තහනම් ප්‍රකාශන (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආණ්ඩුව අසභ්ය ප්රකාශන තහනම් කරන්න පනතක් ගේන්න යනවා කියලා මම ළඟදි නිවුස්වලට කියනවා දැක්කා. අසභ්ය ප්රකාශන කියන්නේ ඉතින් සභ්ය නැති ඒවනේ. ඒ කියන්නේ කුණුහරුප. එහෙම නැතිනම් කුණුහරුපවලට ළඟින් යන ඒවා.
දැන් ඔය පන්සිය පනස් ජාතික පොත තියෙනවනේ. ඕකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ බුදු වෙන්න කලින් ඉපැදුණු ආත්ම ගැන විස්තර. ඉතින් ඔය පොතෙත් තියෙනවා අමුතු විදිහේ ජාතික කතා කීපයක්. ඒවයින් මම කැමැතිම ජාතක කතාවක් තමයි නලිනි ජාතිකය. මට භය මේ පණතට අනුව ආණ්ඩුව පන්සිය පනස් ජාතකයත් තහනම් කරයිද කියන එක. කෝකටත් ඉතින් දන්නේ නැති අයට මම නලිනි ජාතිකය ගැන කෙටියෙන් කියන්නම්.
—–
බුදු හාමුදුරුවෝ දෙවුරම් වෙහෙර වැඩ වාසය කරන කාලයක, භික්ෂුන් වහන්සේලා පිරිසක් තවත් භික්ෂුවක්ව බුදු හාමුදුරුවෝ ගාවට අරගෙන ආවලු. බලද්දි මේ භික්ෂුව දූතිකාවකට එහෙමත් නැතිනම් ගෑණු කෙනෙක්ට පිස්සු වැටුණු කෙනෙක්. ඉතිං බුදු හාමුදුරුවෝ ඇහුවලු මේ කතාව ඇත්තද කියලා. අර හාමුදුරුවෝ කිව්වලු “ඔවු ස්වාමීනී” කියලා. පස්සේ බුදු හාමුදුරුවෝ කිව්වලු “මහණ පෙරත් තොප ඈ නිසා ධ්යානයෙන් පිරිහී විනාශ වෙලා තියෙනවා” කියලා. ඊට පස්සේ තමයි පෙර ආත්මේ කතාව කිව්වේ.
ඒක මෙහෙමයි,
යටගිය දවස බරණැස නුවර බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්ය කරන කාලයේ කසීරට බමුණු කුලයක ඉපදුණු තරුණයෙක් ගිහි ජීවිතය ගැන කළකිරිලා හිමාලයට ගිහින් තපස් රැක්කලු. මේ තාපසයා දවසක් මුත්රා කරපු තැනක තණ පඳුරක් වැවුණලු. ඒ හරියේ හිටපු මුවදෙනක් මේ තණ පඳුර කාලා ගැබ්බර වුණාලු. තාපසයා කෙරෙහි ආදරයක් ඇතිවුණු මුවදෙන ආශ්රමය ළඟම ජීවත් වුණාලු. කාලයක් ගියාම මුවදෙනට මනුස්ස පුතෙක් ලැබුණා. අර තාපසයා තමයි ඒ පුත් කුමාරයව හැදුවේ. ටිකෙන් ටික ලොකු වෙන මේ පුතාට පිය තාපසයා “ඉසිසිංග” කියලා නම තිබ්බා. ඉතින් කාලයක් යද්දි මේ ඉසිසිංග තාපසයත් ධ්යාන වඩලා ඉඳුරන් දමනය කරලා බොහෝම සිල්වත්ව වාසය කළා.
ඔය ශක්ර දෙයියෝ කියලා කෙනෙක් ඉන්නවනේ. දවසක් එයා ඉඳගෙන ඉන්න පඬුපුල් ආසනය රත් වෙලා මහ හයියෙන් දෙදරුම් කෑවලු. ඒකට හේතුව හොයලා බලද්දි පොර දැනගත්තලු මේ ඉසිසිංග තාපසයගේ ධ්යාන බලය නිසා තමයි එහෙම වෙන්නේ කියලා. දැන් ඉතින් ශක්රයට මළ පැන්නලු. ඇයි යකෝ මේ පොඩි එකෙක් කොහොමද මටත් වඩා බලවත් වෙන්නේ, හිටපන් මම හොඳ වැඩක් කරලා උඹේ සීලේ බිඳින්නම් කියලා ශක්රයා අවුරුදු 3 ක් තිස්සේ කසී රටට එක වැහි පොදක් වැස්සුවේ නැහැලු.
මේ නියඟය නිසා ගම්බිම් විනාශ වෙලා ගියාලු. මිනිස්සුන්ට කන්ඩ නැති වුණාලු. මිනිස්සු රජ වාසලට ඇවිත් රජතුමාට පැමිණිලි කළාලු. බැරිම තැන උද්ඝෝෂණය කළාලු. රජාගේ රජකමත් නැති වෙන සීන් එකක්ලු තිබ්බේ.
රජ්ජුරුවෝ මේකට මොකක්ද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්න කොට, දවසක් ශක්ර දෙයියෝ මහ රෑ රජතුමාගේ සිරියහන් ගබඩාවේ පෙනී හිටිලා ඇහුවලු “රජතුමනි. මම ශක්රයා. ඔබ තුමා මේ නියඟයට හේතුව දන්නවද..?” කියලා..
රජතුමා කිව්වලු “අනේ නැහැනේ ශක්ර දෙවියනි” කියලා.
ඉතින් ශක්රයා රජතුමාට කිව්වලු… “මහරජ, ඉසිසිංග නම් වූ මහා තපස් අති එක් තාපසයෙක් හිමාලයෙහි ඉන්නවා. ඔහු වැසි වසින වසින පාරට කෝපයට පත්වෙලා අහසට ඔරවනවා. ඒ නිසා තමයි වැසි වසින්නේ නැත්තේ” කියලා.
රජතුමා කොර වෙලා ඇහුවලු දැන් අපි මේකට මොකද කරන්න ඕනේ කියලා. එතකොට ශක්රයා “රජතුමනි අපි මේ ඉසිසිංග තාපසයාගේ සීලය භේද කරන්න ඕනේ. ඒක ඔබේ දුව නලිනි ට කරන්න පුලුවන්. ඒ නිසා ඇයට මේ තත්ත්වය පැහැදිලි කරලා වනයට පිටත් කරන්න” කියලා ෂේප් එකේ එතැනින් මාරු වුණාලු.
දැන් ඉතින් රජතුමා දන්නවා ශක්රයා මොකක්ද කිව්වේ කියලා. තමන්ගේ එකම දුවව තාපසයගේ සිල් බිඳින්න යවන එකෙන් දුවගේ කන්යා භාවය බිඳෙනවා කියලා රජතුමාට තේරෙනවා. ඒත් එහෙම නොයව හිටියොත් රජකමට ප්රශ්නයක්. අන්තිමේදී ඉතින් දුවගේ ගෞරවයට වඩා රජකම ලොකුයි කියලා හිතපු රජතුමා නලිනිට කාරණේ තේරුම් කරලා වනාන්තරයට පිටත් කළාලු.
නලිනි කුමාරියත් ඉතින් එක පයින් මේ වැඬේට කැමැති වෙලා හෙන සිනිඳු ඇඳුමෙන් සරාගී විදිහට සැරසිලා රාජපුරුෂයෝ පිරිවරාගෙන වනාන්තරයට ඇතුළු වුණාලු. ඒ වෙලාවේ ඉසිසිංගගේ තාත්තා පලවැල හොයන්න ගිහින් හිටපු නිසා ඉසිසිංග තාපසයා විතරයි අසපුවේ හිටියේ. නලින් කුමාරි එයා එක්ක ආපු රාජපුරුෂයෝ මග නවත්තලා තනියම අසපුවට ඇතුළු වුණාලු.
මේ ඉසිසිංග තාපසයා ජීවිතේට ස්ත්රියක් දැකලා තිබ්බේ නැහැ. ඉතිං එක පාරටම නලිනිව දැක්ක ගමන් තාපසයට හිතුනේ මේ නම් එන්නේ මාව මරාගෙන කන්න ආපු යක්ෂණියක් කියලා. අනේ ඉතින් ඉසිසිංග තාපසයා භයෙන් පැනලා ගිහින් හැංඟුනාලු. මේ විදිහට හැංඟිලා ඉන්න ඉසිසිංග තාපසයා කල්පනා කරනවලු මේ ඉන්නේ ඇත්තටම යකෙක් නම් මේ වෙද්දි මාව අල්ලගෙන මුරු මුරු ගාලා කාලා ඉවර කරලා. ඒත් මෙයා එහෙම කළේ නැහැ. ඒ නිසා මේ ඉන්නේ තවත් තාපසයෙක් වෙන්න ඇති. එහෙම හිතලා මේ අමුතු තාපසයට තමන්ගේ ආශ්රමය ඇතුළට එන්න කියලා ඉසිසිංග තාපසයා ආරාධනා කරනවා.
ඉතින් මේ අරාධනාව පිළිගත් නලින් කුමරිය ආරාමය ඇතුළට ගිහින් තමන්ගේ රහස් අවයව ඉසිසිංග තාපසයට හොඳින් නිරාවරණය වෙන විදිහට ආසනයක හිඳ ගන්නවා. අනේ ඉතින් මේ ඉසිසිංග තාපසයා කවදාවත් කාන්තාවකගේ අංගජාතයක් (ඔවු ඔවු ඒක තමයි) දැකලා තිබ්බේ නැහැනේ. ඉතිං නලිනි කුමාරියගේ ලැජ්ජා ස්ථානය (ඒකම තමයි) දැකපු ඉසිසිංගට හෙන කුතුහලයක් දැනෙනවා. ඉතිං ඊට පස්සේ වෙච්චි දේ මම ජාතික පොතේ තිබුණු විදිහටම ලියන්නම්.
“එකල තාපසයෝ ස්ත්රීන්ගේ අංගජාත නොදුටු හෙයින් පහවූ වස්ත්රයෙන් ශරීර අවයවයන් දැක ඒකාන්තයෙන්ම මේ වණයක් මය සිතා විචාරන්නාහු, එම්බා තාපසයෙනි තොපගේ මේ කලවා යුවල අතුරෙහි කළු වූ පැහැ ඇති මනා කොට පිළියම් කරන ලද සිප්පි මුඛයකට බඳු වූ සටහන් ඇතිව පෙනෙන්නේය. කෙසේ වූ වණයෙක්ද? තොපගේ උත්තමාංගය ය කියන ලද නිමිත්ත ස්ථාන නොපෙනෙන්නේ කිමෙක්ද? ඒ තොපගේ ශරීර අභ්යන්තරයට වැද ගියේ දැයි විචාලාහ”.
මේක අහපු නලිනිටත් දැන් හෙන කික්. එයා මේ විදිහට උත්තර දෙනවා.
“තාපසයෙනි, මෙතැන වනව ගොස් කණ්ඩුතිය ස්වභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්තවත් ඔබට එය ගුණ කරන්නට ඇත්නම්, එසේ කොට මගේ දුක දුරු කරව” කියලා.
අනේ ඉතින් මේ උප්පරවැට්ටිය ගැන මෙළෝ සංසාරයක් නොදන්න ඉසිසිංග තාපසයා නලිනිගේ සියුම් වස්ත්ර අයින් කරලා දෙකලවා විවර කරලා ලැජ්ජා ස්ථානය දෙස හොඳින් බලලා මේ විදිහට කියනවා.
“එම්බා තාපසයයෙනි (ඉසිසිංග හිතන්නේ මේ ඉන්නෙත් තාපසයෙක් කියලනේ), තොපගේ මේ තුවාල වූ වනය (ඉසිසිංග හිතන්නේ ඒක තුවාලයක් කියලා) ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මඳක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹු ආදිය යොදා සුවකරන්නෙමි” කියලා.
ඒත් නලිනි පට්ට කපටියිනේ. ඇය අර අසරණ තාපසයට මේ විදිහට උත්තර දෙනවා.
“තාපසයෙනි, මන්ත්ර යෝගයක් වේවයි, ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අංගජාතය (රංඩිග) මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරවයි” කියලා.
ඉතිං මේක අහපු අහිංසක ඉසිසිංග හිතන්නේ ඒක වෙදකමක් කියලා. එයා දන්නේ නැහැ මේ වැඬේ කළොත් මේථුණ ධර්මයෙන් සිල් බිඳෙනවා කියලා. ධා්යාන පිරිහෙනවා කියලා. මුකුත් නොදන්න ඒ අසරණය නලිනි කියපු විදිහට හිතේ හැටියට නලිනි එක්ක සංසර්ගයේ යෙදෙනවා.
තමන්ගේ වැඬේ හරි කියලා තේරුම් ගත්තු නලිනි ආපහු රජ වාසලට ගියා. අනේ ඒත් අසරණ ඉසිසිංගට නලිනිව අමතක කරන්න බැරි වුණා. එයාට නලිනිව මැවි මැවි පේනවා. ඒ සුවය නැවත නැවත ලබන්න හිත බලකරනවා. දන්නවනේ ඉතින් ඕකට ඇබ්බැහි වුණාම කාටත් වෙන දේ.
කොහොම හරි පලවැල නෙළාගෙන ආපහු අසපුවට එන පිය තාපසයට පුතාගේ මේ වෙනස තේරෙනවා. ඉතින් එයා අහනවා මේ ඇයි කියලා. ඉසිසිංග තමන් ටිකකට කලින් ලබපු අත්දැකීම ගැන පියාට කියනවා. ලෝකය ගැන කරුණු කාරණා දන්න පිය තාපසයා වෙලා තියෙන දේ හොඳින් තේරුම් ගන්නවා. කාන්තාවකට බැඳුණු සිතක් ආපහු ඒකෙන් ගළවගන්න අමාරුයි කියලා පිය තාපසයා හොඳින් දන්නවා. එයා උපායකින් තම පුතාව මේ කරදරයෙන් බේරගන්න හිතා ගන්නවා.
ඉතිං එයා කියනවා තාපස වේසයෙන් ඒ ඇවිත් තියෙන්නේ මිනිස්සු මරාගෙන කන යක්ෂණියක් කියලා. මේක අහලා ඉසිසිංග හොඳටම භය වෙනවා. ඔහු නලිනි ගැන හිතන එක පැත්තකින් තියලා පෙරටත් වඩා හොඳින් බණ භාවණා කරනවා. ධ්යාන වඩලා අභිඥා උපදවාගෙන බඹ ලොව ඉපැදෙනවා කියලා තමයි නලිනි ජාතකයේ තියෙන්නේ.
මේක පුර්වා සංධි ගළපන බුදුරජාණන් වහන්සේ, එසමයෙහි නලිනි කුමාරිකාව නම් වර්ථමානයේදී දූතිකා වන්නීය, ඉසිසිංග තාපසයෝ නම් උකටලී මහණය, පිය තාපසායනන් වහන්සේ නම් මම් ය කියලා පැහැදිලි කරනවා.
(මේ කතාව ගොඩාක් දිගයි. මම මේ පුලුවන් තරම් කෙටි කරලා ලිවුවේ. කැමැති අය ඉන්නවා නම් පන්සිය පනස් ජාතික පොත කියවලා ඒක රස විඳින්න.. තව මේ වගේ කතා කීපයක් තියෙනවා. ඉඩක් ලැබුණු වෙලාවක ලියන්නම්)
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!