ටැලිපෝං (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කතාවක් තියනවනේ වඳුරට දැලිපිහිය හම්බවුනත් එකයි , වඳුරා පලංචියට නැග්ගත් එකයි, වඳුරන්ට ගෑණු නානවා පෙනුනත් එකයි, වඳුරා සරුංගෝල ඇරියත් එකයි කියලා. අන්තිමට වෙන්නෙ හත්පොලේ ගාගෙන, කපාගෙන, කුඤ්ඤෙට අහුවෙලා කෑගහන්නෙ වඳුරමයි. වඳුරන්ගේ පැවත එන අය නිසා අපේ මුල අපිට හොඳට මතක තිබුණ නිසා අපිටත් වෙන්නෙම එහෙම එව්වාමයි. මීට වසර දහයකට කලින් වෙච්ච අලකලංචි කීපයක් මේ. හැබැයි වදුරට දැලි පිහිය උනාට මේ සේරටම මුල ටැලිෆෝන් එක නොහොත් තෙලබණුව හෙවත් දුරකථනය.මේ කතා දෙකම ඒවගේ.
මුල් ඇඳුම
ඔන්න අපේ එකෙක් අපි සෙට් එකේ පලවෙනියටන වෙඩින් එකක් බඳින්න ලෑස්ති වෙච්ච එකා නිසා අපිත් දන ගත්තා වෙඩිමකට ලෑස්ති වෙනවට වඩා ලේසී හඳපානේ වහුං වෙන එක කියලා.උන් දෙන්නා වෙඩිම ඉවර වෙද්දි කිලෝමීටර් තිස් දාහක් විතර සැලුන් වලට හෝටල් වලට, රෙදි කඩ, ජුවලරි සාප්පු , වෙඩිං කාඩ් ගන්න තැන්වලට බඩ ගාලා තිබ්බ.කොටින්ම හනී මූං යන හෝටලේටම වෙඩිමට කලින් උන් ගියා පස් පාරක් විතර.
මිනිහගේ මනමාලි සහ ඒ පවුලේ අය නැකැත්, දේවාල , හදි හූනියම් ඉස්මුදුනින් පිලිගන්න අය. බදින්න කලින් හැම සති අන්තෙම උන් ඇවිදින්න යනවා. අනික් ජෝඩු වගේ සිනමා සාලාවකට, බීච් එකකට, පාක් එකකට රූම් එකකට නෙමෙයි කොහේ හරි දේවාලෙකට, අන්ජනම් කාරයෙක් ලඟට. යාලුවා හැමදාම හවසට හඳුන් කූරු සුවඳ පලතුරු කෑලී කවරයක් අරන් බෝඩිමට එනවා. වතාවක් මං රණාල පැත්තේ ලියක් බලන්න ගිහින් එද්දි මේ යකෝ මුං දෙන්නා පූජාවට්ටි කඩේක පූජාවට්ටි තෝරනවා. කොහොම හරි ඌට බඳින්න කලින් නොන්චිපූට්ටුවක් ගස්සලා කිරිකොරහා නටවපු නැති එක ඇරෙන්න අනික් සේරම කෙරෙව්වා.
දැන් අපේ මෑන් වෙඩිමට ලෑස්ති වෙලා ,බෝඩිමේ තව එකෙක් උගේ බෙස්ට් මෑන්ස්. දෙන්නම අඳින්නෙ මුල් ඇඳුමලු. අන්දවන්න ලංකාවේ පුරසිද්දර මුල් ඇඳුම් සාප්පුවකින්. ඒ නිසාම සති දෙකක් පේවෙලා , හාල් මැස්සෙක් මස් මාලු නොකා හොදි පොඩ්ඩක් විතරක් කා සුරා සූජුවෙන් තොර වෙලා අපේ ඩබල තපස් රකිනවා. අපිටත් නිදහසේ අඩියක් ගහන්ඩ නෑ අදෝනාව වස් වදී කියලා.
අමුතුවෙන් වස් වදින්නේ මොටද බැන්දට පස්සෙ වස් වසන්න තමයි වෙන්නෙ කියලා කියන්න හිතුනට අපි කිව්වෙ නෑ ඒ ගෑල්ලමයා ඒ තරම් අපිට දිරවූයේ නෑ .එයාට නං අපිව කොහොමත් දිරවන්නෙ නෑ .
ඔන්න දවසක් ඔහොම ඉද්දි අපේ ඔලුවට ආවා කුප්ප අදහසක්. ගත්තා අපේ මනුස්සයා ගේ අනාගත මනමාලිගේ ගෙදරට කෝල් එකක් ලෑන්ඩ්ෆෝන් නිසා නම්බරේ පේන්නේ නෑ කියලා අපි දැනන් හිටියා
“හෙලෝ ගුඩ් ඊවිනින්ං මැඩම්”
“ගුඩ් ඊවිනිං හූ ඉස් දිස් ?”
පලවෙනි කඩු පහර එල්ල උනා. අපි බාසාව මාරු කලා.
“මිස් මම කතා කරන්නෙ මුල් ඇඳුම් සාප්පුවෙන් ”
“ආනේ මම මේ කෝල් කරන්න හිටියේ මේ ටිකේම සෝ බිසී..නො”
“අනේ ඒකට කමක් නෑ මිස්. මිස් දැන් සර් අපි කිව්ව විදියට පේවෙලා නේද මේ කටයුතු කරන්නෙ?”
“ඔව් අනේ ඔව්. ඒ ගැන කිසිම දේකට වොරි වෙන්න එපා.උන්බලකඩ කෑල්ලක් වත් කන්නෙ නැහැ”
“හරි මිස්. මොකද විහිලුවට ගත්තාම වස් දොස් වදිනවා… එහෙම වෙල බැඳල මාස හය ය්න්න කලින් ඩිවොස් වෙච්ච කපලස් ඉන්නවා ඕන තරම්”
“අනික මිස් බඳින්න කලින් ඔය සර්ගේ ඔෆිස් එකේ පාටි එහෙම දෙනවනේ, ඒ නිසා ඒ කන බොන තැන්වලට එහෙම යවන්න එපා මිස්. අන්තිම නරකයි”
අපි එහෙම කිව්වේ ඊට කලින්දා මිනිහට ඔෆිස් එකේ සගයෝ පොඩි පාටියක් දුන්න බව දන්න නිසා.
අපේ එකාගේ තාත්වික කතාවට කොයිතරම් ඇන්දිලාද කිව්වා නම් ගෑණිට හුස්ම ගන්න එකත් අමතක උනා.
“අනේ ඇත්තද? දැන එතකොට පොඩ්ඩක් හරි වස් වැදිලා නම් මොකද කරන්නෙ?
“මිස් වහාම පන්සල් එක්ක ගිහින් පැන් කල විසි එකකින් සර් ලවා බෝදිය නාවලා ගිතෙල් පහන් විසි එකක් පත්තු කරවන්න. කපුරු එක්ක බුලත්කොල උඩ තියලා.”
ඒවා ලණු නෙමෙයි පොල් ලෙලි. තලලා වේලලා ලණුව ඇඹරගෙන ගිලින්න තියෙන්නෙ.
“මිස් මම කතා කලේ ඒකට නම් නෙමෙයි මිස්.”
“එහෙනම් ?”
“දැන් සර් මුල් ඇඳුම අදිනවනෙ…. ”
“ඔව්…එයා විතරක් නෙමෙයි බෙස්ට් මන් අඳින්නෙත් ඒක.”
“ඔව් මිස්. එතකොට ම්ස් සර් ගේ ඉණට ලණුවක් දාලද තියෙන්නෙ?”
” එක්ස්ක්‍යුස් මී… මට තේරුණේ නෑ…”
“දැන් සර් ගේ ඉණට ලණුවක් දාලද තියෙන්නෙ මිස්”
“ඇයි ලණුවක් ?”
“නෑ මිස්… සාම්ප්‍රදායික මුල් ඇඳුම නේදා මිස්ලට වෙඩින් එකට අදින්න ඕන?”
“ඔව්.. ඔව්.”
“ඉතින් ම්ස් සිංහල මුල් ඇදුම කියන්නෙ අමුඩෙ නේ…අමුඩේ ගහන්න ඉණට ලනුවක් ඕන නැත්නම් අමුඩේ රඳවන්නෙ මොකේද….”
දඩාංං… ගාලා සද්දයක් ආවා… කෝල් එක කට් උනා. අන්න එහෙමයි මුල් අඳුම් කඩෙන් කතා කලේ…
ඒ කතාව එක්කම මේ මට ආපු කෝල් එකක්.. ඒකත් කියවගෙනම යමු.
උම්බෑ
මං වර්තුසා එකේ රස්සාවට යද්දි මට උපාධියක් තිබ්බෙ නෑ. ඉතිං Industrial trainee කියලා තමා අපිව මාස තුනක පුහුණුවකට රස්සාවට ගත්තේ.පඩිය මුල් මාසෙ රුපියල් අටදාස් පන්සීයක් වගේ. මං මාර්තු මාසෙක වැඩට ගිය නිසා පලවෙනි පඩිය ගත්තේ අලුත් අවුරුදු කිට්ටුව.
මට තාම මතකයි මගේ වියදමට එක්දාස් පන්සීයක් සාක්කුවෙ දාගෙන අනික් සලි වලින් ගෙදර අම්මලා තාත්තා ඇතුලු බාප්පලා පුංචි අම්මලා සේරටම සරම්,ගවුම් රෙදි තාත්තා ට සරමයි කමිසෙයිත් අරන් මල්ලක් එල්ලගෙන මේ ලෝකේ එදා දවසේ උන්න වඩාත් සංතෝෂයෙන් ජීවත් වෙන මනුස්සයා විදියට කඩුවෙලින් බලංගොඩ බස් එකක නැඟලා ගෙදර ආව විදිය. කොටින්ම ජීවිතේ අතලොස්සක් වූ සුන්දර දවස් වලින් එකක්.ගෙදර අයටත් සතුටුයි. තාත්තලාගේ පරම්පරාවෙන් කන්තෝරුවක රස්සාවට ගිහිපු පලවෙනිම මනුස්සයා නිසා මට රජ සැලකිලි.
ඔන්න ඔය විදියට මස කීපයක් ගෙවිලා පුහුණු කාලෙත් ඉවරවෙලා අපිව යවනවා කණ්ඩායමක් හැටියට මාලඹේ මිලේනියම් අයි ටී එකට වැඩට. ඒක තිබ්බෙ අපේ බෝඩිමේ අල්ලපු වැටේ. ඉතිං හෙන ගැම්මෙන් තමයි වැඩට යන්නෙ. රතුපාට කලුපාට ටැග් දෙකක් එල්ලගෙන සෑහෙන උජාරුවට යනවා. ඊට හපං ඒකේ කෑම. කැන්ටිම කලේ හොටෙල් කෝපරේශන් එකෙන් නිසාත් (මතක හැටියට) මිලේනියම් එකේ පොරක් වෙච්ච මගේ බෝඩිමා උන රංග අයියා නිසාත් ඒක මිනිහා එක්කම ගිහින් බඩපැලෙන්න කාලා බීලා එනවා, අන්න එහෙම ඇවිල්ලා පුටුව රත් කරකරා ඉන්නකොට මගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනවා. නම්බරය වර්තුසා එකෙන්.
“හෙලෝ… මිස්ටර් නදීර ප්‍රේමසිරි?”
“ඔව් සර්”
“නදීර මම HR එකෙන් —- කතා කරන්නෙ.. මේ වෙලාවේ කතා කරන්න පුලුවන්ද?”
“පුලුවන් සර් ඇයිද දන්නෙ නෑ”
මගේ පපුව ගැහෙන්න ගත්තා.
“මිස්ට නදීර දන්නවනේ අපේ කම්පනි පොලිසි එක…. මිනිමම් ඩිග්‍රී එකක් නැතුව අපි කෙනෙක්ව පර්මනන්ට් කරන්නෙ නෑ. ඒවගේම මාස හයකට වඩා ට්‍රේනී කෙනෙක් තියාගන්නත් බැහැ.”
“ඔ….ව් ස…ර්. දන්නවා”
ඉතිං මිස්ට නදීර අපිට අකමැත්තෙන් උනත් සිද්ද වෙනව ඔයාට රිසයින් වෙන්න කියන්න…”
“දැන්මම එන්න පුලුවන්ද ඔරායන් සිටි එකට…?”
“පුලුවන් සර්”
“ඇවිල්ලා මට කෝල් කරන්න එක්ස්ටෙන්ශන් එක 0789”
මුලු ලොකෙම එක පාර දෙපාමුල කඩන් වැටුනා වගේ කාලකණ්ණි හැඟීමක් එක්ක මම දුවගෙන ගිහින් ත්‍රී වීල් එකකට ගොඩ වෙලා මහ පාරට ඇවිල්ලා දෙමටගොඩ ට යන්න බස් එකේ නැග්ගා. කඩුවෙල පහුවෙලා කොටිකාවත්ත හරියට එද්දි මට මග දෙපස බෝඩ් ලෑලි පෙනුනේ බොඳවෙලා…ඔරුගොඩවත්තේ ගුවන්පාලම උඩට එද්දි කිසිම දෙයක් මට පෙනුනේ නැ… දහසක්,බලාපොරොත්තු තියාගෙන උන්න අනාගතය එක,තත්පරයට විනාසවෙල ගිගින්, කොහොමද මේක ගෙදරට කියන්නෙ? මම මොකද කරන්නෙ…. ? අයින් කල නිසා වෙන,තැනක රස්සවකට යන්න පුලුවන් වෙයිද…. ඩිග්‍රිය කම්ප්ලීට් කලාම මාවා ආයමත් ගනීද ?
සේරම ප්‍රශ්න ඔලුවේ තියන ඇතුලට ඇවිත්.. අමුත්තන්ගේ කාමරයේ…ඉඳගෙන මං කෝල් එකක් ගත්තා …
“සර් මං නදීර ඇවිල්ලා ඉන්නෙ…”
“හරි මිස්ටර් නදීර….
“දැන් හයියෙන් උම්බෑ කියපං අපිට ඉන්න තැන බලා ගන්න”
ටෙලිෆෝන් එකේ අනික් පැත්තෙන් මට එහෙම ඇහුණා…අන්න එහෙමයි අපේ උන් මිනිසුන්ට ලණු දීලා විනෝද උනේ… පස්සෙ බැලින්නම් එදා එකෙක්ගේ උපන්දිනයක්… තවත් පැයකට පස්සෙ අපි උන්නේ…මාලඹේ බ්ලූ ස්කයි අවන්හලේ… ඌට සවිදිය පුරනගමන්… හිතේ කලබලය , දුක, අවසානයේ සතුටත් එක්ක මම තාම දන්නෙ නෑ එදා මම බෝඩිම ට ආව විදිය.
මට අන්තිමටම මතක තට්ට දිල්ෂාන් බොක්ස් ගිටාර් එක ගහන ගමන් වේග රිද්ම සිංදුවක් කිව්ව හැටිත් සින්දුව කියන හැටිත් , මුලු රෙස්ටුරන්ට් එකේම උන්න ඩෝපර්ලා සෙට් එක අපේ ටේබල් එක වටේ පිරිලා නටපු හැටිත් විතරයි.
එඤ්ඤං

 

 උපුටා ගැනීම:  කුෂාන් ප්‍රේමසිරි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!