කුළුදුල් ආදරයක් තිබුණ අයට ඒ දවස අමතක වෙන්නෙ කලාතුරකින් නේද?කුළුදුල් ආදරේ අමතක කරන්න වෙන විදිහෙ විරහවකින් කෙළවර වෙච්චි උදවිය ඔය මතකෙ බොහොම සීරුවට ඔතලා මතක පෙට්ටගංවල යට අඩියටම දාලා ඊට උඩින් එක එක අරුමෝසම් මතක අතුරනවා.ඒත් නොදැනීම කාලෙන් කාලෙට අර මතකෙ හෙමිහිටම අරුමෝසම් මතක අස්සෙන් රිංගගෙන උඩට එනවා.හා නැද්ද මං අහන්නෙ?
අභීගෙ ගැන මතකෙත් කාලෙන් කාලෙට ඕං ඔය විදිහට මගේ හිත අස්සෙන් උඩහට උඩහට ඇවිදින් මගෙ හිත කොනිත්තනවා.දැන් නම් සමහර දවස්වල එහෙම වුනාම අම්මපා මට තනියම හිනා යනවා.
ඇත්තටම ඒ කාලෙ මං කොච්චර නම් බොළඳ ද කියලා නොහිතෙනවා නෙවෙයි.
හරි හරි…ඔයාලා ආවෙ මගේ විකාර අහන් ඉන්න නෙවෙයි නෙ.අභීගෙ ගැන අහන්න නෙ නේද?
ඒ කතාව පටන් ගන්න වෙන්නෙ අභීව මුලින්ම මට හම්බු වෙච්ච දවසෙන්.එතකොට මම දහයෙ පන්තියේ.අභී ගැන එයිට කලියෙන් මම දැනං හිටියෙ නෑ කිව්වොත් ඒක බොරු.මොකද මගේ හොඳම යාළුවො දෙන්නා කසුනියි සමංගියි දෙන්නම ඒ වෙද්දි අභීගෙ ගැන කියවලා කියවලා මගෙ කන් දෙක ගොඩ වෙලා තිබ්බෙ.ඇත්තටම අභීව අඳුරගන්න මගෙ හිතේ උවමනාවක් පැළ කලේ වෙන මොනවත් නෙවෙයි උන් දෙන්නාගේ හීන මාළිගාම වෙන්න ඇති.
ඒත් බුදු අම්මෝ, මං කොහොමද එහෙම දෙයක් ගැන හිතන්නෙවත්.අපේ තාත්තා තමා ඉස්කෝලේ ප්රින්සිපල්.එතකොට අම්මා, එයා අවුරුදු පහක් එක දිගට විනය භාර ගුරු පුටුවේ.ඉස්කෝලෙ ළමයි වැඩිපුරම බය තිබ්බේ අපේ අම්මටද තාත්තටද කියලා තාමත් මට හිතා ගන්න බෑ.කොහොම හරි අනිත් ළමයින්ට ඉස්කෝලෙ ඇරිලා ගියාම ඒ භීශනෙන් ගැලවෙන්න පුළුවන් උනාම අසරණ මට ගෙදරයි ඉස්කෝලෙයි කියලා කිසිම වෙනසක් උනේ නෑ.ඉතින් දහයෙ පන්තියට එද්දිත් මම වැරදිලාවත් ඔලුව උස්සලා වටපිට නොබලන කොළු පරාණයක හෙවනැල්ලක් ළඟින් ගියත් හොල්මනක් දැක්ක ගානට බයවෙන අසරණ ගෑණු දරුවෙක්.
අර අපාය සහාය යාළුවෝ ජෝඩුව නොහිටියානම් කළින් කිව්වා වගේ මම අභී ගැන දැනගන්නෙත් නෑ.අභීව නිකමටවත් අඳුරගන්නෙත් නෑ.ඒත් ඉතින් අන්තිමේ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුනා.
ඔහ්..මං ආයෙමත් ට්රැක් පැන්නා නේද?
එදා හවස තිබ්බෙ ගණන්.ගණන් උගන්නපු සර් නිවාඩු.ඉන්ටර්වල් එකෙන් පස්සෙ පීරියඩ් දෙක නිසා වසම කම්මැලියි පන්තියෙ ඉන්න.ඉතින් අර නසරානි ජෝඩුව මාවත් ඇදගෙන රිංගුවා ලයිබ්රරියට.උන් දෙන්නා නං ගියේ උන් ඒ දවස්වල ලයින් දාපු දොළහෙ අයියලා දෙන්නෙක් දිහා බලාගෙන ඉන්න.අහිංසක මං මොනවා කරන්නද?උන් දෙන්නා ඉන්න පැත්ත පළාතක ඉඳලා ලයිබ්රේරියන් මිස් හරහා ගෙදරට පණිවිඩ යන්න කලින් මං පොත් රාක්ක අස්සට රිංගුවේ කියවන්න මොකක් හරි හොයාගන්න.
ඔව්.අභීයි මායි ඉස්සර වෙලාම මුණගැහුනෙ ඒ වෙලාවෙ තමා.අර කෙල්ලො දෙන්නා කිව්වෙ ඇත්ත කියලා තේරෙන්න මට විනාඩි දෙකතුනක් වත් ගියේ නෑ.
අභීත චතුරංග සේනාධීර.
නම වගේම තමා එයාගෙ හැඩ.
කළුත් නැති සුදුත් නැති පොල් ගහක් විතර උස ඉලන්දාරියෙක් හිතා ගන්නකො.තාමත් ඇස් පියා ගත්තාම ඇස්පියන් පිටිපස්සෙන් අභී හිටගන්නවා ආන් එහෙම.
එච්චරම කොට කපලා නැති
කැරලි කැරලි කොන්ඩෙ.හීනියට හිනා වෙන ඇස්.
ඒ තමයි මුණ ගැහිලා විනාඩි දෙකක් යද්දි මගේ හිත හොරකං කරගෙන ගිය අභී.
ඉතින් ඔයාලා හිතන්නෙ මාව දැක්ක පාර අභීටත් එහෙම්මම දැනිලා අපි වටේ මල් පිපිලා, තරු පායලා ලෝකේ එකම මඟුල් සක්වලක් උනා කියලද?
ඒ කාලේ මං ඉස්සරහට ආපු දත් බොල්ලෑව පස්සට තල්ලු කරන්න කම්බි දමාපු , කොහොම පීරුවත් විනාඩියෙන් අවුල්වෙන කෙහෙවල්ලක් තියෙන, කළු පාට ළඟින් යන පාටක කෙල්ලෙක් කියලා මං තාම කිව්වෙ නෑ නේද?
ඉතින් අභී මට කැමති වෙන්නෑනේ කොහොමත්.
එහෙම වෙන්න පොඩි හරි ඉඩක් තිබුනා අභීගෙ ලෝකෙ ඒ වෙද්දිත් කල්පනා නොහිටියා නම්.
“මං මෙච්චර ඔයාට ආදරේ කරද්දිත් ඇයි ඔයා මගේ ගැන පොඩ්ඩක්වත් නොහිතන්නෙ?”
අභී බොහෝම අසරණ විදිහට එහෙම අහද්දි කල්පනා අහක බලාගෙන කොණ්ඩ කරලක් කරකව කරකවා හිනා වෙවී හිටියෙ සමච්චල් හිනාවකුත් කට කොණක තියාගෙන.
අභීට මං ආදරේ කරන තරමටම මං කල්පනාට වෛර කරන්නත් ගත්තා.ඒත් දහයෙ පන්තියෙ පොඩි කෙල්ලෙක් ආදරේ කරනවා අභීට දැනුනෙ නෑ වගේම ඒ කෙල්ල පිච්චිලා අලුවෙන්න තරං තමන්ට වෛර කරන විත්තිය කල්පනාට දැනුනෙත් නෑ.
“මං ඔයාට කිව්වෙ නෑනේ අභී මට ආදරේ කරන්න කියලා.ඒක ඔයාගෙ උවමනාවට කරන එකක් මිසක් මට උවමනාවට කරන දෙයක් නෙවෙයි නෙ.මට ඔයා ගැන එහෙම මුකුත් දැනෙන්නෙ නෑ.”
කල්පනා කොණ්ඩ කරල් දෙක ගස්සලා දාලා එතනින් යන්න ගියා.
උන්දැගෙ පස්සෙන් ගිහින් හොම්බට දෙකක් අනින්න හිතුනත් අභීව තනියෙන් එතන දාලා යන්න මට හිත දුන්නෙ නෑ.
ඒත් මං මොනවා කරන්නද?
අභීගෙ ආදරේ මං නෙවෙයි නේ.
“මෙහෙ එනවා ඕයි.බෙල් කලා ඇහුනෙ නැද්ද?”
කසුනි ඇවිල්ලා මාව පොත් රාක්කෙ අස්සෙන් ඇදගෙන යද්දි අභීට වෙච්ච දේ ගැන මං වචනයක්වත් කිව්වෙ නෑ.
ඒත් එදා දවසම මගෙ ඔලුවෙ හිටියෙ අභී විතරමයි.ආදරේ නිසා මනුස්සයෙක් එහෙම අසරණ වෙන එක හොඳ ද?
එහෙම අසරණ කරන එක හරිද?
අභීගෙ හිත හැදෙන්න වචනයක් හරි කියන්න කවුරුත් ඉන්න ඕනෙ නේද?
ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලත් මුළු හවස් වරුවම මං හිතුවෙ අභී ගැන විතරමයි.
මගේ වෙනස අම්මට නොතේරුනා නෙවෙයි.මොකද වෙලා තියෙන්නෙ ඇහුවම ඔලුව රිදෙනවා කියලා එදා දවස බේරුණාට හැමදාම එහෙම කරන්න බෑනේ.
අභීව ආයෙමත් දකින්න හිතාගෙන මං ආයෙ දවස් ගාණක් ලයිබ්රියේ රස්තියාදු වුනත් අභී නෙවෙයි ඒ පැත්ත පළාතක ආවෙ.
ඒ දවස දවස ගානෙ මගේ හිත තවතවත් පිස්සුවෙන් වගේ අභීවම හොයන්න ගත්තා.
බැරිම තැන සතියක් ගිහින් මම කසුනිටයි සමංගිටයි ඇත්ත කිව්වා.මට තව එක පාරක් හරි අභීව මුණ ගැහෙන්න ඕනෙ විත්තිය කිව්වම උන් දෙන්නම ඉස්සර වෙලා බෑම කිව්වා.
“යකෝ, යාලුවා බව ඇත්ත.ඒත් ඕවට සපෝර්ට් කරලා උඹලගෙ අම්මගෙන් ගුටි කන්න බෑ බං.”
කසුනිගෙයි සමංගිගෙයි උත්තරේ ඕක.යාළුවොන්ගෙ ආදරේට දිවි පරදුවට තියලා සපෝර්ට් කරන උන් ඉන්නෙ නවකතා පොත්වල විතරමයි කියලා මම හිතා ගත්තා.
අභී නැති පාළුව මදිවට යාළුවො දෙන්නා එක්ක තරහ වෙලාත් බුම්මගෙන ඉන්න ගිහින් මගෙ දවස් ගානක් කළුවරම කළුවර උනා.
අන්තිමේ කසුනිටම වැඩේ ඇති වෙන්න ඇති.ආයෙමත් අභීව දකින්න චාන්ස් එකක් හොයාගත්තෙ කසුනි තමා.
සඳුඳා හවස සිංහල පන්තිය ළඟ තිබ්බ බුක්ශොප් එකට රිංගද්දි පපුවෙ බිත්තර දහයක් විතර එකට තැම්බෙන ගමන්.ඒත් අභීව ආයෙම දැක්කම හිතට දැනුන සැනසිල්ල.අභීව අඳුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා.අර හිනා වෙන ඇස් යට කළුපාටට වළ ගැහිලා.ඒ ඇස් කලින් වගේ හිනාවෙන්නෙ නෑ.හිටියායින් බාගයක් වෙන්න ඇදිලා ගිහින්.පවු දෙයියනේ.
කල්පනා වගේ නපුරියෙක් ගැන නොහිතා සතුටින් ඉන්න බැරි ඇයි අභී?එයාගෙ ඇස්වලට එබිලා එහෙම අහන්න මට ඕනෙකම තිබ්බට වෙනදා වගේම මං හිටියෙ ඒ ලෝකෙ අතරමං වෙලා.
වැඩි වෙලාවක් මට එහෙම ඉන්න නොදී කසුනි ආයෙම මාව පන්තියට ඇදගෙන ගියාට පන්තිය ඉවර වෙනකන්ම මං හිටියෙ අභීගෙ ලෝකෙ තනි වෙලා.
මං යන එන හැම තැනක් ගැනම අපේ අම්මා බොහොම සෝදිසියෙන් ඉන්න විත්තිය දන්නවා උනාට ඊළඟ සඳුදා වෙනකන් මං මග බලාගෙන හිටියෙ ආයෙම අභී ඉඳියිද කියලා බලන්න යන්න.ඒත් කරුමෙට එදා පන්ති නිවාඩු.
ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා තමා ඒ දවස්වල හිතුනෙ.
ආයෙමත් ඉස්කෝලෙදි අභීව මුණගැහුනෙ නොහිතපු විදිහකට.එහා පන්තියෙ නිලූගෙ අක්කා නිසා.
” පුතෝ මාව ගස් යන වැඩනං කරන්න එපා මේං වැන්දා”
නිලූ මට එහෙම කිව්වට මං එපායැ නිලූට වඳින්න.
දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා කිව්වා වගේ ඉංග්රීසි මිස් නෑ එදා.පන්තියෙ එවුන් ටික ඔක්කොම පිට්ටනියට බැහැලා නටද්දි මං පන්තියෙ අභී එක්ක තනියම.
“නංගි මං හින්දා සෑහෙන බලන් හිටියා නේද?”
සාක්කු දෙකේ අත් දෙකත් ඔබා ගෙන ආයෙමත් අභීගෙ ඇස් හිනාවෙනවා.
මං මුකුත් නොකියා බිම බලාගෙන හිනා වුනා.
“මට මෙච්චර ආදරේ කරන්න ඔයා ඉන්දැද්දි ඇයි මං අර කල්පනා පස්සෙ ගියේ කියලා හිතද්දි මට මාත් එක්කම තරහ යනවා.”
කොට බැම්මට උඩින් ඉස්කෝලෙ මිදුලෙ අරලියා මල් දිහා බලාගෙන අභී එහෙම කියද්දි එයාගෙ මූණ ආයෙත් කළුවර වෙනවා.
එයා මාව දන්නෑනේ ඒ දවස්වල.එහෙම කියන්න හිතුනත් මං මොකුත් නොකියා කරාබුවක් කොනහ කොනහා ඉන්නවා.
“ඒවා ඔක්කොම ඉවරයි.දැන් ඉතින් මට ඔයා ඉන්නවනෙ.මට වෙන කවුරුවත් ඕනෙ නෑ.”
අභී මගෙ ළඟටම එන සද්දෙ ඇහිලත් මට ඔලුව උස්සන හිතෙන්නෙ නෑ.
වයිස් ප්රින්සිපල් අපේ පන්ති පැත්තෙ කැරකිලා තිබුනෙ ඒ වෙලාවෙ.කියන්න දෙයක් නෑනේ.අභීයි මායි නතරවුනේ ප්රින්සිපල් ඔෆිස් එකේ අම්මයි තාත්තයි ඉස්සරහ.
අම්මා පුපුර පුපුරා උන්නෙ මං පරම්පරාවෙම නම්බුව නැති නාස්ති කරපු හැටියට.
එදා හවස කාපු වේවැල් පාරවල් ගාන හරියටම මතක නෑ.ඒත් ආයෙමත් ලොකු වෙනකන් අභීව හොයාගෙන යන්නෙ නෑ කියන පොරොන්දුව බුදු පහන ඉස්සරහ වෙන්න උනා.ආයෙමත් අභී ගැවසෙන්න ඉඩ තියෙන කිසිම තැනකට යන්නත් තහංචි වැටුනා.ඉතින් මං කොහොම මේ ඔක්කොම වැටකඩුළු පනින්නද?
අවුරුදු ගාණකට කලියෙන් අභීව මට නැති වුනේ අන්න එහෙම.
පස්සෙ කාලෙක සෑහෙන හෙව්වත් අවුරුදු හතළිහකුත් ගිහින් මට අදවත් අභීව හොයාගන්න හම්බුනේ නෑ.
දැන් ඒ පොත ප්රින්ට් එකේ නෑ මිස්.
අහන අහන හැම පොත් කඩේකින්ම එහෙම තමයි කියන්නෙ.
නිශ්ශංක කරුණාරත්න ලියාපු
“නුඹට පෙමැති හිත” පොත ඔය කාගෙ ළග හරි තියෙනවනම් මට දෙනවද?
පරෙස්සමෙන් කියවලා ආපහු දෙන්නම්.
ඉගිලෙන ලියමන්
උපුටා ගැනීම: Sanduni Sudarshana Perera