තෑග්ග (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි දෙන්නා බඹා කෙටූ හැටියට පතා ගෙන ඔතා ගෙන ජම්පින්ග් ඇන්ඩ් ගොයින්ග් ක්රමයට ඇවිත් මේ අප්රේල් 29 ට අවුරුදු 15 ක් . සමහරක් අයට නම් සෑහෙන්න දුර ගමනක් . සමහරුන්ට හති , මහන්සි තවත් සමහරු ගමන් මග වෙනස් කරගෙන . තවත් සමහරු ගමන අත් ඇරලා . ඒත් අපි දෙන්නටම එහෙම නෑ . සමහර වෙලාවට අපිට ම පුදුමයි මේ තරම් කාලයක් ගියාද කියලා.
ඔන්න උඩින්ම කිව්වනෙ බඹා කොටපු හැටියට වුනේ කියල . අර සිංදුවක කෑල්ලක් තියෙන්නේ
” ඔයා තමා බඹා කෙටූ එක්කෙනා..”
කියලා . ඉතින් ඔය බඹා මොනතරම් අවිවේකී නොසැලකිලිමත් කෙනෙක්ද කියනවනම් අපි දෙන්නා කොටනකොට හරි මවනකොට හරි මට හරියටම සතියකට පස්සෙ තමා මගේ සැමියව මවන්න මතක් වෙලා තියෙන්නේ. ඒක නිසා හදිස්සියේ කොටාගෙන කොටාගෙන ගිහිං. ඒත් හරියටම වැඩේ කරල තියනවා .
දැන් ග්රහලෝක වටේ කැරකෙන චන්ද්රයා වගේ මගේ වටේ කැරකුනා ට ඒ දවස්වල මට ඒ තරම් ආදරේ නැද්ද කොහෙද ඒ නිසාම ද කොහෙද මේ මනුස්සයා පලවෙනි සැරේ මාව කැන්දන් යන්න එනවා කියපු තැනට ඇවිල මම ටිකක් ප්රමාද වුනාම මම නෑවිත් ඉදියි කියලා හිතාගෙන පාර්ලිමන්ට් ජෝක්ස් බලන්න ගිහින් .
ඉතිං කොහොමින් කොහොම හරි එදා මාව භාර ගත්තට මොකද මාමණ්ඩි ඇවිත් නැන්දම්මාට අසනීපයි කියපු ගමන්
” ආ..මාමණ්ඩි යේ උඹේ දුව උඹම තියා ගනින් ” කියලා ගෙනාපු විදිහටම බාර දුන්නා.
හැබැයි ඉතින් ඉන් පස්සේ අපි ටිකක් ඈත් වුණා. වුණා නෙවෙයි . කළා . මාව අම්මලා අරන් ගිහින් නුවර අත්තම්මා ගාව නැවැත්තුවා .
කාලයක් තිස්සේ මගෙන් තොරතුරක් නැති නිසා මම එයාව අමතක කරලා කියල හිතල මට ලියුමකුත් එවිවා . දෙයියනේ කියල එකත් අම්මා අතටමයි පාත් වුනේ . මොනවා කරන්නද ලොකු ගරිල්ලා මෙහෙයුමක් දියත් කරල අමිමගෙන් ලියුම ඉස්සුවා . ඒත් වැඩක් නෑ දිග අරිනකොට ම අම්මා එතන.
කියන්න හරිම සතුටුයි මගේ සැමියා මට එවපු එකම හා ප්රථම පෙම් හසුන අම්මා අංශු බවට පත් කරලා අග්නි පුජාවකුත් කලා . ඒකෙ තිබ්බ ඒවගෙන් මම දැක්කෙ එක දෙයයි.
” පැරෂූට් එක වගේ ඇවිදින් ගියා. “
කියන එක විතරමයි දැක්කෙ.
කොහොමින් කොහොම හරි හෙන බාධක ගොඩක් මැද්දේ අපි මගේ දෙමාපිය ආශිර්වාදය නොමැති ව නමුත් ඔහුගේ දෙමාපියන් දැනුවත් ව විවාහ වුනා . ඒ අතරේ ත් සෑහෙන්න රස කතා ගොඩාක් තියනවා .
දැන් ඉතින් මං ට්රුක් එක මාරු කරන්න හදන්නේ . ඉතින් ඔය විදිහටම හිරි පොද වැස්සේ තෙමී ගෙන ( දෙවෙනි සැරේ ආවේ හිරි පොද වැස්ස බලන්න ගිහින් ) ආවට මොකද ජොබ් එකක් වත් කන්න බොන්න වත් ඉන්න තැනක්වත් නෑ . ඇදන් හිටපු ඇදුම් විතරයි .
එහෙමයි කියලා අපි අපි දෙන්නව අත් ඇරියෙවත් ජීවිතය අත්ඇරියෙවත් අගහිඟකම් ඉස්සරහ දොරින් තට්ටු කරද්දී ආදරේ පස්සෙ දොරින් පැනල ගියෙත් නෑ . කොහොම හරි දෙන්නම බදාගෙන අඩපු අවස්ථාත් පහු කරගෙන දෙන්නා තුන්දෙනා වෙලා අද සතුටින් ඉන්නවා . සතුටින් විතරක් නෙවේ . ආර්ථිකයත් කියන්න තරම් වරදක් නැති වෙන්න හදා ගත්තා දහඩිය මහන්සියෙන්.
ඔය මටම කියලා මහ බඹා මවලා මාව පතාගෙන ඔතාගෙන ආපු එකා මාර කට්ටක් කාගෙන අදටත් මගෙ ගිනස් වාර්තා සහිත ගොන් වැඩත් ඉවසගෙන මාව ඇස් දෙක වගේ බලා ගන්නවා . කෙල්ලො අනාථ කරලා මහ පාරට ඇද දමන , මරල හංගන කාලෙක මාව මෙහෙම බලා ගන්න එකට එදා බෑනා එපා කියලා දොස් කියපු නැන්දම්මත් සෑහෙන්න ස්තූති කරනවා දැන්.
දෑවැද්ද , අරක මේක ඔක්කොම හොයන කොල්ලො අතර බත් ටිකක් උයාගන්න නොදන්න රෙද්දක් හෝදන්න නොදන්න මාව බැදගෙන හරි ආදරෙන් මාව බලාගන්න මගේ සැමියාව නම් සංසාරේ පුරාවට අත් අරින්නේ නම් නෑ. . මං . කූඩැල්ලෙක් වෙලා හරි ඇගේම එල්ලිලා ඉන්නයි අදහස ( දැන් කියලත් එහෙම තමා ලොකු වෙනසක් නෑ)
කොහොම හරි ඔන්න එයාව මුරුංගා ගහේ දල්ලටම නග්ගන්න තමා මම මේ හදන්නේ. මේකට තෑග්ග කියල නම දැම්මේ මේක තමා මම එයාට ජීවිතේ පලවෙනි වතාවට දෙන වැලන්ටයින් තෑග්ග . ( ලේසියි පහසුයි වියදමක් නෑ .) මම හොදම හොදයනෙ ඉතිං.
උපුටා ගැනීම: Menaka Jayasekara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!