අසූව දශකයේ අග භාගය. අව් කාස්ටකේද , මොර සූරන වැස්සේද අදලා නැහැ. ඒ වංගියේ සතියේ දවස් හතම රත්මලාන ගුවන් තොටුපොළට බඩ ගාන සෙට් එකට මාත් සෙට් වුනා. ෆ්ලයින් නැති දවස්වල තිස්ස දෙවේල සීරී අන්කල්ගේ එයාපෝට් කැන්ටිමේ දනිස් ඇකෝඩියන් ගසමින් පල් හෑලි දොඩවන්න අනිවාර්යෙන්ම අපි එතන. ගුවන්පාලක මැදිරිය, කා පාක් එක, ඒප්රන් එක, පරණ ටෙනිස් ක්ලබ් එක, මේ සේරම අපේ සිරි අන්කල්ගේ ඒරියල් එක.
සිරී අන්කල්ගේ ගජ යාළුවා ගංජා ගජේ. එයාපෝට් එකේ සිකුරිටි. ගංජා ගජේ නිතරම සුස්තියක් කාරිය ඇදල සැපසේ දුක විඳින කෙනෙක්. උන්නැහේ කා අතරෙත් ප්රසිද්ධ උනේ කාගේවත් අතක් බලල සාස්තරයක් කියල සුස්ති වලට කීයක් හරි හොයාගන්න අහිංසකයෙක් හැටියටයි . වට පිට ඉන්න ‘වෙන්ට’ පයිලට්ලා සේරම වගේ ගංජා ගජේට අත පෙන්නලා අහන්නේ ‘පයිලට් වෙනවද නැද්ද ” කියන එක විතරයි. ඕනෑ වෙලාවක බැලුවොත් රොත්තක් වටවෙලා ඇටපල් කළුවර වෙනකං සාස්තර අහනවා. ටිකක් වියපත් ගංජා ගජේ තම පැසුණු හිස ඉහළට පහළට සෙමෙන් සොළවමින් උන්නැහේගෙන් සාස්තර අහන ඕනෑම කෙනෙක්ට පොසිටිව් අනාවැකි දෙන්නේ කිසිදු සැකයකින් තොරවයි.
එදා 1988 ඔක්තෝබර් මාසේ 14 වෙනි සිකුරාදා ගංජා ගජේ මගේ අත දිහා ගොඩක් වෙලා බලන් හිටියා.
“මේ මම කියන එක හොඳට අහගන්න ඔක්කොමල. අද මේ ළමයා ඉර බහින්න ඉස්සරවෙලා, අනූනවයෙන් බේරෙනවා – මරුවාගෙන් “
“මොන විකාර කියෝනවද මන්ද” ගජේට බැන බැන අපි ඒප්රන් එකේ රේ විජේවර්ධන අන්කල් එයාගේ “තණකොළ පෙත්තා’ සැහැල්ලු ගුවන් යානය එහාට මෙහාට හසුරුවන හැටි බලන්න ගියා.
පෙට්රල් ඉවරවෙලා නැවත හරවා එන රේ අන්කල් ගේ තණකොළ පෙත්ත ගාවට තෙල් කෑන් දෙකක් අරන් දිව්වේ අපි සුපුරුදු ‘පැනල සර්විස්’ හෙල්ප් කාරයෝ නිසාය.
නමුත් මෙදා පාර පෙට්රල් කෑන් එක දෙන ගමන් රේ අන්කල් මට “කම් ඕන් හොප් ඉන්” කිව්වේ මගේ ඇඟේ මයිල් ඉස්මයිල් කරමින්ය.
“මම යනවා රත්මලාන බීච් එක උඩින් ටෙස්ට් ෆ්ලයිට් එකක් කරන්න. ගෙට් ඉන් ගෙට් ඉන් “
මම අහල තියන විධියට රේ අන්කල්ගේ කුරුම්බැට්ටේ නගින්න බලාපොරොත්තු වන්නෝ “සියළු අපේක්ෂාවන් අත්හැර ගතයුත්තෝය” යන්නයි.
“නො ඉට්ස් ඕකේ සර්, අයි විල් කම් සම් අදර් ටයිම් ..අහ්ම්ම්ම්..” මම උගුර එහෙම ටිකක් විතර පාදල කාරිය හිතට ධෛර්යය ගත්ත.
“කමෝන් කමෝන් දෙයාර් ඉස් නො අදර් ටයිම්”
කාල වරෙන්කො!
පන ගැහි ගැහී තණකොළ පෙත්තගේ සීට් එකට නැගල සීට් බෙල්ට් දාන ගමන් ගජේගේ මයිල් කොයිල් සාස්තරේ මතක් වුනා අප්පා. ළය හිස්ව යන දිගු සුසුමක් හෙලල සීට් එකේ වාඩි වුනා, හපොයි බිම වාඩිවුණා වගේ.
සීට් බෙල්ට් එක තද කරගන්න ඉස්සර වෙලා මෙන්න බොලේ තණකොළ පෙත්ත “ටක ටක ටක, ටක් ටක් ටක්, ටකස් ටක්ස්, ක්ර් ක්ර් “කන් අඩි පුපුරන සද්දෙත් එක්ක ගැස්සී ගැස්සී ධාවන පතය පැත්තට යනවා! ඒ අස්සේ මම ඉක්මනට චෙක් කරලා බැලුවේ කුරුම්බට්ටේ කෑලි ගැලවීල බිමට වැටෙන්න තියන චාන්ස් මොනාද කියල.
“අම්මප රේ අන්කල්ගේ වයසේ හැටියටද මේ කුරුම්බට්ටේක්ට වහවැටිල, කොහෙවත් හිටිය අහිංසක මට වැඩ පෙන්නන්න හදන්නේ” කියල හිතනවත් එක්කම තණකොළ පෙත්ත ගුවන් ගත වුණා.
නගිනවත් එක්කම හුලන් පාරට අපි අත්තිඩියේ හෙන්ට්ලි ගාර්මන්ට් එක පැත්තට පාවුණා. එත් එක්කම “කටස් කටස් කටස්” ගාල එන්ජිම නැවතුන. සෙනිකව රේ අන්කල් කව් බෝයි ඇක්ෂන් එකක් දාල ගාලු පාර උඩින් කරකවල ආපහු ධාවන පථය පැත්තට ග්ලයිඩ් කරලා ගොඩ බාන්න හදනවත් එක්කම අපි ලාවට හොම්බෙන් ගියා.
ගිනි නිවන හමුදාවේ මාමල දුවන් ඇවිත් අපව සීට් වලින් යන්තම් ගලව ගත්ත.
ප්ලේන් එකේ තට්ටක් කැඩිල, මගේ තට්ටම බිම ඇනිලා, හිරිවැටිලා, බෙල්ල උලුක්වෙලා. තව පොඩ්ඩෙන් සිසිටීවි දර්ශන ලබාගන්න වෙන්නේ පරලොවින්.
මෙදා පාර ගංජා ගජේ කිරි ගහට ඇන්න වගේ සාස්තරේ කිව්ව හැටි! හ්ම්ම්ම්ම්. බලන්න නයනී ගංජාවල බලේ!
[Representative Picture]