තමන්ගෙම අයගෙන් ප්රතික්ෂේප වීම කියන්නෙ දරාගන්න අසීරුම දෙයක්.
මම මේ සටහන ලිවීමේ ප්රධානම අරමුණ මෑත කාලීනව මගේ යෙහෙළියන් දෙතුන් දෙනෙක්ටම මූණ දෙන්න වුන සැබෑ සිද්දීන් කීපයක් නිසා ඔවුන් මාත් එක්ක බෙදාගත්ත ඔවුන්ගේ වේදනාව කීවොත් මම හරි.
දීර්ඝ කාලීන ප්රේම සම්බන්දතාවයකින් හෝ වේදනාකාරී විවාහයකින් හෝ කෙනෙක් මිදෙන්න තීරණය කරන්නේ ඒ කෙනාට තව දුරටත් ඒ බැඳීමේ හිරවෙලා ඉන්න අමාරු නිසා. මේ වෙලාවෙදි ඔවුන් ඉස්සෙල්ලම තමන්ගෙ ගෙදර අයගෙන් බලාපොරොත්තු වෙනවා තමන්ව තනි නොකරාවි කියන දේ. මට මගේ වේදනාව බෙදාගන්න මගේ අම්ම තාත්තා ඉන්නව මට මගේ සහෝදර සහෝදරියන් ඉන්නව කියන හැඟීම ඔවුන්ට තියනව. ඉතින් ඔවුන් ඒ විශ්වාසය එක්ක තමන්ට වේදනාවක් වුන බැඳීමකින් නිදහස් වෙනව. මෙතනදි මේ බැඳීමෙන් නිදහස් වෙන්නෙ තමන්ගෙ කැමැත්තෙන්ම නම් එතනදි තමන්ට දැනෙන වේදනාව තරමක් දුරට අඩුයි. ඒත් අනෙක් පාර්ශවයේ ඉල්ලීමට හා කැමැත්තට නම් දැනෙන වේදනාව දරුණුයි.
මම මේ කියන මගේ යෙහෙළියන් කීප දෙනාටම වෙන් වෙන්න වුනේ අනෙක් පාර්ශවයන්ගේ ඉල්ලීම මත. අවුරුදු කීපයක්ම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න කරන්න පුලුවන් බොහෝ දේ ( උපදේශන සේවා පවා ) කරත් අවසානය වුනේ වෙන් වීම. ඉතින් ඔවුන් එක් මානසික පීඩනයකින් නිදහස් වුනා.
නමුත් ???
තමන්ට අත්වැලක් වෙයි කියල හිතන තමන්ගෙම අයගෙන් ප්රතික්ෂේප වෙන්න වුනොත් , අර අයට මොනා හිතෙයි කියලද ඔයාල හිතන්නෙ ? ඇත්තටම එයාලා වැටෙන්නෙ හිතාගන්න වත් බැරි තරම් තැනකට.
තමන්ගෙම අම්මා තාත්තා සහෝදර සහෝදරියන් තමන්ට සලකන්නේ දැන් කිසිම වැදගැම්මකට නැති කෙනෙක් ගානට කියල දැනුනම , ඔවුන්ගෙ වචන පිහිතුඩු වගේ පපුවලට ඇනෙනකොට ඒ අයට ඒක දරාගන්න පුලුවන් දෙයක් නෙමෙයි. තමන් ඒ සම්බන්දතාවයේ කටු ඇනි ඇනී ලේ ගල ගලා අන්තිම වේදනාවෙන් ඉන්නකොට තමන්ගෙ දුව / සහෝදරී / සහෝදරයා කියල පිළිගත්ත අය , අනිත් අයට අහවලාව බැඳල ඉන්නෙ , බදින්න ඉන්නෙ අපේ දුව / අක්ක / නංගි ආදී වශයෙන් හරි උජාරුවෙන් කීව අයම අනේ ඔයා එලියට එන්නෙපා , ලෝක ලැජ්ජාවක් නෙ අප්පා , එක්කො කියන්නෙ එයාට අද වැඩක් වැටුන කියල , ගමනක් ගිහින් කියන්නකො ආදී වශයෙන් කිය කිය අතෑරල දැම්ම බැදීමක් තාමත් තියනව කියල ලෝකෙට පෙන්නන්න වෙනවනම්… හිතන්න පොඩ්ඩක් ඒ අය වැටෙන මානසික මට්ටම කොතනද කියල.
කවදාවත්ම ඒ ජරා වැඩේ කරන්නෙපා.. තමන්ගෙ හතුරෙක්ට වත් ඒ ජරා වැඩේ කරන්නෙපා.
තමන්ගේ දුව හෝ සහෝදරී ( පුතා හෝ සහෝදරයා ) මානසිකව කඩා වැටිලා ඉන්නකොට එයාට හයියක් වෙන්න. එයාව වැළඳගන්න. එයා තනිවෙලා නෑ කියල ඇඟවෙන්න දෙන්න. එයාට උපදේශන සේවාවක අවශ්යතාවක් දැනෙනවනම් එක්ක යන්න. එයා එක්ක ගමන් බිමන් යන්න. එයා පවුලට වැදගත් කෙනෙක් / එයා සමාජයට වැදගත් කෙනෙක් කියල එයාට දැනෙන්න දෙන්න. එයා ට එයාව අවලංගු කෙනෙක් කියල දැනෙන තැනක් ආවොත් එයාට කියා දෙන්න එහෙම වුන පළවෙනිය හෝ අන්තිමය එයා නොවන බව. එයා වාසනාවට බේරුන බව. එයාගෙන් ලෝකෙට සමාජයට ලොකු මෙහෙවරක් වෙන්න තියන බව. එයාට දීප්තිමත් අනාගතයක් ලැබෙන බව. එයා එක්ක ඕනම මොහොතක කොන්දේසි විරහිතව ඉන්න බව….
ඔයාලගෙ අතින් මේ දේවල් මගෑරුනොත් වෙන්නෙ.. ගහෙන් වැටුන එකාට ගොනා අනින්නා වගේ ආසන්නම උත්තරය හරිම උත්තරය විදියට අරන් තමන් තමන්වම පහලට දාගන්න පුලුවන් විසඳුමකට අර කෙනා යන එක. එහෙම තැනකට වැටුනට පස්සෙ දොස් කියල වැඩක් නෑ. මොකද ඒ දේවල් නිවැරදිව තේරුම් ගන්න පුලුවන් මනසක් ඔයාල ඉතුරු නොකරපු නිසා.. තමන්ගෙම දුවට / සහෝදරීට ( පුතාට / සහෝදරයට ) තමන් ම වල කපන තැනට නොවැටී ඔවුන්ව ආදරෙන් බාරගෙන ආදරේ කරන්න.
උපුටා ගැනීම: Prabhani T Abeykoon