පියතුමා සහ ඔහුගේ සහායකයා වශයෙන් හිටපු තෝමස් ස්ටැන්ලි පියතුමා ඒ ඉල්ලීමට කීයටවත් කැමැති වුණේ නැහැ.
ගම අතහැරලා දාලා අල්ලපු ගමට ගියොත් ඒ ගමේ මිනිස්සුත් මහාමාරියට ගොදුරු වෙනවා කියලා මොම්පෙසන් පියතුමා ගම්වැසියන්ට පෙන්නලා දුන්නා. ඒ විදිහට පළාතේ හැම ගමකට රෝගය පැතිර යන්න පුලුවන් කියලා එතුමා කිව්වා. තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා තවත් ගම් කීපයක මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න මේ පියතුමා කැමැති වුණේ නැහැ. අවසානයේදී ගම්මු පියතුමා හරියි කියලා පිළිගත්තා.
ගම තුළ රෝගය පාලනය කරන්න වගේම, ගමෙන් පිටට රෝගය පැතිර නොයන්නත් ඔහු නොයෙකුත් ක්රියාමාර්ග ඔහු ඉයෑම් ගම ඇතුළේ ක්රියාත්මක කළා. ගමේ ගෙදරක කවුරුහරි මියගියාම ඔහුගේ හෝ ඇයගේ සිරුර වෙන කිසිවෙකුගේ සහභාගීත්වයක් නැතිව පවුලේ අය විසින්ම භූමදානය කළ යුතු බවට මොම්පෙසන් පියතුමා නියෝග කළා. මේ තීරණය නිසා තමන් ආදරය කළ අයගේ මිනීවළ තමන්ගේ අතින් කපන්න ඉයෑම් ගමේ මිනිස්සුන්ට සිද්ධ වුණා. ඉරිදා දේව මෙහෙය දේවස්ථානයේ තියෙන්නේ නැතිව ඉඩකඩ ඇති තැනක තියන්න ඔහු කටයුතු යෙදුවා. එක ගෙදරකින් තව ගෙදරකට යන එක නැවැත්තුවා. එවිට ගම්වැසියෝ අතර සමාජ දුරස්ථාභාවය ආරක්ෂා වුණා.
ඒත් ඔහු කරපු නුවනක්කාරම වැඩේ තමයි රෝගය තව දුරටත් පැතිරෙන එක පාලනය කරන්න මුළු ගමම ස්වයං නිරෝධායන කලාපයක් බවට පත් කරපු එක. විශාල ගල් කුට්ටි ගම වටේම තියලා ඔහු ගමේ සීමාව සළකුණු කළා. ඒ සීමාවෙන් පිටට ඉයෑම් වැසියන්ට යාම තහනම් කළා. එතකොට අවට ගම්වලට අය දැනගත්තා මේ ගමේ බෝවෙන රෝගයක් තියෙනවා. ඔවුන් කිසිම විටෙක මේ ගල් වැටි මායිම පහුකරන් ආවේ නැහැ.
ඉයෑම් ගම්වැසියෝ වගේම අවට ගම්වැසියොත් මනුස්සකම පිරිණු මිනිස්සු. ඒ නිසා අහළ පහළ ගම්වල අය ඉයෑම් ගමේ මිනිස්සුන්ව අමතක කළේ නැහැ. ඒ ගම්වල හිටපු වෙළෙන්දෝ ඉයෑම් ගම් වැසියන්ට ඕනෑ කරන කෑම බීම සහ ඖෂධ අරගෙන ඇවිත් අර ගල් කුට්ටි උඩ තියලා ගියා. මේවට මුදල් ගෙවන්න ඉයෑම් ගමේ මිනිස්සු අලුත් විදිහක් හොයා ගත්තා. ඔවුන් ගමේ සීමාවේ ළිඳක් තරමක ලොකු වළවල් කපලා ඒවා විනාකිරිවලින් පිරෙවුවා. පුරවලා ඒවට කාසි දැම්මා. එහෙම කළේ විනාකිරි ඒ කාලේ විෂබීජ නාශකයක් විදිහට යොදාගත්ත නිසා. වෙළෙන්දෝ තමන් ගෙනාපු බඩු ගල් උඩ තියලා ඒවට සරිලන මුදල අර විනාකිරි ළිඳෙන් අරගෙන ගියා.
ඉයෑම් ගමේ මහාමාරිය වසංගතය මාස 14 ක් වගේ දීර්ඝ කාලයක් තිබ්බා. වසංගතයට කලින් ගමේ මිනිස්සු 350 ක් හිටියා. රෝගය නිසා අඩුම තරමේ 263 දෙනෙක්වත් මියගියා. අන්තිම මරණය සිද්ධ වුණේ 1666 නොවැම්බර් 1 වැනිදා. ඔහු නමින් ඒබ්රහම් මෝර්ටන්.
එංගලන්තයේ ඩර්බිෂයර් ඩේල් හි පීක් දිස්ත්රික්ක ජාතික උද්යානය ඇතුලේ පිහිටි මේ අපූරු ගමේ යම් යම් මතක සටහන් අදටත් ඉතිරි වෙලා තියෙනවා. ගමේ කුඩා දේවස්ථානය, ගමේ සීමාව ලකුණු කළ ගල් කුට්ටි කිහිපයක් සහ එදා ඉයෑම් වැසියන් කෑම බීමවලට ගෙවීම සඳහා මුදල් දැමූ විනාකිරි ළිඳක්ද අද ඉයෑම් ගමට ගියොත් බලාගන්න පුලුවන්. මේ ළිඳ දැන් හැඳින්වෙන්නේ මොම්පෙසන් ළිඳ කියලා. සෑම වසරකම සංචාරකයෝ දහස් ගණනක් ඉයෑම් ගම බලන්න එනවා. ඒ එන අය සිරිතක් විදිහට මොපෙසාන් ළිඳට කාසි දාලා ඉයෑම් ගම්වැසියන්ගේ ආත්මය සැපවත් වෙන්න කියලා දෙවියන් යදිනවා.
– අනිල් කරුණාරත්න –