සැමියා පුංචි පාර්සලයක් බිරිඳගේ අතේ තියනවා. පාර්සලය දිග අරින ඇගේ දෑස් තරු දෙකක් වගේ දිලිසෙනවා. ඇය සතුටින් සිනාසෙමින් ඔහුට තුරුල් වෙනවා.
ඈ කැමති දෙයක් මාස ගානකට පෙර ඇගේ ඉඟියකින් ඔහු වටහාගෙන…..
අද ඒ දේ ඇයට ලැබිලා……
ආදරණිය මොහොතක්!
මේ මම ලඟදි බලපු හින්දි චිත්රපටියක දර්ශනයක්.
දැන් ඉතින් කියන්න එපා
“අයියෝ ඔයා හින් දි මූවිස් බලනවද?”
“මහ බොලඳයි!”
“හැම චිත්රපටියම එක වගේ!”
“හින්දි චිත්රපට බාල පරපුර ගොදුරු කරන්!”
“හින්දි චිත්රපට බාල පරපුරේ සාරධර්ම විනාස කරනවා!” වගේ කතා.
හින්දි චිත්රපට වලට දොස් නගන්න ඉස්සරලා ටාරේ සමීන් පර්,
පාතර් පංචාලි, නායක්, රේන් කෝට් වගේ චිත්රපට බලලා ඉන්න.
හොඳ චිත්රපට නොසලකා හැරල,වානිජ චිත්රපට විතරක් බලලා හින්දි චිත්රපට වලට දොස් නගන එක අසාධාරණයි.
එහෙම නැතත්, වසර ගණනාවක් තිස්සේ වෙනස් වෙලා නැති ‘ක්ලික්ස්’ වලින් පිරුණු, හරියාකාර සමාජ පණිවිඩයක් නැති, වෙන්න බැරි දර්ශන වලින් පිරුණු වානිජ හින්දි චිත්රපටක් රස විදින්නත් මට වෙලාවකට පුලුවන්!
දැන් කතාවට බහිමු.
හින්දි චිත්රපට වල විතරක් නෙමේ සමහර පිරිමි ඉන්නවා ගැහැණියකගේ පුංචි ඉඟියකින් ඇයට ඕනෑ තෑග්ග දන්නවා!
මගේ සමහර යාලුවන්ට උපන් දිනේට, නත්තලට, හිතපු නැති වෙලාවල් වලට ඒ විදිහට තෑගි ලැබෙනවා.
හැබැයි අපේ මහින් දට නම් තෑගි වලට ඔය ඉඟි බිඟි හරියන්නේ නෑ.
මොනවා හරි ඕනෙ නම් හරියට විස්තර කරලා ඕනෙ දේ කියන්න ඕනෙ.
මෙහෙමයි…..
“මේ..ඔයාට අද වැඩ ඇරිලා එන ගමන් ‘මේසිස්’ යන්න පුලුවන් ද?”
“පුලුවන්! ඇයි?”
“මට මේ ෂර්ට් එක ඕනෙ…”
“‘මේසිස්’ මෝල් එකට ඇතුලු වෙන තැනම නේද?”
“නෑ! මෝල් එකට ඇතුලු වෙන තැන තියෙන්නෙ මෙන්ස්! ඊට එහා එක.”
“හා!”
“මතක් කරලා මීඩියම් ගන්න!”
“මීඩියම්? ගිය සැරේ ගත්තෙ ස්මෝල්නෙ!”
“ඒ කොයි කාලෙද? දැන් මීඩියම්!”
“හ්ම්!”
ඔය විස්තරේට අමතරව සාප්පුවේ ඉඳන් ගන්න දුරකතන ඇමතුම් දෙකකට විතර පස්සෙ මට ඕනෙ කරන බඩුව ලැබෙනවා.
මහින්ද උපන් දින, නත්තල් තෑගි තෝරන්නෙ වෙනම විදිහකට.
තෑග්ග ඕනෙ කරන දවසට කලින් දවසෙ මහින්දට මතක් වෙනවා.
කලබලෙන් ගෙදර දුවන් ඇවිත් ළමයෙක් එක්ක කොස්ට්කෝ එකට යනවා.
කොස්ට්කෝ එකේ නැති දෙයක් නැති තරම්! ආහාර, වියලි ආහාර, ඇඳුම් පැලඳුම්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ……..ඕනෙ දෙයක් කොස්ට්කෝ එකේ තියනවා.
“අම්මා මොනවට කැමති වෙයිද?”ළමයාගෙන් යාප්පුවෙන් අහනවා.
ඔන්න ළමයා තෝරන දේ තමා මගේ තෑග්ග!
ඔහොම ගියාම කෙල්ලො දෙන්නා නම් මොනවා හරි මම අකමැතිම නොවෙන දෙයක් තෝරගෙන එනවා.
කොල්ලව එක්ක ගියදාට ඒක වෙනම කතාවක්!
කොල්ලා මට තෝරන්නෙත් කොල්ලාගෙ යාලුවො ගොඩේ ඉන්න ‘ඉඟ සුඟ ගත හැක මිටිනේ’ විතරක් නෙමේ මුලු සරුවාංගෙම මිටින් ගන්න පුලුවන් නාඹර කෙල්ලන්ට හරියන මෝස්තර!
ඒ මෝස්තර ‘මීඩියම්’ නෙමේ ‘එක්ස්ට්රා එක්ස්ට්රා ලාජ්’ වලින් ගත්තත් මට හරි යන්නේ නෑ….
ඔව්! ඉතින් ආපහු ‘රිටර්න්’ කරන්න බැරි කමක් නෑ තමා. ඒ වුණාට ඔය කොස්ට්කෝ එකේ බඩු ගන්න පෝලිමට වඩා දිගයි බඩු ‘රිටර්න්’ කරන පෝලිම!
ඔය හේතුව නිසාම දැන් කාලෙක ඉඳන් මම අලුත් ක්රමයක් තෝර ගත්තා.
උපන් දිනේට, නත්තලට ‘සර්ප්රයිස්’ නැතුවට කමක් නෑ. මට ඕනෙ දේ මම කියනවා. බඩුව ගන්නත්, ඕඩර් කරන්නත් ඕනෙ නම් උදව් වෙනවා. අනවශ්ය තෑගි ගොඩ ගහගන්නවාට වඩා ඒ විදිහට මම කැමතියි.
තවත් දෙයක් කියන්න ඕනෙ! මොනවා වුණත් ඔය ගෑණුන්ගේ ඉඟි බිඟි නොතේරෙන, උපන්දින, විවාහ සංවත්සර අමතක කරන මහත්තුරු ළඟත් ආදරේ නෑ කියන්න කාටත් බෑ!
උපුටා ගැනීම: Sripali Kotuwella