තායිවානයේ පොදු වැසිකිළියක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සාමාන්යයෙන් ” වැසිකිළියක් ” කිව්වම සිතට එන්නෙ එතරම් ප්රිය මනාප හැඟීමක් නොවෙයි . විශේෂයෙන් පොදු වැසිකිළියක් කිව්වහම ඒ හැඟීම තවත් තීව්ර වෙන්නෙ මිනිස්සු පොදු වැසිකිළි භාවිතා කරන විදිය පිළිබඳව අපට ඕනෑ තරම් අත්දැකීම් තියෙන නිසා . නමුත් හැමතැනම එහෙම නෑ .
මම සිටියේ තායිවානයේ, තායිපේ නගරයේ ප්රධාන දුම් රිය ස්ථානයේ . ( Taipei main station ) එය පොළව යටට විහිදුන මහල් හතරකින් යුක්ත , දිනකට ලක්ෂයකට ආසන්න දුම් රිය මගීන් පමණක් නොව, එහි පිහිටි සාප්පු සංකීර්ණය කරා පැමිණෙන ජනතාව ද විශාල පිරිසක් භාවිතා කරන පොදු ස්ථානයක්.
ඒ තායිපේ ප්රධාන දුම් රිය ස්ථානයේ ප්රධාන ශාලාවේ දුම් රිය සංචාරක ව්යාපාරය පිළිබඳව පැවති ජ්යාත්යන්තර ප්රදර්ශනයක ආරම්භක දිනය. එම හේතුව නිසාම එහි ගැවසෙන ජන සංඛ්යාව තවත් වැඩිවී තිබුණා .
සුළු අවශ්යතාවයකට වැසිකිළි යාමට අවශ්ය වුනත්, එහි ගැවසුන ජනකාය හේතුවෙන් මම ඊට තරමක් පැකිළුනා.
නමුත් අවසානයේ මම එහි වැසිකිළියක් කරා යාමට පෙළඹුණේ තරමක කම්මැලි කමින් යුතුව .
නමුත් එහි ගියපසු මගේ සිතේ තිබූ අදහස සම්පූර්ණයෙන් වෙනස් වුනා . එය ඒ තරම් හොඳින් පවත්වා ගෙන යමින් තිබුනා . එහි සේවය කල සේවක මහතා , එහි තිබූ නඩත්තු සටහනකට ( Maintaining check List ) එය අපූරුවට පිරිසිදු කරා.
සින්ක්, කොමෝඩ් , පමණක් නොව එහි බිත්ති, දොර හා දොරෙහි දාරය පවා ඔහු මැනවින් පිරිසිදු කරා. ඇතැම් කොටස් පැය භාගයකට වරක්, ඇතැම් කොටස් විනාඩි විස්සකට වරක් , යනාදී ලෙසින් . ඒ බව ඔහු අදාළ නඩත්තු සටහනේ ලකුණු කරා . ඔහුගේ අධීක්ෂණ නිලධාරීයා විත්, ඒ බව පරීක්ෂා කර, සටහන් කරනු මා දුටුවා .
මම එතැන නැවතී, මිනිත්තු කිහිපයක් බලා සිටියේ ඔහු ඒ කාර්යය මැනවින් ඉටු කරන ආකාරය පිළිබඳව . මිනිසුන් යාමෙන් ඒමෙන් අපිරිසිදු වන වැසිකිළියේ බිම ඔහු නිතරම පිරිසිදු කලා. එක පැත්තක් පිරිසිදු කර, Wet floor නම් පුවරුවක් තබන ඔහු, එම පැත්තේ බිම Box Fan වර්ගයේ පංකාවක් තබා වියලීමට සලස්වා, ඒ පැත්ත වියළුන පසු, අනෙක් පස පිරිසිදු කරනවා . මම විශේෂයෙන් දුටුවෙ ඔහු තමන්ගේ රැකියාව නියම ආකාරයෙන්ම කරන අයුරු . මනා ප්රියමනාප හා ආචාර ශීලී ලෙස, පිරිසිදු ඇඳුමින් සැරසී, ඔහු කරන දේ හරියට කලා . ඒ නිසා එය පොදු වැසිකිළියක් වුනත්, සිතාගත නොහැකි පිරිසිදු බවක් එහි තිබුණා .
ඒ වගේම එය භාවිතා කිරීමට ඔවුන් කිසිදු මුදලක් අය කලේ නෑ . ඇත්තටම අපේ රටේ වගේ නොව, තායිවානයේ ලොකු රස්සා, පොඩි රස්සා නෑ . කොයි රැකියාවත් වැදගත් හා අත්යවශ්ය රැකියා. ඕනෑම රැකියාවක් හා අදාළව වැදගත් වෙන්නෙ ඉන් ජනතාවට වන සේවය . ඒ අනුව එය පිරිසිදු කරන සේවක මහතා සිය රැකියාවට උපරිම සාධාරණයක් ඉටු කලා.
සෙනඟ නොමැති අවස්ථාවක් බලා, මා නැවත වරක් එහි ගොස්, ඔහුගේ අවසරය ද ඇතුව ඡායාරූප කිහිපයක් ද ගත්තා . මෙහි පළකරන්නේ ඒවා .
පසුව ලංකාවට විත්, කටුනායක සිට පිටකොටුවේ බස් නැවතුම්පොළට පැමිණ , එහි කොයි මොහොතක වුනත් පාවහන් තෙමමින් ගලන ජලය පිරි, ගඳ ගහනමුත්, රුපියල් විස්සක්ද ගෙවා භාවිතා කලයුතු වැසිකිළියට ගිය මට කල්පනා වුනේ රටක් වශයෙන් පමණක් නොව , ආකල්ප වශයෙනුත් අප තව කෙතරම් ඉදිරියට යා යුතුද යන්න …
නමුත් ඒවා පිරිසිදු ලෙස තබා ගැනීමට නම්, භාවිතා කරන අපත්, අපේ යුතුකම් නිවැරැදිව ඉටු කරමින් දායක විය යුතු බව නම්, කිවයුතුමයි .
උපුටා ගැනීම: Wiraj Y. Nanayakkara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!