තලවතුගොඩ නැන්දා (කෙටි කතාවකි)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නංගී වැඩිවිය පැමිණ ඇති බව අම්මා මට කීවේ දුරකථනයෙනි. තව පැය දෙක තුනකින් ගෙදර යන මට ඇය මේ පණිවිඩය හදිසියේ කියන්නේ සල්ලි ලෑස්ති කරගෙන එන්නට හැකි වන පරිදි බව මම දනිමි. සාමාන්ය මුදලක් ඒටීම් යන්ත්රයෙන් ගත් මම ගෙදර ගොස් නංගී හා කතා කරන විටය නංගි නෑවීම සදහා වෙලාව බැලීමට ගිය අම්මා පැමිණියේ.
‘වෙලාව හොදයි කිව්වා. අනිද්දා නාවන්න තියෙන්නේ. අනිද්දා පාන්දර නාවලා ඉරිදා විතර උත්සවේ ගමු නේද ලොකු දුව?“
මම හෝ අක්කා වැඩිවිය පත් වූ විට අපේ ගෙදර උත්සව තිබුණේ නැත. නමුත් දැන් මා හා අක්කා දෙදෙනාම රැකියාව කරන බැවින් අම්මා මේ යෝජනාව කරන්නට ඇතැයි මම සිතුවෙමි.
“හරි අම්මේ, අපියි නැන්දලයි උඩහ මාමලයි වටේ පිටේ ටික දෙනෙකුයි හිටියම ඇතිනේ“
“ඒ මදි නේද දුවේ. තලවතුගොඩ නැන්දා තිස්සෙම තියනවානේ චුට්ටිගේ දෙයක් වුනොත් කියන්න කියලා. අනිත් පාර ඕක කිව්වේ නෑ කියලා හිත නරක් වෙයි.“
අම්මාගේ උත්සවයේ ප්රධාන අරමුණ මට වැටුහුණේ ඒ ප්රකාශය සමගය.
තලවතුගොඩ නැන්දා මගේ පියාගේ ඥාති සොහොයුරියකි. ඇය පාසල් වියේදීම නිවෙස අසල පිහිටි වැඩබිමකට ආ සේවකයකු සමග පැන ගොස් පවුලෙන් අත්හළ එකියකි. කෙසේ හෝ මීට වසර ගණනකට පෙර ඇගේ මවගේ අවමගුලට සහභාගි වන්නට ගමට ආ විට මේ නැන්දා දැන් පුදුම ලකයකින් ජීවත් වන බවය කාටත් පෙනී ගියේ.
තෙල් පාට වැටී පිම්බුණු රන්වන් ඇගපත, කිරි සුදෙන් බැබලෙන වටිනා ඔසරිය, දෑතේ කනේ කරේ දිළිසෙන අලංකාර රන් ආභරණ වලින් පෙනී ගියේ ඇයට ගිය ගමන ජයෙන් ජය වී ඇති බවය. ඇගේ සැමියා පදවාගෙන ආවේ අලුත්ම කිරි කිරි ජීප් රියකි. එයින් බැස්ස දරුවන් දෙදෙනා එකිනෙකා සමග චතුර ඉංග්රීසියෙන් කතා කරන අයුරු සැවොම බලා සිටියේ විමතියෙනි.
පෙර පරිදිම “රතු අයියේ“ කියා මගේ පියා ළග පාත්වී ආචාර කළ ඈ ඉතා නිරහංකාර ආකාරයෙන් අප සමගද කතා කළාය. ‘අනේ කොළඹ පැත්තේ කරදරයක් නෑ තමයි. ඒත් ඉතිං මේ පැති වගේ කොහේද අක්කේ. රස්නෙයි මදුරුවොයි‘ කියමින් ඇය අම්මාගේද සිත දිනා ගත්තාය.
ඉඩම් බෙදීමකදී සිදුවූ ගැටළුවක් නිසා තම පවුලේ අය සමග එතරම් සම්බන්ධයක් නොපැවැත්වූ ඇය එදා රෑ අපේ නිවසෙන් රාත්රී ආහාරය ගෙන පිටවූයේ කෑමවල රස ගුණ ගැන අම්මාට නොසෑහෙන සේ ප්රශංසා කරමිනි.
ඇගේ ජීප් රියේ පිටුපස හාල් ගෝනියක්, වට්ටක්කා ගෙඩි දෙකක්, සියඹලා මල්ලක්, කතුරුමුරුංගා කොළ, දෙහි, අමු කෙසෙල් කැණක් ආදියෙන් පිරී තිබීමද අම්මාගේ අත්ගුණය ඇගේ වර්ණනාවට ලක්වන්නට තව හේතුවක් විය.
—————-
එයින් ඇරඹුණු යාලුකම වසර ගණනාවක් තිස්සේ වැඩිවූවා මිස අඩු වූයේ නැත.
තලවතුගොඩ නැන්දා දඹුල්ලට ආ සෑම විටම වැඩි කාලයක් ගෙවූයේ අපේ නිවසේය. අම්මාද වතු පිටි සූරා කොළඹට අගනා සියල්ල පැටවීමටද නොයෙක් මසවුළු සාදා නැන්දාට කෑමට දීමටද උත්සුක වූවාය.
ඊට ප්රතිඋපකාර ලෙස නැන්දා භාවිතා කළ ඇදුම්, සාරි, අත් බෑග් සියල්ල අම්මාට ලැබුණි. මදක් ගල්වූ විවිධ වර්ණ නිය ආලේපන හා භාගෙට ඉවර වූ තොල් ආලේපන කූරු, විවිධ වර්ණවල මාල වළලුද ඇයගෙන් අපට ලැබිණි. මාද ඇයව ප්රිය කළත් අක්කාට නම් ඇයව පෙනෙන්නට බැරි විය.
“ලැජ්ජා නැද්ද යකෝ ඔය එක එක ගෑනුන්ගේ හඩු අදින්නේ? මහ චාටු අම්මණ්ඩියෙක්. මට නම් පෙනෙන්න බෑ“ අම්මාට කිසිත් නොකියන ඇය මට කුටු කුටු ගා කියයි.
නමුත් තලවතුගොඩ නැන්දාගේ ඔසරියක් ඇද ගිය දවසට කාර්යාලයෙන් ඇසෙන වර්ණනා මතක් වන විට මට ඇය සමග තරහ වන්නට සිතෙන්නේ නැත. ඇගේ කතා විලාශය කොළඹ ගොස් හුරු වූ එකක් යැයිද හොද දේ වර්ණනා කිරීම ඔවුන්ගේ පුරුද්දකැයිද සිතුණු මට එය ප්රිය වූවා මිස චාටුවක් යැයි හැගුණේ නැත.
————
කෙසේ හෝ නංගීගේ විවාහයට සූදානම් වන ආකාරයෙන් අම්මා උත්සවයට සූදානම් වූවාය.
අක්කා හා මම ආයතනවලින් ගත් වැටුප් අත්තිකාරම් වලින් ගෙය අලුතෙන් තීන්ත ගෑම හා කෑම බීම සැකසීමට අවශ්ය දේ ගෙන ඒම සිදුවිය. කැවිලි සෑදීම අම්මා තම මිතුරියන් රැස්කරගෙන කළ බැවින් එයට මුදලක් වැය වූයේ නැත.
කෙසේ හෝ තලවතුගොඩ නැන්දාටද ගැළපෙන ආකාරයෙන් සැරසිළි, කැවිලි සියල්ල පිළියෙළ කළ බැවින් අප බලාපොරොත්තු වූවාට වඩා වියදම් දෙගුණ විය. අක්කාගෙන් හෝ මගෙන් ඉල්ලා නොගත්තත් අම්මා සෑහෙන ගණනක් ණයට ගෙන ඇති බව මට වැටහුණේ ඇය තාත්තා හා කළ කතාවක් ඇසෙද්දීය.
මගේ අම්මා අනුන්ට දීමට පුදුම ආසාවක් ඇති කාන්තාවකි. නමුත් තාත්තාගේ සාමාන්ය ගොවිතැන් කටයුතුද අප තුන් දෙනෙකුගේ පාසල් වියදම්ද නිසා ඇයට මෙතෙක් එලෙස සිතේ හැටියට පිරිසක් කැදවා සැළකීමට අවස්ථාවක් නොලැබිණි. එසෙ ලැබුණු පළවෙනි අවස්ථාව නිසා ඇය මෙසේ කටයුතු කරන බව සිතූ මම ඇයගේ සිත රිදවන්නට වචනයක්වත් නොකීමට පරිස්සම් වීමි.
නමුත් අක්කා එසේ සිතුවේ නැත. “අම්මා හිතං ඇති තලවතුගොඩ බඩ්ඩ මෙතන ලක්සයක් විතර ගෙනත් තියයි කියලා. බලපංකෝ. උඹටයි මටයි තමයි මාස ගානක් ඕටී කරන්න වෙන්නේ මේවා පියවන්න“
——–
කෙසේ හෝ නංගීගේ උත්සව දිනය උදා විය. අම්මා උදේ සිට මග බලමින් සිටියත් තලවතුගොඩ නැන්දා පැමිණීයේ දහවල් දොළහට කිට්ටු වීය. “අද මොන වාහනේ එයිද දන්නෑ නංගි“ කියා ඇය කියුවත් නැන්දා ආවේ ත්රී රෝද රියකිනි.
“මහත්තයා නොයාම බැරි ගමනක් ගියා අක්කේ. පොඩි දෙන්නට ඉංග්රීසි පන්ති. මට නෑවිත් ඇරියෑකියැ මේ පුංචි කෙල්ලගේ මගුලට. ඉතිං මං අනුරාධපුර බස් එකක ඇවිත් මෙතන මගින් බැහැලා ආවා. “
නැන්දාගේ ලොකු අත්බෑගය හැරුණූ කොට ඇගේ අතේ වෙන යමක්ද නොවීය. ඉන්පසු ඇය තමන්ගේ ගෙයක මෙන් වැඩට බැස්සේ නංගීගේ රූපය වර්ණනා කිරීමෙන් අනතුරුවය.
“අනේ නංගියේ පරිස්සම් කරගන්න. මට නම් මේ රෝස මල පාරේ යවනවා කිව්වමත් බයේ බෑ. අපේ පිංකි කිව්වෙත් චූටි නංගි නම් හින්දි නිළියක් වගේ ඇති කියලා අද“
ඇය කීවේ නංගිගේ මුහුණ අතගාමිනි.
“කොහොමද මද්දු මැණිකේ?. නැද්ද පුතේ තව අපිට කැවුමක් කන්න දෙයක් මොකවත්. අපේ මහත්තයාගේ අක්කගේ පුතා දොස්තරනේ. මට කතා කරන්න කිව්වා. මම සැර වුණා ඒ කළු දෑවා කතා කළෑකිද මේ කෙල්ලට කියලා“ ඒ මටය.
කෙසේ හෝ උත්සවය අවසන් වන විට සියල්ලන්ගේ ආදරය දිනා ගන්නට නැන්දාට හැකි විය. අම්මා පැමිණි සියල්ලන්ටම ‘මේ අපේ එක්කෙනාගේ නංගියක්. තලවතුගොඩ ඉදලමයි මේ ආවෙ අද‘ කියා ඇය හදුන්වා දෙන්නට කටයුතු කළාය.
දහවල් ආහාරයෙන් පසු නැන්දා යන්නට උවමනා බව හෙළි කළාය. ‘අනේ නංගිට මම හාල් උරේකුත් කොටවලා තිබ්බා වාහනේ එයි කියලා‘ අම්මා කීවේ දුකෙනි.
‘අපේ මහත්තයා අදුරන බස් එකක ආවෙ අක්කේ. ඒක එන වෙලාවට ගියොත් ඩිකියට පටව ගත්තෑකි. මේ හරියෙදි වැඩිය සෙනගත් නෑනෙ‘ නැන්දා පසුබැස්සේ නැත.
පෙර පරිදිම වත්ත පිටියේ ඇවිද කළමනා රැසක් එකතු කරගත් ඇයට ගෙනයන්නට අම්මා කැවිලි ඔතන්නට උත්සුක වූවාය. ආස්මි, දෙදොල්, තල අලුවා, අග්ගලා, වැලි පිට්ටු ආදිය පිරුණු කාඩ්බෝඩ් පෙට්ටියක්ද ඉස්තෝප්පුවට වැඩම කෙරිණි.
නැන්දා යන්නට සූදානම් වී නංගිගේ කාමරයට ගියේ අප සියල්ලන්ගේ අවධානය නතු කර ගනිමිනි.
“මෙන්න චූටි මැණිකෙට මගෙන් තෑග්ගක්. මාමා නම් කිව්වේ දෝණි ආස දෙයක් ගන්න සල්ලි දෙන්න කියලා. මං ඒත් හිතුවා කෙල්ලෝ ආසා සුකුරුත්තං ටිකක් ගෙනිහින් දෙනවා කියලා. ඕවා හම්බෙන්නෑනෙ මෙහෙ ගන්න“ ඇය නංගී අත තැබුවේ වර්ණවත් ඉටි කොළයකින් එතූ බෑගයකි.
කළමනා සියල්ල පැමිණ සිටි අයෙකුගේ ත්රී වීලරයකට පටවා ගත් නැන්දා තාත්තා සමග පාරට ගියේ බස් එක පැමිණෙන වෙලාවට එතැන සිටිය යුතු බැවිනි.
අනෙකුත් අමුත්තන් පිටව ගිය පසු අම්මා නංගිගේ කාමරයට පැමිණ නැන්දා දුන් බෑගය හැර බැලුවාය.
වටිනා පෙනුමැති දිළිසෙන රෙද්දකින් මැසූ ගවුමක්, විලවුන් බෝතලයක්, විවිධ වර්ණයේ එල්ලෙන කරාඹු, වර්ණවත් වළලු රැසක්, පාට පාට වූල් බෑන්ඩ්, කොණ්ඩා කටු ආදිය එහි විය. අම්මාගේ මුහුණ මදක් වෙනස් වුවත් ඇය “සෑහෙන ගානක් යන්න ඇති මේකට නේද, පොඩ්ඩක් උස නම් වැඩිද මන්දා“ යැයි කිව්වේ ගවුම නංගිගේ ඇගට තබා බලමිනි.
තලවතුගොඩ නැන්දා පිටවන මොහොතේ මග හැර ගොස් පිළිකන්නට වී සිටි අක්කා කාමරයට ආවේ එවිටය.
‘ඔව් ඔව් උස වැඩි ඇති පිංකි ඉතිං රිටක් වගේනෙ. ගිය මාසේ පිංකිගේ ඉස්කෝලෙ ඒ ලෙවල් පාර්ටියෙ ෆොටෝ දාලා තිබුණේ ෆේස් බුක් එකේ. ඕක තමයි ඇදං ගිහින් හිටියේ. නැන්දා දන්නැතුව ඇති මම පිංකිගේ ෆේස් බුක් එකේ ඉන්නවා කියලා“
උපුටා ගැනීම :  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!