මේ ඊයෙ පෙරේදා මුහුණු පොතේ දැක්ක සටහනක්. ඒක දැක්කම මගෙ හිතේ තවත් හීනයක් වගේ දෙයක් ඇඳීගෙන ගියා .
මේ සිද්දියෙ මුල්ම පටන් ගැනීම වුනේ මම තුන වසරෙ තුන්වෙනි වාරෙ ඉඳිද්දි . ඒ දවස්වල මං කොයිම දේකටවත් විශේෂ දක්ෂකම් පෙන්නුව ළමයෙක් නෙවෙයි . ඒක කොච්චරද කියන්නේ ඊට කලින් වාරෙ මං පංතියෙ දාහත් වෙනිය. හැබැයි අම්මාවත් තාත්තවත් ඒ ගැන ලොකුවට මා ඉස්සරහ වද වුනේ නෑ .
හරි , දැන් ඉතින් තුන්වන වාරෙ අත්වැඩ තියෙන දවසට කලින් දවසෙ තමයි මේක වුනේ . ඔන්න දැන් අපෙ අම්මා දන්න දහිරිය දාල මට බේබි රිබන්වලින් මාලුවෙක් හදන්න කියල දෙනව. මට ඒක තේරෙන්නේ ම නෑ කොහොමටවත් .අන්තිමට ඉවසීමේ සීමාව ඉක්මවා ගියාම අම්මා කිව්ව “ඔයා ගියපාර දාහත්වෙනියනෙ. මේ පාර හත්වෙනියාගෙන් උඩට එන්න පුලුවන් නම් ” කියල . මං ඉතින් තෑගිවලට තමයි ඒවගෙ ලොකු වැඩ කලෙ ඒ කාලෙ . ඉතින් මං උඩපැනල ඇහුව “මොනවද මට දෙන්නෙ ?” කියල . මගෙ හැටි දන්න අම්මා කිව්ව “ඔයාට ඕන දෙයක් ” කියල . ඉතින් මං එකසැරේම කිව්ව “මට ඕගන් එකක් ඕන ” කියල . (මොකද ඒ දවස්වල අසල්වැසි ගෙදරක ඕගන් එකක් තිබුණ. ඒ ගෙදර අක්කල අපට ඒක අල්ලන්නවත් දුන්නෙ නෑ . හැමවෙලේම පියානෝ එකක් වගෙ පරිස්සම් කළා. එයාල ඕගන් ගහද්දි අපට තිබුණේ ඈතින් ඉඳල බලා ඉන්න . ඉතින් ඒ දවස්වල මට වටිනම තෑග්ග වුනේ ඕගන් එකක්.) ඉතින් අම්මා කිව්ව “හා , ඉස්සරවෙලා හත්වෙනියාගෙන් උඩට එන්නකො” කියල …..එතකොටත් විභාගෙන් බාගයක් විතර ඉවරයි . හැබැයි මොනවා හරි වාසනාවක් නිසා මං ඒ වාරෙ හයවෙනිය . ඕගන් එක අතේ! (කියල තමයි මං හිතන් හිටියේ ) හැබැයි අම්මා මට පැහැදිලි කරල දුන්න එවෙලෙ එච්චර වියදමක් කරන්න බෑ කියල …..ශිෂ්යත්වෙ පාස් වුණාම අරන් දෙනව කිව්ව .ඉතින් තව අවුරුදු දෙකකට පස්සෙ ඉතාම ඉහලින් නොවුනත් මම ශිෂ්යත්වෙ පාස් වුණා . හැබැයි ඒ කාලෙ වෙද්දී ඔය ඕගන් එක ලැබෙන්න තියෙන්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගෙ චුට්ටි ඉඩක් කියල මං දැනගෙන හිටියේ . ඒ වගෙම අර අසල්වැසි ගෙදර ඕගන් එක නිසා ඇතිවෙච්ච තුවාලෙත් සෑහෙන සනීපයි එතකොට . ඉතින් ඒක එහෙමම යට ගියා . හැබැයි මගෙ මතකෙ හොඳකමද, ගෑණු ගතියද මොකක්ද මංදා , මට ඒක අමතක වුනේ නෑ .
ඊටත් අවුරුදු තුනකට පස්සෙ මගෙ නංගී ශිෂ්යත්වෙ පාස් වුණා . ඒ මං වගෙ සාමාන්ය විදිහට නෙවෙයි . සමස්ත ලංකා ප්රතිඵලයක් අරගෙන. ඒ නිසා අඩුගානේ මාස හයක්වත් යනකල් අපේ පවුල සෑහෙන අවධානයට ලක් වුණා . පත්තරවලින් විස්තර අහගෙන ගෙදරට ආව. නෑදෑයො , අසල්වැසියො , හිතවත්තු ගෙදර පිරිල හිටිය . හැබැයි එයාලට දකින්න , ආදරේ කරන්න , අගේ වඩන්න ඕන වුනේ “ශිෂ්යත්වෙ පාස් වෙච්ච දුව!” එයාගෙ දෙමව්පියො හැටියට අම්මා තාත්තවත් හැමෝම පිලිගත්ත . හැබැයි ඉතින් ඒ දුවගෙ අක්කව ටිකෙන් ටික සීන් එකෙන් කැපිලා ගියා. මොකද ශිෂ්යත්වෙ පාස් වෙච්ච දුවගෙ අක්කගෙන් කාටවත් පලක් තිබුණේ නැහැ .
දැන් ආපහු බලද්දී මං සම්පූර්ණයෙන් කිසිම වරදක් නොකලා කියල මං කියන්නේ නෑ . හැබැයි කාටවත් මාව උවමනා නෑ කියල දැනෙන්න දැනෙන්න මං හිතාමතාම අයින් වෙලා ඉන්න ගත්ත . කොහොමත් පවුලක් හැටියට එකට ආරාධනා මත උත්සවේකට ගිහින් ප්රධාන අමුත්තිය එනකොට මල් කළඹ දෙන්න නංගිව තෝරගන්නකොට, දහස් ගානක් අතරින් මාව පස්සට දාල අම්මාවයි තාත්තවයි ඉස්සරහට තල්ලු කරල “මැඩම් මේ ඒ දූගෙ අම්මයි තාත්තයි ” කියන්න කට්ටිය හිටියත් මං කවුද කියල එතන කවුරුවත් දැනගෙන හිටියේ නෑ මං හිතන්නෙ . ඊට වඩා බරපතළ සිද්දිය වුනේ නංගී තෑග්ග හැටියට බයිසිකල් එකක් ඉල්ලීම නෙවෙයි , තාත්ත පහුවදාම එයාට බයිසිකලයක් ගෙනත් දීම! එතකොට අවුරුදු දහතුනේ මම මොකද කළේ? කරන්න පුලුවන් හැටියට පෙනිච්ච එකම දේ – වෛර කිරීම ! මගෙ එකකුස උපන් එකම නංගිට ! අනික් අය කොච්චර බයිසිකලේ පදින්න පුරැදු වෙන්න කිව්වත් මං ඒ බයිසිකලේට අතක්වත් තිව්වෙ නැහැ කවදාවත් …
මෙතනින් එහාටත් කියවන්න කැමතියි නම් , මෙන්න ඉතුරු ටික !
මං කිව්වනෙ මගෙ ප්රතිචාරය වුනේ කේන්තිය, වෛරය කියල . ඉතින් මං ඒ දවස්වල හරිම නොයිවසිලිමත් , කුකුල් කේන්තිකාර, පැටලෙන්නම බලාගෙන ඉන්න කෙල්ලෙක් . ඒ තරහ දරාගන්න බැරිව මං මට හිතෙන දේවල් කොලවල ලියන්න පටන් ගත්ත . ලිවීම ඒ දවස්වලත් මට හැඟීම් නිදහස් කරන්න තෝතැන්නක් වුණා . හැබැයි අවාසනාවට සාලෙයි, එක කාමරේකුයි කුස්සියයි තිබුණ ගෙදර ඒව හංගන්න තැනක් තිබුණේ නැහැ , වැඩිකලක් නොයා ඒව අම්මට අහුවුණා සහ මට බැනුම් වැස්සකින් නාන්න සිද්ද වුනා . “ළමයි තමන්ගෙ සහෝදරයන්ට ඔහොම කරනවද ? ඒ ඔයාගෙම නංගී නේද ? ඇයි ඉරිසියා කරන්නෙ ?…..” සහ ඔබට හිතාගන්න පුලුවන් තවත් දේවල්. මට කියන්න දෙයක් තිබුණේ නැහැ . මං සද්ද නැතුව අහගෙන හිටිය විතරයි .
දැන් මං අම්මට දොස් කියන්නේ නෑ , ඈ කිව්වෙ බොරැ නෙවෙයි , නමුත් හිතේ තුවාල සනීප වෙන්න ඇත්ත විතරක් මදි. එහෙම තුවාලයක් වුනාම උවමනා වෙන්නෙ උතුරන ආදරයක් ….. ඇහුම්කන් දෙන , තේරුම් ගන්න උත්සාහ කරන, වැළඳගන්න , “ඔයා මගේ, මට ඔයාව ඕන, කවුරු නැතත් ඔයාට මං ඉන්නව ,මොනව වුනත් ඔයාට මං ඔයාට ආදරෙයි” කියල කියන, ක්රියාවෙන් ඔප්පු කරන ආදරයක් … මං ඒක තේරුම් ගත්තෙ සරසවියෙ අධ්යාපන මනෝවිද්යාත්මකව ගැටවර විය ගැන ඉගෙන ගනිද්දී …. ඒ අත්දැකීම් මට පස්සෙ ප්රයෝජන වුණා , ගුරැවරියක් හැටියට .
ඉතින් ශිෂ්යත්වෙ පාස් වෙච්ච නංගී කොළඹ ඉහළම පෙලේ බාලිකාවක නේවාසික වුණා . සතියෙන් සතිය අම්මයි තාත්තයි මාරැවෙන් මාරැවට නංගී බලන්න ගියා. කොයිතරම් තරහින් හිටියත් මට නංගී නැතුව මහා පාලුවක් දැනුන . සැරයක් මං නංගිට පිටු හතරක් පිරෙන්න ලියුමක් ලියල අම්මා අතේ යැව්ව . මට ඒකට උත්තරයක් ඕන වුණා . ඉතින් මං ලිව්ව “මට මේකට උත්තරයක් එවන්න , ලියුම ලැබුණ කියල විතරක් හරි කමක් නෑ , මොනවහරි ලියල එවන්න ” කියල ….. ඒක මට කොච්චර උවමනා වුණාද කියන්නේ මං ඒ වාක්යය යටින් රතු පෑනකින් ඉරි දෙකක් ගහල යැව්ව . හැබැයි මට උත්තරයක් ආවෙ නෑ . අපේ සම්බන්දෙ ඇතුලෙ මගෙ පැත්තෙන් තවම එහෙම අස්කොන් ඉතුරු වෙලා තියෙන්නෙ .
ඉන් පස්සෙ එක්තරා දවසක මොනව හෝ මට මතකවත් නැති පුංචි හේතුවකට අම්මත් මාත් අතර රණ්ඩුවක් ඇතිවුණා . මං සාමාන්යයෙන් ලේසියෙන් රණ්ඩු වෙන්නෙ නැති වුනාට පටන් ගත්තොත් ලේසියෙන් නවත්තන්නෙ නෑ . ලේසියෙන් පටන්ගන්නේ නැති නිසා කියන්නත් සෑහෙන කාරණා තියෙනවා මට. ඉතින් කොහොම හරි මං එදා කිව්ව අර ඕගන් එකේ කතාව . මට තුනේ පංතියෙදි පොරොන්දු වෙච්ච තෑග්ග කල්දදදා ඉඳල අවුරුදු හයක් ගිහිනුත් නොදුන්නට නංගිට නම් එයාගෙ තෑග්ග දවසින් හම්බ වුණා කියල …දෙන්න බැරි නම් බොරැවට පොරොන්දු නොවී ඉන්න තිබුණේ කියල … දෙන්නම තමන්ගෙ ළමයි නම් දෙන්නට හැඳි දෙකකින් බෙදන එක කොච්චර අසාධාරණ ද කියල …. එදා අම්මගෙයි මගෙයි චරිත මාරැ වෙලා වගේ. මං කෑගහල අඬ අඬ බනිද්දි අම්මා නිහඬව අහන් හිටිය .
පහුවදා අම්මා නංගී බලන්න ගියා. වෙනද හවස හතට විතර ගෙදර එන අම්මා එදා ආවෙ රෑ නවයට විතර . එයාගෙ අතේ තිබුණ ලොකු පෙට්ටිය දැක්ක ගමන්ම මං දැනගත්ත- එයා ඕගන් එකක් ගෙනල්ලා !
ඉතින් එයා ඒක මට දුන්න . දීල ඇඟ සෝදන්න ගියා. මම ඕගන් එක අතගාල බැලුව . හැබැයි වාදනය කලේ නෑ . මට වාදනය කරන්න හිතුනෙ නෑ . අන්තිමට අම්මා ම කිව්ව ඕගන් එක ගහන්න කිව්ව . මම සංගීත පාඩමේ උගන්නපු සිංදු දෙකක් වාදනය කරල නැවැත්තුව. ඕගන් එක ගැන මගෙ තිබිච්ච සේරම හීන බිඳී ගියා. මං හීන දැක්ක විදිහට සතුටක් මට දැනුනෙ නෑ . එදා තමයි මට මේ කියමන දැනුනෙ .
මං ඕගන් ගැහුවෙ නැතුව නෙවෙයි . නමුත් රිද්ම පත්තරේ තියෙන සේරම මෙලඩි ඉගෙනගන්න මට තව දුරටත් ඕන වුනේ නෑ . අදටත් ඒක දූවිලි වැදි වැදි අක්රියව තියෙනවා .
එහෙම කෑගහල ඇඬුව නිසා මගෙ හිතේ තිබිච්ච වේදනාවෙන් තරමක් අඩු වුණා . හැබැයි ඒ වාදෙට පැටලුණාට වඩා හොඳයි නිස්සද්දව හිටිය නම් කියල මට හිතෙනව.
ඒ ඔක්කොටම වඩා මට අද ආපහු හැරිල බැලුවම වැටහෙන දෙයක් තියෙනවා .
මං එදා කෑගහල අඬඅඬා අම්මගෙන් ඉල්ලුවෙ ඕගන් එක නෙවෙයි .
ආදරේ …….
අවධානය …….
මගෙ පවුලට මාව උවමනායි කියන හැඟීම………
සමාන සැලකිල්ල …….
හාදුවක් , වැළඳ ගැනීමක්……….
ඒත් එයාට ඇහුනෙ වචන විතරයි .
එහෙම කෑගහල බැන්නට පස්සෙ හම්බ වුණාම ඒක ලැබුණට “මෙයා මේක දෙන්නෙ ඇපෙන් බේරෙන්න , පොරොන්දුවෙන් නිදහස් වෙන්න ” කියල හිතෙනව මිසක් ඒක ලස්සනට ඔතල ලඟට ගෙනල්ලා දීල වැලඳගැනීමක්, හාදුවක් එක්ක “මෙන්න ඔයාට මං තෑග්ගක් ගෙනාව” කියල කියනකොට දැනෙන හැඟීම ලැබෙන්නේ නෑ .
මම ( බොහෝ ගෑණු ළමයින්ට මේක මෙහෙමයි කියල මං හිතනව) කෑදර තෑගිවලට නෙවෙයි . අර කිව්ව හැඟීම් වලට!
අම්මලාට දරැවෙකුගෙ හැඟීම් ගැන දිවැස් තියෙන දවසක් ගැන මට හීනයක් තියෙනවා ………! – විශේෂයෙන් දුවෙකුට අම්මව උවමනා වෙන වෙලාවලට!
“ඇයි අම්මට මාව තේරෙන්නේ නැත්තෙ ?” කියල දුවෙකුට කොට්ටෙ බදාගෙන තනියෙන් අඬන්න සිද්ද නොවෙන අසිරිමත් දවසක් ………..!
හීනෙන් වත්!
උපුටා ගැනීම: කුසුම් කුමාරි