ඊජිප්තුවේ ඒ විශාල ගීසා පිරමිඩ් හදන්න කලින් පාරාවෝ යුගයේ මුල් කාලේ හදාපු පිරමිඩ තියෙනවා. ඒවා මැදක් හදන් යද්දි ආනතිය වැඩිවෙලා. ඒ නිසා ස්ථාවර භාවය තියාගන්න ගැටළු මතුවුණු අවස්ථා ඇතිවෙලා තියනවා. ඉන් පස්සෙ පිරමිඩයේ ඉතිරි කොටස පසුව ආනතිය අඩුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මුලින්ම හදාපු පිරමිඩ තට්ටු තට්ටු වශයෙන් වෙන් වෙන් වශයෙනුත් හදලා තියෙනවා. ඒ පිරමිඩ වගේම ඊජිප්තුවන්ගේ නයිල් නදී වාරිකර්මාන්ත ආදියේදිත් ඔවුන්ට වැරදුනු තැන් පුරාවිද්යාඥයින්ට හමු වෙලා තියෙනවා. අපිට අද එක හා සාර්ථක නිර්මාණ ගොඩක් විදියට පෙනුනාට මේ පිරමිඩ සහ ඊජිප්තු අතීත නිර්මාණ වසර සිය ගාණක් තිස්සේ දැනුම විදියට ඔවුන් දියුණු කරගත් හැකියාවන් ඔස්සේ නිර්මාණය වෙන්නට ඇති
ගීසා වල පිරමීඩ හදන්න වහල් මිනිස් ශ්රමය යොදගෙන තියෙනව කියල මිනිස්සු කාලයක් විශ්වාස කළා. ඒත් අද වනවිට හොයාගෙන තියෙන කරුණු අනුව හමුදාවක් මගින් මනාව සංවිධානය වූ ඊජිප්තුවරුන්ම පිරිසක් තමයි මේ ගීසා පිරමිඩ හදල තියෙන්නේ. ඔවුන් ගත්ත ආහාර පාන වගේම ඔවුන්ගේ අස්ථි ආදිය, ඔවුන් නවාතැන් ගෙන වැඩ කළා යැයි සැලකෙන ස්ථානත් පුරා විද්යාඥයින් සොයාගෙන තියෙනවා. හොඳට කෑම බීම, බෙහෙත් හේත් වලින් සංග්රහ කරලා වැඩ ගත් ක්රමයක් තිබිල තියෙනවා කියලා තමයි පුරාවිද්යා සාධක වලින් කියවෙන්නෙ. සමහර ඇට කැබලි කැඩිලා බද්ධ කරලා තියෙනවා. ඒ කාලෙත් ශල්ය කර්ම ආදිය කරපු බවටත් සාධක ඒ අවට අස්ථි ආදිය පරික්ෂා කර බැලීමේදී සනාථ වෙලා තියෙනවා. නිර්මාණයක් සැලසුම් කිරීමේදී ශ්රමය කියන්නෙත් එක්තරා වැදගත් සාධකයක්. අපිට ගෙයක් හදාගන්න වුනත් හරියට බාස්ලා ඇතුළු සේවකයින් නැත්නම් වෙලාවට ඒක සම්පූර්ණ කරගන්න ලැබෙන්නෙ නැහැ. දහස් ගාණක් සෙනග එක්ක ගනුදෙනු කරන පිරමිඩ වගේ දැවැන්ත නිර්මාණයකදී අනිවාර්යෙන්ම දියුණු මානව සම්පත් කළමනාකරණ ක්රමවේද ආදිය තියෙන්න ඇති.
අඩි 480ක් උස පිරමිඩය උඩට ඒ හදා තියෙන ගල් ගෙනිහින් තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මත කීපයක් තියෙනවා. ගල් මිලියන 2.5ක් ඒ වගේ උසකට ගෙනයන එක මේ කාලෙදිත් මහ විසාල ව්යාපෘතියක්. මේ ගල් ගෙනියන්න වෙනමම ආනත වේදිකාවක් වැනි මාර්ගයක් තියෙන්න ඇති කියලා එක මතයක් තියෙනවා. අනෙක් මතයෙන් කියන විදියට අපි කන්දක් නගිනවා හා සමානව වටෙන් සහ දැනට දහ අට වංගුව තියෙන ආකාරයට ගල් උඩට ගෙනියන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ගල් එකක් දෙකක් නෙමෙයි මේ තරම් සුවිශාල ප්රමාණයක් වසර විසි තුනක් වගේ කෙටිකලක් තුළ ඒ අදාළ මහා පිරමිඩය වෙනුවෙන් ගෙනගියේ කොහොමද? එය අදටත් උපකල්පන විතරක් තියෙන ප්රශ්නයක්. අද අපි පාලමක් හැදුවත්, ලොකු බිල්ඩිමක් හැදුවත් එය හදන්නට දොඹකර අට්ටාල ආදිය පාවිච්චි කරනවා. මීට වසර 4500කට පෙර අතීතයේ දැනට පවතින නවීන තාක්ෂණ කිසිවක් නැතිව ගල් ලෝඩ් එක මෙච්චර උඩට ගෙනගියේ කොහොමද? අනාගතයේදි මේ සඳහා වඩාත් සාධාරණ උත්තරයක් ඒවි.
මේ ඊජිප්තුවේ නයිල් නදිය අසබඩ ඇති පිරමිඩ පළාත මීට වසර දහස් ගාණකට පෙර ජලයෙන් යටවුනා. ගංවතුර උවදුරින් සෑම අවුරුද්දකම බැට කෑ ඊජිප්තු ජාතිකයින්ට ගංවතුර ඔස්සේ වැඩගැනීම ගැන අදහසක් එන්නට ඇති. ඈත සිට ගල් පිරමිඩ බිමට ගෙන ඒමට මෙන්ම පිරමිඩයේ අභ්යන්තර කුටීර වලට ජලය පුරවා ගල් ඒ තුලින් ඉහලට පාකර ගන්නට ඇති බවටද මතයක් තියෙනවා. ගල් ඉහලට ගැනීමේ මතය කෙසේ වෙතත් ඈත තැනක සිට විශාල ගල් කුට්ටි පිරමිඩ වැඩබිම කරා ගෙන එන්නට ඊජිප්තු ජාතිකයින් ජලයේ සහාය ලබාගන්න ඇති.