ටැටූ කෙටූ කෙල්ලකගේ නොකෙටූ හදවත… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එය 2017 වසරේ උඳුවප් මාසය යි. වැඩිදුර අධ්යාපනය සඳහා යුරෝපාකරයට පා තබා සිටි මා, එම වසරේදි එළඹි නත්තල් නිවාඩුව සඳහා ඉතාලියේ විසූ මාගේ ඥාති සොයුරියක් බැහැ දකින්නට ගොස්, 2018 නව වසර උදාව සඳහා ස්විට්සර්ලන්තයේ විසූ මාගේ මාමා කෙනෙකුගේ පවුල හා එක් වන්නට සූදානම් ව සිටි දිනය විය, එය.
ගමන සඳහා මා තෝරාගත්තේ පොදු බස් රථයකි. නාපෝලියේ සිට මිලානෝව දක්වා එක් බස් රථයකින් ද. මිලානෝ සිට සූරිච් නුවර දක්වා තවත් බස් රථයකින් ද මුළු ගමන සම්පූර්ණ කරන්නට යෙදී තිබිණි. තවද එය රාත්රිය මුළුල්ලේ යෙදිය යුතු ව තිබූ ගමනක් විය. ගමනට මා විසින් තෝරා ගැනෙන්නේ ‘Eurolines’ සමාගමට අයත් බසයකි. යුරෝපා රටවල් අතර ධාවනයට යොදාගන්නා මෙම රථ, අඩු ගමන් වියදමකින් සහ ඉහළ සුවපහසුවකින් යුක්ත ය. වැසිකිළි කැසිකිළි පවා බස් රථය තුළ ය! ඉදින්, සුරිච් බලා පිටත් වන්නට තිබූ එකී දිනයේ, මාගේ ඥාතී නැගණියට සමු දී ආ මම, නපෝලි බස් රථ පර්යන්තයෙන් මිලානෝ බලා ඇදෙන්නට නියමිත මාගේ පළමු බස් රථයට ගොඩ වන්නෙමි. ටිකට් පතෙහි සඳහන් මට අයත් ආසන අංකය සොයා ගොස් හිඳ ගන්නෙමි. ඒ වනවිටද මගේ අසුනට යාබද අසුන මගියෙකුගෙන් පිරී තිබිණි. ඇය සුදු ජාතික තරුණියකි.
මේ තරුණිය දුටු මොහොතේම මාගේ අවධානය ඈ වෙතට ඇදී යන්නේ ය. මාගේ මිත්තණිය එවේලෙහි එතැන සිටියේ නම් ඇය මෙකී තරුණිය හඳුන්වනු ඇත්තේ ‘කොහෙද යන රස්තියාදුකාරියක්’ ලෙස ය. උරහිස් දක්වා වැටී තිබූ කෙස් වැටිය වර්ණ ගැන් වී තිබුණේ අහස් නිල මිශ්ර දම් පැහැයකිනි. කන් පෙති මත අරුංගල් 3 බැගින් එක පෙළට පළඳා තිබිණි. නැහැපුඩු යුගල ඉදිරියෙන් විද ඒ මත මුදුවක් පළඳා තිබුණි. ස්කිනි වර්ගයේ කමිසයක් හැඳ සිටි ඇයගේ ශ්වේත වර්ණ යුරෝපීය හම නොදිස්වෙන තරමින් අත් ගොබ ත් ගෙල පහල පෙදෙසත් පිරී තිබුණේ කෙටූ පච්චා වලිනි. තවද, අතැඟිලි ද ගෙල ද පුරා අරුමෝසම් ආයිත්තම් රාශියකි. ඉදින් මට යළිත් මාගේ මිත්තණිය සිහි විය. ‘සක්කරවට්ටමක්!!’….. ඇය කියනු ඇත.
පච්චා විලාසිතා වලට පෙම් බඳිනා, ශරීරයේ නොයෙක් තැන් විද ඒවායේ ආභරණ ගවසනා, කෙස්වැටි වර්ණ ගන්වනා අයවළුන් විවිධ රාමු තුළ බහා විවිධ මිනුම් දඬු වල අතකොළු කරන්නට මා කිසිදා උත්සුක වී නැත. මන්දයත්, මිනිසෙකුගේ පෞද්ගලික රුචි අරුචිකම් මගින් අන් කිසිවෙකු හට අවැඩක් හානියක් නොවන තෙක් ඒවා විනිශ්චය කරන්නට සදාචාරාත්මක අයිතියක් අප හට නොමැති බව මා සැමදා විශ්වාස කළ අදහසකි. එබැවින් මෙකී යුවතිය පිළිබඳව ද මා තුළ විශේෂ අමුත්තක් හටගත්තේ නැත. ඒ වෙනුවට මා තුළ හටගත්තේ ප්රීතියකි. හෝරා ගණනාවක් මුළුල්ලේ ඇදෙන ගමනක දී යාබද අසුනේ බවලතියක් රැඳීම පිළිබඳ ඇති වූ සැනසිලිදායක ප්රීතියකි එය. එතෙක් මා ලබා තිබූ අත්දැකීම් අනුව, පුරුෂයකුගේ ලිංගික අඩත්තේට්ටමකට ගැහැණියක් ලක් වන අවස්ථා යුරෝපය තුළ වූයේ සංසන්ඳනාත්මකව අවම වශයෙන් වුවද, ඒ වනවිට මා යුරෝපයට පය ගසා ගත වී තිබුණේ මාස කිහිපයක් පමණක් වීම ද, මෙය වූ කලී මාගේ ප්රථම දීර්ඝ බස් රථ ගමන වීම ද හෙයින්, විය හැකි ආපදාවක් පිළිබඳ සිත තුළ යම් චකිතයක් නොතිබුණේ යැයි ද කිව නොහැක.
මා දුටු ඇයගේ ප්රථම ප්රතික්රියාව වූයේ මුව පුරා සුහදව සිනහ වීම යි. ඒ වනවිට අසුන් ගෙන සිටි මා හා ඉනික්බිතිව ඇය කතාවට මුල පිරුවා ය. ඇගේ නම කැරොලිනා විය. ඇය මිලානෝ හි විශ්ව විද්යාලයක ශිෂ්යාවක් වූවා ය. නත්තල් නිවාඩුව සිය පවුලේ උදවිය සමඟ ගත කරන්නට නපෝලියට පැමිණි ඇය එදින සූදානම් ව සිටියේ ආපසු මිලානෝව කරා යන්නට ය. උපාධිය, අධ්යාපනය, පවුලේ උදවිය, හිත මිතුරන්, පෙම්වතුන් වැනි නොයෙක් මාදිලියේ මාතෘකා ඔස්සේ අපි දෙදෙනා අතිශය ලෙස කුළුපග වූවෙමු. කෙතරම් කුළුපග වූයේද යත් දිනෙක ඇය හමුවන්නට මිලානෝවට පැමිණෙන ලෙස කියමින් ඇය මා අතට ඇයගේ ලිපිනය ද දුන්නා ය. නාඳුනන්නන් පිළිබඳ මම නිරතුරුවම උකුසු ඇස යොමා සිටින්නියක්මි. එහෙත්, ඒ මොහොතේදී කැරොලිනා තුළින් මා දුටුවේ මාගේ සෙසු යුරෝපීය මිතුරන්ගෙන් මා එතෙක් දැක තිබූ අව්යාජත්වයම ය. එම මිත්රශීලීත්වයම ය.
රාත්රි ආහාරය උදෙසා බසය නැවතිණි. එක්ව ආහාර ගන්නට අපි දෙදෙනා සූදානම් වීමු. ඇය රැගෙනවිත් තිබුණේ පීසා ය. රස වර්ග දෙකකින් සැකසී තිබූ පීසා කැබලි දෙකක් ඈ සතු විය. ඇගේ ආහාර පත මා සමඟ බෙදාගන්නට ඇයට අවැසි විය. මම රැගෙන ගොස් තිබුණේ පනීනියකි. පනීනියක් යනු වටකුරු සහ දිගටි කුඩා පාන් ගෙඩියක් මුළුමනින්ම යොදා සාදන සැන්ඩ්විච් වර්ගයකට ය. මගේ ආහාරය ද ඇය සමඟ බෙදා ගැනීමට මට අවැසි වුව ද, මෙකී පනීනිය කැබලි වලට වෙන් කරන්නට ක්රමයක් තිබුණේ නැත. අතින් කඩා කොටසක් දීම එතරම්ම ආචාරශීලි නොවන වග ද මට වැටහිණි. එහෙයින්ම ඇය දිගු කළ ආහාර පංගුව මා ප්රතික්ෂේප කරද්දිත් පසුව කුසගිනි වූ කළ ආහාරයට ගන්නැයි කියමින් ඇය එකී පංගුව කඩදාසියක ඔතා මගේ ඔඩොක්කුවට මත තබන්නට වගබලා ගත්තා ය. කෙසේ වුවද, ඒ මොහොතේ දී මා සතුව ද ඉතා කදිම දෙයක් තිබිණි. ඒ වූ කලී මගේ නැගණියගේ නිවසින් බෙෆානා උළෙල වෙනුවෙන් මා ලද චොක්ලට් මල්ලකි. බෙෆානා යනු ඉතාලි සංස්කෘතියේ සැමරෙන පසු නත්තල් උත්සවයකි. ඉතාලි ජනප්රවාද වලට අනුව බෙෆානා නම් යහපත් මන්තරකාරිය මායා කොස්සක නැගී අවුත් ඉතාලි දරුවන් හට රසකැවිලි බෙදා දෙන්නී ය. ඉදින්, මෙම ජනප්රවාදය ඉතාලි ජාතිකයන් සමරන්නේ තම හිත මිතුරන් සමඟ චොක්ලට් මළු හුවමාරු කොටගෙන ය. ඒ අනුව, මා ලද බෙෆානා මල්ලෙන් අඩක්ම කැරොලිනා සමඟ බෙදා ගන්නට මා දෙවරක් සිතුවේ නැත. ආහාරයෙන් පසු දෙදෙනා එක්ව ඇයගේ ලැප්ටොප් පරිගණකයෙන් චිත්රපටයක් ද නරඹන්නට ගැනිණි. ඒ වනවිට මැදියම ද එළඹි තිබූ මුත් නිද්රාශීලිත්වයක් අප දෙදෙනා අසළකවත් වූයේ නැත. එසේම කැරොලිනා තුලින් නොකඩවා ගලා ආ උණුසුම් මිත්රශීලීත්වය මගේ සිත තදින් දිනාගෙන තිබිණි.
අළුයම දෙක වනවිට බස් රථය මිලානෝවට පැමිණියේ ය. ඇයට ආයුබෝවන් කීමට සිදුවීම පිළිඳ සිහින් දුකක් මා තුළ ඒ වනවිට හිස ඔසවමින් තිබිණි. එසේම, මෙම නන්නාඳුනනා ටැටූ කෙල්ල විසින් ගමන මුළුල්ලේම පෙන්වූ ඒ ළබැඳියාව පිළිබඳ ඉතා පැහැදීමක් ද මා වෙළා තිබිණි. නමුත් අනතුරුව ඈ විසින් සිදු කළ දෑ සමඟ එකී පැහැදීම තවදුරටත් මා තුළ රැඳුණේ නැත!
මිලානෝ බස් රථ පර්යන්තයට බසය ඇතුළු කොට නවතාලන්නට ආසන්න වන විට අප වටා වූ ආසන කිහිපයකට එබී ගත් ඇය ඒවායේ සිටි මගියන් හට ඉතාලි බසින් යමක් පැවසී ය. ඔවුනතුරින් අප ඉදිරිපසින් සිටියේ මවක් සහ කුඩා දියණියකි. එකී මව හට කැරොලිනා යමක් පවසා සිටි අතර එම වැඩිහිටි කත පසුපස හැරී මා දෙස බලා සිනාසී හිස සැලුවා ය. සිදුවෙමින් පැවති දෑ පිළිබඳ හාංකවිසියක් මට වැටහුණේ නැත. එවිට කැරොලිනා මට මෙසේ කියන්නී ය.
“She is also going to Zurich. She will take care of you in the next bus”
හාත්පස විපරම් කරමින් ඇය සොයා ඇත්තේ සූරිච් බලා යන මගියෙකි! මා ඉතාලි බස කතා නොකරන බැවින් මගේ ගමනේ ඉතිරිය ප්රවේසම් සහගතව මා කැඳවා ගෙන යා හැකැයි ඇය සිතූ මගියෙකි! මට අනාරක්ෂිත බවක් ගෙනෙනු ඇතැයි සැක කළ හැකි මගියෙකු නොව කුඩා දියණියක් සමඟ ගමනේ යෙදෙන කරුණාබර ස්ත්රියකි! ඉතින් ඉදිරි අසුනේ වූ මව සහ දුව සමඟ මට ද සූරිච් බලා යා හැකිදැයි ඇය අසා තිබිණි!
ඇය කළ ඒ විස්තරය හමුවේ මෙකී ටැටූ කෙල්ල පිළිබඳ මා තුළ වූ පැහැදීම පරයා මතු වූයේ සිත පිරී ගිය ආදරයකි. මිලානෝ නුවරින් මට සමුදුන් එකී මනුෂ්යත්වයට අප්රමාණ ලෙස ලොබ බඳින්නියක් බවට මා නිතැතින් පත් විණි.
ඉන් වසර තුනක් ගෙවී ගිය මේ මොහොතේ ද කැරොලිනා මාගේ මුහුණු පොතේ මිතුරියකි. ඇයව දැකගන්නට නැවතත් මිලානෝ කරා යන්නට මට තවම අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් පසුගාමී සමාජයක ජීවත් වූවා නම් ‘රස්තියාදුකාරියක’ ලෙස පහසුවෙන් හංවඩු ගැසෙන්නට තිබූ එකී සුන්දර මනුෂ්ය ජීවියා සදාකල් හි ම මගේ හදවත තුළ පින්තාරු වී හිඳිනු ඇත. ප්රශ්නකාරී පිටකවර වලින් වැසී සිටින මිනිසුන් තුළට එබී බලන්නට අප උගත් දිනෙක කෙතරම් ප්රේමණීය සහ සුගන්ධවත් ආත්මයන් ලොව අසුමුළු වලින් සොයාගැනීමට හැකිවේ දැයි ඇය මට නිරතුරුව සිහි කරනු ඇත.
උපුටා ගැනීම: Amavi Silva

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!